Friday, February 16, 2018

ටෙලි කලාව හා කූඹියෝ

Image result for koombiyo

ඉන්දියානු ටෙලිය ලංකාව ආක්‍රමණය කලේ, මට මතක විදිහට, සිරස ටීවී එකේ හඬ ගන්වා විකාශය කළ "ශාන්ති" කියන ටෙලියෙන් පටන් අරගන. මම වැරදි නැත්නම් ඒ 1996 සිට 1997 කියන අවුරුදු වෙන්න ඕනෙ. "මන්දිරා බේදි" කියන ඉන්දීය සිනමා නිළිය ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් අස්සට රිංගගත්තෙ, ඒක ඒ කලෙ අලුත් අත්දැකීමක් නිසා වෙන්න ඇති. ඒත් මම දකින විදිහට ඒ ශාන්ති ගෙන් පටන් ගත්තු ඉන්දීය සිනමා කළාව ලංකාවට මේ වෙනකොට පිළිලයක් වෙලා හමාරයි.

ශාන්ති, ප්‍රගති, සුජාතා, පාරමී, එක අහසක් යට දී, මහ ගෙදර, චිත්ති, ප්‍රවීනා ආදී එකී මෙකී නොකී ඉන්දීය ටෙලි නාට්‍යය ගණනාවක් මේ වෙනකොට සිරසෙන් පමණක් බිහි වී තියනවා. (මේ වීඩියෝ ටික බලන්න. පරන මතක අලුත් වෙන්න )






පස්සෙ පස්සෙ මේ රැල්ලට එකතු උණා දෙරණ, හිරු ටීවී වගේ ප්‍රධාන නාලිකාවනුත්. ජාතික රූපවාහිණියත් ස්වාධීන රූපවාහිණියත් මේ රැල්ල හදන්න උත්සහ කළේ කොරියන් නාට්‍යය හඳුන්වා දෙමින්. ඒත් ඒව ඉන්දීය නාට්‍යය තරම් මිනිස්සුන්ව අල්ල ගත්තෙ නැත්තෙ, කොච්චර උණත් ලංකාවෙ මිනිස්සුන්ගෙත් ඉන්දීය සම්භවයක් ගෑවිලාවත් තියන නිසා වෙන්න ඇති.

කොහොමින් කොහොම හරි දිය කැට පහන, දඬුබස්නාමානය, පළිඟු මැණිකේ, චරිත තුනක්, නෑදෑයෝ, දූ දරුවෝ, සත් පුර වැසියෝ, බෝනික්කෝ, රතු රෝස, ඉන්ගංමාරු කතා, අසල්වැසියෝ, සෙනෙහෙවන්තයෝ, දුන්හිඳ අද්දර වගේ ලංකාවෙ ටෙලියනුත් බිහි උණා වගේම පස්සෙ ඒවා පසු බෑමකට ලක් උණා. ඒ පසු බෑම කොහෙන් කොහොම ඇති උණාද කියන්න දන්නෙ නෑ.




මේ වගේ ගමනක් ඇවිත් අවසානයේ මෙගා නාට්‍යය කියන කලාව ලාංකීය ටෙලි සංස්කෘතිය ඇතුලට මුල් බැහැ ගන්න පටන් ගත්තා. මුලින්ම බිහි උණ මෙගා නාට්‍යයක් තමයි "වසූදා". ඒකෙ මම දැක්ක දේ තමයි ඉන්දීයානු ශෛලියට වේශ නිරූපන, ඉන්දියානු ශෛලියට ලංකාවෙ නලු නිලියන් රඟ දක්වන ආකාරයක්. ඒක ඊටත් වඩ කැපී පෙනුන තැනක් තමයි "කිඳුරංගනා" කියන ටෙලිය. ඉතින් ඒ නාට්‍ය වලට පහරක් එල්ල කරන්න වගේ ස්වාධීන රූපවාහිණිය බට්ටි, පබා, පබලු වගේ ටෙලියන් එළියට දැම්ම. හැබැයි ඒ කලාව අද වෙනකොටත් අඩු වැඩි විදිහට විවිධ නාළිකාවල විකාශය වෙනවා.







ඇයි මම මේ නාට්‍ය ගැන කතා කරන්නෙ? ටෙලිනාට්‍යය කලාවක් බිහි වෙන්න කළින්, ගුවන් විදුලි නාට්‍ය තුලින් ප්‍රෙක්ශකයන්ට ඉතා ඉහල රසාස්වාදයක් දෙන්න හැකියාවක් තිබ්බා. ඒ නාට්‍යය කලාව තුලම තිබුණ දෙයක් තමයි පරිකල්පන හැකියාව දියුණු කරන එක. ශ්‍රව්‍යය මාධ්‍යය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය විදිහට කලාවට එනකොට ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට අඩු උණත්, කුතුහලය තුලින් ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට රඳවා ගන්න පුලුවන් උණා. ඒක පරණ නාට්‍යය ගැන කතා කරන ඒව බලපු අයගෙන් තේරුම් ගන්න පුලුවන්. ඒත්, මෑත කාලයේ ගත්තම, ඒ වගේ කුතුහලයක් ඒ නාට්‍යය වලින් පෙනුනේ නෑ. පළවෙනි එපිය බැලුවට පස්සෙ අන්තිම එපිය ගැන අනුමාන කරන්න හැකියාව ගොඩක් නාට්‍යය වල තියනව. අනික ඒවා දින පතා විකාශය වෙන නිසා කුතුහලයක් කියල දෙයක් තියෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙන සුලු කුතුකුතුහලයක් උනත් පැය විසිහතරක් ඇතුලත නැති වෙනව කියල ප්‍රේක්ෂක විඥ්ඥානය තේරුම් අරන් තියනවා. ප්‍රේක්ෂකයා අවිඥ්ඥානිකව, ඒ කුතුහලය තුලින් පරිකල්පනයට යන රසාස්වාදයෙන්, ලල් එකක් නොලබන තැනටම මේ වෙනකොට පරිනාමයට පත් වෙලා තියනවා.

අන්න ඒ වගේ යුගයක තමයි කූඹියෝ කරලියට බහින්නෙ. බාල මහලු තරුණ සෑම දෙනෙක්ම වාගෙ අද වෙනකොට උන්මාදයකට ඇදල දාන්න තරම් හැකියාවක් කූඹියෝ ටෙලියට හැකියාව ලැබිල තියනවා.



සතියකට දින දෙකක් විතරක් විකාශය වීම නිසා අර කුතුහලය තුලින් ගොඩනැගෙන පරිකල්පනය 100% සාර්ථකව මෙතනදි ගොඩ නැගෙනවා. ඒකට මුහුණු පොතේ තියන කූඹි ගුල ෆෑන් බේස් එක සාක්ශි දරාවි. හැම නාට්‍යයකටම ඒ පරිකල්පනය දියුනු කරන හැකියාව නෑ. නොහිතන අතු රැසක් ඔස්සේ හිතන්න අවස්තාව කූඹියෝ කතාව ඇතුලේ ගැබ් වෙලා තියනවා. මුලින්ම මෙගා නාට්‍යය ගැන බිහි උණ තර්කය තමයි, දිනපතා විකාශනය උණේ නැත්තම් කලබලකාරී ප්‍රෙක්ෂකයට ඒක අසාදාරණයක් කියන එක. වක්‍රාකාරව මේ එල්ල කලේ ප්‍රේක්ශකයගේ පරිකල්පනය හා රසාස්වාදය බාල වෙලා කියන එක. ඒත් ඒක එහෙම නෑ කියන එක කූඹියො ඔප්පු කළා. කොච්චර කාර්යබහුල සමාජයක් උණත් රසාස්වාදය හඳුනනවා. ඒ වගෙම තවමත් පරිකල්පන ඉහලින්ම තියනවා කියන කූඹියො එක පිට ඔප්පු කරල හමාරයි. සමාජයට කූඹියෝ එළියට එන්නෙ කූඹියෝ වගේ ටෙලියක අවශ්‍යය තාව තදින්ම තිබුණ වෙලාවාක. කුඹියෝ නිසා රූපවහිනී නාට්‍ය වලින් බැහැර වෙලා හිටපු නව පරපුර ලාංකීය රූපවාහිනි ටෙලි කලාවට වහල් උණා. (කලාවට වහල් උණාටත් වඩා මෙතනදි උණේ කූඹියො කියන නාට්‍යයට වහල් වෙන එක ). How I met your mother, Big-Bang Theory, Game of Thrones, Six Feet Under, Brooklyn Nine Nine බටහිර මාලා නාට්‍ය වලින් මොහොතකට හරි මිදිල දේශීය දේකට බඳවා තියා ගන්න හැකි උන ලකා ඇතුලු පිරිස ගත්ත උත්සහය අති සාර්තකයි.

ඉතිං කූඹියෝ ටෙලිය උච්චතම අවස්ථාවකට ඇවිත් ඉන්න මේ මොහොතෙ මම හිතන්නෙ, කූඹියෝ වගේම තවත් හොඳ නාට්‍යයකට එන්න දැන් කාලෙ හරි. නැත්තම් ඒ වගේ උසස් පරි කල්පනයක ඉඳල ආයේ මේ ආදරයයි, ශිවන්යා වගේ ගොබ්බ (සමාවෙන්න ) මට්ටමකට වැටුනොත්, ඒ කම්පනය කූඹියෝ රසිකයොන්ට දරා ගන්න බැරි වේවි.

Thursday, February 15, 2018

තවත් එක කවියක්

සැඟ වී වන සිරස් කොනෙක
සියුමැලි මුදු සොඳුරු මලෙක
ඇති සුවඳේ රැඳුනු මෙලෙක
කොහොමට පවසමිද කවෙක

රසයකි නෙතු පිනන කමල
පැහැසර දිලි දසුන නිමල
පිපි හද විල සරන අකල
හද සනහන සිහින අමිල

සිහිනෙත් නෙතු තුලට වැදී
නුඹ මගෙ මුලු ලොවම යදී
මගෙ හිත නුඹ ළඟම රැඳී
මම කොහොමද ඉන්නෙ මිදී

Saturday, February 10, 2018

නිර්නාමික xvii

මේධානි සිය දරුවා උකුළෙහි රුවා හිඳින්නීය.

"අකලංකත් මේ කතාව මොකට හාරාවුස්සනවද මන්ද...!"

"මම දන්නව මේධානි. පරන දේවල් අවුස්සන්න ගියාම හරියට මළමිනියක් ගොඩ දානව වගේ දෙයක් කියල. ඒත්... මුල ඉඳන් ඇහුව කතාව ආයෙ මග නවත්තන්න හිතෙන්නෙ නෑ"

"හ්ම්ම්. ඉතින් තව මොනාද දැන ගන්න තියෙන්නෙ...!"

"ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ කියන්න."

මේධානි සිය දරුවත් සමග නැගිට්ටාය.

"අකලංක මොනවද බොන්නෙ?"

"මුකුත් එපා. කරදර වෙන්න එපා. මම ආවෙ මේධාගෙන් කතාවෙ ඉතුරු ටික අහන්න"

යළිත් මේධා දරුවාද තුරුල් කර හිඳ ගත්තාය. ඈ දරුවා දෙස බලා සිටින්නීය. ඇයට තව තවත් බල කිරීමට මටද සිත් නොදේ. කතාව කීම හෝ නොකීම ඇගේ අයිතිය ය. මම යළිත් මේධා - තිවංක පෙම් පුවත ගැන නො අසමියි ඉටා ගතිමි.

"මගේ අතට දෙනවද දරුව... ටිකක්..." මම මේධාගෙන් ඇසුවෙමි.

"ඔයාට පුලුවන්ද?"

"මොකෝ බැරි... දෙන්නකො..."

මම මේධානිගේ පුතු, සීරුවෙන් තුරුලට ගතිමි. මේධා නැවතත් පුටුවට බර වූවාය. ඈ සුසුමක් හෙලා දෙනෙත් පියා ගත්තීය.

මේධානිගෙ පුතු සිය සැමියාගේ මුහුන අංගයක් නෑර විද්‍යාමාන කරයි. මම සුරතල් පුතුන් නැළවීමි.

"අකලංක... එක අතකට ඔයා මගෙන් මේ දේවල් අහන එක හොඳයි. නොකිව්වට, මෙ කතාව ඔයාට කියන එකෙන් මගෙ හිත ගොඩක් සැහැල්ලු වෙනව." මේධානි දෙනෙත් පියාන කීවාය.

"ඒත් මට බල කරන්න අයිතියක් නෑනෙ" මම කීවෙමි.

"අකලංක, මට දෙයක් තියනව අහන්න. මම තිවංකට පොරොන්දු උනා මේ ප්‍රශ්ණෙ කවදාවත් කාගෙන්වත් අහන්නෙ නැහැයි කියල. ඒත්... මට අහන්න වෙනව..."

"ඉතින් අහන්න." මම කුකුසෙන් යුතුව මේධා දෙස බැලුවෙමි. සිය දරුවා සමග නිදි වැරීමෙන් ඈ තව තවත් කෘශ වී ඇති සෙයකි, ඇය වෙතින් දිස් වූයෙ. දරුවා මා අතට දීමෙන් ඈ මිනිත්තු කීපයක හෝ නිදහසක් ලැබූ බැව් ඇගෙන් පිටව ගිය සුසුම් දැක මට පසක් විය. "මොකද්ද මේධට ඔය හැටි අහන්න තියන ප්‍රශ්නෙ?"

"මම අහන්නම්. ඊට කලින් මගෙ කතාව කියන්නම්... "ඈ තවමත් පුටුවට බරව දෙනෙත් පියාන සිටී. ඒ අතීතය මෙනෙහි කරනවා විය යුතුය. ඇගේ කොපුලත් දෙතොලත් වරින් වර අමුතුවෙන් වෙව්ලනු මම දුටුවෙමි. ඇය සිත තුල ගලා යන සිතිවිලි දහරාවන් මුහුණ නැමැති කැඩපතෙන් එළියට පනින සෙයකි. මම ඇගෙ හැඟිම් කියවන්නට වෙර දැරීමි. ඈ සිටිවනම සිය කතාවෙහි ඉතිරිය දිග හැරීය.

*****

තිවංකට, තිවංකගෙ වචන වලට, අදහස් වලට මම ආදරය කළෙමි. මගේ කතාව තවත් එක් හුදු 'බොළඳ ආදර කතාවක්' වන තරමටම මම ආදරෙන් විඳවීමි. එදයින් පසු යළි මම පාසල් නොගියෙමි. රම්‍යා මිස් වත්සලා අත පණිවිඩයක් එවා තිබුණේ විභාගය අවශ්‍යය ලිය කියවිලි රැගෙන යන ලෙස කියමින් ය. ඉදින්, යළිත් වරක් හෝ තිවංක දැකිය හැකි යැයි සිත තුටින් පෙලුනු මුත්, අම්මා සමග පසු දින උදයෙම පන්තියටවත් නොගොස්, විදුහල්පති කාර්යාලයේදීම සියල්ල නිම කොට ගෙන ඒමට සිදු විය. ඉතින් තිවංක දැකීමට තිබු අවසන් අවස්ථාවද මග හැරිණි.

දින සති බවට පෙරළෙමින්, සති මාස බවට පෙරළෙමින් විභාගය කෙමෙන් ළඟා විය. විභාගය ලියමිද නො ලියමිද සිතමින් සිත් මඩෙ රුවා ලූ ඉන්නක් මෙන් වැනෙයි. අම්මා හෝ අප්පච්චි ට මම විභාගය කළත් නොකළත් කම් නැති ගානය.

කෙසේ හෝ, මම විභාගයට ගියෙමි. ඒ අන් කිසිත් නිසා නොව, තිවංක බැලීමටය. පාසල නුහුරු තැනක් ගානය. මහා කාලයක් නොවුනද, පාසල මට නුහුරුය. පන්ති කාමරය මට නුහුරුය. තවමත් කිසිවකුත් පැමිණ නැත. අම්මා මා කැටුව ආවාය. ඈ ගේට්ටුව අසල කීය හෝ වන තෙක් මා එන තුරු සිටින බව මම ඉඳුරාම දනිමි. සුපුරුදු ලෙස පන්තියට ගොඩ වී හිඳගතිමි. තිවංකත් මාත් ඉගෙන ගත් හදවතේ කොටස් නම් කළ හදවතේ පින්තූරය තව දුරටත් බිත්තියෙහි නොවීය. මා වට පිට බැලුවේ ඒ වෙන තැනක හෝ එල්ලා ඇත් දැයි සැක හැර දැන ගැන්මටය. එහෙත් එය පෙනෙන තැනක නොවීය. මගේ හදවත මා තුල නැත්තාක් මෙන් දැනෙන්නට විය.

තිවංක දන්නව ඇති ඒකට මොකද උණේ කියල. තිවංක කැඩුවත් දන්නෙ නෑ.

මට මහා දුකක් දැනුණි.

ළමුන් එකා දෙන්නා පාසලට එනු පෙණිනි. ස්වර්ණාත් කාංචනාත් මා දැක ඉක්මනින් පන්තියට දුවගෙන ආහ.

"මේධා... මොකද කෙල්ලෙ මේ උණේ...?" කාංචනා මා අසල හිඳගනිමින් ඇසුවාය.

"මන්ද කාන්චනා. මට තේරෙන්නෙත් නෑ!"

"උඹ මළගෙදරවත් ගියාද බං?" ස්වර්ණා මගෙන් ඇසීය.

මම ගැස්සී ඇය දෙස බැලුවෙමි.

"මළගෙදර? කාගෙද?"

"අනේ...! උඹ මේව දන්නැද්ද කෙල්ලෙ?" ස්වර්ණාත් කාංචනාත් මුහුණෙන් මුහුණ බලා ගත්තාය. මට මා ඉදිරියේ ලෝකය අඳුරු වී යන සෙයක් පෙණිනි. හිඳ සිටි අසුනෙන් ගිළිහී පොළොවට ඇද වැටෙන්නාක් මෙන් යාන්තම් මතකය.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xviii