Thursday, January 19, 2023

මටත් ඉඩ තියනවද?

මං දුන්න රෝස ගහ තාම මල් දරනවද

රොන් උරා ඉගිලෙන්න බඹරු හෙම වඩිනවද

රන් කඳට මං ගැනත් නිනව්වක් තියනවද

මං තාම එතනමයි, නුඹ ඒක දන්නවද


හඳ පිපුන තරු රෑක තරු අතර සරනවද

ඉගිල අතරින් පතර තාම තරු ගනිනවද

මම ළඟින් නැත්තෙ ඇයි, තරු එහෙම අහනවද

නෑහුනා වගෙ අහක බලන් නුඹ ඇදෙනවද


එක්ව ගිය මාවතේ අද තනිව ඇදෙනවද

මතක මතුවෙන තැනක හිත ටිකක් රිදෙනවද

හිතට එන මතක හිත් රිදුම් පිරිමදිනවද

මගෙත් හිතත් ඒ වගෙයි නුඹ ඒක දන්නවද


හිත පිරෙන සෙනෙහසක් කොහෙන්හරි ලැබෙනවද

අහස තරමට උසට සුබ සිහින දකිනවද

නැතුව රෑ දවාලක් හීන වල සරනවද

ඒ හීන වල තාම මටත් ඉඩ තියනවද



3 comments: