Tuesday, October 27, 2020

දහවල් පිපි කුමුදු මලේ



නෙතට ලඟින් යනකොට මම පවන් දැලේ
සුවඳ ගලන විල මැද තනි නැතිද මලේ
නෙතග තෙමන කඳුලැලි පිස හමන වෙලේ
කඳුළු මොකද දහවල් පිපි කුමුදු මලේ

හඬනු කිමද පාළුද සඳ නැතුවාද
පිපෙනු කිමද දහවල, රැය වැරුවාද
බඹරු නුඹට හෙම ඔච්චම් කෙරුවාද
දිනකර දකිනු රිසියෙන් නුඹ පිපුනාද

හිරුගේ නැඹුලු රතඹුරු දුටු කුමුදු මලී
හලනා කඳුළු පොදී දකිනා මහද පෙලී
නුඹේ ඒ කඳුළු නිවනා රිසි පවන් සැලී
දහවල රුදුයි, රෑ පිපියන් කුමුදු මලී

Monday, October 12, 2020

හැඟුම්

හිතේ හිර වූ ලිහා ගනු බැරි නමක් නැති රස බර හැඟුම්

නොහැක දිය කර කවක වත් මට එවන්නට නුඹ වෙත සිතුම්

දැනේ නම් බිඳුවක් තරම්වත් දෙගොඩ ඉහිරෙන මා සුසුම්

නොදුටු ලෙස නොම හිඳ නෙලා ගනු මැන මහද පිපි පෙම් කුසුම්


දුරම පිපුනේ සුවඳ මල් හැම විටම කරමින් මටම ඔච්චම්

තුරුල් කරගෙන සියොළඟම දැවටී සෙනේ පෙම් තෙපුල් දෙන්නම්

රිසියි මට මල නෙලා ගන්නට උණත් ඒ ගස මහට තහනම්

ළඟට එන්නට බැරි නිසා මං දුරින් වත් හිඳ සුවඳ බොන්නම්




Thursday, September 24, 2020

පුතුට

 

කිසි කල කිසි විට නොසිතු
දකින සිනා ගේන පුතු
කරවමි නුඹ රජෙක් මතු
හිනැහෙන් මා පුත 'රිසිතු'

මෙන් සනහන සිසිල් පවන්
වන් තරමට වටින රුවන්
ගන්නා බැඳ සදා නුවන්
මන් තුරුලේ නිදන 'දැහැන්'

හිනහෙන හඬ කන්කලුවේ
දනවන පෙම හද මලුවේ
වෙණ නද නැගි ගිණිසිළුවේ
මන නඳවන 'තත්සිළු' වේ




Monday, May 18, 2020

සඳේ රුසිරු

සඳ වටකුරු
තරු විසිතුරු
සඳේ රුසිරු
බැස යන තුරු

Moon - Wikipedia

නිර්නමික අවසාන කොටස

අවසානයේ, ඈ තිවංකව දුටුවාය. තිවංක ලෙසින් නොව, බුද්ධ පුත්‍රයකු ලෙසින්ය. කසාවත දරා ඇහැළ මලක් සේ සිය මුල් දහම් දෙසුම අරඹන්නට උන්වහන්සේ සූදානම් විය.

මෙධානි ගොලු වූවාය. ඒ තවදුරටත් තිවංක නොවේ. ඈ පිටුපසින් සිටි අකලංක දෙස බැලුවාය. අකලංක බිම නෙත් යොමා සිටියා විනා කිසිත් නො හැඟවීය.

බණ දේශනාව ආරම්භ වත්ම මේධානිද ඉදිරියට ගොස් බිම හිඳ ගත්තාය. අකලංකද ඒ පේන නොපෙනෙන මානයේ හිඳගෙන හුන්නේය.

"පින්වතුනි... නමස්කාරය කියන්න..." සිරි රතන හාමුදුරුවෝ දම් දෙසුම ඇරඹූහ.

හිඳ හිඳ බලා එනතුරු මතු දැක ගන්ට
සඳ බොඳ වෙලා බව බෑ මට ඉවසන්ට
ඇඳ ඇඳ කඳුලු සිතුවම් හිත පිපිරෙන්ට
වැඳ වැඳ පතමි හිත් දුක මගෙ දුරු වෙන්ට

හිමි මල් රැගෙන ආ වෙමි ඔබ දැක ගන්ට
හිමි නෑ ළගට විත් ඔය පා සිප ගන්ට
යමි මම දුරට යළි කිසිදා නොම එන්ට
නිමි පෙම් පුවත පතනෙමි අමතක වෙන්ට

නිමි.

මුලසිට කියවන්න.

නිර්නාමික i