Sunday, December 18, 2016

නිර්නාමික v

තිවංකට මෙන් මගේ සිහින වලට සිද්ධාර්ථ හෝ යශෝදර නොවඩිති. ඒවා සැමවිටම නිරර්ථ බහුබූතම පමණක්ම විය. විටෙක මම මගේ සිහින වලට ආදරය කරමි. විටෙක දකුණු පයේ උපන් ලපයටත් වඩා වෛර කරමි.

"මගේ ජීවිතේ නිකන් ඔහේ පාවෙලා යනව. මටම මාව තේරෙන්නෙ නෑ. මේ ජීවිතේ මහ කරුමයක්."

මම මටම කියා ගනිමි.

"තිවංක තනියම දාල ආවට මොකද්ද වගේ. එයා මම ගැන ඕනාවට වඩා හිතනවද මන්ද. මගෙ හිතේ එයා ගැන ආදරයක් නෑ. හෝව්...! ආදරයක් නෑ? නැත්තම් මොකද්ද තියෙන්නෙ? මුකුත් නෑ. අපි යාලුවො. යාලුවො? යාලුවො නම් එය තිවන්ක අල්ලපු අතයි කිය කිය ඉඹ ඉඹ හිටියේ. නෑ.. ඒත් මගෙ ආදරයක් එයාට නෑ. එයා මගෙ හොදම යාලුවෙක්..."

මම මාවම රවටා ගනිමි, නොහොත් මම මාවම අස්වසා ගනිමි. තවමත් මා පාසල පෙනෙන මානයේය. මට ඉක්මනින් පාසල පසු කර යාමට උවමනා විය.

"තිවංකත් දැන් ගිහින් ඇති" මම සිතමි.

මම කාමරය තුළට වැදුනෙමි. සුදු ගවුම පිටින්ම ඇඳ මත වැතිරෙමි. තුරුල් කරන් ආ පොත් ටිකද ඇඳ මතම පසෙකය. අම්මා කාමරයට පැමිණෙයි.

"හොඳයි ළමිස්සියො හැදෙන විදිහ. හවස් වෙනකල් ඉස්කෝලෙ මොනා කරනවද. ඇරත් ආව ගමන් ඇඳුම්වත් ලිහන්නෙ නැතුවෙ ඇඳට වැටිල. අනේ මෙහෙමත්..." අම්මා කියවන්නීය. මම දෙනෙත් පියාගතිමි, කිසිත් නෑසුන නොවුන සේ.

"නැගිටිනව ඇඳෙන්. හ්ම්. නා ගන්නව ගිහින්. කෝ..." අම්ම තුවාය ගෙන් රෙද්දකින් මට ගසන්නට විය. මම නැගී සිටිමි. මම අම්මා අත වූ තුවායද උදුරාගෙන නාන කාමරයට රින්ගා ගනිමි.

"මම මහ හිතුවක්කාරියක්. මාව අමාරුවෙ වැටෙනව ලඟදිම... මම දන්නවා. කමක් නෑ. අම්ම මට වැරදි කියන්නෙ... එයත් හොඳ එක්කෙනා වගේ. තාත්ත එක්ක යාලු වෙලා ගෙදරින් පැනල මේ කැලේ මැද්දෙ ගෙවල් හදාන. අත්තම්මල පස්සෙ අනුකම්පා කරල උදව් නොකරන්න ඉඳී මෙහෙම. මම ටිකක් පරක්කු උනාම තමයි..."

මම කණ්නාඩිය දෙස බලා සිටිමි. එකින් එක එකින් එක පැටලුන සිතුවිලි අතරින් තිවන්කගේ සිහිනය සිහි වෙයි. එහි කතාවක් මම නොදනිමි. තිවංක ඒ කියු වේලෙ මට එහි අන්තර්ගතය දැන ගැන්මට උවමනාවක් වූවේද නැත. එහි යශෝදරා හා සිද්ධාර්ත දෙපල සිටි බව කිව්වේය.

"බොරු වෙන්න ඇති අනේ. එයගෙත් විකාර. එයා කොහොමද දන්නෙ ඒ හිටියෙ සිද්ධාර්තයි යශෝධරාමයි කියල. මොකෝ කලින් දැකල තියනවයි."

එදා තිවංක මගේ අතින් අල්ලා කිව්වේ සිය හදවතේ වපසරිය පිළිබඳවය. ඒ වනාහී පන්තියේ එල්ලා ඇති එකටත් වඩා ලොකු එකකි.

"තිවංක මට ආදරේ නිසයි එහෙම කියන්න ඇත්තෙ. ඒත්, මට එහෙම එකක් එයා ගැන හිතෙන්නේ නෑ. ඒත් මම එයාට කැමතියි. ඒ අදරයක් නෙවෙයි."

මම ඉක්මනින් ඇඳුම් උනා දමා නා ගනිමි. වෙනදා මෙන් කැඩපත පිනවීමේ පිරියක් මට නොවීය. කෙසේ වෙතත් මා එලියට ඒමට ඔන්න මෙන්න කියා, අම්ම හඬ තලන්නට වූවාය.

"මේකිට මොන යකෙක් වැහිලද. ඕක අස්සෙ රිංගල දිය වෙලාද. එළියට වරෙන් දැන්. රැ වෙනකල් නාන්නද කල්පනාව."

මම දොර හැර, ඇඳි තුවාය අල්ලා ඉක්මන් අඩියෙන් කාමරයට රිංගා ගනිමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික vi