Tuesday, September 26, 2023

අමෘතය

ඉහිලුවත් සුසුම් හදවතේ නැගි අහසකට

වැහි උනත් එන්නෙ හීතල දෙන්න ඉකියකට

නැහි නැහී ඉපැදෙමින් රිදෙන ජීවිතයකට

මැහි තෙලුත් අමෘතය වෙනවා සුළු මොහොතකට

Monday, September 25, 2023

නවතින්නම්!

ඇහුවොතින් ආදරේ තරම කොච්චරක් දැයි

මෙච්චරයි කියා මගෙ දෑත් විහිදන්නම්


කිව්වොතින් අහස මත පායනා සඳ හැඩයි

නුඹ එක්ක සඳ මතට ඉගිලිලා යන්නම්


ඉල්ලනා තරම් මම නුඹේ හිත පිරෙන්නට

ආදරේ ගඟක් වී නුඹ මතට එන්නම්


ඒ තරම් ආදරේ ඇති වෙනා දිනක් වෙද

දරාගන හිතේ දුක මම නිහඬ වෙන්නම්




Sunday, September 24, 2023

සුළඟට කියමි

මැරුණු මතකය වැලලු තැන මතු වෙලා තුබු ඒ අරලියා ගස

දරන රතු අරලියා මල් මත සුවඳ දෙන්නේ මතකයේ රස

හමන සුළඟක පටලලා මගෙ ළඟ දැවටුනත් සුළඟ නුඹ යස

ඉන් සුවක් නොලදිමිය හිතවත් සුළඟ, තව හිත ලසෝ දුක මිස

Monday, September 18, 2023

මම වෙන්නම් සිදුහත්!

ඇවිලෙන ගිනිකන්ද දරා නුඹ පාමුල නිවුනත්

යටිකුරු කල කලසට ආදර වැහිදිය ගැලුවත්

අබිනික්මෙන දින හැපි හැපි නුඹ මට හෙන යැදුවත්

නුඹට නොවුනට යසෝදරා මං වෙන්නම් සිදුහත්






Monday, September 11, 2023

කවියෙක්ට ඕන එහෙමත් ආදරයක්!

කවියක් වදන්න

විලිලන හදවතක් දැක

උණු දියෙන් හිත තෙමන

ළඟ ඉඳන් ආදරෙන්

විලිගන්න වාරු දෙන

අවසානයේ,

සියුම්වට පිහිතුඩෙන්

පෙකනි වැල කපන

කවිය දෝතින් වැළඳ

ආදරෙන් සිඹින

වින්නඹුවක්!


හත් පෙති මල



ලිහ ලිහා ඇවිත් හත් පෙති මලක පෙති

කලංකය විතරක්ම දැන් අත ඉතිරි ඇති

පැතුව පැතුමකට ඉටු උන කිසිත් නැති

මමත් ඉරුණු කවියක් එළිවැටක් නැති


බිතු මත මැකුන නටඹුත් බලි කුරුටු වෙති

රතු උන දෙනෙත් මත කඳුලත් ඉතිරි නැති

නතු කර මහිත මත පර උන කුමුදු පෙති

අතුරා ගැඹුරු පතුලක යට තබමි නිති