Monday, October 21, 2019

අතීතය

අරමුණකින් තොරව ඔහේ සිටිනා හවසක මම අතීතය සිහිපත් කරමි. නා නාවිධ මතක මනසෙහි සැරි සරයි. ඒ සියල්ල දුක සතුට විරහව ආදරය හා තවත් නොයෙක් වූ, එක් වචනයකින් ඉදිරිපත් කළ නොහැකි හැඟීම් සමුදායක උල්පතකින් ගලා එන්නාක් මෙනි. සමහර සිදුවීම් උපහාසය, ත්‍රාසය, භීතිය කැටි වූ ඒවාය. සමහර සමීපතමයන් අද අහලකවත් නැතිය. සදා කල් ළඟින් සිටීමට පොරොන්දු වූ වෝ අද ඉන්නා තැනක්වත් නොදනිමි. කිසිදා හමුවේවි යැයි නොසිතූ සමහරෙක්, අද ජීවිතයේ නැතුවම බැරි අයවලුන් වී හමාරය.

මතක අතර තව තවත් ගැඹුරට කිමිදෙන කල, ඒ පරාසය පටු වෙයි. කුඩා කළ මගේ ලෝකය කුඩාය. අම්මා තාත්තා ආච්චි නංගි සහ අප නිවසෙහිම වෙසි, අම්මාගේ නැගණියන් දෙදෙනාද, නෑ කමින් මවට නැගනියක් වන, අම්මාගේ පුංචි අම්මාගේ දියණියක් ද විය. තාත්තා යුධ හමුදාවේ සේවය කළ හෙයින්, මගේ කුඩා කළ, තාත්තාගේ සෙනෙහස නිතර නො ගැටුන නමුත්, කාන්තා බලකායකින්ම සන්නද්ධ වූවකි. ඒ කාන්තා බලකායේ ප්‍රධාන සෙන්පතිනියන් මෙන් සිටි පුංචි අම්මලා තිදෙනායි. ඒ මද්දු පුංචි, චූටි පුංචි හා සුදු පුංචිය. අම්මා, ආච්චි සහ පුන්චිලාගේ හුරතලයට හැදුනු මාගෙ පැරණිම මතක බොහොමයක්, තවමත් මසිත තුල සුරක්ෂිතව ඇත. ඒ මතක සියල්ල, හැකි සෑම විටකම යළි යළිත් සිහිපත් කරන්නේ, පරිහරණයෙන් තොර වූ යමක් මළ බැඳී, වියැකෙන්නේ යම් සේද, යම් දිනෙක මසිත තුල ඉතිරිව ඇති ඒ සොඳුරු මතක ද සදහටම වියැකේවි යැයි අනියත බියක් මසිත තුල ඇති නිසාවෙන්ම විය යුතුය.

ඒ මතක සියල්ල වචන කරනවාට වඩා, ඒ මතක හා සබැඳි එක් අයෙක් පිළිබඳ, සොඳුරු සටහනක් තබනු කැමැත්තෙමි.

ඈ මද්දු පුංචී ය. අම්මාගෙ වැඩිමහල් නැගණියයි. ආච්චිට හා සීයාට දාව උපන් දැරියන් තිදෙනා අතරින් මද්දුමයා නොහොත් මැද දැරිවිය ඇය වූ හෙයින්, ඈ නිවසට මද්දු වූවාය. මට මද්දු පුංචි වූවාය. මගේ කුඩා අවධියේ මතක රැසකට වැඩි දායකත්වයක් දැක්වීමට ඈ සමත් වූවා ය. ඈ උපන් දා සිට තතු කීමට තරම් මා නොදන්නා මුත්, මා උපන් දා සිට ඇගේ තතු බොහොමයක් තවමත් මතක ගබඩාවේ අතරින් පතර මට හමු වෙයි.

සමහර මතකයන් ගළපා බලන කළ කුමකට පෙර කුමක් සිදුවී ද යන්න ගැට ලිහා ගැන්මට තරම් මතකයක් නොවුවත් යම් යම් මතකයන්ගේ "හොඳම කොටස්" තවමත් නෂ්ඨාවශේෂයන් මෙන් ඉතිරිව ඇත. ඉදින්, ඒ එකින් එක ගලපා අතීත කතාව ගොඩ නැගිය යුතුය.

ඇය පිළිබඳ ඇති පැරණිතම මතකයට හිත ඇදී යයි. ඒ ඇගේ පෙම්වතා ඇය හමුවීමට නිවසට ආ මොහොතකි. ඔහුගේ නම් ගම් හරි හැටි මතකයේ නොවුණත්, ඔහු ඉඳ හිට මට යමක් රැගෙන ආ බවද යාන්තම් මතකයේ ඇත. ඒ පලහිලව්ව වැඩි කලක් නොගොස් අඩාල වූ බවද මතක නමුත් එහි අග මුලක් සැබැවින්ම මතකයේ නැත. ඈ, එකළ පුවක් බෝනික්කියක මෙන් කොණ්ඩය සකසා සිටියා ය. ඇගෙ කරෙහි වූ හදවතක හැඩැති පෙන්ඩනය කටේ ලා ගැනීම, එය සුරතල් කිරීම මගේ ප්‍රධාන කර්තව්‍යක් වූ සැටිද මට මතකය. මවට දෙවෙනිව, බොහෝ විටෙක, මවට නොදෙවෙනිව, ඈ මා හට බත් කැවීමේ මහා ක්‍රියාදාමයේ ඉදිරිපෙළ සාමාජිකාවක්ද වූවාය. කුඩා කළ, දැන් මෙන් කෑමට ගිජු බවක් නොවූ හෙයින්, මා වටා සන්නද්ධව සිටි කාන්තා බලකායේ ප්‍රධාන ක්‍රියාදාම අතරට මට තුන් වේලට බත් කැවීම එකතු වී තිබිණි. කෙසේ වෙතත්, නා නා විධ සුරංගනා කතාන්දර, තාත්විකත්වයෙන් එහා ගිය විප්‍රකාර ප්‍රබන්ධයන්ගේ එන 'හම්ටි ඩම්ටි' ලා, 'සින්ඩරෙල්ල' ලා, 'තම්බලීන' ලාගෙන් මගේ මනස පුරවාලමින්, බත් ගුලි ගිල්ලවීමේ සමත් කම ඈ කල් යන විට මැනවින් ප්‍රගුණ කොට ගත්තාය.

පෙර කී, ඇගේ පෙම් පුවත අඩාල වීමෙන් පසුව, විය යුතුය, මගේ මවත් ආච්චිත්, මද්දු පුංචීට මනමාලයෙකු සොයන්නට සැරසුනේ. ඒ සෑබෑ "උරුමක්කාරයා" හමුවීමට ප්‍රථම, බොහෝ මනමාලයෝ බොහෝ ඉරිදාවන් වල අප නිවසට ආහ. ඒ දිනයන් නංගිටත් මටත් රජ මගුල් මෙනි. නිතර එන එවන් ඉරිදාවක, අමුත්තන් පිට වූ පසු, තේ මේසය මත වූ රස කැවිලි හිස් කරන වගකීම අපි සතුටින් ඉටු කළෙමු. නමුත්, ඒ බොහොමයක අවසන් ආරංචිය අශුභය. මද්දු පුංචී බොහෝ විට ඒ මනමාලයන්ගේ නහයක ඇදයක්, ඇහැක වපරයක්, නැතහොත්, අවමයෙන්, ඇඳුමක පැළඳුමක අඩු පාඩුවක් හෝ කියා ඊට අකමැති වූවාය. වරක්, අම්මලා ආච්චිලා එක්ව, ඇයට බලෙන් තීන්දු කළ මගුලකට, ඈ අකමැත්තෙන් පසු වූවාය.

"අක්කයි නංගියි දෙන්නම ලස්සන දෙන්නෙක්ව බැඳගන, මට කැත මනුස්සයෙක්ව බන්දන්න යනවා"යි කියමින් ඇය හැඬූ බවක්, මගේ මතකයේ නූවත්, ඉඳ හිටෙක අතීතය හාරවුස්සන මොහොතක අම්මා හෝ ආච්චී මට පැවසුවා මතකය. කෙසේ නමුත්, ඒ තීන්දු වූ මගුලේ මනමාලයා බොරු කාරයෙක් වීම හේතුවෙන්, වෙනත් අතක් බැලීමට ආච්චිලාට සිදු විය.

මද්දු පුංචි කේක් හැදීමට දක්ෂය. කේක් පමණක් නොව, විවිධාකාර විසිතුරු කෑම ඈ නිතර සාදයි. තවමත් ඇය එහෙමය. මා කුඩා කළ මෙන්ම, අදටත්, ඈ විශේෂ කිසිත් පිසුව කළ මගේ පංගුව මට ගෙනත් දෙන්නීය.

පුංචි අම්මලා එසේය. අම්මලාට එහා ගිය අමුතු බැඳීමක් පුංචි අම්මලා සමග ඕනෑම පුතෙක්ට ඇත්තේය. මෙයද එසේය. පුංචි අම්මලාගේ ආදරය වෙනස් ය. ඒ දඟකාරය. නිරහංකාරය. විටෙක අහංකාරය. විටෙක මෝඩය. එය වචන වලින් කීමට අමාරුය. අතීත මතක කලතන විට, මද්දු පුංචි ගැන මතක වැඩිපුර පළමුවෙන් උඩ එන්නේ, ඒ වචනවලින් කිව නොහැකි බැඳීම හා ආදරය නිසා විය යුතුය. අතීතය මතක ගොන්නකි. ඒ මතක, සුන්දර කිරීමෙහි ලා, ඉතා වෙහෙසක් ගත් උත්තම කාන්තාවන් අතරට මද්දු පුංචි නිතැතින්ම එක් වී හමාරය. ඉන් එහා යමක් මෙහි මම නොකියමි. හුදෙක් අතීතය අවුස්සා, එහි අමුතු සුවඳයත් රසයත් පමණක් විඳ, යළිත් ඒ සියල්ල හිත තුලම බහා ඉදිරියට යමි. එක් අවසන් වචනයක් මෙලෙසින් තබමි. ගතවන මොහොත සුන්දර වන කළ, ගත වන මොහොත සුන්දර මිනිසුන් සමග ගෙවන කළ, අතීතය නිරායාසයෙන් සුන්දර කර ගත හැකිය. ඊටත් වඩා, ඒ සුන්දර මිනිසුන්, අනාගතයද ඒ තරම්ම සුන්දර කරවනු ඇත.

3 comments:

  1. ජීවිත කතාව තුල බොහොමයක් මතක ඇතත් අප බොහෝ දෙනෙක්ගේ ජීවිතයේ ලස්සනම මතක ගැබ්ව ඇති ඒ සුන්දර ළමා කාලයක් මටද හිමිව තිබූ බව අයියාගේ අතීතාවර්ජනය හමුවේ සිහිවේ.ඉක්මනට ලොකු වෙන්න කියා දිනෙන් දින පොර බදිමින් දිව යන මේ දිවිය පුරා සතුට නම් හැගීම රදා පවතින්නේ ඉතා කෙටි කාලයකි.මන්ද යත් ඒ සා වගකීම් රැසකින් අප බැදී සිටිමු. ඉතා කුඩා ලෝකයක ජීවත් වූ බාලම කාලයේ වැඩි කාලයක් සතුට පැවතුනේ ඒ නිසා වන්නට ඇති

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කා හටත් ඔහොමයි!

      Delete