Tuesday, October 27, 2020

දහවල් පිපි කුමුදු මලේ



නෙතට ලඟින් යනකොට මම පවන් දැලේ
සුවඳ ගලන විල මැද තනි නැතිද මලේ
නෙතග තෙමන කඳුලැලි පිස හමන වෙලේ
කඳුළු මොකද දහවල් පිපි කුමුදු මලේ

හඬනු කිමද පාළුද සඳ නැතුවාද
පිපෙනු කිමද දහවල, රැය වැරුවාද
බඹරු නුඹට හෙම ඔච්චම් කෙරුවාද
දිනකර දකිනු රිසියෙන් නුඹ පිපුනාද

හිරුගේ නැඹුලු රතඹුරු දුටු කුමුදු මලී
හලනා කඳුළු පොදී දකිනා මහද පෙලී
නුඹේ ඒ කඳුළු නිවනා රිසි පවන් සැලී
දහවල රුදුයි, රෑ පිපියන් කුමුදු මලී

Monday, October 12, 2020

හැඟුම්

හිතේ හිර වූ ලිහා ගනු බැරි නමක් නැති රස බර හැඟුම්

නොහැක දිය කර කවක වත් මට එවන්නට නුඹ වෙත සිතුම්

දැනේ නම් බිඳුවක් තරම්වත් දෙගොඩ ඉහිරෙන මා සුසුම්

නොදුටු ලෙස නොම හිඳ නෙලා ගනු මැන මහද පිපි පෙම් කුසුම්


දුරම පිපුනේ සුවඳ මල් හැම විටම කරමින් මටම ඔච්චම්

තුරුල් කරගෙන සියොළඟම දැවටී සෙනේ පෙම් තෙපුල් දෙන්නම්

රිසියි මට මල නෙලා ගන්නට උණත් ඒ ගස මහට තහනම්

ළඟට එන්නට බැරි නිසා මං දුරින් වත් හිඳ සුවඳ බොන්නම්