Thursday, July 9, 2015

කරුමක්කාර අරුමය

ජීවිතයේ අරුමය මෙයය. නැවතිල්ලේ සිතන විට, ජීවිතයේ ලද සොඳුරුම අත්දැකීම් සියල්ල සංගෘහිත වනුයේ පාසල් සමයට ය. වචනයේ පරිසමාප්ත අරුතින්ම, සුන්දරත්වය අත් විඳි, අති වින්දනීය, අති ආශ්වාදජනක වූත් කාල පරාසය එයය. එය ඔබටත් මටත් නොරහසකි.

විශ්වවිද්‍යාල ඉන් ඔබ්බට ගිය මහා වෙනස් එකක්ය. එය ගුප්තය. රහසිගතය. සමාජයෙන් වෙන්වූ අමුතුම පරිසරයක්ය. අමුතුම මිනිසුන්ය. පාසල් අධ්‍යාපනය කෙලවරේ ඇති උපෙල නම් පෙනේරයේ කුඩා සිදුරු වලින් නොවැටී තව දුරටත් එහිම රැඳී සිටීමට පින් කළ (නොහොත් පව් කළ ) දනන් ඔවුහු වෙති, නොහොත් අපි ම වෙමු. (ප.ලි. විශ්වවිද්‍යාලයක් යනු රටක් තුල පවතින කුඩා බිම් කඩක් විනා රට යනු විශ්වවිද්‍යාලය තුල පවතින කුඩා බිම්කඩක් නොවන වග උපකල්පනය කොට මෙය ලියන ලදී. ඉදින් මෙහි අරුත වටහා ගැන්මට නම් යතෝක්ත කරුණ සෑමවිටම සිහි තබා ගත යුත්තේය. එම උපකල්පනය වැරදි වන කල මින් එහා එකදු වදනක අරුතක් නොමැති වනවාද විය හැකිය. )

විශ්වවිද්‍යාලය පැමිණි මුල් කාලවකවානුව සිහිපත් වෙයි. ලෝකය හෝ පාසල හෝ නිවස විසින් අප මනෝ බිතු මත සිතුවම් කලා වු 'කැම්පස්' සිතුවම යතාර්තයෙන් බොහෝ සෙයින් අපගමනය වූවකි. ඊට අනුගත වීම අපහසුය. අනුගත වූ පසු සිටීම පහසුය. එය වෙනම මාතෘකාවකි.

මානුශීය හැඟීම් හා බැඳීම් විශ්වවිද්‍යාලය හා පාසල යන දෙක තුල දෙ ආකාරය. කාලයාගෙ ඇවෑමෙන් දියව යන බැමි විශේෂයකින් විශ්වවිද්‍යාලයේ හමුවන 'බැචාලා' හා 'බැචීලා' බැඳ දමනු ලබන්නා සේම, ඒ ගැට ලිහී බැමි දිය වී යන්නේ කාටත් නොදැනීය. මෙය පිළිගැන්මට සමහරෙක් මැලි වීමටත් මෙයට ගැරහීමටත් ඉඩ ඇත. නමුත් හැබෑව මෙයය.

අප මරණය ගැන කතා කිරීමට බියය.
"අම්මේ, මම කැම්පස් අවුට් වෙන්න කලින් මැරුනොත් අම්මල මොකද කරන්නෙ?"
"කට කට ! මූසලය. තොට ඔය වගෙ ගොං කතා කියන්නෙ නැතුව කට පියාගන ඉන්ඩම බැරිද?"
අපේ සංස්කෘතිය මෙ ආකාරය. අපි මැරෙන බව දනිමු. එහෙත් එය කතා කිරීමට මැලි වෙමු. බිය වෙමු. යතෝක්ත කරුණද එසේමය.

පාසල වෙසෙසි.පාසල තුල බැඳීම් හෙවත් මිතුදම් ස්වභාවිකය. ගුරුවරු මානුශීය ය. සියල්ලෝම මිනිසුන්ය. ප්‍රදර්ශන කාමයෙන් තොරය.

වියලි පාසල් පොලවට වැස්ස වැටෙන කල, පොලවෙන් හමන නැවුම් සුවඳට අපි ආශා කලෙමු. විවේකයට පෙරත්, අවසන් කාලච්ඡේදයට පසුත් හඬවන සීනු නදට අපි ආශා කලෙමු. පාසලෙ ගස් හෙවනේ මිතුරන් හා එක්ව ඕපා දූප හා 'ඇම්ඩන්ගේ කතා' කියමින් කොක් හඬ ලා සිනාසීමු. ලැබු උපකාරයකට තුතියත්, සිදුවුනු වරදට සමාවත් අපි නොපැකිල පැවසුවෙමු. පන්තියේ මේස පුටු පෙලට තබා ගත්තෙමු. දින පතා ඒ ඇමදීමු. ඊට 'පිරිසිදු කිරීමේ කාලසටහන' ක් සකසා ගතිමු. ගුරුවරයකු නැති විට පන්තිය දෙවනත් වනතුරු කෑ ගැසීමු. ඒ කෑ ගසනා ළමුන්ගේ නම් කලු ලෑල්ල මත ලීවෙමු. එය මා පමණක් නොව ඔබටද උරුම නොවූවක් නොවිය යුතුය.

විශ්ව විද්‍යාල සුන්දරය. යෞවනීය ය. ක්‍රියාශීලීය. ආදරණීය ය. නුමුත් එහි පාසලේ නොතිබූ කුමක් හෝ ගුප්ත බවක්, වේදනාවක්, කඳුලක් හිත නොහඳුනන අරුමයක් ගැබ්ව ඇත්තේය. විටෙක මම විශ්වවිද්‍යාලය ඉඳුරාම පෙම් කරමි. තවත් විටෙක් මම ඊට වෛර කරමි. මා පළමු වසරේදී අප පීඨයෙන් ඉදිරිපත් කළ නාට්‍යයක මෙසේ තිබුණා මතකය. මේ එහි තිබූ දෙබසම නොවූවත්, මේ හා සමාන එකක් එහි තිබිණි.

"අපි හැමෝම නළුවො. අපි රංගනයේ යෙදෙනවා. අපේ රංගනයේ, අපේ චරිතයේ අපිට අදාල තිර පිටපත ලියන්නේ අපි නෙවෙයි. අපි ඇරුනම සමාජයේ අපි අවට ඉන්න අනිත් හැමෝම"

එය සැබෑවය. සරලවම කියන විට, 'අපි ජීවත් වන්නේ අනුන්ට ඕනෑ ලෙසය'. කැම්පස් ජීවිතයේ 'බහුතරය' ද එසේය. ඔබ ස්වයං විවේචනයේ යෙදෙන්න. ඉදින්, විශ්ව විද්‍යාලය මට විටෙක තිදස පුරකි. විටෙක අවීචියකි. පාසල ද එසේම විය. අද සිහි කරන විට එය එසේ නොවූවත් එය සැබැවින් විඳින කල එහි ගුණ නුගුණ අපි එක සේ දුටිමු. ගුණ කෙසේ වෙතත් අපි නුගුණ නම් හොඳ හැටි දුටිමු.

නුමුත්, පාසල තුල බැඳීම් සසඳන කල ඒව කාලයාගේ ඇවෑමෙන් ස්වභාවිකව හටගන්න, හෘද සාක්ශියට එකඟව ඇති වන්නා වූ මානුශීයත්වයෙන් උතුම් වූත්, කාගෙ හෝ බල කිරීමකට නොව, ස්වකීය සිත් තුලින්ම ඉබේ පැන නැගෙන්නා වූ බැඳීම් ය. කාලයාගේ ඇවෑමෙන් තව තවත් ශක්තිමත් වනු විනා එහි වියැකීමක් හෝ දිය වීමක් නැතිය. අදටද ඒ මිතු දම් එලෙසම පවතිනවා නොවෙද?

කෙසේ නමුත් 'විශ්වවිද්‍යාල ජීවිතය සුන්දරය' යන වැකිය තුන් සූත්‍රය මෙන් බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ගේ මුවින්ම පිට වනු අසා ඇත්තෙමු. මම ඒ කුලකයට අයත වෙමි. ඒ සුන්දරත්වය තුල ගත වූ සිව් වසර තුල පවා වටහා ගත නොහී මහා ගුබ්ත හැඟුම් සමුදායක් තවමත් මා වටා කරකැවෙමීන් පවතී. ඒ හැඟුම් ඔබටද නැතිවා නොවිය හැකිය. ඔබෙන්ම විමසන්න. ඔබේ ජීවිතය මෙයද? මේ ජීවිතය ඔබේ ද? ඔබ මේ ජීවිතයට අයත් ද? අපි තවමත් පිළිතුරු සොයමු. බාග දා, මා පෙර ලියූ වාක්‍යය 'මම තවමත පිළිතුරු සොයමි' ලෙස වෙනස් වූවා නම් මැන වැ යි ද සිතේ.

2 comments:

  1. දිගට ම ලියනවානම් තවත් අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. වෙලාවක් ලැබෙන හැම වෙලේම ලියනවා...

      Delete