Monday, May 23, 2016

නිර්නාමික ii

"සිද්ධාර්ත...!"

"කියන්න යශෝදරා..."

"ගංගාවේ ජීවිතය පුදුමයි.. එහි සුන්දරම පරිච්ඡේදය, එය දිය ඇල්ලක්ව ගලන අවදිය නොවෙද? සිද්ධාර්ත."

"නැහැ යශෝදරා... ගංගාවේ ජීවිතයේ අරුමය, එහි සුන්දරම අවදිය, ගං දිය මුව දොර පසු කරන මොහොතයි"

"ඒත්... දිය ඇල්ල කොයි තරම් සුන්දරද... ගං මුවදොරක් දෙස බලා සිටීමට සිත් නොදුන්නත්, දිය ඇල්ලක් ඉන් නෙත් ඉවතට ගන්න ඉඩ නොදෙයි. එසේ නොවෙද... සිද්ධාර්ත...!"

"ඔබේ අදහස නිවැරදි... එහෙත් ඔබේ තර්කය වැරදියි, යශෝදරා"

"සිද්ධාර්ත, ඔබේ වදන් මට තේරෙන්නෙ නැහැ."

"ගඟක් දිය ඇල්ලක්ව ගලන මොහොත පිටින් සිට බලන අපට සුන්දර උවත් ගංගාවට කොයිතරම් වේදනාවක් වනවා ඇත්ද. ගල් මුල් වල හැපී කොයි තරම් රිදුම් දෙනවා ඇත්ද. එහෙත් මුවදොරයි, ගංගාවේ ඒකායන අභිප්‍රාය. පරම සුවය. එය බලන අපට අසුන්දර වුවත්, ගංගාවෙ නිවීම එතැනයි."

"ඔබ හරි සිද්ධාර්ත!"

යශෝදරාවිය දෙපා පා මුලින් ගිය දිය දහාරාවෙන් දිය පොදක් ගෙන සිද්ධාර්ත කුමරුවන්ගේ මුහුණට ඉස්සා. එයින් ගිලිහුණු පැන් පොදක් මගේ අඟටත් වැටුනා. මගේ දනිහෙන් පහලට වතුර විසි උණා.

මම ඇස් ඇරියා. මම හිටියේ නේරංජනාව අසබඩ නෙවෙයි. මම දිගා වෙලා හිටියේ සුදු වැලි තලාවකත් නෙවෙයි. වැස්සෙන් පොල් අතු වහලෙ අස්සෙන් වැටුන වැහි වතුර මගෙ පැදුර ළඟ බිම තෙමුවා. ඒකෙන් විසි උන වැහි බින්දු වෙන්නැති, යශෝදරාව සිද්ධාර්ත කුමාරයට විසික් කරපු වතුර වතුර වගේ ඇඟේ වදින්න ඇත්තේ.

මම තවත් ටිකක් පැදුර නොතෙමෙන මුල්ලට තල්ලු කරගත්තෙ වහලෙන් බේරුන වතුරෙන් බේරෙන්න හිතාගන.

අම්ම කාමරේට ආවෙ වළඳකුත් අරන්.

"මෙතනත් තෙමෙනව නේද" අම්ම කිව්වා. මම අම්ම දිහා බලන් හිටිය. අම්ම මම දිහා බැලුවේ නෑ. වතුර වැටෙන තැනට මැටි වළඳ තියල අම්ම ගියා.

වළඳට මුලින්ම වැටුන වතුර බින්දුවෙ සද්දෙ මම හොඳට අහන් හිටියේ. ඒත් දෙවෙනි තුන් වෙනි වතුර බින්දු වල සද්ද පලවෙනි එකෙන් වෙනස්. මොකද වළඳෙත් ටික ටික වතුර පිරුණ නිසා. ටිකකින් පළවෙනි වතුර බින්දුව වැටුන සද්දෙ මට අමතකම වෙලා ගියා. වතුර සද්දෙත් ඈතින් ඈතිට ගියා. මම හීන ලෝකෙකට ආවා. ඒකෙ හිටියේ සිද්ධාර්තවත් යශෝදරාවත් නෙවෙයි. මමයි මේධානියි.

"තිවංක"

"කියන්න මේධා"

"මේ දිය ඇල්ල අපිට වඩ කොයි තරම් වාසනාවන්තද?" මම මෙච්චර වෙලා නොදැක්ක දිය ඇල්ලක් එක පාරම අපේ ඇස් ඉස්සරහ මතු උණා. මේ නේරංජනාවේ එක තැනක් කියල මට නිකන් ඉවෙන් වගේ දැනුණා. කලින් යශෝධරාවයි සිදුහත් කුමාරයයි කතා කරපුව මේධානිට කලින් යශෝධරාවයි සිදුහත් කුමාරයයි කතා කරපුව මේධානිට කියන්න හිතුනත්, නොකියා ගිල ගත්ත. මෙයා ඒව විස්වාස කරන්නෙ නෑ.

"ඇයි එහෙම කිව්වෙ...?"

"අපි හැමදාම මෙතෙන්ට වෙලා දිය ඇල්ල බලල යනවා. ඒත් මේ වතුර බින්දුවක් ගත්තොත් දිය ඇල්ල පහු කරන්නෙ එක පාරයි. එයා එයාගෙ විමුක්තිය හොයාන, දිගටම යනව... අපි මෙතනමයි..."

"මේධානි කියන වතුර බින්දුවේ විමුක්තිය මොකද්ද?"

"වෙන මොකද්ද... මුවදොර මිසක්...!"

මේධානි කිව්වෙ සිදුහත් කුමාරය කිව්ව දේමයි.

"මම දන්නේ නෑ... මට ඕව තේරෙන්නෙ නෑ."

මම එහෙම කිව්වා. මේධා මගෙ අතින් අල්ල ගන දිය ඇල්ලෙ පහල ඉවුර දිගේ පහළට ගමන් කළා. ඈතින් තවත් දෙන්නෙක් ඇවිදින ඡායාවක් පෙනුනා.

"අර කවුද...?" මම මෙධානිට ඇඟිල්ල දික් කරල පෙන්නල ඇහුවා.

"ආ... ඒ සිද්ධාර්තයි, යශෝදරායි!"

"ඔය දන්නේ කොහොමද..."

"මම දන්නව... ඒ දෙන්නා නොදන්නෙ කවුද..."

මාව ගැස්සිලා ඇහැරුනා. හොඳටම එළි වෙලා. වහල තිබ්බ ජනෙල් පියනෙ තිබ්බ සිදුරකින් උදේ ඉර එළිය බෙරිලා මගේ පැදුර ගාවටම එනවා. මම නැගිටල ගිහින් ජනේලෙ ඇරියා. මිදුල පුරා වැටුන අඹකොළයි කොස් කොළයි අම්ම අතින් රටාවට අතු ගෑවෙනවා. චීත්තෙයි හැටෙටයි අමතරව උදේට අම්මගෙ බෙල්ල වටේටත් චීත්තයක් එතෙනවා. ඒක තාත්ත අම්මට මුලින්ම අරන් දුන්න චීත්තෙලු. අම්ම ඒක අඳින්නෙ නෑ. හැමදාම උදෙට බෙල්ල වටේ ඔතාගන්න විතරයි ගන්නේ. ආයෙ දකින්න වෙන්නෙ පහුවදා උදේට තමයි. අම්ම අතුගාන අතරේ බිම තිවුණ අඹ ගෙඩි අහුලල වෙනම එකතු කළා. ඒවත් මටම තමයි. ඒවගෙන් ඉදුනුව අම්ම කපල දෙනව කන්න. අමුව, අච්චාරු දානව. අච්චාරු මතක් වෙලා මගෙ කට හිරිවැටුනා.

මට ආයෙත් මතක් උනේ ඊයෙ දැක්ක හීනේ. ඒව මම විස්වාස කරන්නෙ නෑ. ඒත් තාම සෙනසුරාද. හෙට ඉරිද. ඊටත් පස්සෙ සඳුදා. මට බෑ ඉවසන්න. මේධානිට ඊයෙ එන්න බැරි උනේ මොකද... මම කල්පනා කළා.

එයාට ඉස්කෝලෙ නෑවිත් ඉන්න කිසි හේතුවක් නෑ. අම්ම අතුගාල ඉවර වෙනවත් එක්කම මමත් ගෙයින් දොට්ට බැස්සා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික iii

No comments:

Post a Comment