Sunday, September 12, 2021

මගේ මළගම

නෑ මං තරහ නාවට මළගමට මගේ
පණිවිඩ මුකුත් කිසිවක් නොලැබිලා වගේ
හිත ගල් කරන් දුකකුත් නොදැනුනා වගේ
උන්නට සුසුම් ඉඳහිට ගිලිහුනා හැඟේ

උඹ නැති හවස් නම් දැන් මට නුහුරු නැති
ඉඳහිට ඒත් මගෙ හිත ඔහෙ ඇවිත් යති
මා මළ හවසකත් එහි වෙනසක් නොමැති
එතුවක් හිතම නුඹ එනකල් බලන් ඇති

වෙනදා උදේ හවහට යන එන පාර
මතකද හැරෙන තැන ළිඳ ගහ ළඟ වීර
පතුලේ ගිලෙද්දිත් මං හිතුවක්කාර
කිව්වෙත් නුඹේ නමමයි අකුරක් නෑර

මූසල කනත්තේ කෙළවර හිඳින නිති
අකලට මල් පිපුණු අරලිය ගහක් වෙති
ඒ ගස පාමුලේ මාගේ සොහොන ඇති
සුදු මල් එපා නුඹ ඇවිදින් ගියොත් ඇති

Friday, April 30, 2021

විරහ රහ

 රෝස මල් පෙති පරව ගිලිහෙන

රාත්‍රිය ළඟ බව දනිමි මම

එදා හිමිදිරි පාන්දරකත්

ජනේලෙන් දුර බලාගෙන මම

ලිව්ව දුක් ගී පේලි කවි වැල්

හරිම රහ කර කියෙව්වත් ඔබ

ඒ රහට ලොල් වී ඉතින් අපි

අනන්තෙට පියඹන්න හැදුවත්

අහෝ අත්තටු සිඳු කළ මම

අඳුන ගත්තේ එකක් පමණයි

විරහ රහ කවි පෙළක විතරයි

Tuesday, April 27, 2021

නුඹේ රුව ගැනම සිහි කරමින් හිඳිමි මම

හිරිකඩ වදින හීතල හිරිගඩු පිපෙනා...

හිරිපොද වැස්සෙ මතකද දවසක් තෙමුනා...

වැහිබර අහස අස්සෙන් දේදුනු මවනා...

හිරු හෙමි හෙමින් මේ කුළු අස්සෙන් එබුනා...


වැහි බිඳු වියලි පොලවේ නෙක රූ මවමින්...

ඉහිරෙයි දසත දිය චිරි චිරි හඬ නගමින්...

හිරිකඩ වැදුණු හිත මගේ හංකිති කවමින්...

ඇවිදියි දසත නුඹ ළඟ උණුහුම සොයමින්...


නැතුවත් ලඟින් නුඹේ නෙතු යුග පෙනෙන ඉම...

ළය තුල සිර කරන් නුඹ වෙත රැඳුනු පෙම...

නො බිඳෙන ලෙසට රැකගෙන ඒ සුපෙම් දම...

නුඹේ රුව ගැනම සිහි කරමින් හිඳිමි මම...


සීතට දසත ගලන සුවඳ රැඳුනු පවන්...

වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්...

හිත මත සදා සිතුවම් වූ නුඹේ නුවන්...

වටිනවා ම හට නුඹ රැඳී සිහිනයත් රුවන්... 

Monday, March 15, 2021

කුසුම්

 පසා කෙරුනු හද මල් හීසර තුඩින

වසා ගැණුනි හද විල තුටු ගී හඬින

නිසා නුඹත් ඉඳ හිට හද විල වඩින

තොසා කුසුම් එසවුනි ඉහළට මඩින

Wednesday, January 20, 2021

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය


හිරිමල් පින්නට

සෞම්‍ය එළියට

නිර්මල පවනට

නැලැවෙමින් මුකුළිත

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය

මතකද උඹට?


නිය පිටින් තදකොට

හිත්පිත් නැතිම ගානට

රුහිරුත් ගලනු දුට

කඩා විසිකල

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය

මතකද උඹට?


ගැලූ ලේ ගල් වී

කිස්කන තුවාලය වේලී

මතු යළිත් අංකුර ඒවී

මුත්, ඒ කිසිත් 

අග්‍රස්ථ නොවේවී


සඳ

Tuesday, October 27, 2020

දහවල් පිපි කුමුදු මලේ



නෙතට ලඟින් යනකොට මම පවන් දැලේ
සුවඳ ගලන විල මැද තනි නැතිද මලේ
නෙතග තෙමන කඳුලැලි පිස හමන වෙලේ
කඳුළු මොකද දහවල් පිපි කුමුදු මලේ

හඬනු කිමද පාළුද සඳ නැතුවාද
පිපෙනු කිමද දහවල, රැය වැරුවාද
බඹරු නුඹට හෙම ඔච්චම් කෙරුවාද
දිනකර දකිනු රිසියෙන් නුඹ පිපුනාද

හිරුගේ නැඹුලු රතඹුරු දුටු කුමුදු මලී
හලනා කඳුළු පොදී දකිනා මහද පෙලී
නුඹේ ඒ කඳුළු නිවනා රිසි පවන් සැලී
දහවල රුදුයි, රෑ පිපියන් කුමුදු මලී

Monday, October 12, 2020

හැඟුම්

හිතේ හිර වූ ලිහා ගනු බැරි නමක් නැති රස බර හැඟුම්

නොහැක දිය කර කවක වත් මට එවන්නට නුඹ වෙත සිතුම්

දැනේ නම් බිඳුවක් තරම්වත් දෙගොඩ ඉහිරෙන මා සුසුම්

නොදුටු ලෙස නොම හිඳ නෙලා ගනු මැන මහද පිපි පෙම් කුසුම්


දුරම පිපුනේ සුවඳ මල් හැම විටම කරමින් මටම ඔච්චම්

තුරුල් කරගෙන සියොළඟම දැවටී සෙනේ පෙම් තෙපුල් දෙන්නම්

රිසියි මට මල නෙලා ගන්නට උණත් ඒ ගස මහට තහනම්

ළඟට එන්නට බැරි නිසා මං දුරින් වත් හිඳ සුවඳ බොන්නම්