Sunday, November 19, 2023

අත්තම්මගේ සිල්



උදේම නැගිට්ට අත්තම්මා:


මං නැගිටින්ඩ කලියෙන් කාමරේ දොර

මත්තේ නැගී කවුදෝ තඩි බාන සැර

ඇහිලා කඩං නිදි ගැට මං දොරත් ඇර

ඇහුවා "මොකෑ අත්තම්මේ පාන්දර?"


"සුදු මුණුබුරේ දැක්කද අල්ලපු වත්තේ

පිච්චද සමන් සේපාලිකා අර අත්තේ

ටොන් දෙක තුනක මල් නම් තොගයක් ඇත්තේ

කඩපං හනික උන් ඇහැරෙන්නට මත්තේ"


අත්තම්මාගෙ පුන්‍යාරාධනාවෙන්


නෑ බෑ නොකියනා මුණුබුරු නිසාවෙන්

කඩලා කිලෝවක මල් මම හොරා මෙන්

ප්‍රීතිය පස්වනක් ගති ඒ පමාවෙන්


දවල් දානෙ පිලියෙල වෙන්න ඕන විදිහ ගැන අම්මට උපදෙස් දෙන අත්තම්මා:


"එක එක උන්දැලා දාගෙන පනාව

දානේ කන්න බෑ මට නම් ගෙනාව

ඔම්ලට් එකයි චිකනුයි බත් මනාව

දානෙට ගෙනෙන්" කීවයි පා හිනාව


සිල්ගන්න නාගන්න යන්න ලෑස්ති වෙන අත්තම්මා:


"සුදු කෙස් මෙහෙම තැන්තැන් වල තියන් වනා

සීලෙට උණත් හොඳ නෑ ඉඳ ගන්න වෙනා

ඊටත් හපං මැගිලියා දැක්කොතින් හිනා

කෝ බං දුවේ පෙරේදා උඹ ගත්ත හෙනා"


සිල්ගන්න යන්න ලක ලෑස්ති වෙන අත්තම්මා:


"ඊයේ හවහ හෝදපු මගේ සිල් රෙද්ද

මත්තේ පහරලා ගිය කපුටෙක් ඇද්ද,

සත්තයි, කැඩිල පල ඕකගෙ හොට මැද්ද"

කපුටට දෙවයි පිං, ඈ කරමින් සද්ද


සිල් ගන්න යන්න ලෑස්ති වෙලා ගෙයින් දොට්ට බැස්ස අත්තම්මා:


ඇඳගන කරන්, ලා සිල් සලුවක්ද කරේ

බහිනා කලට උලුවස්සෙන් ගෙදර දොරේ

පත්තෑයෙක්ව දැක සීලය තියා පොරේ

ගත්තේ නැතැයි දෝතට දිග පොල්ල දොරේ


"හැබැහැට නිවනෙ පිං දහමක් කරගන්න

ඉස්පාසුවක් නෑ මුං හින්දා ඔන්න

තලපං පුතේ පත්තෑයා චුරු වෙන්න

බර දා පොල්ල අල්ලල ගං, ආ මෙන්න"


හරහට අරන් දිග දොර පොල්ලක්ද අතේ

වාගෙ වඩිගපටුනට සැරසිලා හිතේ

"කෝ බං වරෙන් හනිකට මෙහෙ වරෙං පුතේ,

මුං නම් නොමර අත අරින්න හොඳම නැතේ"


හෙමිහිට දොරකඩට ආවයි අප්පච්චි

නොමරා ඌට ජීවිත දානය වෙච්චී

පත්තෑයාට අද නම් පින පෑදිච්චී

අත්තම්මාගෙ කරුනාවෙන් බේරිච්චී


පත්තෑයව බේරල ඇරිය අප්පච්චි ගැන කලකිරුනු අත්තම්මා:


"මෙහෙමත් එකෙක් හැදුවනෙ මම අනේ දුක

නොදකින් උලා ගන්නව මගෙ කට ගලක

අමතක මුන්ට පුරාණ කියමනක් එක

මෝඩය නෑර විසගොර සර්පයා දැක"


වටටම පිංදිදී ගෙදින් දොට්ට බැස

අත්තම්මා ගියයි පිං කරගන්න රැස

කියලා ඉවර කරන්න බැරි කමම මිස

එතනින් පස්සෙ තව තව ඇත කතා රස


පෝදා උදේ ඉර මල වාසනාවන්

කෑ ගා හඬන කපුටන් වාසනාවන්

අත්තම්මාට අටසිල් වාසනාවන්

වේවා නිවන් හා මල් මල් හිනාවන්

10 comments:

  1. සිත පුරා මල් වැල් ඇදෙන කවි ගෙත්තමක්!

    මල් වල පාට කියන්න බැරි උනානේ.

    සුදුම සුදු; සුදු පාට!

    ReplyDelete
  2. අතිශයෝත්තිය ටිකක් වැඩිද මන්දා!

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ලියද්දිම. අත්තම්මල ගොඩකගෙ ඒව එක අත්තම්මෙක්ට දැම්ම නිසා වෙන්න ඇති. 🫢😁

      Delete
  3. මගෙත් අත්තම්මා කියන්නෙ පුරාවෘතයක් - Mayya- https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අත්තම්මලා එහෙමයි 😌

      Delete
  4. 'අත්තම්මා නිවන් ගිහිං' හර්ශණගේ සිංදුව මතක් උනා... පොස්ටුව කියවන්න කලින්ම ❤!

    ReplyDelete
    Replies
    1. ට්‍රැඩිශනල් අත්තම්මලට වඩා මේඇයි වෙනස් හැබැයි 😁🫢

      Delete