Wednesday, November 16, 2016

නිර්නාමික iv

"සිද්ධාර්තයි යශෝධරයි ගැන ඔය හැටි කියවන්නෙ මොකද?"

"මම හීනයක් දැක්ක. ඒකයි."

"ආ... කොල්ල සෝවාන් වෙලාද දන්නෙ නෑ ඔහොම හීන පේන්නෙ!"

"පව් සිද්ද වෙන කතා කියන්න එපා මේධා. සෝවාන් උණාම එහෙම හීන පේනව කියල එකක් තියනවද? පිස්සු ඔයාටත්."

"හරි හරි මට තමයි පිස්සු" මේධා පුටුවෙන් නැගිටල ගියෙ කලු ලෑල්ල ළඟට. මම හිටපු තැන ඉඳන්ම බලන් හිටියා. මේධානි කලු ලෑල්ලෙ ලියල තිබ්බ ටික පිහල දැම්මෙ සුදු පාට වෙලා තිබ්බ හුණු කොට්ටෙන්. ඒක මහගන ආවෙ කාංචනා. ගෙනාව දවසෙ කලු පාටට තිබ්බ හුණු කොට්ටෙ දැන් සුදුම සුදුයි. මට මතක් උණේ චුල්ලපන්ථක හාමුදුරුවො!

"රජෝ හරණං! රජෝ හරණං!! රජෝ හරණං!!!" මගෙ හිත මිමිණුවා. සුදු රෙදිකඩ කුණු දුහුවිල්ලෙන් කලු වෙනවත් එක්කම චුල්ලපන්ථක හාමුදුරුවො මාර්ගඵල ලැබුවා. කලු පාට හුණු කොට්ටෙ සුදු පාට උණ එකයි ඒ කතාවයි හරි පරස්පර විරෝධී. කලු ලෑල්ල කලු කරගන්න, හුණු කොට්ටෙ කලු ලෑල්ලෙ තියන සුදු හුණු සේරම ගන්නවා. මට පිස්සු වගේ.

"මොනාද කල්පනාව? ඉක්මන්ට පාඩම පටන් ගමු. ගෙදර යන්න ඕනෙ."

"මොනාද අද කරන්නෙ?" ජාතක කතා පොතෙන් පියවි ලෝකෙට ආව මම ඇහුවා.

"හැමදාම හදවතේ කොටස්ම කියල මටත් එපා වෙලා"

"අද එහෙනම්... වෙන මොන හරි කරමු. කොච්චරක් නම් දේවල් තියනවද, දන්නෙ නැති."

"දන්නෙ නැති දේවල් උගන්නන්න මම දන්නෙ නෑ. දන්න දෙයක් තියේ නම් කියන්නම්." ආපහු මේධානි මගෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉඳගත්ත.

"මේධානි මගෙත් එක්ක තරහ නෑ නේද?"

"අර මොනාටද?"

"එදා, මම කරපු නරක වැඩේට!"

"මොකදද?" මේධානි බිම බලාගන ලැජ්ජාවෙන් වගේ ඇහුවා.

"හා හා. අමතක නම් කමක් නෑ. තරහ නැත්තම් එච්චරයි. මම හිතුවෙ මේධානි මගෙත් එක්ක ආයෙ කතා කරන්නෙත් නැති වෙයි කියල." මම එහෙම කියාගන පුටුවෙන් නැගිට්ටා. කලු ලෑල්ල ළඟට ගිහින් හුණු කූරක් අරන් පන්තිය දිහාවට හැරුණා. මේධානි හිටියෙ කලු ලෑල්ලට පිටුපාල ඉඳගන. උදේ වරුවම ඝෝෂාකාරීව තිබ්බ ඉස්කෝලෙම නිස්කලන්ක වෙලා. හවස ඉස්කෝලෙ හරිම නිහඬයි. "හා... දැන් මේ පැත්ත හැරෙන්න. අද මම උගන්නන්නම්."

මේධා හෙමීට නැගිටල මම ඉඳන් හිටිය පුලුවෙන් ඉඳගත්තා. අපි ටිකක් වෙලා අපි දිහා බලන් හිටියා.

"තිවංක... මම යන්නම්!" ටිකකින් මේධානි කිව්වා. මට එපා කියන්න බැරි උණා. මේධානි ගිය හේතුවක් මම දන්නෙ නෑ. ඒත් එයාට ඉන්න කියන්න තරම් හේතුවක් මට හදාගන්න තිබ්බෙත් නෑ. බිත්තියේ එල්ලල තිබ්බ හදවත දිහාවට මම හැරුණා. ඒක දිහා බලන් උන්නා. මේධා පොත් ලෑස්ති කරන් මගෙ ගාවට ඇවිත් මොහොතක් බලන් ඉඳල ලොකු හුස්මක් අරන් පන්තියෙන් එළියට ගියා. මම බිත්තියේ එල්ලල තිබ්බ හදවතට ඇඟිල්ල තිබ්බා. හුණු දූවිලි තට්ටුවයි. ඇඟිල්ල ඉබාගාතෙ හදවත පුරා අරන් ගියා. මට ඇහෙන නෑහෙන ගානට මගෙ දෙතොල් මිමිණුව.

"රජෝ හරණං... රජෝ හරණං...!"

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික v

No comments:

Post a Comment