Sunday, December 17, 2017

මන්දා කිමද නුඹ මට වූයේ සතුරු




ළඟ තනි නොතනියට හිටි කරකාර බිසෝ
පෙර භව පටන් ආවා නුඹ ලෙසින් යසෝ
ගිය කල අවුලුවා පැල ගින්දරින් ලසෝ
අඳුරුයි අපේ ලෝකෙම මගෙ පුන්චි බිසෝ

මතකයි එදා ආ හැටි නුඹ මෙහි කැන්දා
චිරි චිරි හඬට නෙක අත මල් වැහි රන්දා
පිටවී ගියෙන් නුඹ මා හද දුක කැන්දා
අහසත් නොහී ඉහිලුම් රැය ඉකි බින්දා

ලිග්ගල නුඹට මෙන් මට නොව අකීකරු
නුඹෙ පුළුලුකුල මෙන් නැත කළගෙඩිය හුරු
දකිනා මහිත ළදැරිය හඬනා අයුරු
සනහමි කියා බැව්, මව් ගෙන ගියා හොරු

මට නම් විසිය හැක තනි කම හිතින් දරා
දැරිවිය කොහොම සනහන්ද නිදන තුරා
නැතුවද තෙතක් නුඹගෙ ඔය හිතට අරා
කිම නුඹ ගියේ නොකියා පැදුරටත් හොරා

කැන්දා එදා වීමට ගනඳුරින් දුරු
නින්දා දෙවා පිය මව් මට විය සතුරු
බන්දා පෙමින් රූපෙට නුඹගේ සොඳුරු
මන්දා කිමද නුඹ මට වූයේ සතුරු

Saturday, December 2, 2017

සියල්ලෝම සතුටින් විසිර ගියහ

Image result for leave me

සියල්ලෝම සතුටින් විසිර ගියහ. මම පමණක් තනි වූයෙමි. ඇන්ඩෲ වත් අද මා අසල නැතිය. ඇන්ඩෲ නම් මගේ සුරතල් බල්ලා ය. සති දෙකකට පෙර අපේ බල්ලාය. සතියකට පෙර පටන් මගේ බල්ලා ය. මට දැන් ඇන්ඩෲට උත්තම පුරුෂ බහුවචනයේ 'සම්බන්ධ විභක්ති' අර්තයෙන් ඇමතීමට හිත නොදේ. එකක් ඇන්ඩෲ ද දැන් නැති නිසා ය. 'අපි' යැයි කීමට කිසිවකුත් මා සමග නැති නිසාය. ආලිදයේ හාන්සි පුටුවට බරව ඔහේ මිදුල දෙස බලා හිඳිනු විනා කිරීමට කිසිත් ද මට නැතිය. සුමනා උදේ පැමිණ දවල්ටත් ඇති පදම් බතක් උයා මාලුවක් දෙකක් ද සාදා ගියාය. අහල පහල ඈයෝද උදේ අස් පස් කිරීමට උදව් වී සිට පිටව ගියෝය. ඉතින් නිවසේ මා පමණකි.

"අම්මගෙ හිතුවක්කාර කම. ඇයි බැරි අපිත් එක්ක ඉන්න එන්න?" මා බාල පුත්, සඳමිණ මගෙන් ඇසුවද, සියුම් හිනාවක් දක්වනු විනා ඉන් එහා කීමට යමක් මට නොවීය. සැබැවින්ම ඒ මගේ හිතුවක්කාර කමද විය හැකිය. සඳමිණ ලා පිටවගියේ අද උදේ පාන්දරමය. දෙවන දැරිවිය, කස්තුරි ඊයෙ හවසම ගියේ සිය සැමියාට නිවාඩු නැති නිසාය. 

"අම්මෙ, මෙහෙ තට්ට තනියම ඉන්න ඕනෙ නෑ. අම්ම එන්න අපේ ගෙදර. අපේ පුතත් කැමති අම්ම එනවට. අනික එහෙත් අපි විතරනෙ. සංජය කිව්වෙම අම්මව එක්කගෙන එන්නම කියල, මේ ගේ දොර වහල දාලා." කස්තුරි මා හා කීවාය. ඒ දානෙ අහවර කොට හවස තේ කෝප්පයක් තොල ගාන ගමන්ය. 

"මේ ගේ වහල කොහොමද? අනික... මට එහෙම පාලුවක් නෑ. ඔස්ටින් අන්තිම කාලෙ කොහොමත් එක් තැන් වෙලා හිටියේ. මම ඉතින් ඔක්කොම තනියෙන් කරගත්තෙ. ඊටත් හදිස්සියකදි උදව්වට සුමන එහෙම අහල පහල ඉන්නෙ." මම කස්තුරි දෙස නොබලාම කීවෙමි.

"මෙච්චර කියද්දිත් තියන හිතුවක්කාරකම. මෙහෙ අහල පහල ඉන්න එකාලට අම්මව බලන්න, මොකෝ අපි නැතුවද. ඇයි කියන එකක් නාහන්නෙ?" කස්තුරිගෙ වචන නොකඩවා පිටවෙයි.

"ඉතින් මට තවම බැරි නෑනෙ කස්තුරි. මාත් එකතැන් වෙච්ච කාලෙක එන්නම් ළමයි ගාවට." මම සිනාසුනෙමි. "ඊටත්, තාම මගෙ අත පය හයිය තියනවා. අනික මේ ගෙවල් දොරවල් පාලුවට ඇරල තියන්නෙ, මොන හිතකින්ද" මම ගේ දොර පෙන්නා ඇගෙන් බේරෙන්න සිතුවද, ගේ දොර ඉඩකඩම් වලට මගේ කිසි බැඳීමක් හෝ ආශාවක් නොවේ. සියල්ල දරු මුණුබුරන් හට පවරා හමාරය. නමුත් ඔවුහු ඒ කිසිවක් භුක්ති නොවිඳිති.

"අම්මගෙත් ලෝබ කම. මේ කැලෑ මැද්දෙ ගෙවල් පරිස්සම් කර කර ඉන්නැතුව යන්න ලෑස්ති වෙන්න" කස්තුරි එසේ කිව්වද, මගේ කැමැත්තකින් තොරව ඈ මා රැගෙන නොයන්නීය.

චන්නට අප්පච්චිගේ මළගමට එන්න වූයේ නැත. එහෙත් දිනපතා කතා කර විස්තර අඩු පාඩු ඇසුවේය. මට පමණක් නොව, කස්තුරිටද කතා කළ බව කස්තුරි මා හා කීවාය. 

"ලොකු අයියට මෙහෙ නාවට, හිතට කැක්කුමයි. ඊයෙ දෙපාරක් මට කතා කළා. අද උදෙත් තුන් පාරක් ගත්තා." කස්තුරි කීවාය.

"චන්න මටත් කතා කරා කීප වතාවක්ම. පව්. ඒ දරුවට අප්පච්චිගෙ මූණ දැකගන්න බැරි උණානෙ, අන්තිම වෙලාවෙවත්!" මම ඇයට කීවෙමි.

චන්න මගේ වැඩිමල් පුතණුවන්ය. ඔහු දැන් කැනඩාවේ පදිංචියට ගොස් වසර දහයක් පමණ වෙයි. චන්න උපන් දා පටන් ඔස්ටිනුත්, මමත් දැඩි සේ පරිස්සම් කළෙමු. ඔස්ටින් අනෙක් දෙදෙනාටත් වඩා ආදරේ කළේ චන්නටය. ඔස්ටින් ඔත්පලව උන් අවසන් සමයේ ඇසුවේද චන්න එනවාද කියා පමණය. දරුවන් වදා, දරුවන් හදා ඔවුන් තම තමන්ගේ ලෝක සොයා කුරුළු කැදැල්ලෙන් ඉගිලෙන කුරුලු පැටවුන් සේ දැක, 'මගේය' කියා ආත්මීය බැඳීමක් නොගෙන, ඔවුන් වැදූ හැදූ සතුට පමණක් හිතේ දරා උපේක්ෂාවෙන් ඔවුන් දෙස බැලීම මා ප්‍රගුණ කොට තිබුණද, ඔස්ටින් ඒ කිසිත්, කිසි දාක නොසිතුවේ ය. අම්මා කෙනෙකු ලෙස දරු දුකක් නැත්තියක ලෙස කිසිවකු මා හට ගැරහීමට ඉඩ ඇත. සාධාරණය! ඔස්ටින් හා සසඳන කළ මා දාරක ස්නේහයෙන් ඔහු හා සම තැන් තිබීමට නොහැකිය. කිසිම පියෙකු තුල නොවූ විරූ පීතෲත්වයක් ඔස්ටින් තුල මම දුටිමි. ඔහු සිය දරුවන් නො වැදුවා, කිරි නුදුන්නා පමණය. ඉදින්, මම ඔහු තුලින් පියෙකු මෙන්ම මවක ද දුටුවෙමි. 

චන්න කුස පිළිසිඳ ගත් දා පටන් වෙනදාටත් වඩා ලියන්නට, කියවන්නට මම හුරු වීමි. ඒ ගත් ත්වරණය, නොනවත්වා අද මේ මොහොත වන තෙක්ම ගෙන එන්නට ඔස්ටින් දුන් සහය ද අපමණය. මම දරුවන්ට මෙන්ම පොත්පත් වලට ආදරය කළෙමි. මගෙන් දරුවන්ට ආදරය යම් ප්‍රමාණයක් අඩු වූවා නම් ඒ අඩුව ඔස්ටින් නොපිරිහෙලා පිරවූ බව මම ඉඳුරාම දනිමි.

කෙසේ වෙතත් දැන් මා පමණක් නිවස තුල තනිවී ඇත. මම සුසුමක් හෙළීමි. දරුවන් වෙතට ගොස් ඔවුනට වදයක් වීමට මට සිත් නොදේ. ඔවුන් ඔවුන්ගේ ලෝක තුල තනි විය යුතුය. මා තුන් වැන්නෙක් විය යුතු නැත. ඔස්ටින් පවා ජීවතුන් අතර සිටියදී පැවසුවේ, දරුවන්ට කරදර නොකළ යුතු බවත්, අවැසි විට ඔවුන් අපට සළකාවි කියාත් ය. ඉදින්, ඔස්ටින්ගේ වචන මම පිළිපදිමි. කෙසේ නමුත් ඔස්ටින් හෝ මම දරුවන්ගේ සැළකිලි බලාපොරොත්තු නොවීමු. මම ද එසේ බලාපොරොත්තු නොවෙමි.

චන්න ඉපිද, සිව් වරකින් නැවත මම ගැබ් ගත්තෙමි. නමුත්, හය හත් මසකින් පමණ, ගැබේ නිසල වීම්කින් ඔස්ටිනුත් මමත් බිය වීමු. ඒ දරු සම්පත අපට අහිමි විය. ඔහුට මව පියා වීමට අප පින් නො කොට තිබුණා හෝ අප දෙදෙනට පුතකු වන්නට ඔහු පින් නො කොට තිබුණා දැයි අපි නො දනිමු. එදා, මා හිත හයිය කොට සිටියදී වුව, ඔස්ටින් මා බදාගෙන හැඬුවා මතකය. ‍යළිත් අපට දරු සම්පත් ලැබීමට ඉඩ අඩු බව ඒ වෛද්‍යයවරු කීවද, ඉන් තුන් වසරක් ගිය තැනේදී කස්තුරි උපන්නාය. කස්තුරි ගේ උපත නිවසට එළියක් විය. ඈ දඟ කාරියකි. චන්න තැන්පත් ඇවතුම් පැවතුම් ඇත්තෙකි. චන්නවද අවුස්සමින් රණ්ඩු දබර කිරීම කස්තුරිගේ සතුට විය. එහෙත්, දෙදෙනාට දෙදෙනා ඉතා මිතුරුය.

සඳමිණ මා කුසට පැමිණියේ කස්තුරිගෙන් වසර දහයකුත් මාස හයක් ගත වූ තැනය. කස්තුරිට ඒ හැටි තේරුමක් නොතිබුණත්, චන්නට සඳමිණගේ පැමිණීම ගැන පැහැදීමක් නොතිබුණේ ඔහු තේරෙන වයසේ සිටි නිසා විය යුතුය. කස්තුරිව කුස දරා සිටියදී නම් චන්න නොයෙක් ප්‍රශ්ණ මගෙනුත්, ඔස්ටින්ගෙනුත් ඇසුවේය.

"ඇයි අප්පච්චි අම්මගෙ බඩ ඔය හැටි ලොකු?" ඒ චන්න ය.

"අම්ම ගොඩාක් බත් කනවනෙ පුතේ" ඒ ඔස්ටින් ය.

"ඉතින් අප්පච්චි, අම්ම කන්නෙත් මම කන පිඟානෙමනෙ. මම කන ගානමනෙ. මගේ බඩ කොච්චර කෑවත් මෙච්චරම තමයි"

"පුතා කන කෑම ටිකෙන් වෙන්නෙ පුතා උස යන එක. උස ගිහින් ඉවර උණාම තමයි කන කෑම වලින් බණ්ඩි ගෙඩිය ලොකු වෙන්නෙ. අම්ම දැන් උස ගිහින් ඉවරනෙ. දැන් ඉතින් අම්ම කන ඒව ඔක්කොම බන්ඩි ගෙඩියට යන්නෙ, ඒකයි බණ්ඩිය ඔච්චර ලොකු වෙන්නෙ" ඔස්ටින් චන්නව රවටයි.

චන්න නැති තැන මම ඔස්ටින්ට චන්නව රවටන්න එපා යැයි පැහැදුවෙමි.

"මාග්‍රට් කියන්නෙ ළමයට බොරු කියන්න එපා කියල ද? එහෙනම් ඇත්තම කියන්නද කියන්නෙ?"

"නෑ ඔස්ටින්, බොරුවක් කීවත් ඔය හැටි බොරු කියන්න එපා. බඩ ලොකු මොකද ඇහුවම, බඩ ඇතුලෙ බබෙක් ඉන්නවයි කියන්න."

"ඊට පස්සෙ බඩට බබාල කොයින්දයි, අම්ම බබාලව ගිලිනවදැයි ඇහුවම ඔව්වට බෑ ඔන්න මට නම් උත්තර දෙන්න" ඔස්ටින් මහහඬින් හිනැහෙයි. මමද ඊට එක් වෙමි.

පසුව, දූ ඉපදීමට කිට්ටුව මම චන්නට කුසෙහි සිය නැගණිය සිටින බව පැවසුවෙමි. ඉන් එහා ඔහු කිසිත් නොඇසීය. "අප්පච්චි බොරු නේද කිව්වෙ?" චන්න ඇසීය.

"නෑ... අප්පච්චි කිව්ව එකත් ඇත්ත. ඒත්... ඔන්න අම්මගෙ බඩ ඇතුලෙ, පුතාට නංගියෙකුත් ඉන්නවා." චන්න නංගී පිළිගැනීමට සතුටින් සැරසුනේය.

සඳමිණ මා කුසේ දරා සිටින විට චන්න බඩ ලොකු ඇයි දැයි ඇසීමට තරම් නො දරුවකු නොවූ නිසාවෙන්, ඒ ගැන චන්න ඉන්න තැනක කතා කිරීමට පවා ඔස්ටින් මැලි වූවේය. චන්නගේ හිත මම කවදාක වුව කියවූයෙමි. කස්තුර කුස දරා සිටි අවධියේ චඟේ හැසිරීමත් සඳමිනව කුස දරා සිටියදී චන්නගේ හැසිරීමත් මම විනවිදිමි.

"ලොකු පුතාට මතකද, නංගි හම්බෙන්න ඉන්දෙද්දි පුතා මගෙ බඩට කන තියල නංගිව ඇහෙනවද බැලුව? ඇයි දැන් එහෙම බලන්න ආසා නැද්ද?"

"ම්ම්ම්... නෑ... එහෙම එකක් නෑ."

"පුතා කැමති නැද්ද, අලුතෙන් එන මල්ලියට"

"කැමතියි."

"එහෙනම් කතා නොකරන්නෙ ඇයි මල්ලි එක්ක?"

"නෑ ඉතින්... යාලුවො මට විහිලු කරනවා. මම ළමයි හදන්න ඕනෙ කාලෙ උඹේ අම්මට ළමයි හම්බෙනව කියල"

මම චන්නව තුරුලට ගත්තෙමි. 

"මගෙ පුතා හිතන්නෙත්, මේ පුතා ළමයි හදන්න ඕනෙ කාලෙ කියලද?"

"නෑ..." 

"එහෙනම්..."

"ඒත් යාලුවො විහිළු කරද්දි දුකයි"

"මගෙ පුතේ, පුතා දන්නවද ගැහැණු කෙනෙක්ට ලැබෙන හොඳම දේ මොකද්ද කියල?"

"නෑ මොකද්ද?"

"අම්ම කෙනෙක් වෙන්න ලැබෙන එක"

"ඉතින් අම්ම කොහොමත් අම්ම කෙනෙක්නෙ"

"ඒ මගෙ පුතාටයි, පුතාගෙ නංගිටයිනෙ. තව මල්ලියෙකුත් ආවම, අම්මට ඒ මල්ලිටත් අම්මෙක් වෙන්න පුලුවන්"

චන්න කිසිත් නොකිව්වේය. එහෙත්, ඔහු කස්තුරිටත් වඩා සඳමිණට ආදරේ කරන්නට පටන් ගත්තේය. චන්න විටෙක සඳමිණට අයියෙක් ලෙසත්, විටෙක් අප්පච්චි කෙනෙක් ලෙසත් සිටියේය. ඉදින්, මා දරු බරින් තවත් නිදහස් විය.

කාලය විදුලි වේගයෙන් හමා යන බව මේ මොහොතේ සිට ආපස්සට හැරි ආවර්ජනය කරන කළ මට සිතේ. සඳමිණට දැන් විසි අටකි. මට දැන් හැත්තෑ හතරකි. ඔස්ටින් ජීවතුන් අතර සිටියේ නම් ලබන මාසයේ හැත්තෑ නව වැන්න සමරන්නට තිබිණි. එහෙත්, යන්නට කාලය ආ විට යන්නට සිදු වන්නේය.

ඇන්ඩෲ ඔස්ටින්ගේ සුරතලාය. ඔස්ටින් ඔත්පලව උන්නද, ඇන්ඩෲ කෙරෙ ඉමහත් කරුණාවක් ඔස්ටින් තුල විය. ඇන්ඩෲ ද එසේමය. ඔස්ටින් අසලම දැවටෙමින්, ඔස්ටින් අසලට කිසි ආගන්තුකයෙකුට ළං වෙන්නට හෝ ඉඩ නොදෙමින්, ඉතා ආදරෙන් සිටියේය. ඔස්ටින්ගේ මිය යාමත් සමග ඇන්ඩෲ ද දරුණු ලෙස අසනීපව හිඳ, ඔස්ටින් භූමදාන කොට දෙවැනි දිනයේ ඇන්ඩෲ ද පරලෝ සැපත් වූවේය. 

සියල්ල බැඳීම්ය. අතීතය බැඳී ඇත්තේ වර්තමානයටය. වර්තමානය බැඳී ඇත්තේ අනාගතයටය. එනම්, අතීතය අනාගතයට බැඳි පවතී. මම දරුවන්ටද, දරුවන් මටද, මම ඔස්ටින්ද, ඔස්ටින් ඇන්ඩෲ ටද ආදි වශයෙන් සියල්ලෝ සියල්ලන්ට බැඳී සිටින්නෙමු. බැඳීම් මත නැවත නැවතත් බැඳෙන්නෙමු. බැඳිම් ලිහා ගැන්මට නොහැකි නම්, අවම වශයෙන් බැඳීම් බැඳීම් ලෙස දැකිය යුතුය. නො එසේ නම් ජීවිතය ගලා යාම අපහසු වනවා නො අනුමානය.

මම තවමත් හාන්සි පුටුව මතය. මිදුලට රාස්සිගේ අව්ව වැටී ඇන්තූරියම් මල් මලානිකව ගොස් තිබේ. ඔස්ටින් වවා තිබූ තණ කොළ යාය, දැන් වත්ත පුරා වැසී ගොස්ය. සියල්ල තාවකාලිකය. කිසිත් කැමති සේ නොපවත්නේය. හැලහැප්පීම් මැද ගෙවා ආ ජීවිතය, යළි යළිත් සිහි කරන විට තරම් සුවයක්, ඒ ඒ සංධිස්ථාන පසු කරන විට ඔස්ටින් හෝ මම අත් නොවින්දෙමු. නොබෝ දිනකින් මටද, ඔස්ටින් අමතනු ඇත. ඔහු වෙත යාමට මා සූදානම් විය යුතුය. නැත! යළිත් ඔහු වෙත නොයන්නෙමි. මම මෙහිම නිවෙන්නෙමි. එහෙත්, නිවෙන්නට නොහැකි වුවහොත්? ඔව්. යම් හෙයකින් එසේ නො නිවුනහොත්, මම ඔස්ටින් වෙත යමි! යළිත් මුල සිට අරඹමි.

නිමි.

Sunday, November 5, 2017

දවසක

මං මැරුණම නාඬා ඉන්න
ඒ ඇති හිත හදා ගන්න
ඔය ඇස් අග කඳුලු බිංදු
බෑ දැක දැක පලා යන්න


නුඹ නුබ මත තරුව වෙන්න
මම සඳ දිය දහර දෙන්න
අමාවකට ළඟ නැතිකොට
එපා අඳුර තුල ගිලෙන්න


රෝස කැකුළ නුඹම වෙන්න
මා ඒ මත බඹරු වෙන්න
පින් මදිවැති ඔය මල් රොන්
ආදරයෙන් උරා බොන්න


මල මත පිණි බිම හලන්න
මල් පෙති මුකුලිත කරන්න
මම නැතුවට එපා මලේ
අකාලයේ පරව යන්න

Saturday, November 4, 2017

නිර්නාමික xvi

ඇත්තටම ලියන්න පටන් ගත්තෙ, මොනා හරි ලියන්න හිතිච්ච නිසා මිසක්, ලියන්න දෙයක් තිබිච්ච නිසා නෙවෙයි. මොනාද ලියන්නෙ? ආදර කතාවක්? නැත්තම්, නිර්නාමික එකේ තවත් කොටසක්? මේධලා, තිවංකලා මොනා කරනවා ඇත්ද? වැඩක් නෑ. අනුන් ගැන ලියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. නැද්ද මම කියන්නෙ?

අලුතෙන්ම කතාවක් ලියන්න හිතුනත් මොකද්ද ලියන්නෙ? කවුරු ගැනද? කථා නායකයාට දාන නම මොකද්ද? මම කල්පනා කලා. හිත ඇතුලෙ නම් පෝලිමක් පෙල ගැහුනා. කසුන්? එපා. හැමතැනම කසුන් ල. වෙන... නදීර? නදීර කියල මට යාලුවෙක් හිටිය ඉස්කෝලෙ යන කාලෙ. එපා. ඒක කතාවකට ගැලපෙන්නෙ නෑ. රැඩිකල් නමක්? ම්ම්ම්... චන්න? චන්න කොහෙද රැඩිකල්? කන්චුක? කන්චුක? ඒක නමක් ද? රජ කතාවකට හොඳයි. එහෙම ඒව ලියවෙන්නෙ නෑ. තිවංක නිර්නාමික එකෙත් ඉන්න නිසා, එයාව ආයෙ ගන්න බෑ. ඒත්, තිවංක... මේධා... තාමත් කෙළවරක් නෑ. වෙන කතා කියන්න කලින් තිවංකලාගෙ කතාව ඉවර කරමු.

*****

තිවංක සිදුවීම් අතර අතරමංව හුන්නේය. සරළවම කියතොත්, 'ආතක් පාතක්' නැතිව සිටියේය. කෙළවරක් සොයා ගත නොහී සිතුවිලි සමුදායක අතරමන්ව හුන්නේය. පෙර දිනවල දුටු සිහින වල අරුත් සිතන්නට පුරුදු විය. එහෙත් ඉන් පලක් නොදිටීය. පාසල් යාමේ උනන්දුවක් ද නොවීය.

රටා පැදුර මත එක් ඇලයක්ට බර වී හුන් තිවංක ඉන් නො නැගිටම, දබරැගිල්ල පැදුරේ රටා දිගේ ගෙන යන්නට විය. කුරුල්ලෝ කෑ ගසනු කන වැකුණද, පැදුරෙන් නො නැගිට එහිම හුන්නේය.

"අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද?" අම්ම තිවංකගෙන් ඇසුවාය. ඈ තම සුපුරුදු චීත්තය බෙල්ලේ රුවා සිටියාය.

"අද බෑ වගේ" තිවංක හිටිවනම ඇයට කිව්වේය.

"අනේ මන්ද... උඹත් මොන මොනා කරන්න හිතන් ඉන්නවද කියල. මට තේරෙන්නෙ නෑ." ඈ එතනින් පිටව ගිය බව හඬේ අඩු වීමෙන් වටහා ගත් තිවංක, පැදුරෙන් නැගිට ඒ මතම මැටි බිත්තියට වාරු දී හිඳ ගත්තේය. තිවංක තීරණයක් ගත යුතුය. ඔහු කල්පනා කරන්නට වන්නේය. සිය ජීවිතය මෙතෙක් ගෙවූ සැටි, ඒ අතීතය දුක විඳවූ සැටි, අම්මා ඔහු උස්මහත් කළ සැටි, සිනමා පටයක මෙන් ඔහු ඉදිරියේ දෘශ්‍යමාන වන්නට විය. මේධා හමු වූ දා පටන්, ඇය හා මිතුරු වූ සැටි, ඈ පාඩම් කියා දුන් සැටි, ඇගේ බැල්ම, කැල්ම සිය සිත සොරකම් කළ සැටි, ඔහුට පසක් වන්නට විය. ඒ සොරකම නිසා තවමත් තමන් විඳවන සැටිද ඔහු සිතන්නට විය.

තිවංක ඉස්කෝලෙ නොයන බව සිතා අහවරය. දවසම පැදුර මතම වැඩි වේලාවක් ගත කළේය. මිදුලටවත් නො බැස දවසම අලසව පැදුර මත ගත කලෙන්, හෙට කෙසේ හෝ පාසලට යන බව තරයේ අදිටන් කරගත්තේ, 'බකන් නිලාගන' වඩා පාසලේ හිඳීමත් එකක් යැයි පසක් වූ නිසාය.

පසු දින පාසලට වෙනදා මෙන් තිවංක පිටත් වූයේ කිසිදු බලාපොරොත්තුවකින් තොරවය. එහෙත්, බලපොරොත්තු සියල්ල දැල්වුනේ, පන්ති කාමරයේ වෙනසක් දුටුව හෙයිනි. වෙනදා හිස්ව තිබූ මේධාගේ මේසය මත ඇගේ පොත් බෑගය තිබෙනු තිවංකගේ ඇස ගැටිනි.

පන්තිය තුල වෙන කිසිවකුද නොටියේ, තවමත් පාන්දර වැඩි නිසා විය යුතුය. තිවංක සිය පුටුව වෙත ගොස් හිඳ ගත්තේය.

"තිවංක" මේධා කොහේදෝ සිට හති ලමින් පන්තියට දුව ආවාය. තිවංකද ඇය ඉදිරියට කඩි මුඩියේ දිව ගියේය.

"මේධා? මොකද මේ වෙන්නෙ?"

"තිවංක... මට සමා වෙන්න. මම හින්ද මේ හැම දේම. "

"එහෙම නෑ. මගේත් වරද"

"ආයෙ මම ඉස්කෝලෙ එන්නෙ නෑ තිවංක. තව ටික දවසනෙ විභාගෙට. ගෙදරින් එන්න දෙන්නෙ නෑ. අද බොහොම අමාරුවෙන් කියල ආවෙ. ඔයාව බලන්නම. ඒත් බය උණා. ඊයෙත් තිවංක ආවෙ නැති විත්තියක් උදේ ආරංචි උණා."

"මම දන්නෙ නෑ... මට තේරෙන්නෙ නෑ!"

"මට තේරෙන්නෙත් නෑ" තිවංකට මේධාගේ අත ඇල්ලිමට සිත් වුවත් එකම වරද තවත් වරක් කිරීමට තරම් සිතක් නොවේ. ළමුන් එකා දෙන්නා ඈතින් පන්තියට ඇදෙන්නට විය. තිවංකත් මේධාත් තම තමන්ගේ අසුන් වල හිඳ ගත්හ. දෙදෙනා ඉදිරියේ හදවතේ කොටස් නම් කල රුව දිස් වෙයි. මේධා තිවංක දෙස බලනු, තිවංකට ඇස් කොණකින් පෙනුනද, තිවංක ඒ නුදුටු සේ බිත්තියේ වූ හදවත දෙසම බලාන හුන්නේය.

ඉදිරිය අපැහැදිලිය. තවත් පැහැදිලි කරගත යුතුය.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xvii

Tuesday, October 3, 2017

නිර්නාමික xv

මම ඉස්කෝලෙ ගියෙ ගෙදර ඉන්න බැරි කමට. යන්න ඕනෙ කමක් නැතත්, ගෙදර ඉන්නත් ඕනෙ කමක් තිබ්බෙ නෑ. මම ඔහේ ඉස්කෝලෙට ගියා. ඉස්කෝලෙ ළමයි මම දිහා අමුතු විදිහට බලනව වගේ මට දැනුණත් ඒක නොදැනුනා වගේ ඉන්න මට පුලුවන් උණා. කලින් දවසෙ උන දේවල් හැමෝම අකුරක් නෑර මටත් වඩා හොඳින් දන්න බව මමත් දැන උන්නා.

වත්සලා මගෙ ගාවට දුවගන ආවෙ මම පන්තියට ඇතුල් වෙනවත් එක්කම.

"තිවංක දන්නවද? අන්න ඊයෙ මේධට අප්පච්චි ගහල. ඉස්පිරිතාලෙ නවත්තල."

"මොනව? ඉස්පිරිතාලෙ නවත්තන්න තරම් ගහලද?" ස්වර්ණා ත් මා ගාවට ආවා.

"මටත් ආරන්චි. තිවංක ගියෙ නැතිද බලන්නවත්?" කාංචනා මගෙන් ඇහුවා. මම කිසිම දෙයක් කිවෙ නෑ. ඇත්තටම මේ වෙද්දි මගෙ සිතුවිලි ඉවර වෙලයි තිබුණේ. ඊයෙ තරම් විපස්සනාවකට දැහැන් ගත නොවුණත්, කඩා නොවැටෙන්න තරම් හයියක් හිතේ තිබුණ එක මට සතුටක්, එක විදියක.

"ඔය කියනකල් මම දන්නෙ නෑ... පුලුවන් උනොත් ගිහින් බලන්නම්" මම කට්ටියටම පොදුවෙ උත්තරයක් දීල පුටුවෙන් ඉඳ ගත්තා.

"පුළුවන් උණොත් නෙවෙයි. තිවංක යන්න" කාංචනා මගේ ගාවට ඇවිත් කිව්වා.

"එක තමයි තිවංක... ඔයා යන්න. කොච්චර උණත් මේධාට සතුටු හිතෙයි තිවංක දැක්කොත්" ස්වර්ණාත් තව ලුණු ඇඹුල් එකතු කලා. මේධානිව කොහොම හරි බලනව කියල හිතේ ආශාවක දල්ලක් හෙමීට හට ගත්තෙ මටත් නොදැනුවත්වම.

එදා ඉස්කෝලෙ ඉවර වෙනකල් බලන් හිටියේ හරිම උනන්දුවකින්. වෙනද තියන බයෝ පන්ති එදාට නෑ. මේධා නැති  නිසා. එදා කලින් ඉස්කෝලෙත් ඉවර උණා. හරියට මෙධා බලන්න යන එකට හැමෝම උදව් කරනව වගේ හිතට අස්වැසුමක් ලැබුණේ ඒකෙන්. ඉස්කෝලෙ ඉඳන් ඉස්පිරිතාලෙට වෙලෙන් පැනල ගියොත් මිනිත්තු 5ක දුරනෙ. ඉතින් මේධාව බලන අරමුණ ඉෂ්ඨ කර ගන්න ඉස්පිරිතාලෙට ගොඩ උණා.

"ඇයි උඹ මෙහෙ ආවෙ? කාව බලන්නද?" මම වාට්ටුවට එබෙනවත් එක්කම පිටිපස්සෙන් ඇවිත් කරට අත තිබ්බෙ දැකල හුරු මනුස්සයෙක්. වෙන කවුරුත් නෙවෙයි. මේධාගෙ තාත්තා.

මට කියන දෙයක් නැති උණා. මම ඔහේ බිම බලාගන හිටියෙ ඇත්තටම කියන්න දෙයක් නැතිව.

"මම ආවෙ මේධා බලන්න තාත්තෙ...!" කියල කියන්න හිතුනත්, ඒක තවත් ප්‍රශ්ණ ගොඩක මුල කියල තේරුණා. මුකුත් නොකියා උණත්, මේ වෙද්දිම සෑහෙන්න ප්‍රශ්ණ ගොඩක් කඩා පාත් වෙලා ඉවරයි කියලත් තේරුණා.

"උඹ ආවෙ මගෙ දූ ව බලන්න නම් කරුණා කරල ආපු අතක් බලාන ආපහු පලයන්" තාත්ත එහෙම කිවේ මගෙ දිහාවට ඇඟිල්ලක් උරුක් කරගනමයි. මම ඇඟිල්ල දිහාත් මුණ දිහාත් මාරුවෙන් මාරුවට බලල බිම බලාන ඉස්පිරිතාලෙන් එළියට ආවා.

එදා මට මේධානිව බලන්න ලැබුනෙ නෑ.

හවස කාංචනා මේධාව බලන්න ඉස්පිරිතාලෙට ගිහින් තිබ්බ. මම පහුවදා ඉස්කෝලෙදි කාංචනා විස්තරේ කිව්වෙ.

"මේධාට අප්පච්චි හොඳටම ගහල. එදා ලොකු සර් කතා කල දවසේ. ඉන් පස්සෙ මේකි කාමරේට ගිහින් දොර වහන් ඉඳල දවසක්ම." කාංචනා ඇස් කරකව කරකව කිව්වා. මම ඒ හැටි උනන්දුවක් පෙන්නුවෙ නැතුවත්, ඒ කතාව අහන්න මම උනන්දු බව මගෙ හිතත්, ඒ වගෙම කාංචනාත් දැනගන හිටියා. එතන ස්වර්ණා එහෙමත් විස්තරේ අහන් හිටියේ.

"පිස්සුද බන් මේකිට...." ස්වර්ණාත් මැද්දෙන් වචන දෙක තුනක් දැම්ම.

"ඔව් බං. කිව්වට වැඩක් නෑ. පස්සෙ අප්පචි දොර කඩල තියනව පොරවෙන් ගහල. ඒකට බය උන එකයි, දවසක් හාමතේ ඉඳපු එකයි නිසා කෙල්ලට කලන්තෙ දාලා. පස්සෙ අම්ම ඉස්පිරිතාලෙ එක්ක ගිහින්" කාංචනා කතාව අන්තිමේ මම දිහා බැලුවා. මම බිම බලා ගත්තෙ මගෙ මුහුණෙන් මගෙ හිත කියවගන්න කාංචනාට පුලුවන් වෙයි කියල බයක් දැනුන නිසා.

"හ්ම්ම්... තිවංක ඊයෙ බලන්නෙ ගියෙ නැත්තෙ ඇයි?"

"මට බෑ හිතුනා. තව ප්‍රශ්ණ වෙයි ඊට පස්සෙ. අනික අම්මත් ළඟනෙ." ඉස්පිරිතාලෙට ගිහින් තාත්තට මාට්ටු උණ ඒව ගැන මම එයාලට කියන්න ගියෙ නෑ. ඒ හැටි කතාවක් කියන්න තරම් මට උනන්දුවක් තිබ්බෙත් නෑ.

දවස් ගෙවිල ගියා. මේධා මට ආයෙ කවදාවත් හම්බෙන්නෙ නැති වෙයි කියන එක හිත ඇතුලෙ වැඩුන පතාක ගහක් තරම් උණා. ඉතින් හිත හදාගන්න පුරුදු උණා. ඒත්, ඒ සිතුවිලි පාගාන ආයෙත් ආදරේ කියන සිතුවිල්ල හිත ඇතුලෙන් වැඩෙනවා. කිසිම නමක් දෙන්න බැරි විදිහේ ආදරයක්. කවි ලියන්නවත් කතාවක් ලියන්නවත් හිතට මුකුත් එන්නෙ නෑ. කිසිම දේකට කිසිම සම්බන්දයක් නමක් නෑ. හැමදේම නිර්නාමිකයි.

අනාත්මීය ආදරය, යශෝධරා හෝ සිද්ධාර්ත ආයෙ කිසි දවසක මගෙ සිහින වලට එන්නෙ නැති වෙයි. මට ඒ අමුතු සිහින නැති අඩුව තදින් දැනුනා. බිත්තියෙ එල්ලල තිබ්බ හදවතේ කර්ණිකා කෝෂිකා දිගේ මේධාගෙ අතැඟිලි ඇදිල ගිය අපූරුව ආයෙ දකින්න නොලැබෙන එක ගැන හිත කම්පා උණා. මේධාගෙ පන්තියෙ කළු ලෑල්ල මකන්න ගෙනාව හුණු කොට්ටෙ, කලු ලෑල්ලෙ සුදු අකුරු මකන්න එහෙට මෙහෙට යන අපූරුව විතරක් ඉතුරු උණා. ඒ ඉතුරුවත් තවත් වේදනවක් උණා. මේධා එන්නැතුව ඉස්කෝලෙ දවස් ඔක්කොම ඉවර වෙන්න ඔන්න මෙන්න උණා.

රජෝ හරණං... රජෝ හරණං... රජෝ හරණං... හිත මිමිණුවා. හිතේ තියන දුක වේදනාව නැති වෙන්න හිත පිරි මැද්දා. වේදනාව වැඩි උණා විනා, පිරිමැදෙන හිතෙන් කිසිම සහනයක් ලැබුණේ නෑ.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xvi

Tuesday, September 12, 2017

නිර්නාමික xiv

Image result for dark

මම සිහින දකින්නට හුරු වීමි. තිවංක දුටු මනස්ගාත මගේ හීන වලටත් වඩී නම්... මම ඊට පෙරුම් පිරුවෙමි. සාරසංඛ්‍යය කල්ප ලක්ශ කෝටියක් පෙරුම් පුරමින් තිවංකගෙ වෙනුවෙන් මග බලා හිඳ, ඒ පාරමී දම් සැබෑ වී ගව්වක්වත් යාමට මත්තෙන් ඒ බලාපොරොත්තු ලත් ලත් තන්හිම ලොප් වී යාම දරාගත නොහී වේදනාවක් වූ නිසාවෙන්ම, තිවංකගේ මෙන් මගේ සිහින වලට කිසිවකු හෝ වඩිත් නම් යැයි මම තව තවත් පෙරුම් පිරුවෙමි.

"උඹ ඕකෙම ඉන්නද කල්පනාව?" අම්ම දොරකඩ කෑ ගසන්නීය.

මම කිසිත් නොකීවෙමි. කාමරයේ දොර ඇතුලතින්ම අගුලු ලා ගත්තේ පෙරේදා අප්පච්චි කනට ගැසූ වෙලේ පටන්ය. බඩ ඇතුලෙන් ගුරු ගුරු සද්ද ඇසෙන්නේ බඩගින්නටය. එහෙත් බඩගිනි නැතිය. මගේ ප්‍රේම වෘත්තාන්තය මෙතැන් පටන් හුදු බොළඳ කතාවක් නොවේදැයි දැන් දැන් මට පසක් වෙයි. තිවංකට මෙතරම් දුකක් හෝ වේදනාවක් නැති බව මම සක් සුදක් සේ දනිමි.

"ගෙදෙට්ට වෙලා කවියක් ලිය ලිය ඇති..." මම සිතුවෙමි. බාගදා, තිවංක මටත් වඩා වේදනාවෙන් පසුවනවාද විය හැක. අම්මාට උත්තර දිය යුතු නැත. මම කොට්ටයට මුහුණ ඔබා ගතිමි.

"දැන් දවස් දෙකක් කාමරේ... කාලත් නෑ. මහත්තය කියන්නකො ටිකක්... හිතුවක්කාර කමෙත් සීමාවක් තියෙන්න ඕන" අම්මා අප්පච්චිට පවසනු යාන්තමින් ඇසිනි.

"කෙල්ලව හුරතල් කලා නම් ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ..."

"මේ ළමය හාමත් වෙලා ඇත්තෙ. බයත් හිතෙනව. මොනවත් කර ගත්තොත් හෙම...!"

"මොනා කර ගන්නද..."

"මේ ටිකේ අමුතුයි. මට කලිනුත් ඕක ටික ටික තේරුණා. කාමරේ අස්සෙම රිංගාන ඉද්දි... මොකක් හරි හුටපටයක් ඇති කියල"

"මම දන්නෙ නෑ..."

"ළමයෝ... මේ දොර අරිනවද... නැත්තම් කඩල දාන්න..." ආයෙත් අම්මා දොරට තඩි බෑවාය. මම කිසිත් නොකීවෙමි.

"මේධා... අරිනව කිව්වම දොර...! මාව නරක මිනිහ කරන්න එපා...!" අප්පච්චි අම්මා හා එකතු වී දොර කැඩීමට සැරසිනි. මම ඇඳ මතට වී උන්නෙමි.

තිවංකට මා එතරම් ආදරේ කරාවි යැයි මම නො සිතුවෙමි.

එහෙත් මා සිත, මා සිතුවාටත් වඩා තිවංකට ආදරය කරන්නේය. කාලය ගත ව යයි. කල්ප කාලාන්තරයක් මෙන් දැනුනද ගතවන්නේ තත්පර, මිනිත්තු ඉතා සෙමින්ය.

දහ්: දිහ්:

දොරට කිසිවකු වැරෙන් පහර දුන්නේය. ඒ අප්පච්චී විය යුතුය. මම ගැස්සී ඇඳෙන් නැගිට ගතිමි. පොරෝ පහර කිහිපයකින් දොර පසාරු කරගෙන අම්මාත් අප්පච්චිත් මතු විය. අප්පච්චී පොරවද ගෙන මා වෙතට කඩා පැන්නා මතකය. අම්මා මා බේරා ගැනීමට මා වෙතට පැන්නා ද මතකය. ඉන් එහා කිසිත් මට මතක නැත.

ඉස්පිරිතාල වහලේ උළු කැට අතර මකුළු විමානයකි. මම විමතියට පත් වීමි. ඒ ඉස්පිරිතාලය යැයි මා දැන ගත්තේ නහය පසාරු කර ගෙන ආ ඉස්පිරිතාල ගඳ දැනීමත් සමගය. පුදුමයට කරුණක්ද නොවේ. මා තවමත් ජීවතුන් අතර සිටිමි. ඉන්නේ කොහේදැයි දැන ගැන්මට වගක් සැබැවින්ම මට නොතිබුණි. යාන්තම් ඔලුව ඔසවා බැලු කල අම්මා ඇඳ අසල හිඳ සිටිනු දුටුවෙමි. ඈ ඇඳ විට්ටමට හේත්තු වී දෙනෙත් පියාන උන්නාය. ඈ දුකින් පසුවන බව පෙනුණි.

තිවංක කොහේ කුමක් කරන්නේ දැයි කිසිදු හැඟීමක් මට නොදැනිණි. අප්පච්චී කම්මුලට ගැසූ සැටි වරින් වර සිහියට නැගේ. ඒ සිතුවිල්ලත් සමගම කම්මුල ඇදුම් කන්නාක් මෙන් හැඟේ.

"තාම ඉගෙනගෙන ඉවර වෙන්නත් කළිං තෝ මගුල් නටන්න තියා ගත්තද? දන්නෑ මං කවුද කියල...!"

චටාස්!

අප්පච්චි වෙත වෛරයක් නූපදී. නමුත් මා කෙරෙහිම වෛරයක් සිතේ නැතුවාම නොවේ. සියල්ල හොඳටය. කාලය ඉඩ දී බලා සිටිමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xv

Friday, September 1, 2017

නිර්නාමික xiii

මම මේධාට මේ තරම් ආදරේ ඇති කියල කවදාවත් හිතුවෙ නෑ. මේධා මට කැමති වෙයි කියලවත් කවදාවත් හිතුවෙ නෑ. ඒත් අපි දෙන්නා හිතුවට වඩා ගොඩාක් ප්‍රශ්ණ අපි ඉස්සරහට පාත් උණා.

ඉස්කෝලෙ පන්තිය ඇතුලෙ කණින් කොනින් රාවයක් යන්න පටන් ගත්තා. අපි දෙන්න ගැන. ඉස්සර ඉඳන්ම විහිලුවක් විදිහට ඒක තිබ්බත්, ඒ විහිලුව තව දුරටත් අපි දෙන්නට විහිලුවන් උණේ නැත්තේ අපේ හෘද සාක්ෂිය දැනන් උන්න නිසා, ඒක විහිලුවක් නොවෙන බව. හැමදාම හවස බිත්තියේ එල්ලල තිබ්බ හදවතේ කොටස් ඉගැන්නුව මේධාට මම මගේ හදවත ගැන කියල දුන්නා. පළවෙනියටම මේධාගෙ අතින් ඇල්ලුව දවසේ අත ගසල දැම්ම මේධා ම, එයාගෙ අතින් මගේ අත අල්ලගන මම කියපු කතා අහගන හිටියා.

ඒ කාලෙ මගේ හීන වලට සිද්ධාර්ථවත් යශෝධරවත් වැඩියෙ නෑ. ඒ වෙනුවට, මගේ ෆැන්ටසියෙ තිබ්බ මනස්ගාත හීන වලින් පෙනුණා. අනිත් ජෝඩු වලට වගේ ඈත පේන කන්දක පැල්පතක් හදාගන ලුණුයි බතුයි කනවට වඩා තාත්වික හීන මගෙත් මේධාගෙත් ෆැන්ටසියෙ තිබුණා. ඒ ෆැන්ටසියෙ හිරවෙලා පන්තියෙ කාමරේ දොර මුල්ලෙ ඉද්දියි දවසක් ගණිතය සර් ට මාට්ටු උණේ. සර් අපි දෙන්නගෙ ආදර කතාවට හොඳ පෙරවදනක් ලියල, ඉස්කෝලෙ පුරාම පැතිරෙව්වා. ඒ විතරක් නෙවෙයි, මේධගෙයි මගෙයි ගෙවල් වලටත් පණිවිඩේ දෙන්න සර්ට පුලුවන් උණා. අම්මලට කියාගන්න බැරුව හූල්ල හූල්ල හිටිය අපි දෙන්නට සර් කරපු උදව්ව ගැන ලොකු කෘතඥතාවයක් හිතේ තිබුනේ.

ප්‍රින්සිපල් සර් ඉස්සරහ අපේ අම්ම කඳුලු පෙර පෙර අඬාපු හැටි මට හොඳට මතකයි. මේධා එදා එතන හිටියේ නෑ. මේධාගෙ තාත්තා මගෙවත් මගෙ අම්මගෙවත් මූණවත් නොබලා, ප්‍රින්සිපල් සර් එක්ක කතා කරල එළියට ආවා. ඇවිත් මගෙ හිදා මහා නුරුස්සන බැල්මක් දාල යන්න ගියා. ප්‍රින්සිපල් සර් මට ගැහුවෙ නෑ. මම දිහා බලන් හිටියා. අම්ම හොඳටම අඬනවා.

"තිවංකගෙ අම්ම අඬල තේරුමක් නෑ. මේ පොඩි ළමයි නෙවෙයි නේ. නව යොවුන් වියේදි ඔහොම දේවල් දැනෙනවා. හිතෙනවා. අපි දෙමව්පියො ගුරුවරු විදිහට ඒවට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ගහල බැනල විසඳන්න බෑ"

අම්ම කිසිම දෙයක් කිව්වෙ නෑ. අඬන එක නැවැත්තුවෙත් නෑ.

දැන් මට හිතෙනව මම කොහොමද ඒ වෙලෙ හිටියෙ කියල. මට මොනාද දැනුනෙ කියල ඇත්තටම මට මතක නෑ. ඒ වෙලෙ මට දැනුනෙ මම මගේ විඥ්ඥාණය දිහා තුන්වෙනි පාර්ශවයක් විදිහට බලාන හිටිය වගේ. මම මම දිහා බලාන හිටියා. මගේ හිතේ සිතුවිලි දිහා බලාන හිටියා. සිතුවිලි එකක් මත එකක් පෙරළෙන හැටි. වේදනාව එන හැටි. වේදනාව යන හැටි. මටත් නොදැනිම මගේ හිත විපස්සනාවකට දැහැන් ගත වෙලා උන්නේ. අනාත්මය කියනෙ මොකද්ද අනිත්‍යය කියන්නෙ මොකද්ද කියල මට දැනෙනව වගේ. ආයෙ මට මතක් උණා මම කියල කෙනෙක් නැති විත්තිය. ඒක වචන වලින් විස්තර කරන්න බැරි දැහැනක්.

ඒ දැහැනට සමනොවැදෙන්න, ඒදා හවස මම කුඹුක් වැවේ තාවුල්ලෙන් පැනල දිවි නහගන්නත් තිබ්බා. අනාත්මීය ආදරය කියන සිතුවිල්ල ටික ටික අයේ හිත ඇතුලෙ දලුලන්න ගත්තා.

එදා හිතුවේ, ආයේ කවදාවත් මේධා මට දකින්න නොලැබෙයි කියල. මේධා ආයේ කවදාවත් ඉස්කෝලෙ ආවෙ නෑ. මට ඒ ගැන දුකක් දැනුනෙ නෑ. ඒ ඇයි දන්නෙ නෑ. මේධා හිතන්නෙ මොනාද, එයාට දැනෙන්නෙ කොහොමද කියන එක ගැන, මම වෙන වෙලාවක නම් හිතල දුක් වෙන්න තිබ්බා. මම කවියක් ලිව්වා. ඒ කවිය ලිව්වෙ දුකටද කියල දන්නේ නෑ. හිතට ආව සිතුවිලි ලිව්වා. ඒක කවියක් වුණා.

කවක් ලියන්නම් ඔබේ නමින්
ඔබෙ සිනා නැතත් අද මගෙ ළඟින්
පවන් සලන්නම් සුසුම් ලමින්
යලි දකින තුරා මතු දිනක ඉතින්

ගන අඳුරු ඉරා සඳ එබෙන යුරා
නුඹ ලොවට හොරා පෑ ආල නුරා
යළි දකිමි ඉතින් කවදා
නුඹේ ආල හැඟුම් නොමඳා

තරු කැකුලු දරා හිඳි අහස නිරාමිස
සුවය පුරා වැහි කඳුලු පෙරා
නුඹ එයිද දිනෙක මතු දා
මම හඬමි ඉතින් සැමදා

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xiv

Tuesday, July 4, 2017

මාගන්ධියක්, තවත් එක...


මෙත් පිරි දෙනෙත් සිත් ඇද ගත්තා සේමා
සිත් මල පුරා මෙත් නොව පෙම් මල් බෝමා
නෙත් බිම යොමා නොබලා යන්නේ කෝමා
රත් මල වඩින මග හිමි මට ඇති සීමා

ළඳ හිත මගේ පවු කර ඇත්තේය පෙර
හිමි අත ගන්න සිහිනය මට බොහෝ දුර
මුණි වත රකිනු කිම දෙව් රජ ලොවේ සුර
හිමි මත වැටී මිය යාමත් සැපකි තිර

හිත දුක දුරින් දුරු කල සුර නිරින්දේ
වැනි හිමි සඳුනි මා හට සක් රජින්දේ
ගනු හිමි කැමති විට මේ හිත සුරින්දේ
නිවනට නැතිද කල් වැඩි තව නිරින්දේ

හිමි හිත කෙලෙස් දුක කෙරෙහින් දුරු වීද
නුඹෙ අත ගන්න මට මතු භවෙකත් බෑද
කහවත නිසා ඉවසමි දහවල් රෑද
හදවත මගෙ නොගෙන නිවනට යනවාද

Wednesday, June 28, 2017

නිර්නාමික xii

යළිත් මේධා මා හා කතාව කීව නැවැත්වූවාය. ඇයට කිසිත් කීමට නොහැකි බව කී කළ, මම ද ඊට බල නොකළෙමි.

තිවංක මා සමග කී ලෙස මේධා හා තිවංක පෙම් පුවත රෝස මල් යහනාවක් නොවූ අතර, බොහෝ වේදනා දුක් කම් කටොලු මතින් ඇදී ගිය කි. මේධාට කතාව කීමට සිත් නොවීම සාධාරණය. තිවංක මා හමුවන හැම විටම හිනාවක් මවා පා සිය කතාව කියන්නේය. ඒ සිනහව, හුදෙක් සීනි තැවරූ තිත්ත කසාය ගුලියක් වන් බව මට පසක් වී තිබිණි.

"අකලංක, මා එක්ක තරහ වෙන්න එපා. මම කතාව කියන්නම්. ඒත්... සමහර දේවල් මතක් වෙද්දි... දුකයි...!"

"කමක් නෑ මේධා. ඔයා වෙලාව ගන්න. හදිසියක් නෑ. මේධා මුකුත් හිතන්නැත්තම් මම මේ පෙට්ටියෙ තියෙන ඒවා ටිකක් බලන්නද?"

මේධා ටිකක් වෙලා කල්පනා කළාය. "හා... කමක් නෑ." මේධා ඇගේ මතක මංජුසාව මා අතට දුන්නාය. ඒ සැබැවින්ම සුන්දරය.

එහි සිප්පි කටු, රවුමට මැදුනු ගල් කැබලි, නවපු කොළ කැබලි තොගයක් විය.

"මේ ලියුම් තිවංක දුන්නු ඒවද? කවිද?"

"තිවංක මට දුන්නෙ එකම එක කවියයි. ඒ කවි කොලෙත් පස්සෙ අපි දෙන්නෙ යාලු වෙල උන්නු කාළෙ මගෙන් ඉල්ල ගත්ත."

"එතකොට මේව?"

"ඔය මම ලියපුව... තිවංක ඔය එකක්වත් දැකලවත් නෑ. මම කවි ලියන බවක් එයා දන්නෙත් නෑ."

"මං මේකක් කියෙව්වට කමක් නැද්ද?" මම ඇසුවෙමි.

ඈ හිස සලා අනුමත කළාය.

"නුඹ ගියාම දුර ඈතක
ළඟ නැති පාලුව මකන්න
අපි දෙන්නා කියු කතා ලියා තියන්නම්
නුඹේ අතට කඩදහියක ගුලි කර දෙන්නම්

නුඹේ හිතට දුක දැනුනම
මම නැතුවට ළඟ පාතක
තුරුලු වෙන්න කොට්ටෙක මම මලක් මහන්නම්
මල් පොකුරේ මගේ සුවඳ රඳවල දෙන්නම්

නොදැක ඉන්න බැරි හින්දම
නුඹ හොයාන එනකොට මම
කෙහෙල් කොලේ බත් ගෙඩියක් ඔතාන එන්නම්
මගේ ළඟම වාඩි කරන් ඒක කවන්නම්

දවස් මාස සති ගෙවුනම
මාව හිතෙන් මැකුනු දාක
නුඹට හොරා නුඹේ ලොවෙන් මම ඉගිලෙන්නම්
මෙතෙක් ආව වන්දනාව තනියම යන්නම්

- මේධා"

මටත් නොදැනිම මගෙ දෙනෙත් කඳුලින් බර විය.

දරුවා හඬන්නට වූයෙන් මේධා දරුවා නළවමින් කාමරයට ගියාය.

"මේධා මම යන්නම්... වෙන වෙලාවක එන්නම්..." මම ඇයට ඇසෙන සේ කීවෙමි.

"අනේ අකලංක තරහ වෙන්න එපා. වෙන වෙලාවක ආයෙ එන්න..." මේධා ගෙතුල සිට කීවාය.

මම නැගිට මේධාගේ නිවසින් පිට වූයෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xiii

Wednesday, June 21, 2017

නිර්නාමික xi

"මේධා..." මම ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම මේධාට යන්න නොදී නවත්ත ගත්තා. "ඔයා යන්නද හද්න්නෙ?"

"ඔව් තිවංක. කමක් නෑ. කියන්න"

"නෑ... මට ටිකක් කතා කරන්න ඕනෙ"

මේධා කෑම වෙලාවට කලින් බෙල් එක ගහනකොට මගෙ ගාව ඉඳන් කිව්ව එක තාම මගෙ කන් ඇතුලෙ ඇහෙනව වගේ. මම හිතන විදිහ හරි ඇති කියල කියන්නෙ මම හිතන විදිහ දැනගනද? මට තේරෙන්නෙ නෑ.

"කියන්න... පන්තියෙ ඉඳන් කතා කරමුද?"

"හා.."  මම මගෙ පුටුවෙන් ඉඳ ගත්තා. මේධත් මගෙ ඉස්සරහින් ඉඳ ගත්තා. "මේධා!"

"ඔව් තිවංක?"

"අර හදවත මතකද?" මම බිත්තියෙ එල්ලලා තිබ්බ හදවත පෙන්නල ඇහුවා.

"ඔව්..."

"මට හැමදාම හදවතේ කොටස් කියල දුන්න ඔයාගෙ හදවත, කොයි තරම් ලස්සන ඇතිද කියල මගෙ හදවතේ කුතුහලය වැඩි උණා. ඒ නිසයි හදවත මගේ පාළනෙන් මිදිල ඔයා අත අල්ලන්න කියල මට බල කලේ."

වෙනදට මම මෙහෙම එකක් කියද්දි අවඥාවට වගෙ හිනා වෙන, නැත්තම් මොකක් හරි වෙන කතාවක් ඇදල ගන්න මේධා, අද මම දිහා තුශ්නිම්භූත වෙලා බලා හිටියෙ හරියට මෙහෙම එකක් මම කවදාවත් කියල නෑ, ඒත් එයා බලාපොරොත්තුවෙන් හිටියා වගේ.

"ඔයා හිතනවට වඩා මේධා මගෙ ජීවිතේ ගොඩක් දුක ප්‍රශ්න තියනවා. මට ඉන්නෙ මගෙ අම්ම විතරයි"

මම මේව කියනකොට ඇයි ඕව මේ එක පාරම මට කියන්නෙ කියල මේධා මගෙන් ඇහුවෙ නෑ. ඒ නිසා මගේ කතාව ඔක්කොම කියා ගන්න මට ඒක උදව්වක් උනා.

"ඔයාට තේරෙනවත් ඇති... නොතේරෙනවත් ඇති... තේරුනත් නොතේරුනා වගේ ඉන්නවත් ඇති... මගෙ හදවත බිත්තියෙ එල්ලලා තියන එකට වඩා ගොඩක් ලොකුයි... ඒ මුළු හදවතම මම දෙන්න ලෑස්තියි.. එක්කෙනෙක්ට... ඒ තමයි... ඔයා... මේධා... මම ඔයාට ආදරේයි...!"

මම මේධාගෙ ඇස් දෙක දිහා බලාන කිව්වා. මම ඇත්තටම මේධාට ආදරෙයි. මට මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ.

"මේධා..." මේධා මම දිහා මුකුත් නොකියා බලාන හිටියා. අකැමතිද? මම දන්නේ නෑ. මම බලන් හිටියා.

"තිවංක..." අන්තිමට මේධා කතා කළා. "මට තේරෙනවා... මම දන්නවා... මට එක දවසක් දෙන්න" මෙධා එහෙම කියල නැගිට්ටා. පොත් ටික තුරුලු කරන් පන්තියෙ දොර ගාවට ගියා. මම ඉඳන් හිටි තැන ඉඳන්ම ඔහෙ බලාන හිටියා. මේධා දොර ගාව නැවතිලා ආපහු හැරුණා. ආයෙත් මම ඉඳන් හිටි තැනට ආවා.

"බොරුවට කල් ගන්න එක තේරුමක් නෑ. තිවංක... මමත් ඔයාට ආදරෙයි... කෙල්ලෙක් උණාම එක පාර හා කියන එක හොඳ නැති නිසා තමයි හෙට කියන්නම් කිව්වෙ. මට තවත් දවසක් මේ ගැන හිත හිත ඉන්න බෑ. මම ආදරෙයි." මේධා කියාගන කියාගන ගියා.

මම මේධා දිහා බලාන හිටියා. මම නැගිටල මේධගෙ අතින් ඇල්ලුවා. ටිකක් වෙලා එහෙම ඉඳල, මේධා කට හඬ අවදි කලා. "මම දැන් යන්නම්. හෙට එනව නේද? හෙට හම්බෙමු...!"

මේධා මගෙ අත අත ඇරලා පස්ස බලන්නැතුවම ඉක්මන්ට ඉක්මන්ට පන්තියෙන් එළියට ගියා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xii

Saturday, June 17, 2017

නිර්නාමික x

තිවංක පසුව අනාත්මීය ආදරය ගැන මා හා කිසිදා නොකීවේය. මම පාසලට පැමිණි දා කිසිත් නොවුණා සේ හැසිරීමට වෙර දැරුවෙමි. මා ලියූ කවි ගැනවත්, තිවංක දුන් කවිය ගැනවත් මම කිසිවක් නොකීවෙමි. නො හැඟවූයෙමි.

"වෙනදට වඩා තිවංක ලස්සනයි... කඩවසම්... සුදු ඇඳුමට... මට තේරෙන්නෙ නෑ."

සුපුරුදු පරිදි මගේ සිතුවිලි මටම නොතේරේයි. මට ඒ තේරුම් ගැන්මට අවැසිද නොවෙයි.

"මම තිවංකට ආදරෙයි. මම ආදරේ කරන්න පටන් අරන් ඉවරයි... මම ඒක දන්නවා. මම ගණන් උස්සල දැන් තිවංක මා එක්ක කතා කරන්නෙත් නැති වෙයිද මන්ද..."

මම බිය වීමි. වෙලාවක් ලද සැනින් ඔහු හා කතා කිරීමට මම ඉටා ගතිමි.

විවේකයට පෙර කාලච්ඡේදයේ කිසිවක් නො තිබු හෙයින් පන්තියෙ සිසුහු විසිර ගොඩ සිටියහ. පන්තියේ තනි වූයේ මාත් තිවංකත් පමණි. මම ඔහු අසලට ගියෙමි. තිවංක දිග ලිපියක් බලමින් සිටියේ ය.

"මොකද්ද මාව දැක්ක ගමන් හංග ගත්තෙ?" තිවංක හතරට පහට නවා පොත අස්සට ඔබා ගත් ලිපිය දැක මම ඔහුගෙන් ඇසුවෙමි.

"නෑ.. මෙ කතාවක්... ඔයාට තේරෙන්නෙ නෑ මේධා"

"හ්ම්... ඒක නෙවේ. අර කවිය ලස්සනයි..."

"ඇයි ඊයෙ නාවෙ?"

"ඔලුවෙ කැක්කුමක් ඇල්ලුව... ආයෙ කවි ලිව්වෙ නැද්ද?"

"නෑ... එහෙම දවස ගානෙ කවි ලියවෙන්නෙ නෑ..."

"එහෙනම් කොහොමද ලියවෙන්නෙ?"

"කවි ලියන්න මොනා හරි දැනෙන්න ඕනෙ."

"මොනා දැනිලද අර කවිය ලිව්වෙ?"

"මුකුත් නෑ..." තිවංක බිම බලාන කිව්වේය.

"දැන් ඔයාමනෙ කිව්වෙ අමුතුවෙන් දැනෙන්න ඕනෙ කියල, කවි ලියන්න..."

තිවංක කිසිත් නොකිව්වේය. මම ම කතාව ඇරඹීමි. "ඇයි තිවංක මා එක්ක තරහද?"

"නෑ මේධා... මොකට තරහ වෙන්නද..."

"කියන්න හිතේ හිර කරන් ඉන්නැතුව. මොකක් හරි ප්‍රශ්ණයක් ද?"

මට ඕනෙ උනේ ප්‍රශ්න එළියට ගන්න එක නෙවෙයි. මට ආදරෙයි කියල ඔය කටින් කියව ගන්න එක. ඇයි තිවංකට නොතේරෙන්නෙ?

"ප්‍රශ්නෙ මේධා දන්නවනෙ...!"

"මොකද්ද?" මගේ හදවත ගැහෙන්නට වෙයි. "ප්‍රශ්නෙ මම ඔයාට ආදරේ කරන එකයි කියල ඔයා කියනව නම් මට ඒ ඇති...!"

"ප්‍රශ්ණේ මම ඔයාව වැරදියට තේරුම් ගන්න එක...!"

"මොකද්ද වැරදි....?"

"මට දැනෙන්නෙ... මේධා... මට තේරෙන්නෙ නෑ..."

මට කීමට කිසිත් නොතේරෙයි. විවේක කාලය සඳහා සීනුව නාද වනු ඇසිනි. මම තිවංක අසලින් නැගිට්ටෙමි. තිවංක තවමත් පොත දෙස බලාන සිටියි. වෙනදා කෙලින්ම මදෙස බලන ඇස් අද තවමත් මදෙස නො බැලීය. මම යළිත් කතා කලෙමි.

"සමහරවිට තිවංකට දැනෙන දේ හරි ඇති...!"

මම වහා එතනින් ඉවතට ගියෙමි. තිවංක තිගැස්මෙන් මා දෙස බැලීය. මම ඔහු දෙස නොබලාම පන්තියෙන් එළියට ගියෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xi

Friday, June 9, 2017

සුරතාන්තයට පෙර . . . !

නැගෙන්න පළමු කොට
හිරු එළිය
ඇතිරිලිද ඇඳ පසෙක
ගුලි කර
ගෙලෙන් පපුවෙන්
වැටෙන දා දිය

කවියකට නොවේ හිත
ගයන්නට නොවේ මට
වයන්නට,
සිතාරය
හැඩැති ඒ වීනාව
පිරිමදින අතැඟිලිද

වෙව්ලන දෙතොල්
තෙත් කෙහෙරැලිද
ඉගිලෙන්න ඉගිලෙන්න
හංස ගෙල
ගැට ගසා අතින් තව

සුසර වුණ සුසුම් පෙළ
සසල උණ උදම් රළ
සිසිල නැති කලු රැයක
අසල ගෙවෙනා පැයක

ඉතින් මට
අවසරද නවතින්න

සුරතාන්තයට පෙර...!

Sunday, May 28, 2017

නිර්නාමික ix

අනාත්මීය ආදරය

අහස තරු පිරිච්ච වරල දිග හැරලා කොණක හඳ පලුව රඳවලා තිබ්බා. මම ඔහේ අහස දිහා බලාන හිටියා. මගේ ඇහැ ගැටිච්ච එක තරුවක් ඔච්චමට වගේ නිවී නිවී දිලිහෙන්න උණා. ඈ මට අමීශාව මතක් කළා.

අමීශා තරු වලට ගොඩාක් ආසා කළා. මම තරු වලට වෛර නොකලත්, අමීශා මුණගැහෙන්න කලින් ඒ හැටි ආදරයක් ආසාවක් තරු ගැන තිබ්බෙ නෑ. අමීශා මාව තරු වල පෙම්වතා බවට පත් කළා. තරු එක්ක කතා කරන්න මට ඉගැන්නුවෙ, අමීශා. අමීශා මගේ ළඟ නැති රෑක, ඈ නැති අඩුව මැකුවෙ අහසෙ දිලිහිච්චි කරු කැට. අමීශාට තරම් ම මම තරු වලටත් ආදරේ කරන්න පුරුදු උනා.

අමීශාව මතක් කරපු ඒ තරුවෙ තිබුණෙ වෙනස් ම එළියක්. නිවි නිවි දිලිහුන තරුව එක පාරම පාවෙන්න පටන් ගත්තා. කණා මැදිරියෙක්!

රුවන් තරුවක් නිවී දිලිහුන
අඳුර පරදා එළිය ඉහිරුන
හිතම රිදවා යළිත් රැවටුන
කදෝකිමියෙක් ඔහේ ඉගිලුන

මම මිමිණුවා.

"අමීශා..." මම හිටියෙ තණ බිස්ස උඩ එලපු රටා පැදුරක උඩු බෙලි අතට, අහස දිහා බලාගන. රටා පැදුරේ විකර්ණ දිගේ රෝස පාට ගොම කොළ පාට කුකුල් සායම් පොබවල කිසිම හැඩයක් නැති රටාවක් මතු කරල තිබ්බ විත්තිය මට මතක් උණා. නුවර ඉඳන් එමින් ගමන් වේවැල්දෙනියෙන් නවත්තල ගත්ත පැදුර. අමීශා පැදුරේ රටා බැලුවෙ නෑ. ඔහේ ඒ පාර අයිනෙ තිබ්බ කඩෙන් අතට අහුන පැදුරක් ගත්ත. රටාව කැතයි කියල තේරුණේ තණබිස්ස උඩ පැදුර දිග ඇරියම. පැදුරට දාල තිබුණ රටාවෙ ඇද කතා කරනවට වඩා අමීශටත් මටත් කතා නොකර කතා කරන්න ගොඩක් දේ තිබ්බ. මගෙ කකුල් පැදුරෙන් එළියට ඇවිත් තිබ්බා. උඩ බලාගනම මම අමීශට කතා කලා. ගහක් යටට වෙන්න උන්න නිසා ඒ හැටි අවුවක් වැටුනෙ නෑ අපිට.

"ම්ම්..." අමීශත් උඩ බලානම හුම් මිටි තිබ්බ. එයාගෙ ඔලුව මගෙ ඔලුවට එහා පැත්තෙන් මගේ උරහිසෙ වදින නොවදින ගානට. එයාගෙ කකුල් දෙකත් පැදුරෙන් එළියට ඇවිත් තියෙන්න ඇති. මම අමීශා දිහා බැලුවා. අමීශාගෙ ජම්බො ක්‍රේල් කෙස් කැරලි එහෙන් මෙහෙන් ඉස්සිලා තිබ්බ. අමීශා මේකප් කරන්න හොඳටම දන්නව. වැඩිත් නෑ. අඩුත් නෑ. ත්‍රෙඩින් කරපු ඇහි බැමි... හමේ පාට ෆවුන්ඩේශන් එකක් ලාවට ගාලා, කම්මුල් උඩ ලා රෝස පාටට මේකප් කරල තිබුණා. අයි ලයිනර් එකෙන් ටිකක් තදට ඇස් යට ඇඳල. ඒ එයාගෙ හැටි. උල් වෙච්ච නහය... තොල් දෙකේ පාටක් නැති උනත් ලිප් ග්ලොස් එකක් ගානව කොහොමත්. අමීශාගෙ නියපොතු වල වගකීම මට බාර කරල තිබ්බෙ.

"මට ඔන්න වෙනස්ම නේල් ආට් එකක් ඕනෙ හරිද. ඔයා කැන්වස් වල පුරවන චිත්‍ර වලට වඩා ලස්සනට මගේ නියපොතු ලස්සන කරන්ඩ ඕනේ. තේරුණාද?"

"එහෙමයි මැඩම්..."

මම අමීශගෙ නියපොතු පාට කලේ කැන්වස් එකක් උඩ දිය සායම් තවරනවටත් වඩා පරිස්සමින්. කැන්වස් උඩ චිත්‍ර අඳිනවට වඩා මම ආස කලේ අමීශගෙ පුංචි නියපොතු වලට රටා දාන්න. අත් දෙකේ අඟිලි දහයම පාට කර ගන්න ඇයට ඕන උණා. කකුලෙ නියපොතු පාට කරන්න අමීශා කැමති උනේ නෑ. නිකන් තනි පාටක් ගාගන ඔහේ තියාන හිටියෙ එයාමයි.

මම අමීශට ආදරේ කළා. එයත් එහෙමයි. මම දන්නවා. අමීශත් මගෙ පැත්තට ඔලුව හැරෙව්වෙ මම එයා දිහා බලන් ඉන්නව කියල දැනිලද කොහෙද. එයාගෙ නළල මගෙ තොල් කෙලින්ම තිබ්බෙ. මම ළං වෙලා හාද්දක් දුන්නා. එයාගෙ තොල් දෙකත් මගෙ නළලට හාදුවක් දුන්නා. දවල් අහසෙ තරු නොපෙනුණත්, දරුවො ඉස්කොලේ ඇරිලා එනකල් අම්මයි තාත්තයි මග බලන් ඉන්නව වගේ තරු එනකල් අපි ඔහෙ අහස දිහා බලාන හිටියා.

තරු එක්ක කතා කරන්න විතරක් නෙවෙයි, ආදරේ කරන්න, අඬන්න, හිනා වෙන්න, කොටින්ම කියනව නම් ජීවත් වෙන්න ඉගැන්නුවෙ එයා.

හවස් වරුවක ගෝල්පේස් බැම්ම දිගේ ලුණු තැවරුණ හුළඟ විඳින ගමන් සෙරෙප්පු එක අතකට අරන් අනිත් අතින් අපි දෙන්න අත් පටලගන ඔහේ ඇවිද්දා. අපේ ජීවිත වලට අරමුණක් තිබ්බෙ නෑ. අපේ නෙවෙයි. මගේ ජීවිතේට. අමීශාගෙ ජීවිතේ අරමුණ උනේ මම. එදා ගෝල්පේස් එකේ වෙඩින් ෆොටෝ ගන්න ජෝඩුවක් දිහා අමීශා අසාවෙන් බලන් උන්නා මතකයි.

අපි දවස් කොච්චර එහෙම ගෝල්පේස් එකේ මුණ ගැහුණද දන්නෙ නෑ. ගෝල්පේස් එකේ මුහුද මැදට යන්න හදල තියන කොටුව ඇතුලෙ අමීශයි මායි තුරුල් වෙලා ඈත ක්ෂිතිජය දිහා බලාන හිටියේ හරියට ටයිටැනික් නැවේ වගේ. අපේ නැව කවදාවත් කැඩෙයි කියල හිතුවේ නෑ අපි. නැව ගිලුනත් අපි ජැක් ට වත් රෝස්ට වත් උණා වගේ දෙයක් වෙයි කියල හිතුවෙ නෑ.

අපි දෙන්නට සීමා මායිම් තිබ්බෙ නෑ. අමීශගේ හරිම හැඩ ඇඟක් තිබුණා. ඒකෙ අස්සක් මුල්ලක් නෑර මම ආදරේ කලා. ගෝල්පේස් එකේම බංකුවක් උඩ එයාගෙ තොල් දෙක පළවෙනි වතාවට මම ඉඹිනකොට දැනුණ, ලුණු රසත් ලිප් ග්ලොස් එකෙන් ආව මී පැණි රසත් කලවම් උණ අමීශාට ආවේණික අමුතු රස, එයා ව එතනදි සිප ගත්ත හැම වෙලේම මට දැණුනා. අමීශාගෙ කන්පෙති, බෙල්ල, සිනිදු හීනි අත්, පියයුරු.. හැමදේම... මම ඒ හැමදේටම තදින් බැඳුනා. ආදරේ උණා.

මම පියවි සිහියට ආවා.

අපි හමු උණ විදිහ මට මතක නෑ. අපි කොච්චර කල් ආදරේ කළාද මට මතක නෑ. අපි ඇත්තටම ආදරේ කළාද කියල දන්නෙත් නෑ. ඒත් අමීශා නැති අඩුව, කලුවරේ අහස දිහා බලන් හිටිය මට තදින්ම දැණුනා. අමීශා මාව දාල ගිය.. නෑ... මම අමීශව දාල ගිය* දවස මට හොඳට මතකයි.

අමීශා මගෙ අත අල්ලන් හිටියෙ. වෙනද වගේ ලස්සනට මේකප් කරල හිටියේ නෑ. ඒත් එදා වෙනද නොදැක්ක තරම් ලස්සනක් අමීශගෙ මුහුණෙ මම දැක්කා. එයා කියන්න හැදුව ඒව මට නොතේරුණත් ඒ කියන්න හදන හැම වචනයක් ගානෙම ආදරේ මට දැණුනා. වෙනද දඟ කරපු ඇස් මැලවිලා. ඒත් ලස්සනයි. මම අඬන්නැතුව ඉන්න ගොඩක් උත්සහ කළා. මොකද මම ඇඬුවොත් අමීශගෙ හිත හුඟක් රිදෙන නිසා.

ඉස්සර ජම්බො ක්‍රේල් කෙස් රොදක්ව්ත්, ත්‍රෙඩින් කරපු ඇහි බැමවත් ඈ ගාව තිබුණේ නෑ. ලිප් ග්ලොස් ගෑව තොල් වේලුණු පාට වෙලා තිබ්බා. මුළු මුහුණම මුළු ඇඟම... සුදු මැලි වෙලා. ඒත් අමීශා තාම ලස්සනයි. අමීශාගෙ හදවත ලස්සනයි. ඒ ලස්සන හදවතට උරුම කම් කිව්ව අමීශගෙ සුන්දර ආත්මය මං ඉස්සරහදිම ඇගේ කයෙන් වෙන් වෙලා ඈත අහසේ ඈ ආදරේ කරපු තරු අතරට එකතු උණා. මම වෙනදට වඩා තරු වලට ආදරේ කරන්න පටන් ගත්ත.

කණාමැදිරිය හිටිය තැන, මම අහසෙ තරුවක් තියේ කියල රැවටුන තැනතාම හිස්වට පෙනුණා. වටේ තරු නිවි නිවී දිලුණා. ඒ හිස් වපසරියෙන්, පුන්චි තිතක් වගේ ආව එළියක් තරුවක් වගේ දුලන්න පටන් ගත්තා. ඒ අමීශා... මම ඈ හා හිනා උණා.

*****
ප.ලි.
මේධානි පහුවදා ඉස්කෝලෙ ආවෙ නෑ. මම අනාත්මීය ආදරේ ගැන ගොඩාක් කල්පනා කරල මේ කතාව මෙහෙම ලිව්වෙ මේධානිට අනාත්මීය ආදරෙ ගැන කියල දෙන්න, තේරුම් කරන්න. මට තවත් දවසක් බලන් ඉන්න වෙනවා, අමීශගෙ කතාව මේධානිට කියන්න. ඒත් මේධානි ඒක තේරුම් ගනී කියල හිතන්න අමාරුයි. ඇයි මම එහෙම එකක් ලියන්නෙ. ඇයි එහෙම එකක් මේධානිට ලියල දෙන්නෙ කියල මම දන්නෙ නෑ. ඒත් ඔහේ හිතට ආව අනාත්මීය ආදරය කියන එකට මගේම කියල අර්ථකතනයක් දෙන්නයි මට ඕනෙ උණේ.

අම්ම හැමදාමත් උදේට තාත්ත දුන්න චීත්තය බෙල්ල වටේ දවටගන ඉන්නෙ අම්මගේ ආදරේ අනාත්මීය නොවෙන නිසා. තාත්ත නැති වෙල මෙච්චර කාලයක් වෙලත් තාම අම්මගෙ හිත තාම තාත්තට කොච්චර ආදරේ කරනවද. ඒක ආත්මීයයි. අනාත්මීය ආදරයකට පැවැත්මක් නෑ. මට ඒක තේරුණා. ආදරයක් ආත්මීය වියයුතුයි. සිද්ධාර්ත යශෝධරා ආදර කතාවත් ආත්මීයයි. ඒකනෙ පෙරුම් පුරාගන හැම ආත්මෙකම ආවෙ.

අනාත්මීය ආදරයක් තිබුණත් ඒකට කිසි පැවැත්මක් නැති විත්තිය මම තේරුම් ගත්ත. අනාත්මීය ආදරේ ගැන ලිව්ව අමීශාගෙ කතාව මගෙ බයෝ පොත අස්සට රිංග ගත්තා. ඒ මේධානිට දෙන්න හිතාගන නෙවෙයි. කොලේ විසි කරන්න තිබ්බ ලෝබ කමට.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික x

Friday, May 26, 2017

නිර්නාමික viii

කතෲ සටහන්:

ඉදින්, මේධානි පසුව සිදුවූ කිසිත් මා හා නොකීවාය. මින් එහා මේධා සහ තිවංකගේ පලහිලව ගැන මට ඇසීමට කිසිවෙකුත් නොවීය.

"ඊට පස්සෙ මොකද උණේ..." මම මේධාගෙන් ඇසීමි. ඈ මුණිවත රැක්කාය. "මට කියන්න... තිවංකගෙ කවිය කියවල මොකද කලේ? ඔයත් පිළිතුරු කවියක් ලිව්වද?"

මේධා අවඥාවෙන් මදෙස බැලුවාය.

"අහන්න එපා අකලංක. එතනින් එහා මුකුත් කියන්න තරම් දෙයක් උණේ නෑ." නිර්නාමික තව දුරත් ලිවීමට ඈ ඉන් එහා වූ දෙයක් මට කිව යුතුමය. කතාව මවා පා බොරුවක් ලියා පාඨකයා පිනවීම පමණක් මා සෑහීමට පත් නොකරයි.

එහෙත්, ඉන් එහා යමක් ඈ මට නොකීවාය. එහෙත් ඉන් එහා සිදු වූ දෙය දන්නා වෙන කෙනෙක් මට මට හමු විය. ඇය හමු වූ අයුරු වෙනම කතාවකි. නමුත් ඈ මට හමු වූවාය. ඈ මේධා ගැන මටත් වඩා හොඳින් දැන උන්නාය. ඉන් එහා මේධාගේ කතාව ඈ මට මේධාගෙ වචනින්ම පැවසුවාය.

*****
" පුතේ...මේ කිරි එක ඇල් වෙනව බීලා ඉන්න... මොනව කරනවද මන්ද දොරත් වහ ගෙන..."
මට මෙලොව සිහි ආවේ අම්ම දොරට ගහන සද්දෙට.

මං කොහොමද ඇඳ උඩට ආවේ...! තාම බාගෙට ගලව ගත්ත ඇඳුම් පිටින්...! මට මොනව වෙලාද මන්දා...! මුළු ඇඟටම පණ නෑ. මං මේ අඬනව ද...! මගේ අත මටත් නොදැනිම කම්මුල් ගාවට ආවා. කම්මුල් තෙමිල. පෙඟිල.

මුළු කාමරේ ම පාළුයි .අඩුම තරමේ හුළඟක් වත් නෑ. කොට්ටේ උඩ තිබිව් ච තිවංක දුන්න කොළය හොඳටම පෙඟිලා, මගෙ කඳුළුවලට ම.

" එයාගෙ බොඳ වෙච්ච අකුරුත් හුඟක් ලස්සනයි නෙ" මට හිතුණා. මං ඒක කී පාරක් කියෙව්ව ද කියලා නිව්චියක් නෑ. මං කොළයක් අරගෙන කුරුටු ගෑවා. ගෑවා ද නැත්නං ගෑ වුණා ද කියන්න තේරෙන්නෑ. තාම මගෙ අත වෙව්ලන වා.

"මුදා හැරී හද කොහේ කොතැන ක
උදා හිරු ළඟ රැඳුණු විලස ක
පුදා දෙනයන හිඳිමි එළිය ක
සදාදර හිත නොවේ අමතක

නිල්වන් අහස හිරු තෙද දිලිහෙ නා වැනී
මල් මල් හීන හිත ළඟ පාය නා වැනී
හිල් කූඩයක හිර යෙන් ගිලිහු නා වැනී
කල් යල් බලා හිඳ හිත ඉගිලු නා වැනී

- මේධා"

*****

ප. ලි. මේධා හමු වීමට යළි මම ගියෙමි. ඈ සිය තෙවන දරුවා උකුලෙහි රුවාන සිටියාය.

"එන්න අකලංක, ඇතුලට..."

"කොහොමද?"

"හ්ම්ම්.. වරදක් නෑ. මා එක්ක තරහ වෙන්න එපා. එදා අර ගැන කතා කරන්න තරම් හොඳ තත්වයක් තිබ්බෙ නෑ"

අපි සාලයේ වාඩි වී කතා කළෙමු. ඇගේ ආදර කතාව පිළිබඳ ඇවිස්සීමට මම උත්සහ නොකළෙමි. අන් ආගිය තතු කතා කලා විනා තිවංකගේ මතකය අවදි නොකිරීමට වග වලා ගතිමි.

"ඉන්න අකලංක, දෙයක් තියනව පෙන්නන්න..." ඈ සිය දරුවා මා අතට දුන්නාය. "පරිස්සමින් අල්ල ගන්න..."

ඈ කාමරය දෙසට නිසසලව පිය මැන්නාය. රෝස පාට කඩදාසියකින් එතූ සපත්තු පෙට්ටියක් ඈ මා ඉදිරියට ගෙන ආවාය. කොණ්ඩ කටු, යතුරු රඳවන, සිනිදුවට මැදුනු රවුම් තිරුවානා ගල් කැට වැනි අනේකවිද දෑ අතුරින් ඈ ඉරී ගිය කොළ කැබැල්ලක් ගෙන මට දිගු කළාය. මම ඒ දිග හළෙමි.



මතු සබැඳි

තුති... මේධා ගැන හෙළි දරව් කළ අනූෂා අක්කාට

ඊළඟ කොටස පහලින්


නිර්නාමික ix

Monday, May 1, 2017

නිර්නාමික vii

තිවංක මා මේසය මත තුන් හතරවතාවක් නැමූ පොත් කොළයක් තබා යන්නට ගියේය. වෙනදා මෙන්ම පන්තියෙන් අවසානයේ පිටත් වූයේ අපි වෙමු. වෙනදා තරම් තිවංක මා හා කතා නොකළේය. මම තිවංක යන මග බලා සිටිමි. ඔහු ආපසු නොහැරී දිගටම යන අයුරු පෙනෙයි.

කුහුහලය...! කොළය දිග හැර බලම් දෝ නැද්දෝ යි මම සිතමි. මම ඒ බලමි.

"පුදා හැර හද කොහේ කොතැනක
නිදා නොනිදා හිඳිමි වෙනතක
මුදා හද දුක හිඳින විලසක
සදාදර හිත නොවේ අමතක

නිල් වන් අහස හිරු තෙද දිලිහෙනා වැනී
දුල් තරු මාල නුඹ ගෙල සරසනා වැනී
මල් මල් හීන හදවත හඬවනා වැනී
කල් මං බලා හිඳ හිඳ විඳවනා වැනී

 - තිවංක"

"ඒ ගමන කවි ලියන්නත් පටන් ගෙන, එච්චරයි අඩුවට තිබ්බේ". මම මටම කියා ගනිමි. මට ඒ වචන කිසිවක් නොතේරෙයි. ඒව මට බර වැඩිය. ඒ කවියෙන් කියැවෙන්නෙ මට ආදරේ බවද, නොහොත් වෛර කරන බවද, එසේත් නැති නම් ඔහේ හිතට ආව වචනද? මම තව එක වතාවක් කියවමි.

"පළවෙනි එකට වඩා දෙවෙනි එක ලස්සනයි. ඒත් ඒකෙන් කියන්නෙ එයා විඳවනව කියන එකද? මොනවද විඳවන්නෙ?" මට කිසිත් නොතේරෙයි. තේරුම් ගැන්මට උවමනාවක්ද නොදැනෙයි.

තිවංකගේ ලෝකය පිරී ඇත්තේ ෆැන්ටසි තොගයකින් බව මට දැන් දැන් තේරෙයි.

"සිද්ධාර්ථ, යශෝධරා, අමුතු හීන, ඇයි අර මොකද්ද ආදරේ... මට මතකත් නෑ... අමුතු වචනයක් කිව්වෙ. ඊයෙ... අනාත්මීය ආදරේ... තිවංකට පිස්සු....!"

මම පොත් ටික දමාගෙන යන්නට නැගිට්ටෙමි.

"මේධා කාවද රවට්ටන්නෙ?" ඒ මගෙ හිත... මගෙන්ම අහනව...! මම හෙමින් සැරේ පිය මනිමි.

"මම කාවවත් රවටන්නෙ නෑ... නෑ... රවට්ටනවා.. ඔයාවම...! නෑ... ඔව්... නෑ...!" මට මගේ හිත නොතේරෙයි. "නෑ මේධා... ඔයා නොතේරනව වගේ ඉන්නව මිසක් ඇත්තටම නොතේරෙනව නෙවෙයි නේද?... ඔයා තිවංකට ආදරේයි...!"

මේ මොන පිස්සුවක්ද මට හිතෙන්නෙ? මම එහෙම නෑ... මට තිවංකට ආදරේ කරන්න බෑ... ඇයි බැරි? මට බෑ... මම දන්නේ නෑ.... මට බෑ...

මම අඩිය ඉක්මන් කරමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික viii

Thursday, March 9, 2017

නිර්නාමික vi

"සිද්ධාර්ත... නේරංජනාව හිඳී ගොසින්"

"කම්පා වෙලා තේරුමක් නෑ යශෝධරා... වැසි වැටුන දාක යලිත් පෙර වගේ ගලාවි"

"කම්පාවක් නොවෙයි සිද්ධාර්ත... මට මොකද්දෝ දැනෙනව..."

"දැනෙන දේ වචන වලට පෙරළන්නත් අමාරුයි වගෙ?"

මම තාමත් සිහින දකිනවා. සැබෑ ජීවිතේ කවදාවත් මට යශෝධරාවක් ලැබෙන එකක් නෑ. ඒත් සාරාසංක්‍යය කල්ප ලක්ශයක් පුරාවට ළඟින් ආ අනාත්මීය ආදරයක්  මටත් ඕනෙ උණා. ඒත් එහෙම ආදරයක් තාම මට හම්බවෙලා නෑ. අනාත්මීය ආදරයක්? ආදරයක් කොහොමද අනාත්මීය වෙන්නෙ.

මම ඉස්කෝලෙ ගියෙ අනාත්මය සහ ආදරය කියන වචන දෙක ලිහා ගන්න විදිහක් හිත හිත. දහය වසරෙ බුද්ධ ධර්මය ඉගැන්නුවෙ මේධාලංකාර පොඩි සාදු. උන්නාන්සෙ විප්ලවීය අදහස් දරපු හාමුදුරු නමක්. ඒ නිසාමද කොහෙද අපි එකොලහ වසරට එද්දි උන්නාන්සෙට මාරුවක් ආවෙ. මේධාලංකාර හාමුදුරුවො නොදන්න දෙයක් නෑ. ඒ කාලෙ අපිට මොන විෂයට ගුරු වරයෙක් අඩු උණත් මේධාලංකාර හාමුදුරුවො තමයි ඒ අඩුව පිරෙව්වෙ. සුනීතා මිස් එනකල් ඉන්ග්‍රීසි ඉගැන්නුවෙත්, ධම්මික සර් නැති දා ඉතිහාසය ඉගැන්නුවෙත්, සුමනා මිස් පෙන්ශන් ගියාට පස්සෙ ගණිතය ඉගැන්නුවෙත් අපෙ හාමුදුරුවො. උන්නාන්සෙ එක්ක මම ඒ කාලෙ ගොඩක් දේ කතා කළා. බර වචන වල තේරුම උන්නාන්සෙ මට කියා දුන්නා. සමහර වචන උන්නාන්සෙ දන්නෙ නැතත් වචනෙ උච්චාරණය වෙන හැටියට මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනෙයි කියල කියනවා. පස්සෙ බැලුවම ඒක හරි.

උන්නාන්සෙ ගියයින් පස්සෙ අපිට ආවෙ බණ්ඩාර සර්. අච්චු පොතෙන් එහාට වචනයක් වත් කතා නොකරපු සර් ගෙ ප්‍රධානම දේ උණේ අන්තිම අභ්‍යාසය කරවන එක. ඒක කවදාවත් හාමුදුරුවො නොකළ දෙයක්. හාමුදුරුවන්ගෙන් වගේ හිතට එන එන ප්‍රශ්න අහන්න අපිට ඉඩක් ලැබුණෙවත් ඇත්තටම සර් උගන්නන විදිහට කිසි ප්‍රශ්නයක් හිතට ආවෙවත් නෑ. උසස් පෙළට ආවයින් පස්සෙ ඒ මතකයත් ටික ටික ඈත් උණාද මන්ද.

අනාත්මීය ආදරයක් කියන්නෙ මොකද්ද එහෙම එකක් පවතින්න පුලුවන්ද වගේ ප්‍රශ්ණයක් අහන්න කෙනෙක් මට ඉස්කෝලෙ හිටියෙ නෑ.

මම පන්තියෙ ඉඳගන හිටියා. මේධා ටිකකින් පන්තියට ආවා.

"ගුඩ් මෝනිං තිවංක"

"මේධා මට ප්‍රශ්ණයක්"

"මොකද්ද... ගුඩ් මෝනිං කිව්වම ආපහු කියන්න පුරුදු වෙන්න මුලින්"

"මම කිව්වනෙ මට ප්‍රශ්ණයක් කියල."

"කියන්න බලන්න... හීනයක් ගැනද ආයෙ?"

"ඒ වගෙ..."

"කමක් නැ. කියන්නකො"

"මොකද්ද අනාත්මීය ආදරයක් කියන්නෙ. අනාත්මීය ආදරයක් පවතින්න පුලුවන්ද?" මම මේධාගෙන් ඇහුවා. එයා මම දිහා බලාගන හිටියා. කිසිම හැඟීමක් නැතුව. මේධා හිතන දේ මට හිතා ගන්න බැරි උණා.

"මේධා... ඒක අමතක කරන්න." මම පුටුවෙන් නැගිට්ටා. පන්තියට එකා දෙන්නා ළමයි එනවා. වෙලාව කොච්චරක් ගියාද මම දන්නෙ නෑ. සීනු සද්දෙ ඇහුණා. පුරුද්දට වගේ පන්සිල් ගන්න ළමයි එක්ක පෝළිමට එකතු උණා.

මේධාට මාව එපා වෙලා ඇති දැන්. කොහොමත් ඕන වෙලා හිටියෙත් නෑ. ඒත් එයා හැසිරුනේ එයාගෙ හිතේ මම ගැන විශේෂයක් තියනවා වගේ. මම හිතට සිතුවිලි වලට ඉබි යතුරු දැම්මා. ඉස්කෝලෙ ඇරෙනකල්.

අනිත් ළමයින්ටත් එකතු නොවී මම ගෙදරට ආව. අම්ම ගෙයි දොරකඩ ඉඳගන බලාන හිටියෙ මම එනකල්. මම දොර ගාවට යනකල් අම්මව හොඳට බැලුවා. එයාගෙ ඇස් වල ගිලුණු දුකක් තිබුණා. කන්මුල් වල ගැහිල. වෙනදට වඩා. ඈ වයස ගිහින්. මමත් අම්මා ගාව ඉඳගත්තා.

"අද කලින්?"

"ඔව් අම්ම. ඉක්මන්ට ආව."

"ඉඳපන්. බත් බෙදන්න..." අම්ම එක අතක් බිමටත් අනිත් අත මගෙ කකුලට වාරු දීල නැගිටින්න හැදුවෙ.

"ඔහොම ඉන්න අම්මෙ. බඩගිනි නෑ." මම අම්මව නැවැත්තුවා. අම්ම ආපහු එහෙම්ම හිටිය. මම දිග ඇදිල අම්මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියගත්තා. අම්මගෙ වෙව්ලන අතැඟිලි මගෙ කෙස් ගස් අස්සෙන් ගියා. මම ඇස් පියා ගත්තා. ඇඟ පුරාම තිබ්බ දුකක් වේදනාවක් විදුලි සැරක් වගේ ඇස් ගාවට එකතු උණා. ඒ හැඟීම කඳුලු වෙලා අම්මගෙ චීතෙට වැටෙනව මට දැනුණා. අම්මට මගෙ හිත තේරිලා වගෙ මට ඇති තරම් වෙලා එහෙම ඉන්න දුන්නා. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මට තිබුණ ප්‍රශ්ණය අනාත්මීය ආදරය කියන්නෙ මොකද්ද කියන එක නොවෙන බවත් මට නොහැඟෙන නොතේරෙන තවත් දේවල් මගෙ හිතේ තියන බවත් මට තේරුණා. ඒ වගේම තව දෙයක් මතක් මතක් උණා. ඉස්සර අපේ සාහිත්‍ය සර් කියනව,

"මනුස්සයෙක්ට අඬන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා. කඳුලු වලින් අඬන්න පුලුවන්. නැත්තම් වචන වලින් අඬන්න පුලුවන්. දෙකෙන්ම දුක තුනී වෙයි. ඒත් කඳුලු වලින් ඇඬුවම, කඳුලු වේලිලා යාවි. වචන වලින් ඇඬුවොත්, ඒ වචන ලස්සන කවියක් නැත්තම් කතාවක් වෙලා හැමදාම ළඟ හිඳීවි. ඉතින්, කඳුලු හලන්නැතුව, වචන වලින් අඬන්න ඉගන ගන්න. ඒකත් හැමෝටම බෑ"

මටත් කඳුලු නවත්තල වචන වලින් අඬන්න ඕනෙ උණා. මම අම්මගෙ ඔඩොක්කුවෙන් නැගිටල ගේ ඇතුලට ගියා.

"අම්මේ... කමු... බඩගිනි..." වචන ලියන්න කොලයක් අතට ගන්න ගමන් අම්මට කිව්වා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික vii

Tuesday, March 7, 2017

මම ඇයට ආදරය කළෙමි!


සරත් සෘතුවේ එක සන්ධ්‍යාවක මම ආලින්දයේ හාන්සි පුටුවට බර වී කෝපි කෝප්පයක් තොල ගෑමි. එය වෙනදාට වඩා රසට දැනුනේ මක් නිසා දැයි මම නොදත්තෙමි. සරත් සුළඟ කහ පාටට හැරුණු ඕක් පත් සිය මව් වෘක්ෂයෙන් ගලවා ඉන් ඈතට ගෙන ගොස් බිමට අත හැරීය. ඉන් එක දෙකක් ආලින්දයේ හිඳ සිටි මා පාමුලටද පතිත විය. අවට සියලු ධර්මතාවයෝ මා අතීතයට ඇදගෙන ගියෝය.

***

එවන්ම සරත් සන්ධ්‍යාවකමය, මට එමිලියා මුණ ගැසුනේ. මගේ පුරුදු අවන්හලට මම ගොඩ වීමි. සරත් සන්ධ්‍යාවක සුවය විඳීමට මට තදින්ම අවැසි විය. අවන්හල තුල අන්තෝනියෝ විවාල්දි ගේ වයලීන රාවයක් කන වැකෙන නොවැකෙන තරමින් නාද විනි. මම ඒ රස විඳිමින්, මටම වෙන් වූ අවන්හලේ මුල්ලේ ආසනය වෙත පිය නැගුවෙමි. අද වෙනදාට වඩා අවන්හල පිරී ඇති සෙයකි. එහෙත් මගේ සුපුරුදු අසුන නිදහස්ව තිබීම මගේ හිතට සහනයක් විය. මම එහි හිඳ ගතිමි. මේසය අසල වීදුරුවෙන් අනෙක් පස පාරෙ ඔබ මොබ ඇවිදිනවුන් පෙනේ. මම දෙනෙත් පියා ගතිමි. දෙසවන් වඩාත් සංගීතයට විවර කළෙමි. හිත කයෙන් ගැලව ගොස් නිදහස් අවකාශයේ පාවෙනු මට දැනිණි.

"සමාවෙන්න... මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?" ඈ ඇසුවාය.

මම කළබලව දෙනෙත් හැරියෙමි. මා ඉතිරියෙ දෘශ්‍යමානව තිබූ ඒ රූප කාය මා කිසීදාක නොදැක තිබූවකි. නමුත් ඇයගේ දෙනෙත් තුල කළක සිට හඳුනන සෙයක් සටහන්ව තිබිණ. මම ගොලු වීමි. වදන් රහිතව ඇය දෙස මදක් බලා සිටියෙමි. 

"සමාවෙන්න කරදර කලාට. අද අවන්හල හරිම කළබලයි. වෙනත් තැනක් නැහැ හිඳ ගන්න. කරදරයක් නැත්නම් මම මෙතනින් ඉඳගන්නම්" ඇය නැවතත් යුහුසුලුව ඇසුවාය. මම ඇය ඉඳගන්නවාට අකමැති නොවේවි යැයි ඈ තුල විශ්වාසයක් තිබූවා විය යුතුය. නො එසේ නම් ඈ නැවතත් ඒසෙ නො අසන්නට ඉඩ තිබුණි.

"නෑ කොහෙත්ම කරදරයක් නෑ..." මම වදන් ගැට ගසා ගතිමි.

ඈ සරත් සෘතුවේ පරිසරයේ වූ ලා කහ පාටට හුරු කබායක් ලා සිටියාය. ඇගේ දෙනෙත් තුල සෞම්‍ය සතුටක්ද සඟවා ගත නොහී වේදනාවක්ද කැටිව ඇතැයි මට ම'සිත කීය. ඇගේ සිත කියවන්නට මට ඕනෑ විය. ඈ, මා කිසි දින කවරෙකුගෙන් වත් දැක නැති තැන්පත් බවක් පෙන්වීය.

"බොහොම ස්තුතියි." ඈ සංවරව හිඳ ගත්තාය.

ඈ සිය දෙනෙත් කරකවා අවන් හළේ අහුමුලු පිරික්සනු මම යන්තමින් දුටුවෙමි. ඈ දෙස එක එල්ලේ බලා සිටීමට තරම් හයියක් මා තුල නොවූයේ ඇයි දැයි මම අදටත් නොදත්තෙමි. නමුත් ඈ හා භජනය මට තදින්ම ඕනෑ විය. සිරුර පුරා වූ ධෛර්යය සියල්ල එක් කොට එක් පිඬකට කැටි කොට මම මුදා හලෙමි.

"ඔබ මේ පළාතෙ වෙන්න බෑ" මම මේසය ඉදිරියට බරව ඇය හා කතාව ඇරඹීමි.

"ඔව්... මම ටිකක් ඈත පළාතක... සියෙව්ස්කියෙ. ඔබ දන්නවද ඒ පළාත...?" ඈ කිසිදු පැකිලීමක් නොපෙන්වා කතා කිරීම මට තරමක සතුට ගෙන දෙන්නක් විය.

"ඇත්තෙන්ම... මම දන්නෙ නෑ. අහලවත් නෑ... කොහෙද ඒ..?"

ඈ සියෙව්ස්කියේ මිනිසුන් ගැන කීවාය. සිසිරයේදී සියෙව්ස්කියේ කඳු මුදුන් හි හිම මිදෙන අයුරු ගැන කීවාය. කඳු වළල්ලෙන් වට වූ ගම්මානයේ මිනිසුන් ලාච් ගස් මුල තිරිඟු පාන් කමින් ගී ගයන යුරු කීවාය. හිරු මුදුන් වන දවස තෙක් ගම් වැස්සෝ ඇඟිලි ගණින යුරු ගැන කීවාය. ගිම්හාන සෘතුවේ පළමු රාත්‍රියේ ගිණි මැල වටා රඟන අයුරු ගැන කීවාය. ඉනික්බිත් සියල්ලෝම වැටුනු වැටුනු තන්හි උඩුබෙලි අතට අහස දෙස බලා තරු රටාවන් තුලින් තම තමන්ගේ අනාගතය පිළිබඳ අනාවැකි කියන අයුරු සුන්දරව විස්තර කළාය.

මම ඇය දෙස බලා සිටියෙමි. ඇගේ කතාවට වශී වීමි.

"හරි... ඔබ ගැන තවම මුකුත් කිව්වේ නැහැනෙ." ඈ අවසන පැවසීය.

"මම... මම... මම එයිතොව්. එයිතොව් බොදාසෝව්." මම නිහඬ වීමි.

"ඔබ ගැන කියන්න තියෙන්නෙ එච්චරද..." ඈ එසේ ඇසුවාය. අවන්හල් සේවිකාව ගෙනදුන් කෝපි බඳුනෙන් ඈ මටත් ඇයටත් කෝපි වත් කළාය.

"ම්ම්ම්... මම දන්නෙ නැහැ..." මම අතරමන්ව සිටියෙමි. කිව යුතු කුමක්දැයි මට නො වැටහිණි. මම කෝපි කෝප්පය දෝතින් ගතිමි.

"දන්නෙ නැහැ?" ඈ ද කෝපි කෝප්පය ගත්තා ය. කෝපි උගුරක් බීවාය. දෙනෙත් පියා ගත්තාය. කෝපි උගුර මුඛයෙන් උගුර දිගේ උදරයට යන තෙක්ම ඈ ඒ රස විඳින හැටි ඇගෙ මුහුණේ සියුම් මස් පිඬු එහා මෙහා වීමෙන් මට පසක් විය. මමද කෝපි උගුරක් මුඛයෙන් ගෙන දෙනෙත් පියා ගත්මි.

***

ඒ අපේ පළමු හමු වීම විය. එතැන් පටන් අප ඒ අවන්හලේ ඒ අසුන් වලදීම යළි යළිත් මුණ ගැසුනෙමු. අපි දොඩමලු වීමු. සමාජවාදය, මාක්ස්, චේ, ලෙනින් පිළිබඳව, ඇරිස්ටෝටල්, විශ්වය, තාරකා විද්‍යාවත්, තවත් විටෙක, ගණිතය, ජීව විද්‍යාව හෝ රුසියානු සාහිත්‍යය වැනි අනේක විද මාතෘකාවන් ගැනත් අපි කතා කළෙමු. නොනැනවතී කතා කළෙමු. මාතෘකාවන් එකිනෙක දිශාව මාරු වූයේ ජීවිතය, පවුල් සංස්කෘතිය, ලිංගිකත්වය වැනි අංශ වලටය. ඉන් එහා, කෙමෙන් කෙමෙන්, ආදරය, සෙනෙහස, විවාහය වැනි මාතෘකා වලට අග භාගයේදී අපි යොමු වීමු.

"සියෙව්ස්කියේ ගැහැණුන් හරි මෝඩයි... මිනිහා මළ පසුත් ඒ ගැන වසර ගණන් දුක් වෙවී ඉන්නව... තරුණ වයසෙම... අපරාදෙ...!" එමිලියා මුහුණෙන් කම්පාවක් පෙන්නුවාය.

"එමිලියා එහෙම කියන්න හේතුව මොකද්ද... ඒ තමයි ආදරේ..."

"ඒ ආදරේ ගැහැනුන්ට විතරද... පිරිමි කණවැන්දුම් වෙලා තුන් මාසෙන් තවත් විවාහයක් අනිවාර්යයි...!"

"මට නම් සියෙව්ස්කිය ගැන දැනෙන්නෙ ෆැන්ටසි ගම්මානයක් වගේ. රුසියාවෙන්ම හොඳම මිනිස්සුයි නරකම මිනිස්සුයි දෙගොල්ලොම ඉන්නෙ ඕකෙ"

මම ඇයට සිනා වෙමි. ඈය පෙරළා සිනා පහලා කරයි.

විවාහ නොවුණත්, එමිලියා සහ මා එකට ජීවත් වීම ඇරඹුවේ අප හමු වී පළමු වසන්තය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. වසන්තයට ගෙවී යා නොදී සදා ළඟ තබා ගැන්මට පෙරුම් පිරූ ගස් වැල්  සියල්ල දුකින් වියැකී යන්නාක් මෙන් තිබුණත් එමිලියා හෝ මම ඒ නො නොදිටීමු. මක් නිසාද යත්, අපට වසන්තය ඇරඹියේ ඒ මොහොතේ පටන් හෙයිනි.

නමුත්, මම ඇයට ආදරේ කරන්නේද යන උභතෝකෝටිකයට මම මැදි වීමි. ඇගේ කථාව, සිනහව, සිරුර හැරුණුකොට, ඇයගේ ආත්මයට මා බැඳී පවතීද යන සැකය, වල්ගා තරුවක් පසුපස ඇදෙන දූලි වලාව මෙන් අප පසුපස අප සමග අනාගතයට පිය මණිනු මම දිටීමි. එය එමිලියා නුදුටුවා විය නොහැක. ඇයගේ ස්ත්‍රී ලාලිත්‍යය ඇයගේ වදන්, ගමන් හා ක්‍රියාවන් තුලි ඈ මොනවට පසක් කළාය. මම අඳුරේ වෙළුනෙමි. ඇය නැති ලොවක් ඉසව්වක් මට නොවීය. නමුත් ආදරය? මා ඇයට ආදරය කලේදැයි මට විශ්වාස නැත. නමුත් ඈ මට උපරිමයෙන් ආදර දුන්නාය. මම ඒ රිසි රිසි සේ වින්දෙමි. මා ඇගේ ආදර සයුරේ ගිලී ජබු ගැසීමම, මා තව තවත් ඇය කෙරේ උන්මාද වූ නොහොත් උන්මන්තක වූ බැඳීමකට මුල පිරුවා විනා, පැහැදිලි ආදරයක් ගොඩ නගා ගත්තාදැයි විචිකිච්චාවකින් මම පෙළුනෙමි. 

***

ඈ මා අත් හැරියාය. අප හමුවී දෙවන ගිම්හානයේ ඈ මට ඒ පැවසීය.

"එයිතොව්..."

"එමිලියා..."

"මට යන්න වෙනවා... මට සමාවෙන්න..."

ඈ කීවෙ එපමණකි. මට දුකක් නොදැනුනි. ඇය යා යුතු බව මට ද හැඟුනි.

"ඔව් එමිලියා... ඔබ දැන් යා යුතුයි...!"

අප හමු වූ අවන්හළේදීම අප සමුගතිමු. ඈ යළිත් මගේ නිවසට නො ආවාය. ඈ මා හා කෝපි බීමට අවන්හළට නො ආවාය.

ඇගේ වෙන්ව යාම මම දරාගත්තෙමි. දරා ගැන්මට තරම් බරක් මට ඇගෙ වෙන්ව යාම තුල නොදැනුනේ මන්දැයි මම නොදත්තෙමි. බාගදා, ඒ මම ආදරයෙන් හෝ ඒ හා සමාන කිසියම් හෝ හැඟීමකින් තොරව සිටි නිසා විය යුතුය.

තවත් සරත් සමය කිහිපයක් ගත විය. මම මට නුපුරුදුව තිබූ සුපුරුදු ජීවිතයට යළි හුරු වීමි. වෙනදා මෙන්ම, තනිවම, අවන්හලේ කොනේ ආසනයයට වී, වීදුරුවෙන් අනෙක් පස මිනිසුන් දෙස බලමින් කෝපි තොල ගෑවෙමි. පුරුදු පරිදිම, විවාල්දිගේ වයලීන හඬ හදවතින් වින්දෙමි. එමිලියා මා හා සිටි කළ මට අත් හැරී තිබූ බොහෝ දේ මම යළි ළඟට ගතිමි.

***

එහෙත්, තවත් සරත් සෘතුවක්, ඒ අවන්හලේදීම, ඒ ආසනය අසලදීම...

"එයිතොව්... මම මෙතනින් ඉඳ ගන්නද..." එමිලියා ඇසුවාය. එදා මට මුල් හමුව තරම් චකිතයක් නොදැනුනේ මන්දයි මම නොදත්තෙමි.

"එමිලියා... ඉඳ ගන්න." මම සංසුන්වන්ව පවසීමි.

මම පුදුම නොවිමි. බාග දා, ඈ යලිත් ඒ යැයි මා දැන සිටියා විය යුතුය. කෙසේ වෙතත්, ඇගේ දුඹුරුවන් කෙහෙරැලි වත්, රන් වන් සමෙහිවත් කිසි වෙනසක් නොවී එදා මෙන්ම දැකිය හැකි විය. 

අපි යළිත් කතා කළෙමු. කෝපි කෝප්ප කිහිපයක් අවසන් කළෙමු. ඒ සතුටට විය යුතුය. සියෙව්සිකියේ අලුත් තතු පිළිබඳ ඈ කීවාය. මම ඒ අසා සිටියෙමි. අපි නැවතුනු තැන සිට යළි ඇරඹීමු.

***

ඈ මා හා පෙර මෙන්ම කුළුපගව උන්නාය. කොක් හඬලා සිනා සෙමින් සෙයෙව්ස්කියේ තතු වෙනදා මෙන්ම කීවාය. මම ආසාවෙන් ඇයට සවන් දුනිමි.

"එයිතොව්, සියෙව්ස්කියේ පිරිමින්ට මම වෛර කරනවා!"

"අර මොකද?" මම ඉදිරියට බර වී ඇගෙන් ඇසුවෙමි. "ඒ නිසාද මාව තෝර ගත්තෙ?"

ඈ සිනාසුනාය. 

"බාග දා, ඒකත් වෙන්න ඇති හේතුව!" මම කීවෙමි. "හිනාවෙන් නම් කියවෙන්නෙ ඒකයි!"

ඈ තව තවත් සිනාසුනා විනා ක්සිත් නොකීවාය. 

යළිත් තෙවසරකින් ආ වසන්තයක අග බාගයේ, ඈ යළිත් මා හැර ගියාය. මම ඇයට ඉඩ හැරීමි.

"එයිතොව්, මම යා යුතුයි!"

"ඔව් එමිලියා... ඔබ යා යුතුයි. ඔබ ව නවත්වන්නෙ නෑ මම!"

"ඒක මම දන්නවා! ඔබ මාව නොනවත්වන එකම වෙන්න ඇති මම යන්න හේතුවත්! මම යන්නම්! යළිත් හමු වෙමුයි කියන්න තරම් හැඟිම් හිතේ ඉතුරුද කියන එක මට ප්‍රශ්නාර්තයක්!"

ඇයව නොනවත්වා යන්නට හැරීම විප්ලවවාදී චින්තනයක් ලෙස මම නොදැක්කෙමි. නමුත්, ඈ නවතා ගත යුතු යැයි කිසිදු විප්ලවයක් හෝ මගේ හිත තුලද මතු නොවීය.

එමිලීයා ඉන් එහා කිසිවක් නොකීවාය. ඇය මා මුණගැසුනු මුල් දිනය මෙන්ම, තවමත්, මම ඇය හඳුනාගෙන නොමැත්තෙමි. ඇය තුල තවත් ගවේශනයට බොහෝ යමක් ඇත.

ඈ මා දෙස මදක් වෙලා බලා සිට හැරී ගියාය. එදයින් පසු මම යළි අවන් හළට නොගියෙමි. ඒ අවන්හළ මතක කෝටි ප්‍රකෝටි ගණන් දරා සිටියේය. ඒ මතක මට සතුටක්ද දුකක් ද මම නොදත්තෙමි. කෙසේ නමුත් ඒ මතක මට අමතක කරන්නට ඕනෑ විය. පළමු වෙන්වීමට වඩා දෙවන වෙන් වීම බෙහෙන් වෙසෙසි. මම යළි මගේ පැරණි ජීවිතයට පුරුදු වීම නො කොට, ඇය ගිය තැන් පටන් ගන්ධබ්බ ආත්මයක්ව සැරි සැරීමි. ඇය මාගේ ප්‍රාණය ගෙන ගොස්ය. පසු තැවීමක් හෝ දුකක් හදවතේ කිසිම කොණක හමු නොවූවත්, වචන වලට පෙරලාගත නොහී අමුතු හැඟීම් සමුදායක් හදවත තුල ඒ මේ අත සරන්නට විය. එමිලියා පිළිබඳ වූ මතක නෂ්ඨාවශේෂ අතර ඉඳහිටක සැරි සැරීමි. ඒ මතක නෂ්ඨාවෂේශ වූ බිතු මත අමීලියා වේදනාවෙන් සූරා තැබූ දුක් කවි මට හමු වන විට මම පමා වැඩිය. සියෙව්සිකියේ පිරිමින්ට වෛර කරන්නා සේම ඈ මටත් වෛර කරන්නේ විය යුතුය. කාලයා විසින් නෂ්ඨාවශේෂයන් සියල්ල දුහුවිල්ලක් බවට හරවා, හදවතම හිස් වැලි තලාවක් කොට හැරීය.

මම එමිලියා සොයා යා යුතුද? මම නොදනිමි.

***

සරත් සෘතුවේ එක සන්ධ්‍යාවක මම ආලින්දයේ හාන්සි පුටුවට බර වී කෝපි කෝප්පයක් තොල ගෑමි. එය වෙනදාට වඩා රසට දැනුනේ මක් නිසා දැයි මම නොදත්තෙමි. සරත් සුළඟ කහ පාටට හැරුණු ඕක් පත් සිය මව් වෘක්ෂයෙන් ගලවා ඉන් ඈතට ගෙන ගොස් බිමට අත හැරීය. ඉන් එක දෙකක් ආලින්දයේ හිඳ සිටි මා පාමුලටද පතිත විය. 

මම සිතුවිලි අතර අතරමන් වූයෙමි. අවහලේ කෝපි රස බලන්නට මට සිත් විය. ඊටත් වඩා, සියෙව්ස්කියේ කඳු මුදුනතර, ලාච් ගස් පාමුල, ගී ගයන මිනිසුන් දැකීමට සිත් විය. ඒ හැඟීම් ආශාවන් සියල්ල පාගා, අමීලියා කෙරෙහි වූ ආදරය නැගී සිටියේය. මම ඇය කෙරෙහි වූ මගේ හැඟීම් හඳුනා ගත්තෙමි. ඒ, අන් කවරක් හෝ නොව, ආදරය ය. අගක් මුලක් නොවූ ආදරය පමණක්මය. මම කෝපි කොප්පය ටීපෝව මත තබා කබාය ලා, වීදියට බැස්සෙමි.

නිමි.

Monday, January 23, 2017

හිච්චි

"සුමනසිරි අන්ත්‍රා උණා. ගෙදර එන්න, මීට අම්මා." අම්මගෙන් ටෙලිග්‍රැම් එක. මාව මගෙ හිතෙ තිබ්බ පරණම අතීතෙට ඇදිල ගියා.

*****

අක්කට මගෙ පුට් සයිකලේ පොල්ලෙ ඉඳන් යනකොට පස්ස රිදෙන්න පටන් ගත්තෙ සුමනසිරිය අලුත් දඬුමොණරෙ ගත්තට පස්සෙ.

"අනේ මල්ලි උඹ මේකෙන් පලයන්. මම පයින් එන්නම්. මගෙ පස්ස රිදෙනව. උඹ හිතලම වලවල් වලට දදා එන්නෙ මට රිද්දන්නම." අපි හිටියේ ඉස්කෝලෙ යන ගමන්. අක්ක මගෙ බයිසිකලේ ඉස්සරහ ඉඳන් කිව්වෙ මූණ බෙරි කරගන කියල මට තේරුණා. මාත් ඇරියෙ නෑ.

"අනේ අක්කෙ මේ මට වෙන වැඩ නැතුවයි වලවල් වලට දදා යන්න. වලවල් වලට වැටෙනකොට මට සනීපයි කියලද හිතේ. උඹේ ඔය පුකේ අමාරු ඔක්කොම අර සුමනසිරියගෙ හුචක්කුව ගත්තයින් පස්සෙ" මම එහෙම කිව්වම අක්ක දැඟලුව. මම කකුලක් යන්තමින් බිම තියල නො පෙරළි බේරගත්තෙ බොහොම අමාරුවෙන්. "උඹට අමු කැවිලද බං". මම ඇහුවා. අක්ක බයිසිකලෙන් බැස්සා.

"මල්ලි උඹ කතා කරන්න ඉගෙන ගනින්." අක්ක එහෙම කියල මාව ඉස්සර කරන් ගියා. මගෙ මොකෝ. මගෙ දිගින්ද පළලින්ද. මාත් සනීපෙට රූන් ගාල අක්කව ඉස්සර කරන් ගියේ කුරුල්ලා වගේ. අක්කව ඉස්සර උනාම ආපස්ස බලල අක්කට විසිල් එකකුත් ගැහුව. ඒකි ගස්සල අහක බලා ගත්තා. එදා ඉඳන් අක්ක මගෙත් එක්ක ඉස්කෝලෙ යන්න ආවෙ නෑ.

අපෙ අක්ක, චමරි. ඒත් එයාට චමරි කිව්වෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි සර් විතර්යි. අනිත් හැමෝම කිව්වෙ හිච්චි කියල. හිච්චි අක්ක මගෙ දෙවෙනි අක්ක. මට වඩා අවුරුද්දයි වයස. පළවෙනි අක්ක තමයි ලොකු අක්කා. ලොකු අක්ක නැති උණේ මැලේරියාව හැදිල. එතකොට මම ජංගියක්වත් නැතුව මිදුලෙ වැලි ගොඩවල් අවුස්සන වයසෙ. මට හරියටම නිච්චියක් නෑ. අක්කගෙ මළගෙදර දා බොඳ වෙච්චි මතකයක් තියනවා. අම්ම හොඳටෝම අඬල අඬල කලන්තෙ වෙලා වැටුන ලාවට වගේ මතකයි. ආච්චි අම්ම අපෙ අම්මව වත්තම් කරන් කාමරේට එක්ක ගියත් මතකයි. ලොකු අක්කගෙ මළගම ගැන මට මතක එච්චරමයි. හිච්චි අක්ක ඒ දවස් වල හිටියද කියලවත් ඒ හැටි මතකයක් මට නෑ. මළගමින් පස්සෙ ආයෙ මට තියන පරණම මතකය තමයි ඉස්කෝලෙ ගිය පළවෙනි දවස. එදා මාව එක්ක ගියෙ හිච්චි අක්කා. මම පහේ ශිෂ්‍යත්වය පාස් උණත් මම ඒ ඉස්කෝලෙම හිටියෙ ලොකු ඉස්කෝල වලට වියදම් කරන්න තරම් අපෙ අම්මට තාත්තට වත්කමක් තිබ්බෙ නැති නිසා. මම ශිෂ්‍යත්වෙ පාස් නිසා අපෙ තාත්ත මට අපේ සීයගෙ පරණ බයිසිකලේ හංදියෙ ජයසිංහ මාමගෙ වින්කලෙන් හදවල දුන්නෙ තෑග්ගක් විදියට. ඒ තෑග්ගට මම සෑහෙන්න ආසා කළා. මොකද ඒ තමයි මට ලැබිච්ච එකම ලොකුම තෑග්ග. ඒ බයිසිකලේ තාමත් මගෙ ගාව තියනවා. ඒක මගෙ මතක ගොඩක එකතුවක්. ඉතින්, ලොකු අක්ක නැති උණායින් පස්සෙ හිච්චි අක්ක අක්කගෙ 'හිච්චි' කෑල්ල මගෙ අතින් හැලුනලු. ඒක මට කිව්වෙ අම්මා. ඒක කියන කොයි වෙලාවක උණත් අම්මගෙ ඇස් රතු වුණේ ලොකු අක්ක මතක් වෙලා ද, නැත්තම් අපි ලොකු අක්කව අමතක කරල කියල හිතල දුකටද, මට තාම හිතා ගන්න බෑ.

මට බයිසිකලෙ හම්බුණ දා හිටන් මං ඉස්කෝලෙ ගියේ ඒකෙන්. මුලින් මම තනියම ගියෙ මට හොඳටම හුරු නැති නිසා. කොහොම උණත් බයිසිකලේ හම්බවෙලා දවස් දෙකෙන් යාන්තම් යාර දහයක් විතර කකුල් බිම නොතියා පැද ගන්න පුළුවන් උණා. සතියක් හමාරක් වෙද්දි මට හොඳටම පුළුවන් උණා.

"උඹ මහ ඒජන්ත වගේ ඕකෙ තනියෙන් ඉගිලෙන්නැතිව මේ හිච්චියවත් ඕකෙන් දාන පලයන්" අම්ම එහෙම කිව්ව දා පටන් එදා බහින්බස් වෙනකල් අවුරුදු පහක් පුරාවට හැමදාකම මම ඒකිව දාන ඉස්කෝලෙට පෑගුව. රෝදෙක පැච් එකක් නිසා නොවෙන්න කිසි දාක අපිට පයින් යන්න වෙලා නෑ. කිව්වත් වගේ සුමනසිරිය බයික් එකක් ගත්තු දා හිටන් අක්ක අමුතු උණා. සුමනසිරි කියන්නෙ වින්කලේ ජයසිංහගෙ පුතා. අක්කගෙ පස්සෙ කැක්කුම එන්න එන්නම වැඩි උණා. අවුරුදු පහක් පුරාවට අපි ඉස්කෝලෙ ගිය ගුරු පාරවත්, මම පැද්ද බයිසිකලේවත් වෙනස් නොවුණට, අක්කගෙ පස්ස පැත්ත එන්න එන්නම ළාමක උණා. අක්කගෙ පස්සෙ කැක්කුම සනීප උණේ එක දවසක් උදේ ඔක්කාරෙට ආවට පස්සෙ.

"තෝ අපිව කෑව... පට්ට වේසි....!" අම්ම අක්කට දෙස් තියාන ගෙයින් එළියට ආවෙ ඉස්සරහ දොරෙන්. මම මිදුලෙ බයිසිකලේට චේන් එකේ ග්‍රීස් ගගා හිටියේ. අක්ක අම්මගෙ පස්සෙන් වැටි වැටි ආවා. "පළ  මෙහෙන්, වේස බැල්ලි, මයෙ දෑහැට නොපෙනී...! පළ. දහදුරාවෙ ගිහින් බඩක් උස්සගන... මොන නිංගිරාවක්ද මයෙ අම්මේ....! මට ඉඳල වැඩක් තියනවද දෙයියෝ..."

මට මතක එච්චරයි. සතියකට විතර පස්සෙ සුමනසිරිය මගෙ මස්සිනා උණා. නීතියෙන්ම. අපෙ තාත්ත ගිහින් සුමනසිරියට ගහල අක්කව බාර ගන්නෙයි කියල. ඌත් කොහොම හරි වරද පිළිගෙන. ඒකම මදැයි. කොහොම හරි අක්ක බැන්ද. ලොකුවට මගුලක් ගත්තෙ නෑ. මොකද කියල කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ වෙනකොට වෙච්චි හුටපට සේරම ගම පුරා ගිහින් තිබ්බෙ ඊයක වේගෙන්. අඩු ගානෙ නෑයොවත් ආවෙ නෑ. සුමනසිරියත් අපෙ ගෙදරම බින්න බැස්සා. අම්ම නම් සුමනසිරියගෙ මූණවත් බැලුවෙ නෑ හරියකට. මගුලට කළේ වෙන කරන්න දෙයක් නැති කමට කියල අම්ම පස්සෙ කාළෙකත් මගෙත් එක්ක කියල තියනවා. සුමනසිරිල 'පදු' ලු. පදු කියන්නෙ මොකද්ද කියල මම ඒ කාලෙ දැනන් හිටියෙ නෑ. මට දැන ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නෑ.

අක්කට හම්බෙන්න හිටි පළවෙනි දරුවා නැති උණා. ඒ මාස තුනෙන් විතර මගෙ හිතේ. අක්ක පස්සෙ කාලෙක මගෙත් එක්ක කිව්ව ඒකි අන්නාසි කෑව විත්තියක්, බඩ හේදෙන්න. ඔක්කාරෙට ඇවිත් අම්ම දෙස් දෙවොල් තිබ්බ දා රෑ ගැට අන්නාසි ගෙඩියක් කෑවලු. ඒක තාත්ත දැකල මේකිට ආයෙ තඩි බාලා, 'තොගෙ වලත්තු කම් වලට බඩේ ඉන්න එකා පළි නැතිය, උඹ මැරියන් ඔය බඩේ ඉන්න එකා වදල, මායි අම්මයි ඌව හදන්නම්' කියල. අක්ක කියන්නෙ ඒ කෑව එක්ට දරුව නැති උණාය කියල. අපෙ තාත්තට අක්කගෙ දරුවෙක් බලන්න තරම් ආයුශ තිබ්බෙ නෑ. සුමනසිරිට දාව අක්කට දෙවෙනි දරුව ලැබෙන බඩ වෙලා ඉද්දියි තාත්ත පපුවෙ අමාරුවකින් පරලොව ගියෙ.  එතකොට මම සාමාන්‍යපෙළ ලියල ගෙදර හිටි කාළෙ. අක්ක උසස්පෙළ කරන්න පාස් වෙලා හිටියත් උසස්පෙළ පන්ති පටන් ගත්තත් එක්කමයි අර වින්නැහිය උණේ. ඒකෙන් මේකෙන් අක්කගෙ ඉස්කෝලෙ ගමන හමාර උණා.

සුමනසිරිය තාත්ත කෙනෙක් වෙලා හය මාසයක් යනකොට වෙන ගෑණියෙක් එක්ක ආයෙ හුටපටයක් ආරන්චි උණා. ඒ මගෙ පන්තියෙ යාලුවෙක්ගෙම කණ්වැන්දුම් අක්කෙක්ගෙ ගෙදර යනව එනව කියල. මට එකෙක් ඉස්කෝලෙදි විහිලු කළා සුමනසිරිය ගැන. සුමනසිරියයි මායි අතරෙ ඒ හැටි ඇයි හොඳැයියක් නොතිබ්බත්, අක්ක ගැන තිබ්බ කැක්කුම නිසා, මොනා උණත් මස්සිනාට කියන කතන්දර අහන් ඉන්න අමාරු උණා.

"උඹෙ මස්සිනා කොටු පනින්නෙ සමිතයගෙ අක්කගෙ ගෙදෙට්ට. උඹ නොදන්නව උණාට" පියදාසය මට ඒක කිව්වෙ පන්තියටම ඇහෙන්න. මට දාඩිය දැම්මා. පියදාසයගෙ බොටුව කඩල රීරිමාංසය උරල බොන්න තරම් තරහක් කේන්තියක් හිතට ආව.

"මොකද්ද වේසිගෙ පුතෝ තෝ කීවෙ?" මම හිටිය තැනින් පියදාසගෙ ඇඟට කඩා පැන්නා. වලිය කෙළවර උනේ මුළු පන්තියම සර්ගෙන් ගුටි කාළා. ඉතුරු තරහ ඔක්කොම පිට කළේ ගෙදර ගිහින්. අක්කටත් කේලම කියල සුමනසිරිය හොයාගන වින්කලේට ගිහින් මස්සිනා කම පැත්තක තියල හොඳට ඇමතුවා.

"ඒයි... තෝ කාට කියල හිතාගනද කතා කරන්නෙ? චමරිගෙ මල්ලි නොවෙන්න තොගෙ බොටුව කඩනව දැනගං" සුමසිරියත් මට කෑගැහුවා. වින්කලේ වටේ හිටිය සෙනගත් වට උණා. මස්සිනාල දෙන්නගෙ වලිය ගෙදරටම ගිහින්. අම්මයි අක්කයි දෙන්නම දුවගෙන ආවා. එතකොට වලිය සෑහෙන්න දුර ගිහින්. මිනිස්සු වලිය බේරන්න උනන්දු උණා.

"උඹ වනචර කම් කළා මදිවට මේ අහින්සකයට ගහන්නත් තියා ගත්තද? " අක්ක සුමනසිරිගෙන් එහෙම ඇහුවම මට එවෙලෙ ඇඬුනා. මේකි මට ආදරෙයි කියල හැබෑටම තේරුණේ එදා. එදයින් පස්සෙ සුමනසිරි ගෙදර ආවෙ නෑ. අක්ක දරුවත් එක්ක තනි උණා. අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් අනින්නහෙ සුමනසිරියත් පොටක් පෑදෙනකල් හිටිය වගේ. සුමනසිරිය පස්සෙ වින්කලෙත් වහල තිබ්බා. ඌ අර හොර ගෑණිත් එක්ක කොහෙටදෝ ගිහින් කියල පස්සෙ ආරන්චි උණා.

ගෙදර වියහියදම් බර වැඩි උණා. දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි සුමනසිරිය අක්කව දාල ගියේ. කිරිපිටි, ඇඳුම් කැඩුම් වලට වියදම් වැඩි උණා. මට උසස්පෙළට තිබ්බෙ තව මාස හතරකටත් අඩුවෙන්. මට වෙන කරන්න දෙක් තිබ්බෙ නෑ. අම්මයි අක්කයි මට ඉස්කෝලෙන් නවතින්න දෙන්නෙ නෑ කියල මම දන්නවා. ඒ නිසාම ගෙදරින් ඉස්කෝලෙ එනව කියල ගෙදරින් ඇවිත් හොරෙන් ටවුමෙ හොටෙල් එකක රස්සාවට ගියා. සතියක් හමාරක් යනකොට ඉස්කෝලෙ ඉන්ග්‍රීසි සර් ගෙදෙට්ට ඇවිත් මාව හොයාන. ඇයි මම එන්නැත්තෙ අහන්න.  අම්මයි අක්කයි මම ගෙදෙට්ට එද්දි දුම්මල වරම අරන්. මට කට උත්තර නැති උණා. මොනා කරන්නද.  ආයෙත් ඉස්කෝලෙ යන්න උණා. ඔක්කොම වියදම් බැලුවෙ අම්මයි අක්කයි. අක්කත් නොවින්ද දුකක් නෑ. කිරිසප්පයෙක් උකුලෙ ගහන් රාට රාට පැදුරු විව්වා අම්මත් එක්ක. සමහර දාට ගණන් එකතුකරන්න ලියන්න කියන්න වැඩ එහෙමත් අක්කට හම්බුණා. ඒත් ඒ ඔක්කොගෙන්ම අපි තුන්දෙනෙක්ට කන්න අඳින්නයි, කිරිසප්පයෙක් උස් මහත් කරන්නයි තරම් ගාණක් නම් හම්බුන්නෑ. මේ දේවල් බලාන ඉන්න බැරිම තැන අම්මටයි අක්කටයි වද කරල හවස් වරුවෙ විතරක් ටවුමෙ හෝටලේට යන්නම් කියල අම්මලව අමාරුවෙන් කැමති කරව ගත්තා.

ඒ හෝටලේ වරුවක් වැඩ කළාම දවසට සෑහෙන ගානක් හම්බුණා. ඒ කරදර මැද්දෙ උසස්පෙළ ලිව්වත් කැම්පස් යන්න තරම් හයියක් තිබ්බෙත් නෑ. ඒත් මම පාස්. ඒ එක්කම හෝටලෙ මුදලාලි මාව වෙන තැනක රස්සාවකට දැම්මා. ඒකෙ තිබුණෙ කැශියර් වැඩ කරන්න. පොඩියට කරගෙන ගියපු පොත් බඳින තැනක්. ඉතින්, එතෙන්ට එන ඕඩර් වලට සල්ලි ගන්න වැඩ එහෙම තමා තිබුණෙ. හම්බෙන පඩිය එහෙම්මම අම්මට යැව්වා. අක්කගෙ පුතා අල්ලගන ඇවිදින කාළෙ. මම උගෙ මාමා විතරක් නෙවෙයි. තාත්තත් මමම තමයි. ඒ කාළෙ ආයෙ සුමනසිරිය අක්ක හොයාන අපෙ ගෙදෙට්ට ආව ගියා කියල අම්මවත් අක්කවත් කිව්වෙ නෑ මට. එක දවසක් හදිසියෙ සල්ලි ගෙදෙට්ට තැපැල් කරගන්න විදිහක් නැතුව, වැඩ අහවර වෙලා එහෙම්ම රෑ ගිහින් අතින්ම සල්ලි ටික දෙන්නම් කියල හිතාන ගෙදරට ගියා. යනකොට, සුමනසිරිය මිදුලෙ. මට තේරුණේ නෑ මොනාද වෙන්නෙ කියල.

"අක්කෙ මොකද්ද මේ? මොකද්ද මේකෙ තේරුම?" අක්ක කතා කළේ නෑ. අම්ම කතා කළෙත් නෑ. සුමනසිරිය ආඩම්බරෙන් මගෙ දිහා බලාන හිටියා. මම ආපහුගෙදරින් පිටත් උනේ ආයෙ පැත්ත පළාතෙ එන්නැහැයි හිතාන.

*****

ඊට පස්සෙ මගෙ ජීවිතෙ ගොඩක් ඒව උණා. මම හැම මාසෙම අම්මට හොයා ගත්ත කීය උණත් යැව්වා. අක්කගෙ දරුව බලන්න ආස උණත් ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. ටෙලිග්‍රෑම් එක සතුටට හේතුවක්ද දුකට හේතුවක්ද කියල හිතා ගන්න බෑ.

මගෙ බෝඩින් කාමරේ ඇඳ උඩින් මම ඇල උණා. කාමරේ මුල්ලෙ පත්තු කරපු හඳුන්කූරෙන් දුම් වලාකුළු අමුතු රටා මවන්න පටන් ගත්තා. අතීතය මතක් කරපු නිසාද මන්ද, අමුතු මූසල පාලුවක් මගෙ හිතට ඇතුල් උණා.

"සුමනසිරි අන්ත්‍රා උණා. ගෙදර එන්න"  මම ආයෙත් කියෙව්වා. ආයෙ අයෙත් කියෙව්වා. මට එහෙම්මම ඇඳ උඩ නින්ද ගිහින්ද කොහෙද. උදේ ඇහැරෙද්දි මට ටෙලිග්‍රැම් එක හොයා ගන්න බැරි උණා. මට අම්මව බලන්න ඕනෙ උණා. හිච්චිව බලන්න ඕනෙ උණා. දරුවව බලන්න ඕනෙ උණා.
.
.
.
නිමි.

Tuesday, January 17, 2017

නොහැඟුණු හැඟුම්

කා වෙනුවෙන් නම් කරන ලදැයි නොදන්නා ප්‍රේමය බහා ඇතැයි මසිත සැක කරන, අනේකවිද කැටයමින් හැඩ වූ, නොහොත් මා කැමතිම කැටයමින් හැඩ වූ මංජුසාවක් දෝතින් හදවතට තුරුල් කොටගෙන, නුඹ තරම්ම නැතත් යම් තරමකින් වදන් ගලපන්නට වෙර දරමි.

පෙර කී මංජුසාව කඩා එතුල ඇතැයි සිතෙන මනෝරාජික මහානුභාව සම්පන්න මහෝත්තම ප්‍රේම කිරුළ හැබැහින් අත ගෑමට තරම් හිත නොදෙන්නේ හයියක් නැති කම නිසාම නොව, ලිහන්ට ඇති මල්ල ඔබන කළ හිත විඳින තෘප්තිය ලිහූ කළ අඩුවෙතැයි බියෙන්දෝ හෝයි විටෙක සිතේ.

ප්‍රේමය හැබැහින් වින්දෙමි. මගේ හෘදය නම් දුප්පත් නිවස්නය තුලට වැදුනු දිනෙක එහි කටු මැටි ගෑ බිතු මත මා වේදනාවෙන් මිරිකෙමින් සූරා තැබූ නිය සටහන් නුඹ දකිනු ඇත. ඒ හැබැහින් අත් විඳි ප්‍රේමයේ නටඹුන්ය. ඒ හදවතේ විසිත්ත කාමරය ය. තවත් ඇතුලු කාමර වලට පිවිසි කල එයිනුත් ඔබ්බට මා විඳි වේදනා කම්කටොලු වල ශේෂ වූ දුහුවිලි වලාවන් නුඹ දකිනු ඇත. ඒ දුහුවිලි වලාවන් නුඹට දහසක් දේ පවසනු ඇත. මා පසුකල සෑම දුරුතු පොහොයක්ම එක වන්ව සොඳුරු නොවුන වග නුඹට පසක් වනු ඇත.

නුඹ යහන් ගන්වන්නට මහද වපසරිය ප්‍රමාණවත් දැයි නොදනිමි. නුඹේ අත දරා සිටීමට දෑත් සවිමත් යැයි නොකියමි. එහෙත්, හිත් මුල්ලක කදෝකිමි තරුවක්ම වන් බලාපොරොත්තුවේ සේයාවක් නිවි නිවී දැල්වෙන බැව් පමණක් දනිමි. ඒ වල්ගා තරුවක වල්ගාවකින්ද, නිහාරික දුහුවිල්ලකින්ද, නොහොත් කලු කුහරයකින්දයි තවම නොදනිමි. එය මම ද තවම සොයමි.

හෙටක් ගැන නොසිතමි. හෙට යැයි කියන දිනයටත් එහායින් ඇති අමුතු නාදුනන දිනයක් ගැන හීන මවමි. ආලෝකයට වෛර කරන නිශාචර ආත්මයෙන් මා මුදවා ගැනීමට ක්ෂිතිජයෙනුත් එහා වූ ක්ෂේම භූමියක් දෙස මම නෙත් අයාන බලා සිටිමි. තවමත් බලා සිටිමි. කඳුලු වියලී කොපුල් මත ලුණු කැටව ඇතිවාක් මෙන් දැනෙන තුරුත් බලා සිටිමි. ඉන් පසුවත්... බලා සිටිමි.