Tuesday, February 5, 2019

නිර්නාමික xxii

"රජෝ හරණං"

මට එක පාරම මතක් උණේ අපේ පන්තිය. කාංචනාගෙ හුණු කොට්ටෙ. ඒක දිහා බලාගන මම කිළිටි වෙන හිත ගැන මෙනෙහි කළා මතකයි. ඇත්තටම, මම මෙනෙහි කළේ කිළිටි වෙන හිත ගැන නෙවෙයි. කිළිටි වෙන හුණු කොට්ටෙ ගැන. මාත්, චුල්ලපන්තක හාමුදුරුවො වගෙම, අසරණ වෙලා නේද කියල වෙලාවකට හිතෙනවා. ඒත්...

"තිවංක"

ඇස් දෙක පියාන බෝ මලුවට වෙලා, හිත එක් තැන් කරගන්න විඥ්ඥානයත් එක්ක යුද්ධ කර කරා හිටිය මම, එක පාරම ඇස් ඇරියා. මේධාලංකාර හාමුදුරුවො මගෙ ළඟටම වැඩලා, එහා පැත්තෙන් බිම ඉඳගෙන, බෝධිය දිහා බලාන හිටියා.

"හාමුදුරුවනේ...!"

"තිවංකගෙ හිතෙන් දැන් පරන කතන්දර සේරම ටික ටික අමතක වෙලා යන්න දෙන්න"

"එහෙමයි අපෙ හාමුදුරුවනේ"

එදාට වඩා අද හිත සැහැල්ලුයි. මට ඒක දැනුනා. ඒත් තාම, ගැඹුරු ළිං පතුලක වැලි කැටයක් වගේ, කොණක හිර උණ මොකද්දෝ වේදනාවක් ඉඳලා හිටල හිත මතු පිටට ඇවිත් හදවත කොනිතිගහල යනවා දැනෙනවා. ඒ වේදනවාම කමහටහනක් කරගන්නෙ කොහොමද කියල මේධාලංකාර හාමුදුරුවො මට කියල දුන්නා.

"හිතට දුකක් දැනෙන හැම වෙලේම, වේදනාවෙන් පෙළෙන හිත දිහා තුන් වෙනි පාර්ශවයක් විදිහට බලන්න. එතකොට තේරෙයි, විඥ්ඥානය කොයි තරම් සටකපටද කියල"

ඒත් දුක හිතෙන හැම වෙලේම එහෙම කරන එක මුලින් අමාරු උණා. දැන් හිත සෑහෙන්න හීලෑ වෙලා තියන බව මට හොඳට දැනෙනවා.

මේධානි කියන්නෙ ලෝකයම කියල හිතාගන හිටිය මොහොතකුත් තිබුණා, මට. ඒත් අද, එහෙම නෑ. හිත වෙනස් වෙන අපූරුව. වෙනස් නොවන එකම දේ වෙනස් වීම. මම ඒක හැබැහින්ම අත් විඳින හැටි ගැන මටම පුදුම හිතෙනවා.

"තිවංක, ශාසනේට ඇතුල් වෙන්න කලබල වෙන්න ඕන වෙන්නෙ නෑ. හිත හදා ගන්න. හරි වෙලාවට හරි දේ තිවන්කටම දැනෙයි."

"මට තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ. තාම මහණ දම් පුරන්න තරම් හිතේ හයියක් නැද්ද කියල මට හිතෙනවා."

"ඒක තමයි මම කියන්නෙ... කබලවෙන්න ඕනෙ නෑ. ඉවසල ඉන්න. මම තිවංකට ඒ අදහස දැම්මෙ, තිවංක ධර්මය තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන වග මට පෙනිච්ච නිසා."

මම ඔහේ බලාන හිටියා. මගෙ හිත දිහා බලා ඉන්න "මම" හිතන විදිහ දිහා, ඒ "මම" ඇතුලෙ ඉන්න හිත  බලන විදිහ ගැන හිතුවා. ඒක අමුතුම හැඟීමක්. අමුතුම නිවීමක්. හැම දුකකටම, සතුටකටම වඩා ඒ නිවීමට මම ආසා කරනව නේද කියල වෙලාවකට හිතෙනවා. ඒ ආසාව කියන්නෙ ආයෙත්, බැඳීමක්! හිත නම් මහා පුදුමයි.

*****

සංසාරය ගැන හිතලම, සාංසාරික බැඳීමක් විදිහට දැක්ක මේධානිගෙයි මගෙයි ආදර කතාව තවත් එක නැවතුමක් විතරයි කියල මට තේරුණා. ඒ අවබෝධය පිටිපස්සෙ මේධාලංකාර හාමුදුරුවො හිටියා කිව්වොත්, ගොඩක් හරි. අර හිත ඇතුලෙ කිස්කවපු අමුතු හැඟීම සදහටම තුරන් වෙලා ගිහින් කියල මට හොඳාකාරවම තේරිලයි තිබුණේ.

"හාමුදුරුවනේ..."

බෝධි මලුවෙ දෙනෙත් පියාන දැහැනකට සමවැදිල හිටිය මේධාලංකාර හාමුදුරුවො ගාව ඉඳගන මම කතා කළා.

"කියන්න තිවංක" උන්නාන්සෙ, දෙනෙත් පියාගනම උත්තර දුන්නා.

"මාව ශාසනේට ඇතුලු කරගන්න පුලුවන්ද හාමුදුරුවනේ?" මම ඇහුවා. ඒ වචන වල තිබුණ හයිය මමම දැක්කා. ඒ වචන වල තිබුන විශ්වාසය මටම දැනුනා. "ඔබ වහන්සෙ මේක මගෙන් අහල මෙච්චර කල් ගත්තෙ, මගෙ හිත මට විස්වාස නැති නිසයි"

"දැන් ඒ විශ්වාසය තියනවද?" උන්නාන්සෙ ආයෙත් මගෙන් ඇහුවා.

"ඉහටත් උඩින්" මම කිව්වා.

"හොඳමයි. අපි කටයුතු ලෑස්ති කරගමු" උන්නාන්සෙ තවමත් ධ්‍යානයට සම වැදිල හිටියෙ.

මමත් එහෙමම දෙනෙත් පියා ගත්තා. භාවනාව තරම් සුවයක් තවත් කොහින්ද! මම හීළෑ උණ හිත තව තවත් හීලෑ කරවන ගමන් හිතුවා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiii

No comments:

Post a Comment