Saturday, May 21, 2016

නිර්නාමික i

"මේකට කියන්නෙ මොකක් කියලද?" බිත්තියෙ එල්ලල්ල තිබ්බ හදවතේ පින්තූරෙ දකුණු කර්ණිකාවයි දකුණු කෝශිකාවයි අතර තිබ්බ පුන්චි ත්‍රිතුණ්ඩ කපාටයට ඇඟිල්ල තියල, මේධානි ඇහුවෙ, මගෙන්. මං ඔහේ එයාගෙ මූණ දිහා බලන් හිටියා.

"මනුස්සයො කන් ඇහෙන්නැද්ද? මේක මොකද්ද?"

"මං දන්නේ නෑ..." මං කිව්වා.

"අනේ මේක කරන්න බෑ තිවංක. ඔයා බොරුවට දන්නෙ නෑ කියනවද මන්ද..."

"නෑ මේධා, මට මතක නෑ. ඇත්තමයි."

"මේක ත්‍රිතුණ්ඩ කපාටය... මොකද්ද?"

"හා... ත්‍රිතුණ්ඩ කපාටය..."

"එතකොට මේක...?" බිත්තියේ තිබ්බ හදවතේ ත්‍රිතුණ්ඩ කපාටයේ ඉඳන්, හිමින් සීරුවෙ අඟිල්ල අරන් ගියේ අපර මහා ශිරාව ගාවට. මට දැනුනේ, හරියට මගේ හදවත බිත්තියේ එල්ලලා තියනවා වගේ. මගේ හදවත මගේ ළඟ නැති වේදනාවත්, මේධා ඒක අතගාන සනීපයත් එක පාර දැනුනා.

"අනේ තිවංක, මට බෑ මේක කරන්න. ඔයා මුලින් මෙව්ව පාඩම් කරගන්න. හැමදාම හදවතේ කොටස් විතරක් කිය කිය ඉඳල බෑනෙ."

"ඉතින් අපි හෙට කනේ කොටස් ගැන පාඩම් කරමු."

"මට බෑ." මේධා මගේ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉඳගන මූණ අල්ලෙ තියාගත්ත. "කොච්චර කලත් ඔච්චර තමයි..."

මම හිනා උණා. හයියෙන් නෙවෙයි. ලාවට වගේ.

මගේ හදවතේ වර්ගඵලය තේරුණත්, මේධා ඒක නොතේරුණා වගේ ඉන්නව කියල මම දන්නව. මට මේ වෙලාවෙ බයෝ ඉගනගන හිතක් නෑ. මේධා කිව්ව වගේම හදවතේ කොටස් මටත් එපා වෙලා, අහල අහලම.

"මේධා..."

"හ්ම්ම්"

"ප්‍රශ්නයක්...!"

"අහන්න..."

"ඇත්ත හදවතත් මේ වගේ ලොකුද?" මම පින්තූරයට ඇඟිල්ල දික් කරල ඇහුවා.

"පිස්සුද... ඇඟේ තියෙන්නෙ හදවත විතරයි කියල හිතුවද... ඇත්තටම හදවත මේං මේ සයිස්..." මේධානි අත මිට මොලවල පෙන්නුවා.

මම එයාගෙ අතින් ඇල්ලුවා.

"මේධා නොදන්නවා උණාට, මගෙ හදවත නම් බිත්තියෙ ගහල තියන එකටත් වඩා ලොකුයි."

"තිවංක...! පිස්සුද ඔයාට. සර් කෙනෙක්වත් ආවොත්...!" මේධා මම අල්ලපු අත ගසාදමන ගමන් එහෙම කිව්ව.

"හා... ඉතුරු ටික කියන්න පාඩමේ...!" මම එහෙම කිව්වේ මම වරදක් කලා වගේ දැනුන නිසා. මේධා නැගිටල පොත් අස් කරගත්තා. "ඔය යන්නද හදන්නෙ...!"

"ඔව්. පරක්කුයි. අම්ම බලන් ඇති. දෙකත් පහු වෙලා. මම යනව. ඉතුරු ටික හෙට ඉන්ටවල් එකේ කරන්නම්." මගෙ මූණවත් නොබලා කියාගෙන කියාගෙන ගියා.

"මේධා... මාත් එක්ක තරහින්ද..."

"තිවංක මම යන්නම්." මේධා අමාරුවෙන් මගේ ඇස් දිහා බැලුවා. අමාරුවෙන් මවාගත්ත හිනාවක් පෙන්නලා පන්තියෙන් එළියට ගියා.

බිත්තියේ එල්ලලා තිබ්බේ මගේ හදවත කියලමයි මට දැනුනෙ. වේදනාව විතරක් ඉතුරු වෙලා තිබ්බා. වේදනාව...! මම විතරක් තනි වෙච්ච පන්ති කාමරේ, හදවතේ වේදනාව කඳුලු විදිහට ඈස් වලින් බේරුණා. බිත්තියේ එල්ලලා තිබ්බ හදවත, ඇස් ඉස්සරහ බොඳ වෙලා පෙනුණා.

කවදාවත් ණති තරම් පාලුවක් මගෙ හිත වටේ කැරකුණා. මම ගෙදර ආවෙ, මගේ හදවතත් පන්තිය ඇතුලෙ බිත්තියෙන් එල්ලල්ල. අමතක වෙලා නෙවෙයි. හිතලම. පහුවදාට එළි වෙන්නැත්තම් කියල කල්පනා කලේ ඇයිද කියල මම දන්නෙ නෑ. ඒත් යටි හිතේ පහුවදා ගැන මොකද්දෝ ආසවකුත් ඉතුරු වෙලා තිබ්බා.

"කවුද අද අතුගාන්න ඉන්නෙ? සිකුරාද තමයි මේ පන්තියෙ පිරිදුකම ජරාවටම යන දවස. තිවංක?" රම්‍යා මිස් මගෙ දිහා බැලුවෙ දොරකඩ ඉඳන්ම, ඇතුල් වෙන්නෙත් නැතුවම.

"මං එන්න ටිකක් පරක්කු උණා මිස්...!" මම නැගිටල එහෙම කියල කොස්ස අතට ගත්තා. "අනික මම විතරක්ද අතුගාන්න ඉන්නෙ? ඇයි මිස් මටම බනින්නෙ?" මම එහෙම කිව්වා.

"කෝ මේධානි?" මිස් ඇහුව. ඒක පන්තියෙන්ම ඇහුව පොදු ප්‍රශ්ණයක් උණත්, පන්තියෙ හැමෝම ඒකට උත්තරේ බලාපොරොත්තු උණේ මගෙන්. මම මිස් දිහාවත් පන්තියෙ උන් දිහාවත් බැලුවෙ නෑ.  මම මිස්ගෙ මේසෙ ගාව අතුගාල ඉවර වෙනවත් එක්කම මිස් කතා කළා. "ඔය ඇති. මට උගන්නන්න වෙන්නෙ නෑ. හ්ම්. පීරියඩ් එක ඉවර වෙලා ඕන එකක්"

රම්‍යා මිස් ඉගැන්නුවා. මම අහන් හිටියේ නෑ. එයා ප්‍රශ්න අහන්නෙ නැති නිසා ගානක් නෑ. අද මේධානි නෑ. මම පන්තියෙ එල්ලල ගිය මගෙ හදවතත් පන්තියෙ තිඹුනෙ නෑ. මේධානි මට හදවතේ කොටස් පෙන්නුව කාඩ්බෝඩ් පින්තූරෙ විතරක් තිබ්බා. මේධානි මගෙ හදවත මම ඊයෙ පන්තියෙන් ගියාට පස්සෙ ඇවිත් අරන් ගිහින් කියල මට දැනුනා.

දවසම ගෙවුණා. අද අමතර පාඩම් නෑ. ඒත් මම එකහමාරෙන් පස්සෙ පන්තියෙ රැඳුනෙ යන්න හිතක් තිබ්බෙ නැති නිසා. ආයෙ සඳුද...! මට සඳුද වෙනකල් ඉන්න බෑ. මම හදවතක් නෑති එකෙක් වගේ බිත්තියේ එල්ලලා තිබ්බ හදවත දිහා බලාගන හිටියා. ඉතුරු උණේ කඳුලු විතරයි.

මතුසබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික ii

No comments:

Post a Comment