Sunday, October 16, 2016

නම් නොලත් යුක්තාණුව

මාව මරාපන්.
වරදක් නොකලත් ඔහෙලට...
ඔහෙලගෙ පව් මම ගෙවන්නම්.
එලිය නොදැක්කට,
දුකක් නෑ...
ඉපදෙන්න කලියෙන්,
යුතුකම කරන්න පුළුවන්නේ මට,
ඔහෙලගෙ සතුටට...
පණ පිටින් ඉන්න උන්ටත් බැරිකොට,
ආඩම්බරයි මම ගැන.
අම්මේ...
තාත්තේ...
ආදරෙයි මම.

මෙයට,
හිතවත්,
නම් නොලත් යුක්තාණුව

උදැල්ල

වේදනාවට බියෙන් 

කඳුලකට බියෙන් 

අවනම්බුවට බියෙන්

 දඟලලා දඟලලා 

වළ දාපු අතීතය 

ආයෙමත් ගොඩ ගන්න...

 දෝතින් ගතිමි, 

අද උදේ අහම්බෙන් 

උඹේ ඇස් තිළිණ කළ 

උදැල්ල !


නිර්නාමික iii

මම ඔහුව සිහිනෙන් දුටුවෙමි. ඔහුට මා මතක් වන්නට ඇත. උදේ සිට කිවිසුම් යන්නේ එහෙයින් විය යුතුය. අද විශේෂ දවසක්ද නොවේ. එහෙත්, මට ඔහුව මතක් වෙයි.

"තිවංකගෙ බත් එක තමයි රසම" පන්තියේ සිටින ස්වර්ණලා, කාංචනාල කියන විට මගේ හදවත දරාගත නොහී වේදනාවකින් ඇඹරෙයි. ඒ වේදනාව, තවමත් නයිටිය පිටින් ඇඳේ සිටින මට මේ මොහොතේ දැනෙන්නේ මන්දැයි මම නොදන්නෙමි. තිවංකගේ බත් එක රස බව හැබෑය. ඔහුගේ මව අහර පිසීමෙහි ලා උපතින් ලද අත්ගුණයක් ඇත්තීය. ඇය කරුණාවන්තය. දුටුතැන අහින්සක සිනාවකින් සංග්‍රහ කරන්නීය. එහෙත් මම ඇය මග තොටදී හෝ මුණිච්චි වීම ප්‍රිය නොකලෙමි, මක් නිසාද යත් ඇය දුට මසිත මටත් නොතේරෙන මහා කම්පාවකින් වියැලී මිරිකී යන හෙයිනි.

මම ඇඳෙන් නැගී සිටිමි. තුඹසකින් ඇද ගත් නාග කන්‍යාවක ලෙසින් කැඩපත අභියස හිට ගනිමි. ඈත් කල දෑඟිලි හිස කෙස් අතරින් රුවා, ඉස්සී අවුල් වී ඇති කොණ්ඩය ගැට ලිහා ගැන්මට තැත් කරමි. මම ලස්සනය. මම සිතමි. සුදු පැහැති මුව, උපතින් ලද සිහින් ඇහි බැමි, පිරිපුන් කන්මුල්, පරිපූර්ණ දෙතොල්, සිහින් ගෙල... මම ගෙල තෙක් මගේ දැත් ගෙන එමි. දුහුල් නයිටිය අතරින් පියයුරු පෙනෙන නොපෙනෙන තරමින් හිඳී. මම කාමරයේ දොර වසමි. නයිටිය ඉවත ලා මගේ සිරුර දෙස බලමි.
"මං දැං ලොකු කෙල්ලෙක්"
මම දෑත දෙතන මත රඳවමි.

"උඹේ ඇඟ නාම් ගාන බං. බඩක් ගෑවිලවත් නෑ." වත්සලා පෙරේදා පාසලේදී කීවාය.

"ඒකිගෙ කටවහ වදිද දන්නෑ." මම වත්සලා මග හැර එළියට ගොස් තුන් පාරක් කෙල ගැසුවත් ඇගෙ වදන් හා මගේ සිරුර ගැන හිත වද විඳී.

මගේ දෙනෙත් මගේ සිරිර විනිවිදියි.  දකුණු කකුලේ ඉහළින් ඉදිරියට වන්නට තිබෙන උප ලපය, මෙලෙස කණ්නාඩියෙන් බලන සෑමදාම මට ඕනාවටත් වඩා පෙනෙන්නේය. මම ඒ ලපය එදා පටන් වෛර කරමි.

"තිවංක මගෙ අතින් ඇල්ලුවෙ, මේ හරියෙන්" මම මැණික් කටුව නාසයට ලං කොට සුවඳ බලමි. "තාමත් තිවංකගෙ සුවඳ එනව මගෙ අතින්".

මම කොන්ඩය මුදුන් කර බැඳ ගනිමි. තුවායක් දවටා ගනිමි. මම නාන කාමරයට යමි.

"තිවංක මට වඩා දක්ශයි. මම දන්නවා. බොරුවට මගෙත් එක්ක කයිය ගහන්න නිසයි අමාරු පාඩම් කිය කිය හවස මාව තියාගන්නෙ. නැත්තම් හදවතෙ කොටස්ම දැන් කී දවසක් කලාද!" මම මටම කියා ගනිමි.

"මේධා නොදන්නවා උණාට, මගෙ හදවත නම් බිත්තියෙ ගහල තියන එකටත් වඩා ලොකුයි." තිවංකගෙ වචන දෙසවන් තුල රැව් පිළි රැව් දෙයි.

"මම ඊයෙ ඉස්කෝලෙ නොගිය එකට තිවංක මොනා හිතනවද දන්නෙ නෑ. මට බයයි තිවංක!" මම සිතමි.

නාන කාමරයේ කැඩපත, කාමරයේ අල්මාරියේ කැඩපත මෙන් මගේ මුලු සිරුරම නොපෙන්වයි. මම ඊට නො කැමැත්තෙමි. පියයුරු වලින් පහල මට නොපෙනෙයි. ඉදින් මට සිත් සේ මගේ අඟ පසඟ වල ඇද කුද බැලීමට මින් නොහැක. එක අතකින් මෙය හොඳය. ඒ මගේ කකුලේ උපන් ලපය නොපෙනෙන නිසාය.

"ළමයෝ ඕකෙම ඉන්නද කල්පනාව දවසම?" ඒ අම්මා ය.

මම ඉක්මන් කරමි.

මතු සබැඳි.

ඊළඟ කොටස පහලින්

නිර්නාමික iv