Saturday, October 20, 2018

නිර්නාමික xxi

මම මේධානි හමුවට ගියෙමි. ඈ ආලින්දයේ සිය නිදිගත් දරුවා ළයෙහි රුවා ඔහේ අනන්තය දෙස බලා උන්නාය. මා ඇය ළඟටම යන තෙක්, ඈ මා නොදුටුවාය.

"මේධානි, බර කල්පනාවක වගේ..."

ඈ තිගැස්සී මදෙස බැලුවාය.

"අනේ... අකලංක, ළඟට එනකල් දැක්කෙ නෑ. එන්න... මෙහෙන් ඉඳගන්න."

"මට තේරුණා... වෙනම ලෝකෙක හිටියෙ කියල."

කාන්සිය මුසු වූ සිනාවකින් පමණක් මේධානි ප්‍රතිචාර දැක්වුවාය.

"අකලංකගෙන් මම අහන්නම හිටියෙ. තිවංකව හම්බුනාද?"

"ම්ම්... නෑ. ළඟකදි නෑ."

"එහෙමද..."

"ඇයි එහෙම ඇහුවෙ"

"නෑ... නිකන්... අකලංක මේ කතාව අවුස්සන්නෙ මොකටද කියල මම දන්නෙ නෑ. ඒත්..."

"ඒත්?"

"ඒත්... ඒ කාලෙ වෙච්ච දේවල් එකින් එක එකින් එක මතක් කරන නිසාමද කොහෙද, මගෙ ඔලුව අවුල් වෙලා..."

"මේධානිගෙ හිත නිදහස් කරගන්න මා එක්ක ඒ දේවල් කිව්ව නිසා මිසක්, මේධානියෙ හිත රිද්දන්න මම ඒව ඇහුව නෙවෙයි..."

"මම දන්නවා. ඒත්.. දැන් මටම මේ කතාව හරිම වදයක්"

"කොච්චර කිව්වත්, එහෙම අතීතය අමතක කරන්න බෑ නේද?"

"ඒක මතක් කරන එකෙන් වෙන්නෙ තවත් පෑරෙන එක"

"හොඳයි.. එහෙනම් අපි ඒ ගැන කතා නොකර ඉමු"

ඈ සිනසුනාය.

"මම දනවනෙ අකලංක ඔයා ගැන. කතා නොකර ඉමු කිව්වට හිතකින් නෙවෙයි නේද කිව්වෙ?"

මම සිනාසුනෙමි.

ඈ සිය දරුවා වඩාන ගෙතුලට පිවිසියා ය.

"එන්න එන්න ඇතුලට." ඈ යන ගමන් පැවසීය.

මම ගෙතුලට ගොස් හිඳගතිමි. ඈ සිය දරුවා කාමරයෙන් නිදි කරවා යළිත් ආවාය.

"හරි... තිවංක අමතක කරමු. අචින්ත ගැන කියන්නකො. කොහොමද අචින්ත?"

ඈ සුසුමක් හෙලුවාය.

*****

"අන්න මනමාලය ඇවිත්" ඒ කුමාරි නැන්දාය. මම කණ්නාඩිය ඉදිරිපිට හොල්මනක් මෙන් මදෙස බලා සිටියෙමි. සිතුවිලි හිතට ගලා එන්නෙ දි ඇල්ලක් මෙනි. පාසැල ඇරී සුදු ඇඳුම් උණා දමා, මා සිරුරෙ ඇති හැඩ, උපන් ලප, අව්වට නිරාවර්ණය වූ සමත්, ඇඳුමට වැසුනු සමත් අතර ඇති වෙනස බැලූ කණ්නාඩිය ඉදිරියෙහිම, මම, ඔසරියකින් සැරසී, හැඟීම් විරහිතව, ඔහේ මදෙස බලා සිටියෙමි.

මිනිත්තු කිහිපයකින් අම්මා කාමරයට ආවාය.

"දූ... පොඩ්ඩක් හිනා වෙලා ඉන්න. ඔහොම බය වෙලා වගේ නැතුව."

මම ඈ දෙස බැලුවෙමි. අසරණ හිනාවක් ඇයට පෑවෙමි. ඇය ද මා ද, එකිනෙකට වචනයෙක් කතා නොකළද, දහසක් සිතුවිලි එහෙට මෙහෙට හුවමාරු වූ බව නම් සැබෑමය. කුමාරි නැන්දා මගේ කොන්ඩයට කටු ගසමින් එහෙන් මෙහෙන් ඉස්සෙන කෙස් කැරලි හිසට තද කිරීමෙහි සාවදානව නියැලී උන්නාය.

අම්මා තවමත් මදෙස බලා සිටින්නීය.

මම ඇගෙන් නෙත් ඉවතට ගෙන, යළිත්, කණ්නාඩිය මත වූ මගේ රූපය දෙස බලන්නට වීමි.

අම්මා කාමරයෙන් පිටව ගියාය.

යළිත් අම්මා කාමරයට ආවෙ, සුදු රෙදිකඩකින් වැසූ බුලත් හෙප්පුවක්ද අතැතිවය.

"කෝ මෙහෙට ආවනං" අම්මා මට කතා කළාය.

මම ඔහේ හුනස්නෙන් නැගි සිටියෙමි. කාමරයේ දොරකඩට ගොස්, පෙනහලු පිරෙන තෙක් හුස්ම රැල්ලක් ගත්තෙමි.

"ආ... මේක ගන්න..."

මම දකුණතින් හෙප්පුව අතට ගනිත්ම, "අත් දෙකෙන්ම ළමයො..." අම්මා කිව්වාය. මම යළිත් ඈ දෙස බැලුවෙමි. මගේ දෙනෙත් ඇගේ දෙනෙත් එකිනෙක ගැටීම ඇයට දරගත නොහැකි නිසාදෝ, ඈ ඉක්මනින් බිම බලා ගත්තාය.

"යමු... ඒ මිනිස්සුත් එක්ක හිනා වෙලා කතා කරන්න. අකමැත්තක් තියනව නම් ඒ මිනිස්සු ගියාට පස්සෙ කියන්න"

මම අම්මාගේ වත්තමින් සාලයට ගියෙමි. බුලත් හෙප්පුව දෙස විනා අන් කිසිවක් හෝ කිසිවෙක් දෙස නොබැලුවෙමි. මනමාලයා විය යුතු තැනැත්තා අසලට අම්මා මා ගෙන ගියාය. ඔහු හුනස්නෙන් නැගිට හෙප්පුවෙන් බුලත් කොළයක් අතට ගත්තාය. මම පසෙකට උණෙමි.

"හරිම ලැජ්ජ කාරි..." ඒ අප්පච්චී ය.

"ඔව්... මලක් වගේ හැදුවෙ. අපිට ඉතින් මෙච්චරමනෙ..." ඒ අම්මාය.

"අපි මේ ළමයින්ට පොඩ්ඩක් කතා බහ කරන්න වෙලාවක් දෙමු නේද?" ඒ මනමාලයගේ පාර්ශවයේ අයෙකි.

සියල්ලෝ එහෙට මෙහෙට විසිර ගියෙන්, සාලයේ මමත් ඔහුත් පමණක් තනි වීමු.

මම තවමත් සාලයේ බිත්තියට හේත්තු වී බිම බලාන සිටියෙමි. ඔහු නැගිට මා අසලට එනු මට දැනුනි.

"මොකෝ... තව උස යන්නද හිටගන ඉන්නෙ"

මම මුණිවත රැක්කෙමි.

"මම අචින්ත, ඔයාගෙ නම?"

කළ යුත්තේ කුමක්දැයි නො වැටහේ. තිවංක මා දෙස බලා සිටින්නාක් මෙන් මට දැනෙන්නට විය. මම කිව යුත්තේ කුමක්ද, කල යුත්තේ කුමක්ද කියා නොදැන, ඔහේ, හිටගෙන සිටියෙමි.

"බය වෙන්න එපා ළමයො. මම ආවෙ ඔයාව අදම උස්සගන යන්න නෙවෙයි. කතා බහ කරල අකමැති නම් කියන්න. එන්න මෙහෙන් ඉඳගන්න"

මම හිඳගතිමි. ඔහුගේ වචන සැබැවින්ම මගේ හිත සුවපත් කරන්නාක් මෙන් දැනෙන්නට විය. මම තිවංකට චපල වීමට සැරසෙන සෙයක් මටම වැටහෙන්නට විය. එහෙත්... මට අවැසි කුමක්ද? තිවංක මට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලිය. ඉදින් මට අන් කිසිවෙකුගේ අවශ්‍යයතාවයක් ද නෙවේ. නමුත්, තැලී පෙලී ආතුර වූ හිත සුවපත් කරන කුමක් හෝ අමුතු ඖෂධයක් ඔහුගේ කටහඬ සතු විය.

"හ්ම්ම්... දැන්වත් කියන්නකො. නම මොකද්ද"

"මේධානි"

"ආ... මම මේධා කියන්නම්..."

"නෑ.. මේධානි කියලම කියන්න"

"හරි හරි... මේධානි. මේධානි බලාපොරොත්තු උනේ මොන වගේ කෙනෙක්ද?"

"මම මොන වගේ කෙනෙක්වත් බලාපොරොත්තු උණේ නෑ"

"ඒ කියන්නෙ... අම්මල මෙ බලෙන්ද දුවව බන්දන්න යන්නෙ" ඔහු සිනාසෙමින් ඇසීය.

මම කිසිත් නොකිව්වෙමි.

"හරි හරි... මම අම්මලට කියන්නෙ නෑ. කියන්නකො"

මම කිසිත් නොකිව්වෙමි.

"හරි. එතකොට... දැනට වෙන කවුරු හරි හිත ගිය කෙනෙක් ඉන්නව ද?"

"අනේ... ඕනෙ නැති දේවල් අහන්න එපා"

"ඉතින් අහන කිසිම දේකට උත්තර දෙන්නැති කොට, කොහොමද, මම දැන ගන්නෙ ඕනෙද නැතිද කියල"

"මම දන්නෙ නෑ"

"හරි හරි..."

අපි එතනින් එහා කිසිත් කතා නොකළෙමු. ඔහුගේ බලාපොරොත්තුවක් වී නම් එතෙකින් ඒ සුන් වී යැයි මම සිතුවෙමි.

දවස ගතවිය.

මම යළිත් කාමරයට වී සිටියෙමි. ඔවුන් පිටව යන මොහොතේ යළිත් පැමිණ කතා කොට යළිත් කාමරයට රිංගා ඇඳුම් උණා දමා සිටියෙමි.

මොහොතකින් අම්මා ආවාය.

"දූ මොකද කියන්නෙ?"

"මොනව කියන්නද..."

"ඒ ළමයට කැමතිද? හරිම හොඳයි. වැදගත් පාටයි."

"මම දන්නෙ නෑ අම්මෙ." මම ඇඳේ දිගා වී දෙනෙත් පියාගතිමි. අප්පච්චි සැනෙන් කාමරයට කඩා වැදුනේය.

"ඔව්.. උඹ දන්නෙ එක එක හිඟන හැත්තවල් එක්ක පෑහෙන්න විතරයි. උඹේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ. ඒ ළමයගෙ වචන දුන්නා උඹට කැමතියි කියල. වෙන මගුල් ඔලුවෙන් අයින් කරල ලෑස්ති වෙයන්." අප්පච්චි කියාගෙන කියාගෙන ගියේය.

අම්මා සෙමින් මා අසලට ආවාය. මම කිසිත් නොකියා කිසිත් නොදැනෙන්නෙකු සේ ඔහේ ඇඳ මත දිගා වී උන්නෙමි.

"දූ ඒ අයට හරියට කතා කළේවත් නැති එකට අප්පච්චිට තරහ ගිහින්. ඒකයි ඔය. මම කියන්නෙත්, ඒ දරුව හොඳ පාටයි. වැදගත් රස්සාවක් කරන හොඳ මනුස්සයෙක්. අපි නරකක් කරන්න මෙහෙම කරන්නෙ නෑනේ දුවේ"

අම්ම මගේ ඔලුව අතගෑවාය.

තිවංක සහ අචින්ත මනස තුල දෙපැත්තකට වී මදෙස බලා හිඳිනු පමණක් මම සිහිනෙන් මෙන් දුටුවෙමි.

මතු සබැඳි

No comments:

Post a Comment