Sunday, April 7, 2024

කදිර, වල්ලි, තේවානි සහ අපර්ණා

නිමිත්ත: සිය සැමියා (මන්ථිල) ගේ හොර අඹුව ගැන කතරගම දෙවියන්ට බාර වූ අපර්ණා අමතා තේවානි අම්මා මෙසේ කීවාය.


කදිර ළඟ පාමුලේ නුඹ වැටී උන්නාය

මාත් වම් උකුල උඩ බලාගන උන්නාය

මන්ථිලගෙ හොර අඹුව ගැන කියාපින්නාය

අපර්ණා! නුඹ අසා මට කඳුලු පැන්නාය


පලමුවෙන් කියන්නට ඕනෙ නංගියේ මම

තේවානි වෙමි, නුඹත් අහල ඇති මගේ නම

හිතනවා ඇති මමත් කතා කල කරුන කිම

මටත් දුක තියනවා තද කරන් හදේ ඉම


අපර්ණා දන්නවද, කාලයක් ඔය වගේ 

මාත් තනි යහනතක හීල්ලුව හැටි නගේ

වල්ලිටත් කරුම නම් ගෙවන්නම ඇති ඇගේ

ඒත් අපි තාම එල්ලිලා කදිරගෙ ඇඟේ


සත්තමයි වඩා මට මැරි මැරී උපදින්න

දසස් වර හිතිල ඇති ගං පතුලෙ මියැදෙන්න

වල්ලි, ළඟ දැක දැකත් කදිර තුරුලේ ඉන්න

නංගියේ ලේසි නෑ හිත හදන් සෙත් දෙන්න


උඹල අපි පෙරුම් පිරුවට මැරෙන තුරු ඉන්න

පිරිමි හිත් එහෙම නැතුවැති, අපිට තේරෙන්න

හැටි තමයි හැමදාම කඳුලු වල දියවෙන්න

ගෑනු අපි උපන් හැටි, හිත දුකට කර සින්න


මන්ථිලගෙ හොර අඹුව ගැන කිව්ව දුක මෙදා

කදිරටත් දැනුන වාගෙයි වරද උන සොඳා

නුඹේ දුක අහන් හිටි හින්ද අහකට නොදා

නුඹට උපකාරයක් දේවි ඔහු, බාගදා