Monday, January 23, 2017

හිච්චි

"සුමනසිරි අන්ත්‍රා උණා. ගෙදර එන්න, මීට අම්මා." අම්මගෙන් ටෙලිග්‍රැම් එක. මාව මගෙ හිතෙ තිබ්බ පරණම අතීතෙට ඇදිල ගියා.

*****

අක්කට මගෙ පුට් සයිකලේ පොල්ලෙ ඉඳන් යනකොට පස්ස රිදෙන්න පටන් ගත්තෙ සුමනසිරිය අලුත් දඬුමොණරෙ ගත්තට පස්සෙ.

"අනේ මල්ලි උඹ මේකෙන් පලයන්. මම පයින් එන්නම්. මගෙ පස්ස රිදෙනව. උඹ හිතලම වලවල් වලට දදා එන්නෙ මට රිද්දන්නම." අපි හිටියේ ඉස්කෝලෙ යන ගමන්. අක්ක මගෙ බයිසිකලේ ඉස්සරහ ඉඳන් කිව්වෙ මූණ බෙරි කරගන කියල මට තේරුණා. මාත් ඇරියෙ නෑ.

"අනේ අක්කෙ මේ මට වෙන වැඩ නැතුවයි වලවල් වලට දදා යන්න. වලවල් වලට වැටෙනකොට මට සනීපයි කියලද හිතේ. උඹේ ඔය පුකේ අමාරු ඔක්කොම අර සුමනසිරියගෙ හුචක්කුව ගත්තයින් පස්සෙ" මම එහෙම කිව්වම අක්ක දැඟලුව. මම කකුලක් යන්තමින් බිම තියල නො පෙරළි බේරගත්තෙ බොහොම අමාරුවෙන්. "උඹට අමු කැවිලද බං". මම ඇහුවා. අක්ක බයිසිකලෙන් බැස්සා.

"මල්ලි උඹ කතා කරන්න ඉගෙන ගනින්." අක්ක එහෙම කියල මාව ඉස්සර කරන් ගියා. මගෙ මොකෝ. මගෙ දිගින්ද පළලින්ද. මාත් සනීපෙට රූන් ගාල අක්කව ඉස්සර කරන් ගියේ කුරුල්ලා වගේ. අක්කව ඉස්සර උනාම ආපස්ස බලල අක්කට විසිල් එකකුත් ගැහුව. ඒකි ගස්සල අහක බලා ගත්තා. එදා ඉඳන් අක්ක මගෙත් එක්ක ඉස්කෝලෙ යන්න ආවෙ නෑ.

අපෙ අක්ක, චමරි. ඒත් එයාට චමරි කිව්වෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි සර් විතර්යි. අනිත් හැමෝම කිව්වෙ හිච්චි කියල. හිච්චි අක්ක මගෙ දෙවෙනි අක්ක. මට වඩා අවුරුද්දයි වයස. පළවෙනි අක්ක තමයි ලොකු අක්කා. ලොකු අක්ක නැති උණේ මැලේරියාව හැදිල. එතකොට මම ජංගියක්වත් නැතුව මිදුලෙ වැලි ගොඩවල් අවුස්සන වයසෙ. මට හරියටම නිච්චියක් නෑ. අක්කගෙ මළගෙදර දා බොඳ වෙච්චි මතකයක් තියනවා. අම්ම හොඳටෝම අඬල අඬල කලන්තෙ වෙලා වැටුන ලාවට වගේ මතකයි. ආච්චි අම්ම අපෙ අම්මව වත්තම් කරන් කාමරේට එක්ක ගියත් මතකයි. ලොකු අක්කගෙ මළගම ගැන මට මතක එච්චරමයි. හිච්චි අක්ක ඒ දවස් වල හිටියද කියලවත් ඒ හැටි මතකයක් මට නෑ. මළගමින් පස්සෙ ආයෙ මට තියන පරණම මතකය තමයි ඉස්කෝලෙ ගිය පළවෙනි දවස. එදා මාව එක්ක ගියෙ හිච්චි අක්කා. මම පහේ ශිෂ්‍යත්වය පාස් උණත් මම ඒ ඉස්කෝලෙම හිටියෙ ලොකු ඉස්කෝල වලට වියදම් කරන්න තරම් අපෙ අම්මට තාත්තට වත්කමක් තිබ්බෙ නැති නිසා. මම ශිෂ්‍යත්වෙ පාස් නිසා අපෙ තාත්ත මට අපේ සීයගෙ පරණ බයිසිකලේ හංදියෙ ජයසිංහ මාමගෙ වින්කලෙන් හදවල දුන්නෙ තෑග්ගක් විදියට. ඒ තෑග්ගට මම සෑහෙන්න ආසා කළා. මොකද ඒ තමයි මට ලැබිච්ච එකම ලොකුම තෑග්ග. ඒ බයිසිකලේ තාමත් මගෙ ගාව තියනවා. ඒක මගෙ මතක ගොඩක එකතුවක්. ඉතින්, ලොකු අක්ක නැති උණායින් පස්සෙ හිච්චි අක්ක අක්කගෙ 'හිච්චි' කෑල්ල මගෙ අතින් හැලුනලු. ඒක මට කිව්වෙ අම්මා. ඒක කියන කොයි වෙලාවක උණත් අම්මගෙ ඇස් රතු වුණේ ලොකු අක්ක මතක් වෙලා ද, නැත්තම් අපි ලොකු අක්කව අමතක කරල කියල හිතල දුකටද, මට තාම හිතා ගන්න බෑ.

මට බයිසිකලෙ හම්බුණ දා හිටන් මං ඉස්කෝලෙ ගියේ ඒකෙන්. මුලින් මම තනියම ගියෙ මට හොඳටම හුරු නැති නිසා. කොහොම උණත් බයිසිකලේ හම්බවෙලා දවස් දෙකෙන් යාන්තම් යාර දහයක් විතර කකුල් බිම නොතියා පැද ගන්න පුළුවන් උණා. සතියක් හමාරක් වෙද්දි මට හොඳටම පුළුවන් උණා.

"උඹ මහ ඒජන්ත වගේ ඕකෙ තනියෙන් ඉගිලෙන්නැතිව මේ හිච්චියවත් ඕකෙන් දාන පලයන්" අම්ම එහෙම කිව්ව දා පටන් එදා බහින්බස් වෙනකල් අවුරුදු පහක් පුරාවට හැමදාකම මම ඒකිව දාන ඉස්කෝලෙට පෑගුව. රෝදෙක පැච් එකක් නිසා නොවෙන්න කිසි දාක අපිට පයින් යන්න වෙලා නෑ. කිව්වත් වගේ සුමනසිරිය බයික් එකක් ගත්තු දා හිටන් අක්ක අමුතු උණා. සුමනසිරි කියන්නෙ වින්කලේ ජයසිංහගෙ පුතා. අක්කගෙ පස්සෙ කැක්කුම එන්න එන්නම වැඩි උණා. අවුරුදු පහක් පුරාවට අපි ඉස්කෝලෙ ගිය ගුරු පාරවත්, මම පැද්ද බයිසිකලේවත් වෙනස් නොවුණට, අක්කගෙ පස්ස පැත්ත එන්න එන්නම ළාමක උණා. අක්කගෙ පස්සෙ කැක්කුම සනීප උණේ එක දවසක් උදේ ඔක්කාරෙට ආවට පස්සෙ.

"තෝ අපිව කෑව... පට්ට වේසි....!" අම්ම අක්කට දෙස් තියාන ගෙයින් එළියට ආවෙ ඉස්සරහ දොරෙන්. මම මිදුලෙ බයිසිකලේට චේන් එකේ ග්‍රීස් ගගා හිටියේ. අක්ක අම්මගෙ පස්සෙන් වැටි වැටි ආවා. "පළ  මෙහෙන්, වේස බැල්ලි, මයෙ දෑහැට නොපෙනී...! පළ. දහදුරාවෙ ගිහින් බඩක් උස්සගන... මොන නිංගිරාවක්ද මයෙ අම්මේ....! මට ඉඳල වැඩක් තියනවද දෙයියෝ..."

මට මතක එච්චරයි. සතියකට විතර පස්සෙ සුමනසිරිය මගෙ මස්සිනා උණා. නීතියෙන්ම. අපෙ තාත්ත ගිහින් සුමනසිරියට ගහල අක්කව බාර ගන්නෙයි කියල. ඌත් කොහොම හරි වරද පිළිගෙන. ඒකම මදැයි. කොහොම හරි අක්ක බැන්ද. ලොකුවට මගුලක් ගත්තෙ නෑ. මොකද කියල කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ වෙනකොට වෙච්චි හුටපට සේරම ගම පුරා ගිහින් තිබ්බෙ ඊයක වේගෙන්. අඩු ගානෙ නෑයොවත් ආවෙ නෑ. සුමනසිරියත් අපෙ ගෙදරම බින්න බැස්සා. අම්ම නම් සුමනසිරියගෙ මූණවත් බැලුවෙ නෑ හරියකට. මගුලට කළේ වෙන කරන්න දෙයක් නැති කමට කියල අම්ම පස්සෙ කාළෙකත් මගෙත් එක්ක කියල තියනවා. සුමනසිරිල 'පදු' ලු. පදු කියන්නෙ මොකද්ද කියල මම ඒ කාලෙ දැනන් හිටියෙ නෑ. මට දැන ගන්න ඕනෙ කමක් තිබ්බෙත් නෑ.

අක්කට හම්බෙන්න හිටි පළවෙනි දරුවා නැති උණා. ඒ මාස තුනෙන් විතර මගෙ හිතේ. අක්ක පස්සෙ කාලෙක මගෙත් එක්ක කිව්ව ඒකි අන්නාසි කෑව විත්තියක්, බඩ හේදෙන්න. ඔක්කාරෙට ඇවිත් අම්ම දෙස් දෙවොල් තිබ්බ දා රෑ ගැට අන්නාසි ගෙඩියක් කෑවලු. ඒක තාත්ත දැකල මේකිට ආයෙ තඩි බාලා, 'තොගෙ වලත්තු කම් වලට බඩේ ඉන්න එකා පළි නැතිය, උඹ මැරියන් ඔය බඩේ ඉන්න එකා වදල, මායි අම්මයි ඌව හදන්නම්' කියල. අක්ක කියන්නෙ ඒ කෑව එක්ට දරුව නැති උණාය කියල. අපෙ තාත්තට අක්කගෙ දරුවෙක් බලන්න තරම් ආයුශ තිබ්බෙ නෑ. සුමනසිරිට දාව අක්කට දෙවෙනි දරුව ලැබෙන බඩ වෙලා ඉද්දියි තාත්ත පපුවෙ අමාරුවකින් පරලොව ගියෙ.  එතකොට මම සාමාන්‍යපෙළ ලියල ගෙදර හිටි කාළෙ. අක්ක උසස්පෙළ කරන්න පාස් වෙලා හිටියත් උසස්පෙළ පන්ති පටන් ගත්තත් එක්කමයි අර වින්නැහිය උණේ. ඒකෙන් මේකෙන් අක්කගෙ ඉස්කෝලෙ ගමන හමාර උණා.

සුමනසිරිය තාත්ත කෙනෙක් වෙලා හය මාසයක් යනකොට වෙන ගෑණියෙක් එක්ක ආයෙ හුටපටයක් ආරන්චි උණා. ඒ මගෙ පන්තියෙ යාලුවෙක්ගෙම කණ්වැන්දුම් අක්කෙක්ගෙ ගෙදර යනව එනව කියල. මට එකෙක් ඉස්කෝලෙදි විහිලු කළා සුමනසිරිය ගැන. සුමනසිරියයි මායි අතරෙ ඒ හැටි ඇයි හොඳැයියක් නොතිබ්බත්, අක්ක ගැන තිබ්බ කැක්කුම නිසා, මොනා උණත් මස්සිනාට කියන කතන්දර අහන් ඉන්න අමාරු උණා.

"උඹෙ මස්සිනා කොටු පනින්නෙ සමිතයගෙ අක්කගෙ ගෙදෙට්ට. උඹ නොදන්නව උණාට" පියදාසය මට ඒක කිව්වෙ පන්තියටම ඇහෙන්න. මට දාඩිය දැම්මා. පියදාසයගෙ බොටුව කඩල රීරිමාංසය උරල බොන්න තරම් තරහක් කේන්තියක් හිතට ආව.

"මොකද්ද වේසිගෙ පුතෝ තෝ කීවෙ?" මම හිටිය තැනින් පියදාසගෙ ඇඟට කඩා පැන්නා. වලිය කෙළවර උනේ මුළු පන්තියම සර්ගෙන් ගුටි කාළා. ඉතුරු තරහ ඔක්කොම පිට කළේ ගෙදර ගිහින්. අක්කටත් කේලම කියල සුමනසිරිය හොයාගන වින්කලේට ගිහින් මස්සිනා කම පැත්තක තියල හොඳට ඇමතුවා.

"ඒයි... තෝ කාට කියල හිතාගනද කතා කරන්නෙ? චමරිගෙ මල්ලි නොවෙන්න තොගෙ බොටුව කඩනව දැනගං" සුමසිරියත් මට කෑගැහුවා. වින්කලේ වටේ හිටිය සෙනගත් වට උණා. මස්සිනාල දෙන්නගෙ වලිය ගෙදරටම ගිහින්. අම්මයි අක්කයි දෙන්නම දුවගෙන ආවා. එතකොට වලිය සෑහෙන්න දුර ගිහින්. මිනිස්සු වලිය බේරන්න උනන්දු උණා.

"උඹ වනචර කම් කළා මදිවට මේ අහින්සකයට ගහන්නත් තියා ගත්තද? " අක්ක සුමනසිරිගෙන් එහෙම ඇහුවම මට එවෙලෙ ඇඬුනා. මේකි මට ආදරෙයි කියල හැබෑටම තේරුණේ එදා. එදයින් පස්සෙ සුමනසිරි ගෙදර ආවෙ නෑ. අක්ක දරුවත් එක්ක තනි උණා. අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් අනින්නහෙ සුමනසිරියත් පොටක් පෑදෙනකල් හිටිය වගේ. සුමනසිරිය පස්සෙ වින්කලෙත් වහල තිබ්බා. ඌ අර හොර ගෑණිත් එක්ක කොහෙටදෝ ගිහින් කියල පස්සෙ ආරන්චි උණා.

ගෙදර වියහියදම් බර වැඩි උණා. දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දියි සුමනසිරිය අක්කව දාල ගියේ. කිරිපිටි, ඇඳුම් කැඩුම් වලට වියදම් වැඩි උණා. මට උසස්පෙළට තිබ්බෙ තව මාස හතරකටත් අඩුවෙන්. මට වෙන කරන්න දෙක් තිබ්බෙ නෑ. අම්මයි අක්කයි මට ඉස්කෝලෙන් නවතින්න දෙන්නෙ නෑ කියල මම දන්නවා. ඒ නිසාම ගෙදරින් ඉස්කෝලෙ එනව කියල ගෙදරින් ඇවිත් හොරෙන් ටවුමෙ හොටෙල් එකක රස්සාවට ගියා. සතියක් හමාරක් යනකොට ඉස්කෝලෙ ඉන්ග්‍රීසි සර් ගෙදෙට්ට ඇවිත් මාව හොයාන. ඇයි මම එන්නැත්තෙ අහන්න.  අම්මයි අක්කයි මම ගෙදෙට්ට එද්දි දුම්මල වරම අරන්. මට කට උත්තර නැති උණා. මොනා කරන්නද.  ආයෙත් ඉස්කෝලෙ යන්න උණා. ඔක්කොම වියදම් බැලුවෙ අම්මයි අක්කයි. අක්කත් නොවින්ද දුකක් නෑ. කිරිසප්පයෙක් උකුලෙ ගහන් රාට රාට පැදුරු විව්වා අම්මත් එක්ක. සමහර දාට ගණන් එකතුකරන්න ලියන්න කියන්න වැඩ එහෙමත් අක්කට හම්බුණා. ඒත් ඒ ඔක්කොගෙන්ම අපි තුන්දෙනෙක්ට කන්න අඳින්නයි, කිරිසප්පයෙක් උස් මහත් කරන්නයි තරම් ගාණක් නම් හම්බුන්නෑ. මේ දේවල් බලාන ඉන්න බැරිම තැන අම්මටයි අක්කටයි වද කරල හවස් වරුවෙ විතරක් ටවුමෙ හෝටලේට යන්නම් කියල අම්මලව අමාරුවෙන් කැමති කරව ගත්තා.

ඒ හෝටලේ වරුවක් වැඩ කළාම දවසට සෑහෙන ගානක් හම්බුණා. ඒ කරදර මැද්දෙ උසස්පෙළ ලිව්වත් කැම්පස් යන්න තරම් හයියක් තිබ්බෙත් නෑ. ඒත් මම පාස්. ඒ එක්කම හෝටලෙ මුදලාලි මාව වෙන තැනක රස්සාවකට දැම්මා. ඒකෙ තිබුණෙ කැශියර් වැඩ කරන්න. පොඩියට කරගෙන ගියපු පොත් බඳින තැනක්. ඉතින්, එතෙන්ට එන ඕඩර් වලට සල්ලි ගන්න වැඩ එහෙම තමා තිබුණෙ. හම්බෙන පඩිය එහෙම්මම අම්මට යැව්වා. අක්කගෙ පුතා අල්ලගන ඇවිදින කාළෙ. මම උගෙ මාමා විතරක් නෙවෙයි. තාත්තත් මමම තමයි. ඒ කාළෙ ආයෙ සුමනසිරිය අක්ක හොයාන අපෙ ගෙදෙට්ට ආව ගියා කියල අම්මවත් අක්කවත් කිව්වෙ නෑ මට. එක දවසක් හදිසියෙ සල්ලි ගෙදෙට්ට තැපැල් කරගන්න විදිහක් නැතුව, වැඩ අහවර වෙලා එහෙම්ම රෑ ගිහින් අතින්ම සල්ලි ටික දෙන්නම් කියල හිතාන ගෙදරට ගියා. යනකොට, සුමනසිරිය මිදුලෙ. මට තේරුණේ නෑ මොනාද වෙන්නෙ කියල.

"අක්කෙ මොකද්ද මේ? මොකද්ද මේකෙ තේරුම?" අක්ක කතා කළේ නෑ. අම්ම කතා කළෙත් නෑ. සුමනසිරිය ආඩම්බරෙන් මගෙ දිහා බලාන හිටියා. මම ආපහුගෙදරින් පිටත් උනේ ආයෙ පැත්ත පළාතෙ එන්නැහැයි හිතාන.

*****

ඊට පස්සෙ මගෙ ජීවිතෙ ගොඩක් ඒව උණා. මම හැම මාසෙම අම්මට හොයා ගත්ත කීය උණත් යැව්වා. අක්කගෙ දරුව බලන්න ආස උණත් ඒක හිත ඇතුලෙම හිර කර ගත්තා. ටෙලිග්‍රෑම් එක සතුටට හේතුවක්ද දුකට හේතුවක්ද කියල හිතා ගන්න බෑ.

මගෙ බෝඩින් කාමරේ ඇඳ උඩින් මම ඇල උණා. කාමරේ මුල්ලෙ පත්තු කරපු හඳුන්කූරෙන් දුම් වලාකුළු අමුතු රටා මවන්න පටන් ගත්තා. අතීතය මතක් කරපු නිසාද මන්ද, අමුතු මූසල පාලුවක් මගෙ හිතට ඇතුල් උණා.

"සුමනසිරි අන්ත්‍රා උණා. ගෙදර එන්න"  මම ආයෙත් කියෙව්වා. ආයෙ අයෙත් කියෙව්වා. මට එහෙම්මම ඇඳ උඩ නින්ද ගිහින්ද කොහෙද. උදේ ඇහැරෙද්දි මට ටෙලිග්‍රැම් එක හොයා ගන්න බැරි උණා. මට අම්මව බලන්න ඕනෙ උණා. හිච්චිව බලන්න ඕනෙ උණා. දරුවව බලන්න ඕනෙ උණා.
.
.
.
නිමි.

9 comments:

  1. මේක මුල ඉදන් අගටම ආසාවෙන් කියවන්න පුළුවන්.... භාෂාව වුනත් හරිම සැහැල්ලුයි ලස්සනයි...මරු !!

    ReplyDelete
  2. මේක පට්ට...
    මෙතන තමයි නියම...
    //අක්කගෙ පස්ස පැත්ත ළාමක උණා. අක්කගෙ පස්සෙ කැක්කුම සනීප උණේ එක දවසක් උදේ ඔක්කාරෙට ආවට පස්සෙ.//

    ReplyDelete
  3. අහම්බෙන් මේ අකනිටාව දැක්කේ. ලස්සන රහ පිරුන කතාවක් මේක.
    අපූරුයි වටුවො.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ අසල්වාසී සහෝදරයෙක්නේ. කුරුණෑගල කොහේද ?

      Delete
    2. බොහොම ස්තුතියි. මම අලව්වෙ. කුරුණෑගල කිව්වට ටිකක් දුරයි.

      Delete