Monday, October 21, 2019

අතීතය

අරමුණකින් තොරව ඔහේ සිටිනා හවසක මම අතීතය සිහිපත් කරමි. නා නාවිධ මතක මනසෙහි සැරි සරයි. ඒ සියල්ල දුක සතුට විරහව ආදරය හා තවත් නොයෙක් වූ, එක් වචනයකින් ඉදිරිපත් කළ නොහැකි හැඟීම් සමුදායක උල්පතකින් ගලා එන්නාක් මෙනි. සමහර සිදුවීම් උපහාසය, ත්‍රාසය, භීතිය කැටි වූ ඒවාය. සමහර සමීපතමයන් අද අහලකවත් නැතිය. සදා කල් ළඟින් සිටීමට පොරොන්දු වූ වෝ අද ඉන්නා තැනක්වත් නොදනිමි. කිසිදා හමුවේවි යැයි නොසිතූ සමහරෙක්, අද ජීවිතයේ නැතුවම බැරි අයවලුන් වී හමාරය.

මතක අතර තව තවත් ගැඹුරට කිමිදෙන කල, ඒ පරාසය පටු වෙයි. කුඩා කළ මගේ ලෝකය කුඩාය. අම්මා තාත්තා ආච්චි නංගි සහ අප නිවසෙහිම වෙසි, අම්මාගේ නැගණියන් දෙදෙනාද, නෑ කමින් මවට නැගනියක් වන, අම්මාගේ පුංචි අම්මාගේ දියණියක් ද විය. තාත්තා යුධ හමුදාවේ සේවය කළ හෙයින්, මගේ කුඩා කළ, තාත්තාගේ සෙනෙහස නිතර නො ගැටුන නමුත්, කාන්තා බලකායකින්ම සන්නද්ධ වූවකි. ඒ කාන්තා බලකායේ ප්‍රධාන සෙන්පතිනියන් මෙන් සිටි පුංචි අම්මලා තිදෙනායි. ඒ මද්දු පුංචි, චූටි පුංචි හා සුදු පුංචිය. අම්මා, ආච්චි සහ පුන්චිලාගේ හුරතලයට හැදුනු මාගෙ පැරණිම මතක බොහොමයක්, තවමත් මසිත තුල සුරක්ෂිතව ඇත. ඒ මතක සියල්ල, හැකි සෑම විටකම යළි යළිත් සිහිපත් කරන්නේ, පරිහරණයෙන් තොර වූ යමක් මළ බැඳී, වියැකෙන්නේ යම් සේද, යම් දිනෙක මසිත තුල ඉතිරිව ඇති ඒ සොඳුරු මතක ද සදහටම වියැකේවි යැයි අනියත බියක් මසිත තුල ඇති නිසාවෙන්ම විය යුතුය.

ඒ මතක සියල්ල වචන කරනවාට වඩා, ඒ මතක හා සබැඳි එක් අයෙක් පිළිබඳ, සොඳුරු සටහනක් තබනු කැමැත්තෙමි.

ඈ මද්දු පුංචී ය. අම්මාගෙ වැඩිමහල් නැගණියයි. ආච්චිට හා සීයාට දාව උපන් දැරියන් තිදෙනා අතරින් මද්දුමයා නොහොත් මැද දැරිවිය ඇය වූ හෙයින්, ඈ නිවසට මද්දු වූවාය. මට මද්දු පුංචි වූවාය. මගේ කුඩා අවධියේ මතක රැසකට වැඩි දායකත්වයක් දැක්වීමට ඈ සමත් වූවා ය. ඈ උපන් දා සිට තතු කීමට තරම් මා නොදන්නා මුත්, මා උපන් දා සිට ඇගේ තතු බොහොමයක් තවමත් මතක ගබඩාවේ අතරින් පතර මට හමු වෙයි.

සමහර මතකයන් ගළපා බලන කළ කුමකට පෙර කුමක් සිදුවී ද යන්න ගැට ලිහා ගැන්මට තරම් මතකයක් නොවුවත් යම් යම් මතකයන්ගේ "හොඳම කොටස්" තවමත් නෂ්ඨාවශේෂයන් මෙන් ඉතිරිව ඇත. ඉදින්, ඒ එකින් එක ගලපා අතීත කතාව ගොඩ නැගිය යුතුය.

ඇය පිළිබඳ ඇති පැරණිතම මතකයට හිත ඇදී යයි. ඒ ඇගේ පෙම්වතා ඇය හමුවීමට නිවසට ආ මොහොතකි. ඔහුගේ නම් ගම් හරි හැටි මතකයේ නොවුණත්, ඔහු ඉඳ හිට මට යමක් රැගෙන ආ බවද යාන්තම් මතකයේ ඇත. ඒ පලහිලව්ව වැඩි කලක් නොගොස් අඩාල වූ බවද මතක නමුත් එහි අග මුලක් සැබැවින්ම මතකයේ නැත. ඈ, එකළ පුවක් බෝනික්කියක මෙන් කොණ්ඩය සකසා සිටියා ය. ඇගෙ කරෙහි වූ හදවතක හැඩැති පෙන්ඩනය කටේ ලා ගැනීම, එය සුරතල් කිරීම මගේ ප්‍රධාන කර්තව්‍යක් වූ සැටිද මට මතකය. මවට දෙවෙනිව, බොහෝ විටෙක, මවට නොදෙවෙනිව, ඈ මා හට බත් කැවීමේ මහා ක්‍රියාදාමයේ ඉදිරිපෙළ සාමාජිකාවක්ද වූවාය. කුඩා කළ, දැන් මෙන් කෑමට ගිජු බවක් නොවූ හෙයින්, මා වටා සන්නද්ධව සිටි කාන්තා බලකායේ ප්‍රධාන ක්‍රියාදාම අතරට මට තුන් වේලට බත් කැවීම එකතු වී තිබිණි. කෙසේ වෙතත්, නා නා විධ සුරංගනා කතාන්දර, තාත්විකත්වයෙන් එහා ගිය විප්‍රකාර ප්‍රබන්ධයන්ගේ එන 'හම්ටි ඩම්ටි' ලා, 'සින්ඩරෙල්ල' ලා, 'තම්බලීන' ලාගෙන් මගේ මනස පුරවාලමින්, බත් ගුලි ගිල්ලවීමේ සමත් කම ඈ කල් යන විට මැනවින් ප්‍රගුණ කොට ගත්තාය.

පෙර කී, ඇගේ පෙම් පුවත අඩාල වීමෙන් පසුව, විය යුතුය, මගේ මවත් ආච්චිත්, මද්දු පුංචීට මනමාලයෙකු සොයන්නට සැරසුනේ. ඒ සෑබෑ "උරුමක්කාරයා" හමුවීමට ප්‍රථම, බොහෝ මනමාලයෝ බොහෝ ඉරිදාවන් වල අප නිවසට ආහ. ඒ දිනයන් නංගිටත් මටත් රජ මගුල් මෙනි. නිතර එන එවන් ඉරිදාවක, අමුත්තන් පිට වූ පසු, තේ මේසය මත වූ රස කැවිලි හිස් කරන වගකීම අපි සතුටින් ඉටු කළෙමු. නමුත්, ඒ බොහොමයක අවසන් ආරංචිය අශුභය. මද්දු පුංචී බොහෝ විට ඒ මනමාලයන්ගේ නහයක ඇදයක්, ඇහැක වපරයක්, නැතහොත්, අවමයෙන්, ඇඳුමක පැළඳුමක අඩු පාඩුවක් හෝ කියා ඊට අකමැති වූවාය. වරක්, අම්මලා ආච්චිලා එක්ව, ඇයට බලෙන් තීන්දු කළ මගුලකට, ඈ අකමැත්තෙන් පසු වූවාය.

"අක්කයි නංගියි දෙන්නම ලස්සන දෙන්නෙක්ව බැඳගන, මට කැත මනුස්සයෙක්ව බන්දන්න යනවා"යි කියමින් ඇය හැඬූ බවක්, මගේ මතකයේ නූවත්, ඉඳ හිටෙක අතීතය හාරවුස්සන මොහොතක අම්මා හෝ ආච්චී මට පැවසුවා මතකය. කෙසේ නමුත්, ඒ තීන්දු වූ මගුලේ මනමාලයා බොරු කාරයෙක් වීම හේතුවෙන්, වෙනත් අතක් බැලීමට ආච්චිලාට සිදු විය.

මද්දු පුංචි කේක් හැදීමට දක්ෂය. කේක් පමණක් නොව, විවිධාකාර විසිතුරු කෑම ඈ නිතර සාදයි. තවමත් ඇය එහෙමය. මා කුඩා කළ මෙන්ම, අදටත්, ඈ විශේෂ කිසිත් පිසුව කළ මගේ පංගුව මට ගෙනත් දෙන්නීය.

පුංචි අම්මලා එසේය. අම්මලාට එහා ගිය අමුතු බැඳීමක් පුංචි අම්මලා සමග ඕනෑම පුතෙක්ට ඇත්තේය. මෙයද එසේය. පුංචි අම්මලාගේ ආදරය වෙනස් ය. ඒ දඟකාරය. නිරහංකාරය. විටෙක අහංකාරය. විටෙක මෝඩය. එය වචන වලින් කීමට අමාරුය. අතීත මතක කලතන විට, මද්දු පුංචි ගැන මතක වැඩිපුර පළමුවෙන් උඩ එන්නේ, ඒ වචනවලින් කිව නොහැකි බැඳීම හා ආදරය නිසා විය යුතුය. අතීතය මතක ගොන්නකි. ඒ මතක, සුන්දර කිරීමෙහි ලා, ඉතා වෙහෙසක් ගත් උත්තම කාන්තාවන් අතරට මද්දු පුංචි නිතැතින්ම එක් වී හමාරය. ඉන් එහා යමක් මෙහි මම නොකියමි. හුදෙක් අතීතය අවුස්සා, එහි අමුතු සුවඳයත් රසයත් පමණක් විඳ, යළිත් ඒ සියල්ල හිත තුලම බහා ඉදිරියට යමි. එක් අවසන් වචනයක් මෙලෙසින් තබමි. ගතවන මොහොත සුන්දර වන කළ, ගත වන මොහොත සුන්දර මිනිසුන් සමග ගෙවන කළ, අතීතය නිරායාසයෙන් සුන්දර කර ගත හැකිය. ඊටත් වඩා, ඒ සුන්දර මිනිසුන්, අනාගතයද ඒ තරම්ම සුන්දර කරවනු ඇත.

Friday, September 6, 2019

නිර්නාමික xxv

මේධානි වාහනෙන් බැහැලැ හෙමින් ඉස්සරහට යන්න උණා. ඒ පිටිපස්සෙන් අකලංකත් හෙමින් හෙමින් ඇවිදගන ආවා. අකලංකගේ මූණෙ තිබුණේ ලොකූ වරද කාරි හැඟීමක්.

මේධානි ඉස්සරහට ඇදෙනකොට, මේධානිව පහු කරගන තව තවත් මිනිස්සු කිහිපදෙනෙක් ඉස්සරහට ගියා. අකලංකටත් මේධානිටත් ගතවෙන හැම තත්පරයක්ම තව තවත් හෙමින් ගත වෙනව වගෙයි දැනුණෙ.

"සාදු සාදු සාදු..." මිනිස්සුන්ගෙ මහා සාදු කාර හතර වටෙන්ම ඇහෙන්න පටන් ගත්තා. අකලංක තවමත් මේධානිගෙ පිටිපස්සෙන්. මේධානිගෙ මුහුණෙ තිබුණෙ මහ විශාල ප්‍රශ්ණාර්තයක්.

"මොකද්ද මේ වෙන්නෙ?" මේධානිට තාම හිතා ගන්න බෑ. ඒ ඇවිදගෙන ගිය පාර කෙළවර උණේ, පන්සලේ විහාරගෙට නගින්න තියන ගල් පඩි පෙළ ගාවින්. එතන නැවතුන මේධානි, පිටිපස්ස හැරිල අකලංක දිහා බැලුවා. කිසිම හැඟිමක් නැති, අසරණ විදිහකට අකලංකත් මේධානි දිහා බලාන හිටියා.

ගල් පඩි එකින් එක එකින් එක පියවරෙන් පියවර උඩට නගින්න, මේධානි පටන් ගත්තා. හැම පියවරක් ගාණෙම, මහා මතක ගොඩාක් එකින් එක මේධනිගෙ ඔලුවට ගලාන එන්න පටන් ගත්තා. මේධානිගෙ හිතේ තිබුණෙ, මහා වරද කාරී හැඟීමක්.

*****

සංසාර ආරණ්‍යයේ නුඹ මග බලන් හිටියා
මම දුර ගිහින් තිබුණා
හිත ගාව ගිම්හානයේ තරු බිම කඩා වැටුණා
සුදු කඩුපුලක් පිපුණා

කඩුපුලත් මොකද මේ තරමටම නපුරු
හිත උණත් ඉවසුවා දුක් කඳුලු පවුරු
මම නැතත් තාම දිලෙනවා තරු අඳුරු
ඒ උණත් ආයෙ හිත හදන්නේ කවුරු

සංසාර මග කෙළවරේ ඇති වැල් පාලමෙන්
එතෙර වෙන්නයි ඉන්නෙ ඔබ එනතුරා මං
සංසාර මග දිගයි, නුඹත් බෝ දුර ගිහින්
දුක උණත් මග බලන් ඉන්නට එපා දැං

කඳුලු සිපගෙන කතාවක් මං ලියන්නම් අහසේ
වළාකුළකට දම් පාට දිය සායමක් විලසේ
ඒ කතවට දුක හිතෙන පසු වදනකුත් රහසේ
ලියා දී යළි සැඟව යන්නම් සංසාර අරණේ

*****
තිවංකට වැඳල අවසර ගන්න අම්මවත් තාත්තවත් ළඟ හිටියේ නෑ. ඒත්, අම්ම කොහෙ හරි ඉඳන් බලාන, තිවංකට මහණ දම් පුරන්න ආශිර්වාද කරනව කියල ලොකූ විස්වාසයක් හිත තුල තිබ්බ. හිස මුඩු කරන වෙලේ, හිතට ආව ඔක්කොම දුක මතක, කඳුලු එක්ක දිය වෙලා එළියටම ගිහින් කියන තිවංකට තේරුම් ගියා. මෙච්චර කල් හදාගන තිබ්බ හිත ඇතුලෙ, ලාවටවත්, දුකක් ඉතිරි වෙලා නැති විත්තිය තිවංකට තේරුණා.

*****

ආදර කතාව අහං ඉන්න තිබ්බ ආසාව නිසාවට අකලංක, මේධානිගෙ ආදර කථාව ඇහුවට, ඒ කතාවෙ අන්තිමට අකලංකත් ඒකෙ කොටස් කාරයෙක් වෙයි හීනෙකින් වත් හිතුවෙ නෑ. කොහොම උණත්, අකලංක තිවංකට නොකියා, මේ ගමන මේධානිව එක්ක ආව එක ගැන හිත ඇතුලෙ තිබුණෙ පුංචි කළකිරීමක්. වරදකාරි බවක්. ඒ ඔක්කොමටත් වඩා, මේධානි අම්ම කෙනෙක්. ඒ හැමදේමත් එක්ක අකලංක කළේ වැරැද්දක් කියල අකලංකගෙ හිත කිව්වා. ඒත් දැන් වෙලා ඉවරයි. මේධානි ගොඩාක් ඉස්සරහට ගිහින් හිටියා. අකලංකත් හෙමින් ඒ දිහාවට ගියා.

*****

මේධානි තවත් ඉස්සරහට ගියා. පන්සල එක එක සැරසිලි වලින් පිරිල තිබුණා. ඒ සැරසිලි අස්සෙ, අමුතු ශාන්ත බවක් පරිසරයෙ තිබුණා. තාම මේධානිට තේරෙන්නෙ නෑ, තිවංක මෙහෙ මොකද කරන්නෙ කියල. අම්ම තාත්ත නැති නිසා, පන්සලේ දුක් වින්දද? ඒ හැමදේම තමන් නිසා නේද? මහ විකාර සිතුවිලි ගොඩක් මේධානිව වට කර ගත්තා. පන්සලේ පිංකමක් සිද්ද වෙන බව තේරුණත්, ඒ මොකද්ද, මොකටද කියන්න තාම මේධානි දන්නෙ නෑ.

*****

තමන්ගෙ ජීවිතේ පළවෙනි සහ එකම ආදරය නිසා ජීවිතේ ගොඩක් දුක් වින්ද තිවංක, මේ වෙලාවෙ, ඒ ආදරේ කරපු මේධානිව දකින්න කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. මේ වෙනකොට මේධානි ගැන තිබුණ අන්තිම ආදර හැඟීමත් තිවන්කගෙන් ඇහැක් අගින් කඳුලු බින්දුවක් වෙලා වැටිල ඉවරයි. පැවිදි පිංකමේ අවසානෙට ළඟා වෙලා තිබුණා. ගිහි ජීවිතේ තිවංක, වීරලුවේ සිරිරතන හිමියන් විදිහට, පළවෙන බණ දේශනාවට සූදානම් උණා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නමික අවසාන කොටස

Friday, August 30, 2019

අන්තිම කැමැත්ත

සුදු ඇඳගන මම එන්නං
මල් වඩමත් පෙරටු කරන්
මං දැක්කම කඳුලු එහෙම
හෙලෙන්න තහනම්...

වෙනද වගේ හිනැහෙන්නම්
දෙනෙත් කවුලු පියන් වහන්
නුඹ දෙස නොබැලුවයි කියා
බනින්න තහනම්...

නුඹ අභියස සැතපෙන්නම්
නුඹෙ සිහිනෙක මම ඉන්නම්
උනුහුම මදි උනත් ළඟින්
නිදන්න තහනම්...

නුඹෙ සිහිනෙක සඳ වෙන්නම්
අලුත් ඉරක් පායනකං
මල් හසරැලි නෙඹෙ මුවගින්
මැකෙන්න තහනම්...

Monday, August 26, 2019

නිර්නාමික xxiv

"කේසා... ලෝමා... නඛා... දන්තා... තචෝ...

කේසා... ලෝමා... නඛා... දන්තා... තචෝ..."

මේධාලංකාර පොඩි හාමුදුරුවො මුලින්ම කපල අතට දුන්න කෙස් රොද දිහා බලාන මම තචපඤ්චක කර්මස්ථානය වැඩුවා. කාලයක් තිස්සෙ භාවනා කරල සමාධිගත වෙලා තිබ්බ හිත, ඒ කර්මස්ථානයෙන් තව තවත් ගැඹුරු සමාධියකට ඉක්මනටම සමාධිගත උණා.

ඒත් ඒ සමාධිය වැඩි වෙලාවක් තියාගන්න කලින්, මහා අමුතු අඳුරක් හිත ඇතුලට කඩා වැදුනා. හරියට, මගේ අත පය හතර ගැටගහල, ලෝ දිය හැලියක් ඇඟට වක් කරනවා වගේ. ඒ අඳුර මගේ වසඟයේ තිබුණ දෙයක් නෙවෙයි. මෙච්චර කාලෙකට අමතකවෙලා, නෑ, අමතකර කරල තිබ්බ පරණ මතක ගොඩාක්, එක පාරම, ඒ සමාධිය බිඳගෙන හිතට මතු වෙන්න පටන් ගත්තා. හරියට, අවුරුදු ගාණක් හිම මිදිල හීතල වෙලා තිබ්බ ගිණිකන්දක් මුදුනෙන්, හිම දියකරගන ලාවා ගලනව වගේ. ඒ සිතුවිලි වේගෙ විදර්ශනා කරන්න තරම් දියුණු මනසක් මට නොතිබ්බ නිසාදෝ, "කේසා ලෝමා නඛා දන්තා තචෝ" කියමින් මුමුණපු තොල් අස්සට හොරෙන් ඉකියක් හිර උණේ. හිසකෙස් බූ ගෑවෙන සීතල වතුර නළලෙන් කම්මුල් වලට වැටිල පහළට ගලන් යන සීතල අස්සෙන්ම, රත් වෙච්ච කඳුලු ගුලිත් ගලාගන යනව දැනුණා. ඒ කඳුලු සබන් පෙන එක්ක මුහුවෙලා අමුතු නීරසක් විදිහට තොල් අතර හිදැසකින් දිවට දැනුණා. වෙච්ච දේ හිතාගන්න බැරුව මම තුශ්ණිම්භූත උණා. හරියට මහා සුනාමියකට අහු උණා වගේ. පැවිදි දම් පුරන්න කලින් හිතේ තිබ්බ සමාධිය කොහෙන් කොහෙට උණාද දන්නෙ නෑ.

ගමේ හිතවත් බොහොමයක් පිංකම බලන්න ඇවිත් හිටියා. ඒ කව්ද කියල අඳුන ගන්න තරම් සිහියක් තිබ්බෙ නැති තරම්. ඒ මොකක් නිසාද කියල මම දන්නෙ නෑ. කර්මස්ථානයක් ගැන වගක්වත් නොතිබ්බ හිත, හරියට මම කලින් කියෙව්ව නවකතාවක් ආයෙත් මුල ඉඳන් මටම ඇහෙන්න කියවනව වගේ වල දාපු මතක එකින් එක ගොඩ ගන්න පටන් ගත්තා. ඒ වලදාපු මතක වලින් හමපු දරාගන්න බැරි කුණු ගඳ නිසා, මම තදින් ඇස් වහගත්තා.

*****

"මම මෙ වැරදි වැඩක්ද මන්ද කරන්නෙ, මේධානි" දිගු නිහඬතාවය බිඳගෙන මම කතා කළෙමි. මේධානි කිසි පිළිතුරක් නොදෙන්නීය.

"අපි ආපහු යමු." මම වාහනය තරමක් වේගයක අඩු කරමින් පැවසුවෙමි.

"අකලංක, විහිලු කරන්න එපා. යමු. මම කිව්වනෙ. මේක මම කරන්නම ඕන දෙයක්"

මම කිසිත් නොකිව්වෙමි. තව අඩ හෝරාවකින් අපට ගමනාන්තයට ළඟා විය හැක. එතෙක් මුණිවත රැකීමට මම ඉටාගත්තෙමි. මේධානිව තිවංකට මුණගෑස්සවීමට යන මේ ගමන නොකල තිබිය යුතු යමක් බව තව තවත් මට පසක් වෙයි.

ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක. ඉදින් ඉතුරු දුරද එසේම ගමන් කළෙමු.

******

ගමන ඇරඹුන මොහොතේ සිට අකලංක නිහඬව වාහනය පැදවීමෙ නිරත වූවේය. එය හිතට මහස් අස්වැසිල්ලකි. අකලංකගේ විප්‍රකාර ප්‍රශ්න විටෙක හිසට වදයකි. මම මගේ මතක සයුරේ ගිලුනෙමි. දරාගත නොහී දුක් වේදනා සතුටු එක මොහොතේ ඔහේ වින්දෙමි.

"මම මේ වැරදි වැඩක්ද මන්ද කරන්නෙ, මේධානි" අකලංක එක වරම පැවසුවේය. ගමනෙන් තුන් කාලක් නිමා කොට, එහි හරි වැරදි සෙවීමට වඩා, ඉතුරු ටික ඉක්මන් කර යාම යෙහෙකියි පැවසීමට හිත් වුවත්, ඒ සිතුවිලි වචන කිරීමට වෙහෙසෙනවාට වඩා ගිලී උන් සිතුවිලි සයුරේම ගිලී හිඳීම වඩා ආනන්දජනක බවක් දුවුවෙමි.

මගෙන් පිළිතුරක් නොවූ නිසාවෙන්දෝ, "අපි ආපහු යමු" කියා වාහනය නැවැත්වීමට අකලංක ගත් උත්සහය ඔහේ කටට ආව වචන කිහිපයක් දිග හෑරීමෙන් පසු වැළැක්විණි.

අපි ඉතුරු දුරද ගමන් කළෙමු. මම යන ගමනේ අරමුණ මම නොදනිමි.

අකලංක එක අතකින් හරි. මේ යන්නෙ වැරදි ගමනක්. ඒත්!

මම නිහඬව සිටියෙමි. වසර ගණනකින් නුදුටු තිවංක බලා ගැනීම පමණක් අරමුණු කර ගත්තෙමි. ඔහුට කතා වත් නොකොට, දුර සිට බලා සැනසී ආපසු එන්නෙමියි පුහු අධිෂ්ඨානයක් හිත තුල මවා ගත්තෙමි.

මම දෙනෙත් පියා ගතිමි.

"මේධානි, අපි ආව. බහිමු!" අකලංකගේ හඬින් මම තිගැස්සී ඇහැරුනෙමි.

*****
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය... "

හිතේ තිබ්බ බර කොටසක් අඩු උණා වගේ දැනුනා. ඒත්, තවත් වෙනදට වඩා අමුතු සිතුවිලි හිත වටේ කැරකෙන එකේ නම් කිසිම අඩුවක් නෑ. පන්තියෙ තිබ්බ හදවත, ඒකෙ කොටස්, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව අතරටෙ තිබ්බ ත්‍රි තුණ්ඩ කපාටය, මේධානි කණේ කොටස් ගැන කියා දුන්න විදිහ, සතුන්ගෙ විද්‍යාත්මක නම් මතක තියාගන්නෙ කොහොමද කියල විහිලු කතා කිව්ව විදිහ, මම මේධානිට ලිව්ව කවි, කතන්දර, අමීෂා!, මගෙ කෙටි කතාව... මගේ ලෝකය, මගෙ අම්මා... දුක් වින්ද හැටි, අම්ම කවන බත් කටක තිබුණ රස, අම්ම මාව දාල ගිය දවස, අම්ම කර වටේ දාගන හිටි චීත්ත රෙද්ද? කෝ ඒක? ඒක මගෙ ඇඳුම් එක්ක ඇති. මට ඒක බලන්න ඕනෙ උණා. මට අම්මගෙ සුවඳ ඕනෙ උණා.

පැවිදිදම් ඉල්ලල ගථාව කියනවත් එක්කම මට නවත්තගන්න බැරි වේගෙන් ඇඬෙන්න උණා. මම මගෙ ඉස්සරහ තිබ්බ බුදු පිළිමෙ දිහා බැලුවෙ හරියට මාව බේරගන්න, කියල ඉල්ලන්න වගේ. මම මගෙ ඉස්සරහ හිටිය මේධාලංකාර හාමුදුරුවො දිහා බැලුවා. උන්නාන්සෙ කිසිම වෙනසක් නැතුව මේ කටයුතු වලට හිත යොමාන ඉන්නව කියල තේරුණා. උන්නාන්සෙ මගෙ හිත කියවනවද මන්ද! මට ආයෙ මොහොතකින් හැමදේම එපා වෙන්න ගත්තා. හැමදේම. කවදාවත් කැමැත්ත ඉෂ්ඨනොකරන මේ සංකාර වෙනුවෙන් අඬන එකත් මහ අපරාධයක් නේධ කියල මගෙ හිතම, මට කියන්න පටන් ගත්තා. ඒත්, තාම හිත තිබුණ තැනටම ඇවිත් නෑ.

*****

"මේ කොහෙද?" මේධානි වට පිට බලමින් ඇසුවාය.

"තිවංක ඉන්න තැන" මම කීවෙමි.  මේධානි මා දෙස බැලුවාය. මම කිසිත් නොකියා වාහනයෙන් බැස ගත්තෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xxv

Friday, August 16, 2019

අප්පච්චි

පෙට්ටගම හාරලා
ගැඹුරටම පීනලා
කිමිදිලා කිමිදිලා

හම්බුනේ නැතුවාට පසිංගල්...
ඉඳා උඹ දමාගං, මං ගත්තු
ඉමිටේසන් අරුංගල්...
දුක යන්ඩ දුවේ දැං,
යවමු අපි වෙල මැද්දෙ,
සරුංගල්...

නිර්නාමික xxiii

ජය මංගල ගාථා මැද අපි පෝරුවෙන් බැස්සෙමු.

අචින්ත නිළමේ ඇඳුමකින් සෑරසී හුන්නේය. ඔහු මට ආදරය කරනවා විය යුතුය. එහෙත්, කිසිදාක නොහඳුනන පුද්ගලයෙක්ට එක්වරම ආදරය කරන අයුරු කෙසේද යන්න සිතා ගැන්මට මම අපොහොසත් වීමි. තවමත්, තිවංක මගේ සිහින වල සැරි සරයි.

මංගල දිනය ඔහේ තෝන්තු මාන්තුවෙන් ගත වූවා මතකය. මම නොහෑඬුවෙමි. අම්මා හෝ අප්පච්චි අතැර යාම දුකක් නොවේ. ඔවුන් කෙරේ අල්පමත්‍රයක වෛරයකුදු මසිත නොවේ. නමුත්, මා මනාලියක වන මොහොතේ හිතින් මැරී උන්නෙමි. යළිත් ජීවය දිය නොහැකි තරමට මම මිය ගොස් සිටියෙමි.

*****

"අචින්තට වෙනසක් දෑනුනෙ නැද්ද?" මම මේධානිගෙන් ඇසුවෙමි.

"මොකො ඒ මනුස්සය කියල. දැනෙනව. ඒත්, හිතින් මෑරිච්ච මම මූණිච්චාවට හිනා වෙවී කොච්චරක් කියල ඉන්නද, අකලංක?" මේධානි සුසුම් ලෑවාය.

"මට තේරෙනවා" මමද නිහඬ වීමි. මේධානි හා තිවංක පාසලේ සිටම, හදවත් වල වපසරිය ඡේදනය කොට ගන්නට වෙර දැරුවත්, ඒ ආදර කතාව තවත් එක ආදර කතාවක් වී අතීතයට එක් වී හමාරය. "මට තේරෙනව. ආයෙත්, මම මේ දේවල් ගෑන මේධානිගෙන් ප්‍රශ්ණ අහන්නෙ නෑ"

"අකලංකට ඕනෙ උනේ කතාවක් ලියන්නනෙ? ඉතින්? ඉතුරු ටික නොදෑන කොහොමද කතාව ඉවර කරන්නෙ?"

"එතනින් එහා මොනවද? ඔයා කසාද බැන්ද. ළමයි ඉන්නවා. ආයෙ මගෙ කතාවෙ අන්තිමේ, මේ මගුල කඩල, තිවංකත් එක්ක ඔයාව හඳපානෙ යවන්න බෑනෙ.?" මේධානිත් මමත් හඬ නගා සිනා සුනෙමු. ඒ, මේ කතාවේ, මේධානි සිනාසුනු පළමු මොහොතය. ඈ දුක පමණක් දැරුවාය. නමුත්, තිවංක ගැන කතා කරන මොහොතක ඈ යම් සතුටක්, වේදනාව තුලින් යම් සතුටක් ලැබුවාය.

"හරි හරි. අකලංකට පුලුවං, ඇත්තට වෙච්ච නැති දේ, අඩු තරමෙ ඔයාගෙ කතාවට වත් දාන්න. නැත්තම් මේධානියි, තිවංකයි පව් නෙ?" මේධානි කිව්වාය.

"එහෙම වැඩක් නෑ. මගෙ කතාව බල්ලට ගියාදෙන්. මේධානිගෙ කතාව මෙතනින් ඉවරයිනෙ. දැන් වෙච්ච දේවල් උණා."

"හරි. එතකොට දැන් අකලංකගෙ ප්‍රශ්න ඉවරද?"

"ඔව්. එතනින් එහා වෙච්ච දේවල් මම දන්නව. අචින්ත එක්ක ඔයා ජීවත් වෙනව. සතුටින් හරි දුකින් හරි ජීවත් වෙනව. වෙන මොනවත් තියනවද?"

"ඇත්ත, වෙන මොනවද?"

"හ්ම්ම්"

"එක දෙයක්, මට අකලංක උදව්වක් කරන්න ඕනෙ?"

"මොකද්ද?"

මේධානි කළබලෙන් මා අසළටම ආවාය. ඈ බොහෝ කළබල ස්වභාවයක් පෙන්නුම් කළාය.

"අකලංක, හැබැයි, මේක අචින්ත අයිය දැන ගන්න බෑ"

"හා... මොකද්ද උදව්ව?" මම වික්ශිප්ත වූවෙමි.

"මට එක පාරක් මුණගස්සන්න තිවංකව"

මම හුනස්නෙන් නෑගිට්ටෙමි.

"පිස්සුද මේධානි. දැන් ඒ කතා ඉවරයි. තිවංකව හම්බෙලා මොනව කරන්නද"

"එයාව එක පාරක් මට හම්බෙන්න ඕනෙ"

"මොකටද"

"බලන්න... කතා කරන්න..."

"ඕනෙ නෑ. නැති ප්‍රශ්ණ ඇති කරගන්නැතුව ඉන්න."

"මට ඕනෙ ඒ මනුස්සයගෙන් සමාව ගන්න, නැත්තම්, මට මෙහෙම විඳව විඳව ඉන්න වෙයි ඉතුරු ටික කාලෙත්"

"හරි... බලමු"

මේධානි යළිත් හිඳ ගත්තාය. දෝතෙහි මුහුණ රුවා හඬන්නට පටන් ගත්තාය.

"හරි හරි. අඬන්න එපා. මම බලන්නම්කො. අනික තිවංක කෑමති වෙයිද දන්නෙ නෑ."

"හරි. අකලංක තිවංකගෙන් අහල කියන්න. තිවන්කව මම අවුරුදු ගානකින් දැක්කෙ නෑ. මොනව කරනවද කොහෙ ඉන්නවද දන්නෙ නෑ. මගෙ හිත කියන්නෙම, මම නිසයි, තිවංකට හැම දේම උණේ කියල. තිවංකගෙ අම්මත් තිවංකට නෑති උණෙ මම හින්දයි. ඒ පව තමයි මම තාම හිතින් මැරීගෙන මම ගෙවන්නෙ."

"එහෙම කියන්න එපා මේධානි. ඔයා කරපු දෙයක් නෙවෙයිනෙ. ඔයාට අම්ම තාත්ත කියන දේට එකඟ වෙන්න උණානෙ."

"ඒක තමයි. අචින්තට බෑ කියල මම අම්මලට බල කළා නම්, මෙහෙම වෙන්නෙ නෑ. මම චපලයි. මම විරුද්ධ වෙන්න පුළුවන් කම තියෙද්දි මෙහෙම කරා කියලයි මට දැනෙන්නෙ. එක්කො, මම තිවංකට මුල ඉඳන්ම බලාපොරොත්තු නොදී ඉන්න තිබ්බ. මම මනුස්සයෙක්ගෙ ජීවිතයක් විනාස කළා කියලමයි මට හිතෙන්නෙ."

"ඒත්, තිවංක දැන් හොඳ තැනක ඉන්නව නම්?"

"ඒක තමයි දෙයියනේ කියන්නෙ. මාව ඒ මනුස්සයව එක පාරක් මුණ ගස්සන්න. මට අඩු තරමෙ වැඳල සමාව ගන්නවත්!"  මේධානි තවමත් ඉකි ගසමින් කතා කරන්නීය.

තව දුරටත් ඇය හා ඒ පිළිබඳ කතා කිරීමට තරම් මානසිකත්වය මා තුලද නොවීය.

"හොඳයි. මේධානි, මම යන්නම්. මම තිවංකව මුණගස්වන්නම්. ඒත්, මම හිතනවා, මේක ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැති වෙයි කියල"

මේධානි ඔහේ ඈත අනතයක් දෙස බලාන හුන්නාය.

මමද, පිළිතුරක් නොමැතිව සිතුවිලි සහසක අතරමංව මේධානිගේ නිවසින් පිටත් වුණෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiv

Thursday, February 14, 2019

පේරෙ ගෙවූ දින

හීන අතර හීන් සැරේ උනාම කිට්ටු

හොරෙන් හිනා උනාලු රොබරෝසි පොහොට්ටු

හාදුව මතකද මගෙ හදවත හිරිවැට්ටූ

හැමදාමත් මහවැලියට වෙනවා මාට්ටු

Related image

මගේ කතාව

ආදර කතාවට...
"පෙරවදන"
නොලිව් වරදට...
"පිදුම"
විඳවන අන්දම...
තුති නුඹට...
කියෙව්වට...

Sunday, February 10, 2019

වරද මගේ

රූටලා කඳුලු කැට ඇස් අගින් ගැලවිලා
කම්මුලේ රතුපාට කඳුලු වල මුහු උණා
නිල්පාට අස් නුඹේ හොඳටෝම රතු වෙලා
තරහයිද මං එක්ක වරද මා අත නිසා

පිට කෙනෙක් නෙවෙයි මට ඔයා මගෙ පණ නිසා
ඕනෙ නුඹ ළඟ ඉන්න හැමදාම නුඹෙ වෙලා
බයක් දැනුනා හිතට නැති වේවි මට ඔයා
හිත රිදෙන වචන පිට උනේ මට ඒ නිසා

ඉතින් තව කඳුලු ඇයි ඇස් අගින් බේරෙනා
අඬන්නට හිතයි දැන් මටත් නම් ගුලි වෙලා
දුකක් දෙන්නෑ යලිත් ඔය කඳුලු පිහදලා
හිනාවෙනද යලිත් බලාගෙන මං දිහා

Tuesday, February 5, 2019

නිර්නාමික xxii

"රජෝ හරණං"

මට එක පාරම මතක් උණේ අපේ පන්තිය. කාංචනාගෙ හුණු කොට්ටෙ. ඒක දිහා බලාගන මම කිළිටි වෙන හිත ගැන මෙනෙහි කළා මතකයි. ඇත්තටම, මම මෙනෙහි කළේ කිළිටි වෙන හිත ගැන නෙවෙයි. කිළිටි වෙන හුණු කොට්ටෙ ගැන. මාත්, චුල්ලපන්තක හාමුදුරුවො වගෙම, අසරණ වෙලා නේද කියල වෙලාවකට හිතෙනවා. ඒත්...

"තිවංක"

ඇස් දෙක පියාන බෝ මලුවට වෙලා, හිත එක් තැන් කරගන්න විඥ්ඥානයත් එක්ක යුද්ධ කර කරා හිටිය මම, එක පාරම ඇස් ඇරියා. මේධාලංකාර හාමුදුරුවො මගෙ ළඟටම වැඩලා, එහා පැත්තෙන් බිම ඉඳගෙන, බෝධිය දිහා බලාන හිටියා.

"හාමුදුරුවනේ...!"

"තිවංකගෙ හිතෙන් දැන් පරන කතන්දර සේරම ටික ටික අමතක වෙලා යන්න දෙන්න"

"එහෙමයි අපෙ හාමුදුරුවනේ"

එදාට වඩා අද හිත සැහැල්ලුයි. මට ඒක දැනුනා. ඒත් තාම, ගැඹුරු ළිං පතුලක වැලි කැටයක් වගේ, කොණක හිර උණ මොකද්දෝ වේදනාවක් ඉඳලා හිටල හිත මතු පිටට ඇවිත් හදවත කොනිතිගහල යනවා දැනෙනවා. ඒ වේදනවාම කමහටහනක් කරගන්නෙ කොහොමද කියල මේධාලංකාර හාමුදුරුවො මට කියල දුන්නා.

"හිතට දුකක් දැනෙන හැම වෙලේම, වේදනාවෙන් පෙළෙන හිත දිහා තුන් වෙනි පාර්ශවයක් විදිහට බලන්න. එතකොට තේරෙයි, විඥ්ඥානය කොයි තරම් සටකපටද කියල"

ඒත් දුක හිතෙන හැම වෙලේම එහෙම කරන එක මුලින් අමාරු උණා. දැන් හිත සෑහෙන්න හීලෑ වෙලා තියන බව මට හොඳට දැනෙනවා.

මේධානි කියන්නෙ ලෝකයම කියල හිතාගන හිටිය මොහොතකුත් තිබුණා, මට. ඒත් අද, එහෙම නෑ. හිත වෙනස් වෙන අපූරුව. වෙනස් නොවන එකම දේ වෙනස් වීම. මම ඒක හැබැහින්ම අත් විඳින හැටි ගැන මටම පුදුම හිතෙනවා.

"තිවංක, ශාසනේට ඇතුල් වෙන්න කලබල වෙන්න ඕන වෙන්නෙ නෑ. හිත හදා ගන්න. හරි වෙලාවට හරි දේ තිවන්කටම දැනෙයි."

"මට තේරෙන්නෙ නෑ හාමුදුරුවනේ. තාම මහණ දම් පුරන්න තරම් හිතේ හයියක් නැද්ද කියල මට හිතෙනවා."

"ඒක තමයි මම කියන්නෙ... කබලවෙන්න ඕනෙ නෑ. ඉවසල ඉන්න. මම තිවංකට ඒ අදහස දැම්මෙ, තිවංක ධර්මය තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන වග මට පෙනිච්ච නිසා."

මම ඔහේ බලාන හිටියා. මගෙ හිත දිහා බලා ඉන්න "මම" හිතන විදිහ දිහා, ඒ "මම" ඇතුලෙ ඉන්න හිත  බලන විදිහ ගැන හිතුවා. ඒක අමුතුම හැඟීමක්. අමුතුම නිවීමක්. හැම දුකකටම, සතුටකටම වඩා ඒ නිවීමට මම ආසා කරනව නේද කියල වෙලාවකට හිතෙනවා. ඒ ආසාව කියන්නෙ ආයෙත්, බැඳීමක්! හිත නම් මහා පුදුමයි.

*****

සංසාරය ගැන හිතලම, සාංසාරික බැඳීමක් විදිහට දැක්ක මේධානිගෙයි මගෙයි ආදර කතාව තවත් එක නැවතුමක් විතරයි කියල මට තේරුණා. ඒ අවබෝධය පිටිපස්සෙ මේධාලංකාර හාමුදුරුවො හිටියා කිව්වොත්, ගොඩක් හරි. අර හිත ඇතුලෙ කිස්කවපු අමුතු හැඟීම සදහටම තුරන් වෙලා ගිහින් කියල මට හොඳාකාරවම තේරිලයි තිබුණේ.

"හාමුදුරුවනේ..."

බෝධි මලුවෙ දෙනෙත් පියාන දැහැනකට සමවැදිල හිටිය මේධාලංකාර හාමුදුරුවො ගාව ඉඳගන මම කතා කළා.

"කියන්න තිවංක" උන්නාන්සෙ, දෙනෙත් පියාගනම උත්තර දුන්නා.

"මාව ශාසනේට ඇතුලු කරගන්න පුලුවන්ද හාමුදුරුවනේ?" මම ඇහුවා. ඒ වචන වල තිබුණ හයිය මමම දැක්කා. ඒ වචන වල තිබුන විශ්වාසය මටම දැනුනා. "ඔබ වහන්සෙ මේක මගෙන් අහල මෙච්චර කල් ගත්තෙ, මගෙ හිත මට විස්වාස නැති නිසයි"

"දැන් ඒ විශ්වාසය තියනවද?" උන්නාන්සෙ ආයෙත් මගෙන් ඇහුවා.

"ඉහටත් උඩින්" මම කිව්වා.

"හොඳමයි. අපි කටයුතු ලෑස්ති කරගමු" උන්නාන්සෙ තවමත් ධ්‍යානයට සම වැදිල හිටියෙ.

මමත් එහෙමම දෙනෙත් පියා ගත්තා. භාවනාව තරම් සුවයක් තවත් කොහින්ද! මම හීළෑ උණ හිත තව තවත් හීලෑ කරවන ගමන් හිතුවා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiii