Friday, April 13, 2018

නිර්නාමික xviii

මට හැමදේම හීනයක් වගේ. ජීවිතේ කවදාවත් නොහිතුව නොපැතුව දේවල් එක පිට එක සිද්ද වෙනකොට මටම තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕනෙ කියල.

අම්ම මාව දාල ගිහින් හත් දවස උණේ මට විභාගෙ ලියන්න තිබිච්ච දවසට. එදා මේධානි ඇවිත් ඉඳපු විත්තියක් මට ආරංචි උණා. මේධානි විභාගේ ලිව්වත් උදේ අසනීප වෙලා ආපහු යන්නත් හැදුවලු. ඒත් යාලුවො කතා කරල තියා ගත්තලු. මට ඒ ගැන හිතන්න තරම් හයියක් හිතේ තිබ්බේ නෑ.

මම ගොඩාක් ඇඬුවා. මට හිටියෙ අම්ම විතරයි. දැන් මට කවුරුත් නෑ. ඒත් මම ජීවත් වෙන්න ඕනෙ.

විභාගෙත් අත ඇරල දාල ජීවිතෙත් අත ඇරල දාල වෙච්ච හැම දේකින්ම හෙම්බත් වෙලා ඉද්දි, තවත් මම ජීවත් වෙන්න ඕනෙ කියල මට ඔලුවට දැම්මෙ, මේධාලංකාර හාමුදුරුවො. අම්මගෙ මළ ගෙදරට මේධාලංකාර හාම්දුරුවො වැඩිය වෙලේ මට දැනුණේ සෝපාක ගාවට බුදු හාමුදුරුවො වැඩිය වගේ. උන්වහන්සෙ මම දිහා බලාන හිටියා. දවස පුරාම අම්මගේ මිනිය දිහා බලාන හූල්ලපු මට මොකද්දෝ සැහැල්ලුවක් දැනුනෙ මගෙම කියල කෙනෙක් මගෙ ගාවට ආව වගේ දැනුන නිසාද කොහෙද. තනියට අම්ම විතරක් හිටිය මට, උදේ පාන්දර හීතලේ චීත්තයක් පොරවන් මිදුලෙ රටා අතුගාපු, අඹ අහුලල ඒව කපල අච්චාරු දාල මම ඒව මූණ ඇබුල් කර කර කනකොට ආසවෙන් මගේ දිහා බලාන හිටපු, බඩට නොකා මට කන්න අල බතලයක් හරි තම්බල මම ඉස්කෝලෙ ඇරිල එනකල් බලාන හිටපු, මම හිතින් වැටිච්ච වෙලාවට දුක හිතේ තියාන නො ඉඳ අඬපන් කියල කියපු, දුක කඳුලු කරන්නැතුව වචන කර කරපන් කියපු, අම්ම ඉස්කෝලෙ නොගියට මාව උඩට ගෙනියන්න නොවිඳිනා දුක් විඳපු මගේ අම්මව මතක් වෙනකොට හිත කඩාන වැටෙන්න උණා, හැම වෙලේම. ඒ මහා දුක් කන්දරාව මහා මේරු පර්වතයක් වගේ දැනෙන වෙලාවෙ, ඒ දුකට පිහිටක් වෙන්න ආව මහා මුණිවරයෙක් ගානටයි, මට මේධාලංකාර හාමුදුරුවොන්ව පෙනුනෙ.

"තිවංක... දැන් දුක් වෙලා තේරුමක් නෑ. ඔහොම තමයි. අපි හිතන දේවල් හිතන විදිහට නොවෙන එක තමයි මේ ලෝකෙ හැටි. ඉස්සර තිවංකම මගෙන් අහන අනාත්මය තමයි මේ. කිසිම දෙයක් අපිට ඕනෙ විදිහට වෙන්නෙවත් කරන්නවත් බෑ දරුවො."

මම මුකුත් කිවේ නෑ. ඔය අනාත්මය මට තේරිල තිබුණ උණත්, ඒ අනාත්මය කොහොමද දරාගන්නෙ කියන එක මට තේරිලා නෙවෙයි තිබුණේ. ආදරේ කියන්නෙ වවාගෙන කන්න පුලුවන් මාතෘකාවක්. ආදරේ ගැන ඕන කෙනෙක්ට ඕන විදිහකට ලියන්න කියන්න පුලුවන්. මට උණත් එච්චරයි. ඒත් තමුන්ට මේ ලෝකෙ කවුරුත් ඉතුරු වෙලා නෑ කියල දැනෙන වෙලාවට කොයි තරම් ලොකු බර කතන්දර කියන හිතක් උණත් අසරණ වෙනවා කියන එක මට සහමුලින්ම තේරුණා.

"තිවංක දැන් ඉගෙන ගන්න ඒව කඩාකප්පල් කර ගන්න කාරි නෑ. මම දැන් වැඩ ඉන්නෙ රත්නපුරේ රජතවනාරාම කියන පිරිවෙනේ. මේ කටයුතු අහවරයක් කරල තිවංක යමු පන්සලට මා එක්ක. එහෙ ගිහින් ඉතුරු හරිය ඉගන ගන්න බැරිය"

මේධාලංකාර හාමුදුරුවො කොහේදෝ අනන්තයක් දිහා බලාන කිව්වෙ. මම උන්නාන්සෙ දිහා බලාන හිටියා. උන්නන්සෙ එහෙම කියල ටික වෙලාවක් එහෙම්ම හිටියේ මොකද කියන්න මට තෙරුණේ නෑ. ඒත් එක්කම ආයෙත් මම දිහාබලල උන්නාන්සෙ ආපහු වඩින්න හුනස්නෙන් නැගිට්ටා.

මම මේධාලංකාර හාමුදුරුවන්ට වැඳ වැටුනා යන්තම් මතකයි.

*****

අම්ම නැති දුක හිතින් තුනී වෙන්නෙ නැති වෙයි කවදාවකවත්. අම්ම විඳපු දුක අමතක වෙන්නෙ නැති තාක් කල් ඒ දුක මගෙ හිතින් තුනී වෙන්නෙ නෑ. හත් දා බණක් කියල අහල පහළ නැන්දලගෙ මාමල උදව්වෙන් පන්සලට දානයක් පූජා කළා. අන්තිමේ මම විතරක් ගෙදර ඉතුරු උණා. කරන්න ඕනෙ මොනාද, මින් ඉස්සරහට වෙන්න ඕනෙ මොනාද කියල හිතන්න මට ඕනෙ උණා.  අම්මට ඕනෙ උණේ මම ඉගෙන ගන්නව දකින්න. හොඳ මනුස්සයෙක් වෙනව දකින්න. අන්තිම කාලෙ මේධානිගෙයි මගෙයි කතන්දර නිසා අම්ම හිතේ අමාරුවෙන් හිටියෙ, නොකිව්වට. අම්මගෙ මරණෙට, නොකිව්වට, මාත් වැරදි කාරයෙක් කියල හෘද සාක්ශිය කියනව මට දැනෙනවා. මම ඒ සිතුවිල්ල මග අරින්න මොනවම හරි වෙන දෙයක් හිතනවා.

අන්තිමේ මම හිතුවේ මේධාලංකාර හාමුදුරුවො හොයාන ඒ පිරිවෙණට යන්න. ඊට කලින් මේධාට කියල යන්න ඇත්නම්... මම හිතුවට ඒක ලේසි නෑ. මේධානි විභාගෙ දා හවස අම්මගෙ බණට හොරෙන් එන්න හැදුව විත්තියක් මට ආරන්චි උණා. ඒක අම්මල දැනගන ආයෙ මේධානිට හොඳටම ගැහුවලු. මේ යන්න හදන ගමන ආයෙ කවදාක මේධානිව දකින්න ලැබෙයිද කියන්න දන්නේ නෑ. ඒ නිසා යන්න කලින් අඩු තරමේ මූණවත් බලන්න තිබ්බොත්...

මම සේරම දේවල් මල්ලක දා ගත්තා. පොත් පත්, ඇඳුම්, හැම දේම. මට කියල වෙන මහා දේවල් තිබුණෙ නෑ. අම්මගෙ චීත්තයක් අරගත්තෙ අම්මව මතක් වෙන්න කියල. චීත්තයක් නොගත්තත් අම්මව අමතක වෙන්නෙ නැති එක ඇත්තයි. ඒත් අම්ම මගෙ ළඟින් ඉන්නව වගේ දැනෙන්න මම චීත්තෙකුත් මල්ලට දා ගත්තා.

මම පිටත් උණා. ආයෙ කවදා කොහොම මොනව වෙයිද නොදැන මම පිටත් උණා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xix