Sunday, December 5, 2021

ප්‍රේමය


ඉඳහිටක මට හිනැහෙන

ආයෙ හිතුනම සැඟවෙන

අනේ මට නම් නොතේරෙන්නෙම

නුඹෙ දඩබ්බර ප්‍රේමය 


දුකක් හිතුනම පරවෙන

යළිත් මොහොතින් පිබිදෙන

මඩෙන් එසවුණු නෙලුම් කැකුලක්

වගේ නුඹගේ ප්‍රේමය 


විටක මගෙ හිත රිද්දන

ආයෙ හිත පිරිමද්දන

මහා අමුතුම හැඟීමක් මට

නුඹෙන් ඉතිරෙන ප්‍රේමය 


පුළුන් මේකුලු දවටන

හිටිහැටියෙ වැහිබර වෙන

අහස තරමට විසල් හැඟුමක්

නුඹෙන් ලබනා ප්‍රේමය

Monday, November 15, 2021

තාත්තියි පුතයි

 පුතුගෙ ලස්සන හිනා මල් පොදි හිත පුරවනා ආදරෙන්

මාත් දන්නවා පුතුත් දන්නවා ඒක ලැබුනේ අම්මිගෙන්

දුවන්නේ දඟ වැඩ කරන්නට හැංගි හැංගී හොර හොරෙන්

පුංචි සන්දියෙ මාත් එහෙමලු දැනුත් අඩුවක් නෑ ඉතින්

.

සෙල්ලමට කවුරුවත් නැතුවම ඉන්න හින්දා පාලුවෙන්

මායි අම්මියි, නංගි ඉල්ලුවෙ අහසෙ සුදු හඳ හාමිගෙන්

අම්මි යනවලු එක්ක එන්නට නංගි පැටියව ඉක්මනින්

තාත්තියි සුදු පුතයි ඉන්නේ නංගි එනකල් මග බලන්



Tuesday, September 28, 2021

තාමත්

හීත හිරිකඩ 

ගේන හුළඟත් 

වගේ උණුහුම් 

හාදු වැස්සක් 

ඉන්න හැකි මට 

උණත් වරුවක් 

ඔහේ හිතමින් 

ඉතින් උඹ ගැන 


 නටුවෙ කටු පිරි 

රෝස පඳුරෙත් 

මල් පිපෙනවා 

ඉඳහිටක තව 

එදා වාගෙ 

දිය දොවන්නට 

මෙහේ උඹ නැති 

හින්ද වෙන්නැති 

එදා තරමට 

සොඳුරු කුසුමක් 

ආයෙ නෑ 

හරියකට පිපුනේ 

නොකර බැරුවට 

කරා වාගෙ 

පාට කැත කිසි 

හැඩක් නැති මල් 

විතරමයි දැන් 

පුබුදුවන්නේ 

දඩ්ඩබ්බර ඇති 

රෝස පඳුරත් 

නැතෑ වාගෙම 

හදපු ඈයොම 


 ඉඳ හිටකවත් 

මතක් වෙනවද 

සරත් සෘතුවක 

ගෙවපු දවසක 

ඕපදූපද

මෝඩ සිනහද 

බොළඳ වචනද 

කෝපි තොලගෑ 

සොඳුරු හවසක 

එකත් අතකට 

ඒව මොකටද 

 

කියන්නට තව

දෙයක් තියනවා

ඇහුවොතින් නුඹ 

තරහ ගන්නවා 

ඒක මං හොඳටෝම දන්නවා 

ඒත් නොකියා 

ඉන්න බෑ මට 

හිර කරන් දුක 

හදවතේ තව 


"නුඹ යලිත් 

මගෙ ළගට නාවත් 

ආදරෙයි මගෙ 

පණට තාමත්"

Sunday, September 12, 2021

මගේ මළගම

නෑ මං තරහ නාවට මළගමට මගේ
පණිවිඩ මුකුත් කිසිවක් නොලැබිලා වගේ
හිත ගල් කරන් දුකකුත් නොදැනුනා වගේ
උන්නට සුසුම් ඉඳහිට ගිලිහුනා හැඟේ

උඹ නැති හවස් නම් දැන් මට නුහුරු නැති
ඉඳහිට ඒත් මගෙ හිත ඔහෙ ඇවිත් යති
මා මළ හවසකත් එහි වෙනසක් නොමැති
එතුවක් හිතම නුඹ එනකල් බලන් ඇති

වෙනදා උදේ හවහට යන එන පාර
මතකද හැරෙන තැන ළිඳ ගහ ළඟ වීර
පතුලේ ගිලෙද්දිත් මං හිතුවක්කාර
කිව්වෙත් නුඹේ නමමයි අකුරක් නෑර

මූසල කනත්තේ කෙළවර හිඳින නිති
අකලට මල් පිපුණු අරලිය ගහක් වෙති
ඒ ගස පාමුලේ මාගේ සොහොන ඇති
සුදු මල් එපා නුඹ ඇවිදින් ගියොත් ඇති

Friday, April 30, 2021

විරහ රහ

 රෝස මල් පෙති පරව ගිලිහෙන

රාත්‍රිය ළඟ බව දනිමි මම

එදා හිමිදිරි පාන්දරකත්

ජනේලෙන් දුර බලාගෙන මම

ලිව්ව දුක් ගී පේලි කවි වැල්

හරිම රහ කර කියෙව්වත් ඔබ

ඒ රහට ලොල් වී ඉතින් අපි

අනන්තෙට පියඹන්න හැදුවත්

අහෝ අත්තටු සිඳු කළ මම

අඳුන ගත්තේ එකක් පමණයි

විරහ රහ කවි පෙළක විතරයි

Tuesday, April 27, 2021

නුඹේ රුව ගැනම සිහි කරමින් හිඳිමි මම

හිරිකඩ වදින හීතල හිරිගඩු පිපෙනා...

හිරිපොද වැස්සෙ මතකද දවසක් තෙමුනා...

වැහිබර අහස අස්සෙන් දේදුනු මවනා...

හිරු හෙමි හෙමින් මේ කුළු අස්සෙන් එබුනා...


වැහි බිඳු වියලි පොලවේ නෙක රූ මවමින්...

ඉහිරෙයි දසත දිය චිරි චිරි හඬ නගමින්...

හිරිකඩ වැදුණු හිත මගේ හංකිති කවමින්...

ඇවිදියි දසත නුඹ ළඟ උණුහුම සොයමින්...


නැතුවත් ලඟින් නුඹේ නෙතු යුග පෙනෙන ඉම...

ළය තුල සිර කරන් නුඹ වෙත රැඳුනු පෙම...

නො බිඳෙන ලෙසට රැකගෙන ඒ සුපෙම් දම...

නුඹේ රුව ගැනම සිහි කරමින් හිඳිමි මම...


සීතට දසත ගලන සුවඳ රැඳුනු පවන්...

වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්...

හිත මත සදා සිතුවම් වූ නුඹේ නුවන්...

වටිනවා ම හට නුඹ රැඳී සිහිනයත් රුවන්... 

Monday, March 15, 2021

කුසුම්

 පසා කෙරුනු හද මල් හීසර තුඩින

වසා ගැණුනි හද විල තුටු ගී හඬින

නිසා නුඹත් ඉඳ හිට හද විල වඩින

තොසා කුසුම් එසවුනි ඉහළට මඩින

Wednesday, January 20, 2021

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය


හිරිමල් පින්නට

සෞම්‍ය එළියට

නිර්මල පවනට

නැලැවෙමින් මුකුළිත

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය

මතකද උඹට?


නිය පිටින් තදකොට

හිත්පිත් නැතිම ගානට

රුහිරුත් ගලනු දුට

කඩා විසිකල

ප්‍රේමයේ අග්‍රස්ථ අංකුරය

මතකද උඹට?


ගැලූ ලේ ගල් වී

කිස්කන තුවාලය වේලී

මතු යළිත් අංකුර ඒවී

මුත්, ඒ කිසිත් 

අග්‍රස්ථ නොවේවී


සඳ