Saturday, July 21, 2018

නිර්නාමික xx

මහා සුනාමියකින් පස්සෙ වගේ තවත් නැති වෙන්න මුකුත්ම නැති වෙච්ච වෙලාවක හිතට දැනෙන මූසල පාලුවට මම ආදරේ කරන්න පටන් අරන්. ඒ පාලුව පන්සලේ වැට මායිම් හතරෙන් එළියට ගියාම, දැනෙනව වැඩි. මේධානිට මොනව උනාද කියන කුකුස හිතේ තිබ්බෙ පන්සලට ඇවිත් දවස් ගානක් යනකල් විතරයි. හිත කියන්නෙ මහ පුදුම දෙයක්. දුක කියන්නෙත් මහ පුදුම දෙයක්. වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නැති තරම්.

"තිවංක, තාමත් පරණ දේවල් මතක් කර කර දුක් වෙනවද?" බෝධි මලුවෙ බිම ඔහේ ඉඳගන කල්පනාවෙ හිටිය මගෙන්, ළඟටම ආව මේධාලංකාර හාමුදුරුවො ඇහුවා. උන්නාන්සෙ දිහා බලල හිනා වෙච්ච මම පුරුදු උත්තරයක් දුන්නා.

"හැමදාම වගේ... අනිත්‍යය සිහි කරනවා"

"අනිත්‍ය සිහි කරන එක නම් හොඳයි. ඒත් අනිත්‍ය සිහි කර කර දුක් වෙන එක නම් හොඳ නෑ." උන්නාන්සෙ එහෙම කියන ගමන් මලුවෙ තිබුනු පොඩි බංකුවෙ වාඩි උණා.

මම ඒකට මුකුත් කිව්වෙ නෑ.

බෝධි මලුව හරහා සර සර සද්දෙට සනීප සුළඟක් හැමුවා. මම ඇස් වහගත්තෙ ඒ සනීපෙ හිතින්ම විඳ ගන්න ඕනෙ නිසා.

"තිවංක, පොඩි සැපයටත් හිත ඇලෙනව නේද? දුකත් ඒ වගේම තමයි. අල්ලන් ඉන්නකල් දුකයි. හුළඟ වගේ. ඇඟේ වදිනකල් සැපයි. නැති කොට ආයෙ දුකයි. ඇඟේ වැදුන හුළඟ අල්ලගෙන සතුටු උනොත් තමයි, ඇඟේ හුළඟ නොවදින එක ගැන දුක හිතෙන්නෙ. ඒක එතනින්ම අත අරින්න. ආයෙ දුකක් ඉතුරු වෙන්නෙ නෑ. අනාත්මය තේරුම් ගන්න"

හාමුදුරුවොන්ගෙ වචන ටික මම ඇස් වහගනම අහගන හිටියා. මට ඒත් ඒක තේරුනේ නෑ. මට ඒක තේරුම් ගන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ. ඒත් අනාත්මය කියන වචනෙ ආයෙ මාව කුණාටුවකින් උස්සගෙන අතීතෙට ඇදන් යනව වගේ ඇදගන ගිහින් ඉස්කෝලෙ පන්ති කාමරේ ඇතුලට අත ඇරිය.

"මොකද්ද අනාත්මීය ආදරයක් කියන්නෙ. අනාත්මීය ආදරයක් පවතින්න පුලුවන්ද?" මම එහෙම ඇහුවෙ මේධගෙන්. මේධ හිතන්න ඇත්තෙ මට පිස්සු කියල. ඇත්ත. මට පිස්සු තමයි.

අනාත්මීය ආදරය කියන්නෙ බොරුව. අනාත්මය ඇතුලෙ ආදරයක් තියෙන්න බෑ. ආදරයයි අනාත්මයයි කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ.

එකක් තෝර ගන්න වෙනව තිවංක. මගෙ හිත මට කිව්වා.

ආදරයද? අනාත්මය ද?

මම ඇස් ඇරියා. තාමත් මේධාලංකාර හාමුදුරුවො මගෙ පැත්තක ඉඳගන. උන්නාන්සෙත් ඇස් පියාන හිටියෙ.

මම ආයෙ ඇස් වහ ගත්ත. හිත සුවපත් වෙලා තිබුනෙ, මුලින් තිබුනට වඩා. ඒත් ඒ සුවපත්භාවය ඇතුලෙ තවම අලු යට හැංගිච්ච ගිනි පුපුරු වගේ මොන මොනවදෝ වේදනාවල් ටිකක් තිබුණා.

*****

විහාරෙ පොත් ගුල මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා. මුතු බෙල්ලෙක් ගල් කැටයක් කොච්චර වේදනවකින් තමන් ඇතුලෙ තියාගනද, ලස්සන මුතු ඇටයක් ලෝකෙට දීල මැරිල යන්නෙ. මාත් ඒ වගේ. තිබ්බ හැම වේදනාවක්ම හිත මෙල්ල කරගන්න ලැබිච්ච දේව වරයක් විදිහට දකින්න පුරුදු උණා. පන්සලට ගමේ මිනිස්සු ඇරුනම වැඩි සෙනගක් එන්නෙ නැති නිසා, ඒ මෙල්ල කරගත්ත හිත එහෙම්ම තියා ගන්න ඒක පිටිවහලක් උණා. හොඳින් සෙවිලි කරපු වහලය තෙමෙන්නෙ නැතිවාක් වගේ, හිතත් හොඳින් හෙවිල්ලන්න මට පුලුවන් උණා.

බෝධි මලුවෙ පුරුදු තැන පුරුදු විදිහට ඉඳන් ඉද්දි, වෙනද වගේ සද්ද නැතිවම, මේධාලංකාර හාමුදුරුවො මගේ ළඟට වැඩියා. උන්නාන්සෙ පුරුදු තැන ඉඳගන්න බරවෙනවත් එක්කම, මගේ නම කිව්වෙ වෙනදට වඩා වෙනස් විදිහට.

"තිවංක... තිවංක උපාසක මහත්තයා..."

ඒ කිව්ව එකට මම හිනා උනා මිසක් මුකුත් කිව්වෙ නෑ.

"තිවංක, මොකද හිතන්නෙ... ශාසනේට මහණ කර ගන්නවට කැමති නැද්ද?"

මම උන්නාන්සෙ දිහා බැලුවා. උන්නාන්සෙ ශාන්තව දෙනෙත් පියාන හිටියා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxi