Tuesday, June 5, 2018

නිර්නාමික xix

තිවංක නිවසින් ගිය බැව් මම අසා ගත්තේ අම්මත් අප්පච්චිත් කතා කරනු ඇසීමෙනි. හදවත දැනටමත් කඩා වැටී තුබූ හෙයින් ඉන් එහා කඩා වැටීමට ගැඹුරක් තවත් ඉතිරිව නොතිබෙයි. මම කැඩපත ඉදිරියේ සිටගතිමි. තිවංක හා මා අතර තිබූ විකාරරූපී ප්‍රේමානන්දනීය විරහ කතා වස්තුව දෙනෙත් පියාන වුවද දෙනෙත් හැර වුවද හැම විටම හිත අභියස මැවෙයි.

මාස කිහිපයකට පෙර මේ කැඩපතෙන් දුටු සුන්දර මේධානි වෙනුවට මුහුණ ඉදිමුණු ඇඟෙහි හැඩ හැලුනු නිකන්ම කෙල්ලක මම දකිමි. ලස්සනය යැයි සිතු මම ම, අද, අවලස්සන, මා තුල දකිමි. ඇඟ හෝ මුහුණ ලස්සන වන්නේ ලස්සන හිතකින් ඒ දෙන බැලු විටක පමණක් බව මම වටහා ගනිමි. විනිදින නයිටිය හරහා එල්ලී වැටුනු මගේ පියයුරුද, කුදු කොටගත් කොන්ද නිසා පෞරුෂය සුන් වූ මගේ සිරුරද, අවුල් වී තෙල් බේරෙන මගේ කෙස් වැටියද, ම සිත මා කෙරේ කළකිරවයි.

වත්සලා පෙර දාක මගේ බඩක් නැතැයි හීල්ලීම ම, මට "හෝ වහක්" වී ඇත්දෝ කියා මට සිතෙයි. කෙසේ වෙතත් කිසිත් නොසිතමි. සියල්ල සිදුවී හමාරය. මින් එහා කිසිත් මට නොතේරෙයි. මම තේරුම් ගැනීමට වැර නොකරමි.

*****

"මෙහෙම කොච්චර කාලයක් කරන්නද? මේ ළමය අනාගතයක් ගැන හිතුවොත්" ඒ අම්මාය.

"මාත් ඕකම හිතුව. මෙහෙම මේ ළමය සාංකාවෙන් වගේ ඉන්න එකෙන් අන්තිමේ මොන අසනීපයක් වෙයිද? හරියකට කන්නෙ බොන්නෙවත් නැතිව." අප්පච්චිගේ පිළිතුරු කාමරයට ඇසෙයි. මම ඇඳ මත දිගා වී සිටිමි.

"පෙළවහක් ගැන හිතන්න තවම වයසක් උනේ නැතත්, මේ වෙන ඒවයි හැටියට, මේ ළමය ආයෙ මොනා හරි කරගනි කියලයි බය" නැවතත් අම්මගේ වචන ය.

"ඉතින් අපි කරන දෙයක් ඉක්මන් කරමු. දැන් පොඩි වුන් නෙවේ නෙව." අප්පච්චි කියනු ඇසේ.

ඒ සංවාදය මා විවාහ කර දීමට බව මම දනිමි. ඊට දැක්විය යුත්තේ කුමන ප්‍රතිචාරයක්දැයි නොදනිමි. අඬමිද? හිනැහෙමිද?

තිවංක දැනගත්තොත්, මොනා හිතෙයිද? මට බඳින්න ඕනෙ නැති විත්තිය එයා දන්නව. අනික, මේ අපෙ අම්මලගෙ තීරණ. ඒක එයා දන්නව. මම දන්නෙ නෑ, තිවංක මොනාද කරන්නෙ කියල.

මගේ සිත මට අවනත නොවී ඔහේ සිතන්නීය. මම මගේ සිත නතු කරගැනීමට වැර නොදරමි. ඊට රිසි සේ සිතන්නට ඉඩ හලිමි.

*****

"දූ... මෙහෙම කොච්චරක් කල් කියල ඉන්නද?" අම්ම ඇඳ උඩ හිඳ ගත්තාය. මම ඇඳ විට්ටමට බරව කොට්ටයක් තුරුලු කර සිටිමි. අප්පච්චි කාමරය ඔලුව දමා නැවතත් කාමරයෙන් පිටව ගියේය. මම අම්මා කී කිසිත් නෑසුනාක් මෙන් ඔහේ බලාගත්වනම බලා සිටිමි.

"අප්පච්චි එක්ක කතා කළා මම මේ ගැන" අම්ම කියයි.

මම කිසිත් නොකියමි.

"දූගෙ හිතේ තියන දුක කරදර හැමදේම හරි යන්න, අපි හිතුවේ දූට හොඳ තැනකින් හොඳ ළමයෙක් කතා කරන්න" අම්මා කියයි.

මම කිසිත් නොකියමි. සැබැවින්ම සිතුවිලි ශුන්‍යය වී ඇත. අම්මාට විරුද්ද වීමට තරම් වත් උවමනාවක් නොදැනේ.

"අපි දූට වරදක් කරන්නෙ නෑනේ දුවේ..." අම්මා තවත් මට ළං වී, මා හිස අත ගායි. අම්මගේ උණුහුම් අත හිස මත පතිත වනවාත් සමගම, හිම කඳු දියව යන්නාක් මෙන් දින සති ගණනක් හිරව තිබූ සුසුමන් කඳුලු, අනෝරා මහා වැස්සක් මෙන් කාමරය දෙවනත් කරමින් පතිත කරවූයෙමි. ඇළ පාරක මග හරස් කොට තුබූ ගල් කුලක්, අනේක විද උපායෙන් කඩා බිඳ දමා ගත නොහැකිව, සැනෙන් අමුතු බලවේගෙකින් පුපුරවා හලෙක් මෙන්, සිරව තිබූ දුක් සිතුවිලි දිය දහර, ගල් කුලෙන් එහා වූ සංවේදන නැමැති ගම් දනව් යටකරගෙන ඔහේ ගලා යන්නට විය. දුක සියල්ල කඳුලු වල දිය වී දෙනෙත් වලින් ද සුසුම් වලට වාශ්ප වී පපුවෙන්ද, පිට යනු මට දැනෙයි. අම්මා මා තුරුල් කර ගත්තාය.

"අඬන්න එපා මගෙ දුවේ..." අම්මගේ වචන වල කඳුලු රසයක් ගැබ්ව තිබෙනු මට දැනිනි.

*****

ජයමංගල ගාථා මැද මම පෝරුවෙන් බැස්සෙමි. නැත. අපි පෝරුවෙන් බැස්සෙමු.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xx

No comments:

Post a Comment