Saturday, April 19, 2014

සිකුරු ශුක්‍ර සහ වීනස්

වටුවා ඉගන ගන්න අප්‍රිය ජනක විශයන් වලට අමතරව, බොහොම කැමති ඒත් ඉගන ගන්න ලැබුනෙ නැති විෂයන් කිහිපයක් තියනවා. ඒ තමයි, ග්‍රීක මිත්‍යාව (Greek Mythology), තාරකා විද්‍යාව (Astrology), ජොතිශ්‍යය සහ මන්ත්‍ර ගුරුකම් කියන්නෙ. ඒත් වටුවා අත ඇරියෙ නෑ. ඒව ඉගන ගන්න තියන හොදම විදිය සෙල්ෆ් ස්ටඩීස්. එහෙම ඉගන ගත්තු චුට්ටක් තියනව. ඉතින්, වටුවා හිතුව, ග්‍රීක මිත්‍යාව, ජෝතිශ්‍යය, තාරකා විද්‍යාව ඔක්කොම සම්බන්ද කරලා, පොඩ්ඩක් මොනව හරි ලියලා බලන්න.

වටුවා මේ කියන්න හදන්නේ, සිකුරු ග්‍රහයා ගැන. සෞරග්‍රහ මණ්ඩලයේ, දෙවැනියට පිහිටලා තියන, ඒ වගේම පෘථිවියට ළඟින්ම පිහිටල තියන ග්‍රහයා තමයි සිකුරු. ඉංග්‍රීසියෙන් කියනව නම් Venus (වීනස්). චුටි කාලෙ ඉඳන්ම අපි අහසෙ නිතර දකින තරුවක් තමයි මේ. උදේට නැගෙනහිර අහසේ 'පහන් තරුව' විදිහටත්, හවසට බටහිට අහසේ, 'ඉරබට තරුව' විදිහටත් පෙනී ඉන්නෙ සිකුරු ග්‍රහයමයි.


සිකුරු ගැන විද්‍යාත්මක පදනමෙන් කතා කරනව නම්, ඒ මත උෂ්නත්වය කෙල්වින් 735 (සෙල්සියස් අංශක 462, ෆැරන්හයිඩ් 863ක් ) පමන වෙනවා. භූ මට්ටමෙ වායු පීඩනය් පෘථිවියෙ මෙන් 92 ගුනයක් වන අතර, වායුගොලයෙන් 96%ක් කාබන් ඩයොක්සයිඩ්, 3.5%ක් නයිට්‍රජන් ද, අමතරව, සල්ෆර් ඩයොක්සයිඩ්, ආගන්, ජලවාෂ්ප, කාබන් මොනොක්සයිඩ්, හීලියම්, සහ නියොන් අඩංගු වෙනවා. සිකුරු මත වර්ශයක් පෘථිවි දින 224.65ක් වෙනවා. සූර්යයාට කිලෝමිටර් මිලියන 101ක මධ්‍යන්ය දුරකින් භ්‍රමණය වෙන සිකුරු මත ගුරුත්වජ ත්වරණය තත්පර වර්ගයට මීටර් 8.87ක්. ඒ පෘථිවිය මත වගේ 0.904 ගුණයක්.  සිකුරු මත වස්තුවක ආන්ත ප්‍රවෙගය තත්පරයට කිලෝ මිටර් 10.36ක් පමණ වෙනවා. තවද, කිලෝමිටර් 6.51.8ක අරයක් (පෘථිවියෙ මෙන් 0.9499 ගුණයක් ), වර්ග කිලොමිටර් 4.6 x 10^8ක භූමි ප්‍රමානයක් (පෘථිවිය මෙන් 0.902 ගුණයක් ) සිකුරු ග්‍රහයා සතුයි. සිකුරුගෙ ස්කන්ධය කිලොග්‍රැම් 4.8676 x 10^24 ක්, ඒ කියන්නෙ, පෘථ්විය වගේ 0.815 ගුණයක්. මධ්‍යන්ය ඝනත්වය අතින් ගත්තොත්, 5.243ක විශිෂ්ට ගුරුත්වයක්.

ග්‍රීක මිත්‍යාව පදනම් වෙන්නෙ තරු මත. ට්‍රොජන් වරු, ඔලිම්පස් කඳු මුදුනෙ ඉන්නවයි කියන දෙවි වරු, ඔක්කොම නිර්මාණය වෙන්නෙ තරුත් එක්ක. ඒ වගෙම, අපේ රටේ මූලිකවම යොදාගැනෙන ජෝතිශ්‍යය කටයුතු වල පදනම වෙන්නෙත් තරු සහ ග්‍රහයන්. සිකුරු හෙවත් වීනස් හැඳින්වීම යොදා ගන්නෙ, ස්ත්‍රීත්වය සඳහා යොදා ගන්න ලාන්ඡනයමයි. ඒ කියන්නෙ, චූටි රවුමකට සම්බන්ධ කරමු කුරුසියක ලකුන.
වීනස් ග්‍රහයා හැඳින්වීමට යොදා ගැනෙන ලාංඡනය

අපේ දේ ගැන මුලින් කතා කරමු. සිකුරු ග්‍රහයට ජෝතිශ්‍යයේ ලැබෙන්නෙ කොහොම තැනක්ද? සිකුරු හතේ... සිකුරු, (එහෙමත් නැත්තම්, ශුක්‍ර කියල සිංහලෙන් හඳුන්වන ග්‍රහයා) කෙනෙක්ගෙ ජීවිතේ ආදරය, විවාහය කියන දේවල් වලට මූලිකත්වය දෙන, ඒ දේවල් වලට බලපෑම් කරන ග්‍රහයා හැටියටයි සැලකෙන්නේ. ඒ වගෙම, වෘෂභ, තුලා කියන ලග්න වලට ලග්නාධිපති වෙන්නෙත් ශුක්‍ර, නැත්තම්, සිකුරුයි. ජොතිශ්‍යය හා සිකුරු ගැන කියනව නම් මෙච්චරයි කියල කියල ඉවර කරන්න අමාරුයි.



වීනස් දෙවඟනගෙ අඹන ලද රුවක්
සිකුරු ග්‍රහයා ග්‍රීසියට පැමිනෙන කොට වීනස් බවට පත් වෙනවා. වීනස් දෙවඟන ගැන කවුරුත්  අහල ඇති. අහල නැති අයට දැන ගන්න කියන්නම්. වීනස් දෙවඟන,  රූමත් බවට, ලිංගිකත්වයට, කාමුකත්වයට අධිපති දෙවඟන විදිහටයි වීනස් දෙව්දුව සැලකෙන්නේ. සමහර පොත් වල ඇයව සියුස් (ඔලිම්පස් දෙවිවරු අතර ප්‍රධානත්වයෙන් සැලකෙන්නෙ සියුස් දෙවියන්වයි ) දෙවියන්ගෙ සොයුරියක් හැටියටත්, තවත් පොත් වල ඇය සියුස් දෙවියන්ගෙ දුවක් හැටියත් සැලකෙනවා. වීනස් දෙවඟනගෙ සැමියා ලෙස සැලකෙන්නෙ ඇඩෝනිස්. ඇත්තෙන්ම සැමියා නෙවෙයි. පෙම්වතා. වීනස් දෙවඟන සහ ඇඩෝනිස් ගැන විලියම් ශේක්ශ්පියර් අතින් "Venus and Adonis" කියල පද්‍ය රචනාවකුත් බිහි උනා.  ඒ වගෙම, මල්සරා නැත්තම් අනංගයා කියල හඳුන්වන්නෙ වීනස් දෙවඟනටත් ඇඩෝනිස්ටත් දාව ඉපැදුනු පුතාවයි. ජෝතිශ්‍යයේ එන සිකුරු ග්‍රහයාගේ වගෙ ආදරය අනුකම්පාව වගේ දේවල් නම් වීනස් දෙවඟන ගාව නෑ. නෑ නෙවෙයි. අඩුයි. ඈ කැමති නෑ ඇයට වඩා වෙන කාන්තාවක් ලස්සන වෙනවට. එහෙම කියවෙන පුරාවෘතයක එනවා, වීනස් දෙවඟනට වඩා ලස්සන වුන සයිකි කියල කුමාරිකාවක් ගැන. සයිකි ගැන ඉරිසියා කරපු වීනස් දෙවඟන මල්සරාව පිටත් කරනව, සයිකිට දඬුවම් කරන්න. ඒත් අන්තිමට වෙන්නෙ, මල්සරා සයිකිට ආදරේ කරන්න පටන් ගන්න එක.


වීනස් සහ ඇඩෝනිස්

වීනස් දෙවඟනගෙ අඹන ලද රුවක්

















වීනස් දෙවඟනගේ සිතුවමක්
මේ ලිපිය වටුවා 'අකනිටාව'ට ලිව්ව පළවෙනි එක. ඉතින්, යමක් ගන්න තිබුනා කියල හිතනව නම් කොමෙන්ටුවක් දාල යන්න. ග්‍රීක කතා ගැන තව ඉස්සරහටත් බලමු. කොහොම උනත් වටුවා මේකෙ දාන්න හිතන්නෙ ග්‍රීක කතන්දර විතරක් නම් නෙවෙයි. එහෙනම් වටුවා ගියාවේ.

දත්තයන්, විකීපිඩියා සහ පොත පත ඇසුරින්...

Wednesday, April 16, 2014

අවසානයේ වටුවා ඒ ඇරඹීය



අකනිටා වාසිහු නොකිපෙති. ඔවුහු සොළොස් සහස් කප් ආයු වළඳති. එකිනෙකාට නොදෙවෙනි ප්‍රාඥයෝ වෙති. ඔවුහු අනාගාමි වෙති. අකනිටයේ ආයු වළඳා කෙළවර, අරහත්වය නොලැබතද පිරිනිවෙති.


මා උලුප්පන අකනිටාව, යථෝක්ත අකනිටාවට වඩා බෙහෙවින් වෙසෙස් ය. මේ බ්ලොගය 'අකනිටාව' ලෙස නම් ලබන්නේ, අකනිටා වාසීහු මෙන් මෙහි යනෙන දනෝ, අනාගාමි නිසා හෝ, සොළොස් සහස් ආයු වළඳන නිසා හෝ, නොකිපෙන නිසා හෝ නොව, ප්‍රඥාව එකිනෙකාට නොදෙවෙනි කර ගැනීමට යත්න දරාවි යැයි බලාපොරොත්තුවෙනි. 

අකනිටාවේ අන්තර්ගතය ගැන කීමට මම නොදනිමි. හුදෙක් සිතුවිල්ලක් පමණක් කරණ කොට ගෙන මේ ඇරඹීමි. ඊළඟ වග ගැන බලාපොරොත්තුවෙන් එසේනම් අදට නවතිමි.

මම වටුවා.