Saturday, February 26, 2022

හුස්ම

ඉඳහිටක මතක රළ පෙරළි පෙරළී එතී

හිතේ සුසියුම් කොණක කවනවා හංකිතී

විටෙක හිත අවුලුවන පරව ගිය මල් පෙතී

ඉඳ හිටක තැනින් තැන නටඹුන්ව හමු වෙතී


වසන්තය නො එන වග නුඹත් දන්නව ඇතී

ඉදින් ගිම් තරු කඳුලු කවි වලට මුහු වෙතී

සියොත්මග වලා පෙළ කවි පේලි මුමුණතී

කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී


දුර ඈත අතීතෙක මතක පිටු මිහිරැතී

අතර සොයනෙමි තාම හිතගාව හිතවතී

නිවි නිවී සඳ ගාව දිලෙන තරු අරුමැතී

උනත් හැම තනි රෑම ඔහේ දුක් වෙනවැතී


වෙහෙසකර කතර මැද නතර වීලා හතී

හරින හිත වෙහෙසවන මතක තව මතුවෙතී

නුඹට මට එක්වෙන්න අපිට පින් මදිවැතී

ඉතින් දැන් නැවතියන් හුස්ම! ගැහුනා ඇතී




Wednesday, February 9, 2022

දෙන්නෙ නෑ දික්කසාදේ!

හැරදමා ගොස් දික්කසාදෙ ඉල්ලපු (හිටපු) සැමියාට පිළිතුරු දුන් (හිටපු) බිරිඳක්;


තාම වෙදැඟිලි පැලැන්දත් මම
        එදා උඹ දුන් මගුල් මුද්ද
හුඟක් කල් මං විසික් කරලා
        මල්හීය මල්සරා විද්ද
ආදරෙයි මං තුරුල් කරගෙන
        කිව්ව දින කොයි තරම් ඇද්ද
තවත් එක ගෑනියෙක් විතරයි
        මමත් උඹ සෙල්ලමට පැද්ද


කුරිරු උඹ හිත තැලුව තරමට
        හිතේ කඩතොලු තියනවා
හිතේ දුක දිය වෙලා යනකල් 
        තාම ඉඳ හිට අඬනවා
රැවටුනේ මොන මගුලටද මම
        මගෙ හිතෙන් මං අහනවා
ඒත් හිත ගැන බයක් නෑ උඹ
        ආයෙ ආවත් මරණවා 


ඈත දවසක උඹට ලිව්වා
       මගේ පපුවෙන් වැටුන හුස්ම
නිකං වත් ඔය කන් දෙකට උඹෙ
       නෑහුනද මගෙ හදේ ගැස්ම
දන්නවද උඹ මගෙ හදවතේ
       උඹ හිටපු තැන තමා හිස්ම
ආයෙ නො අරින ලෙසයි දැම්මෙ
       හිතට දොරගුලු වසා වැස්ම


මාත් එක්කම උන්න වාගෙ
        ඈත් එක්කත් ඉන්න හින්දා
ඈත් කරලා තියන්නම් මං
        මතක මොකවත් නොගෙන කැන්දා
රාත්‍රිය මට දිගයි වෙනදට වඩා
        දන්නෑ මොකද මන්දා
මාත් නොමැරී පණ අදින්නේ
        අතේ ඉන්නා දරුව හින්දා


ගොලු වෙලා මගෙ හිතේ තියනව
        කියන්නට බැරි තව හුඟක් දේ
දුක නොදී රැක ගන්න බලපං
        අලුත් ගෑණිව හොර කසාදේ
බාගදා පල දෙනව ඇත්තේ
        අපිත් පූරුවෙ කරල ඇති දේ

හැබැයි, 

මගෙ ළඟ දණින් වැටුනත්
        දෙන්නෙ නෑ මං දික්කසාදේ...!