Monday, March 4, 2024

ඒක හා මාන

කෑල්ලක් කැපුවොතින්

කිව හැකිද

ආදරේ මගෙ කිලෝ කීයද

පිකෝමීටර් ගානට 


විස්ථාපනය මනින්නට

බැරි තරම් කිට්ටු බව

දන්නවද නුඹ

හදවතට දුර


තප්පරෙන් බිඳක් වත්

ඉන්නකොට ළඟ

කෙල්වින් කීයකට

උණුහුමක් දැනෙනවද

කියන්නට පුලුවන්ද


කැන්ඩෙලා දහසකට

වැඩිය වැඩි එලියකට

උපත දෙනවා

නුඹේ ඇස් දෙක

හෙලන එක බැල්මක


මවුල ගානක

සුසුම් අංශුම

කොච්චරක් හෙලුවද


සරුවාංගෙම අලු දුහුලි කරනවන

ඇම්පියර් ගානක

විදුලියක් නුඹ

හිසෙන් විත් දෙපතුලෙන්

භූගතව යන

Monday, February 19, 2024

දන්නවද කන්නගී?

කෝවලන් මාධවී තුරුල් වී නිදපු දින

නිදිවරපු සිරි යහනෙ මතක නො නැගුණිද පැන

පඬි රටම අවුලන්න වම් තනේ කඩපු තැන

කන්නගී, අපරාදෙ නොහිතුනිද තනේ ගැන




Thursday, February 8, 2024

යළි එමි

 කෛලාශයෙන් පිටවෙමි

රක්තබීජ ගෙල සිඳලමි

අසුර කැල පලවාලමි

නොමළොතින් නුඹ වෙතට යළි එමි


හඳ පළුව නුඹ හිසේ රඳවමි

වාසුකී ගෙල වටා දවටමි

දන්නවද ඊශවර,

යළිත් මම කාලි වෙස් නොගනිමි...!



Thursday, December 14, 2023

වෙදැදුරනි

වෙදැදුරනි පැමිනියෙමි සෙත පතා නුඹෙන් මම

ඒ වුණත් කියන්නට නොදන්නෙමි ලෙඩේ නම

රිදෙනකොට පපුව මැද සහ වටේ පැත්තෙ හැම

වෙන්නෝන බෙහෙත ගැන ඉඳුරාම දනිමි මම 



පළමුවෙන් පෙනහල්ල අසලටම යා යුතු

චිකිත්සා කළ මැනවි ඇතුල් පැති ගර්ත බිතු

ඇගෙ සුවඳ රැඳි හුස්ම නො ඇලෙන්න මෙයින් මතු

හතර කොණ ඇල්කොහොල් වතුර ගෙන පිසිය යුතු



ඊ ළඟට නුඹ හදේ සැත්කමක් කල යුතු

පපුව හරි මැදින් විද ගැඹුරටම යා යුතු

ඈ රැඳුන මතක පැස අඬුවකින් ගත යුතු

විදුම නො ඇරෙන ලෙසට සැත් මැහුම් ලෑ යුතු



ලේ උණත් ඉහිරෙන්න ඉඩ කිසිත් නො තිය යුතු

මැහුම් ගැට නො ලිහෙන්න පැලැස්තර දැමිය යුතු

තුවාලය කිස් නොකන ලෙසට සැත්කමෙන් මතු

වේදනා නස්න මධුවිත බෙහෙත ලිවිය යුතු

Monday, December 4, 2023

බුම්මන චුම්බන


හැඟුම් තොර වුණ

හිතත් අවුලන

ආදරේමද ඔය පිරෙන්නේ

ඩිම්පල් කොපුලතක

බුම්මන


අමුතු මොහොතක

අතරමං වෙන

රසක් තිබුනා

හිනා වල නුඹෙ කොපුල්

පුම්බන


නුඹ නැතිව යන

දිග දවස් වල

හිත තවන්නේ

වෙන මුකුත් නොව

නුඹ ගැනම ඇති මතක

චුම්බන 

Sunday, November 19, 2023

අත්තම්මගේ සිල්



උදේම නැගිට්ට අත්තම්මා:


මං නැගිටින්ඩ කලියෙන් කාමරේ දොර

මත්තේ නැගී කවුදෝ තඩි බාන සැර

ඇහිලා කඩං නිදි ගැට මං දොරත් ඇර

ඇහුවා "මොකෑ අත්තම්මේ පාන්දර?"


"සුදු මුණුබුරේ දැක්කද අල්ලපු වත්තේ

පිච්චද සමන් සේපාලිකා අර අත්තේ

ටොන් දෙක තුනක මල් නම් තොගයක් ඇත්තේ

කඩපං හනික උන් ඇහැරෙන්නට මත්තේ"


අත්තම්මාගෙ පුන්‍යාරාධනාවෙන්


නෑ බෑ නොකියනා මුණුබුරු නිසාවෙන්

කඩලා කිලෝවක මල් මම හොරා මෙන්

ප්‍රීතිය පස්වනක් ගති ඒ පමාවෙන්


දවල් දානෙ පිලියෙල වෙන්න ඕන විදිහ ගැන අම්මට උපදෙස් දෙන අත්තම්මා:


"එක එක උන්දැලා දාගෙන පනාව

දානේ කන්න බෑ මට නම් ගෙනාව

ඔම්ලට් එකයි චිකනුයි බත් මනාව

දානෙට ගෙනෙන්" කීවයි පා හිනාව


සිල්ගන්න නාගන්න යන්න ලෑස්ති වෙන අත්තම්මා:


"සුදු කෙස් මෙහෙම තැන්තැන් වල තියන් වනා

සීලෙට උණත් හොඳ නෑ ඉඳ ගන්න වෙනා

ඊටත් හපං මැගිලියා දැක්කොතින් හිනා

කෝ බං දුවේ පෙරේදා උඹ ගත්ත හෙනා"


සිල්ගන්න යන්න ලක ලෑස්ති වෙන අත්තම්මා:


"ඊයේ හවහ හෝදපු මගේ සිල් රෙද්ද

මත්තේ පහරලා ගිය කපුටෙක් ඇද්ද,

සත්තයි, කැඩිල පල ඕකගෙ හොට මැද්ද"

කපුටට දෙවයි පිං, ඈ කරමින් සද්ද


සිල් ගන්න යන්න ලෑස්ති වෙලා ගෙයින් දොට්ට බැස්ස අත්තම්මා:


ඇඳගන කරන්, ලා සිල් සලුවක්ද කරේ

බහිනා කලට උලුවස්සෙන් ගෙදර දොරේ

පත්තෑයෙක්ව දැක සීලය තියා පොරේ

ගත්තේ නැතැයි දෝතට දිග පොල්ල දොරේ


"හැබැහැට නිවනෙ පිං දහමක් කරගන්න

ඉස්පාසුවක් නෑ මුං හින්දා ඔන්න

තලපං පුතේ පත්තෑයා චුරු වෙන්න

බර දා පොල්ල අල්ලල ගං, ආ මෙන්න"


හරහට අරන් දිග දොර පොල්ලක්ද අතේ

වාගෙ වඩිගපටුනට සැරසිලා හිතේ

"කෝ බං වරෙන් හනිකට මෙහෙ වරෙං පුතේ,

මුං නම් නොමර අත අරින්න හොඳම නැතේ"


හෙමිහිට දොරකඩට ආවයි අප්පච්චි

නොමරා ඌට ජීවිත දානය වෙච්චී

පත්තෑයාට අද නම් පින පෑදිච්චී

අත්තම්මාගෙ කරුනාවෙන් බේරිච්චී


පත්තෑයව බේරල ඇරිය අප්පච්චි ගැන කලකිරුනු අත්තම්මා:


"මෙහෙමත් එකෙක් හැදුවනෙ මම අනේ දුක

නොදකින් උලා ගන්නව මගෙ කට ගලක

අමතක මුන්ට පුරාණ කියමනක් එක

මෝඩය නෑර විසගොර සර්පයා දැක"


වටටම පිංදිදී ගෙදින් දොට්ට බැස

අත්තම්මා ගියයි පිං කරගන්න රැස

කියලා ඉවර කරන්න බැරි කමම මිස

එතනින් පස්සෙ තව තව ඇත කතා රස


පෝදා උදේ ඉර මල වාසනාවන්

කෑ ගා හඬන කපුටන් වාසනාවන්

අත්තම්මාට අටසිල් වාසනාවන්

වේවා නිවන් හා මල් මල් හිනාවන්

Wednesday, November 15, 2023

කාලගෝලට ලියමි

මා ප්‍රිය මිතුරු කාලගෝලයෙනි හිතවත්

අහිතක් මා කෙරේ කරුණාවෙන් නොමගත්

නොකියා නොහැකි හන්දා මට උණ විපතත්

මේ කෙටි ලියුම නම් අද නොලියා බැරුවත්


හත්වස කඹුට මෙහෙවර කොට ගත් ලන්දා

ඇති උඹ වින්ද දුක නම් දික්තල හින්දා

පෙම් කල නමුත් උඹ ඈ හට මන නන්දා

මං කලෙ පවකි මගෙ හිත ඈ වෙත රන්දා


රූපෙට සොඳුරු ඇගේ මං වහ වැටුනු නිසා

රසබර කෝල මුකුලිත ඇගෙ වදන් අසා

සොරකම් කරන් ආවට උඹෙ දෑස් වසා

කල කම් අපල විය මට මෙදවස මෙලෙසා


පිවිතුරු සොඳුරු දික්තල යැයි මහිත පැතූ

ඈ නෑ තැවරුවේ සුදු වස්තරේ රතු

නොකලත් කිසිත් නින්දා ඈ වෙතම ගෙතූ

ප්‍රේමය විතරමයි මම පුද කලෙද මතූ


ඉක්බිති ඉදින් ඈ බඩ දරු දැරුවාය

සැපසේ සොඳින් දරු පැටියත් වැදුවාය

'තුම් පිය වරම ඈ මා හට සැදුවාය

ඈ දුන් එකම දායාදය දරුවාය


ඈ මා පැලට විත් ගත වූ දස මසක

නෑ බත මාලුවක් පිසුවේ කිසි රසක

පිල උඩ ඉඳන් ඈනුම් ඇරියා මිසක

නෑ අන් වැඩක් බැන්නයි ගෙන යක් වෙසක


ඉඳහිට දිනක සඳුනුත් කහ මූණෙ උලා

පැදුරක වැටී උන්නා මුල්ලකට වෙලා

මේකිව සහේ ගෙන කල පව මතක් වෙලා

කාලගෝල මල්ලියෙ මම හිතින් මළා


මගෙ මව් දෙමව් පිය හට 'තුම් සැලකීම

පිළිබඳ කලේ නම් ඉන් ඈ වැළකීම

උන්නත් පෙමින් මම ඈ ළඟ උකුලේම

ආදර ගතිය පෑමයි ඈ නොකලේම


ඈ මට සෙනෙහසක් නම් නොම පෑවාට

මං නැති දාට කොල්ලෙක් ආවලු රෑට

ලප නොමවන් සඳක් ලෙස මං හිතුවාට

සඳ ළං උනාමයි දුටුවේ ආවාට


ඉල්ල ගන්න අත මාරුව දෙන්න කියා

අල්ලපනල්ලේ මිනිහෙක් ආවා ගියා

පොල්ල ති‍යා ඌ හා ලියමනක් ලියා

කල්ල කපටි අම්මණ්ඩිය පැනල ගියා


මේ නම් උරුම දුක මට නිති ඇති සැටියා

ඈ මෙහි දමා ගියෙ ඈ වැදු දරු පැටියා

හැකි විට වරෙන් අහන්න අප දුක් කැටියා

නවතිමි 'හෙනම්, මම හිතවත් දික්පිටියා