Sunday, December 18, 2016

නිර්නාමික v

තිවංකට මෙන් මගේ සිහින වලට සිද්ධාර්ථ හෝ යශෝදර නොවඩිති. ඒවා සැමවිටම නිරර්ථ බහුබූතම පමණක්ම විය. විටෙක මම මගේ සිහින වලට ආදරය කරමි. විටෙක දකුණු පයේ උපන් ලපයටත් වඩා වෛර කරමි.

"මගේ ජීවිතේ නිකන් ඔහේ පාවෙලා යනව. මටම මාව තේරෙන්නෙ නෑ. මේ ජීවිතේ මහ කරුමයක්."

මම මටම කියා ගනිමි.

"තිවංක තනියම දාල ආවට මොකද්ද වගේ. එයා මම ගැන ඕනාවට වඩා හිතනවද මන්ද. මගෙ හිතේ එයා ගැන ආදරයක් නෑ. හෝව්...! ආදරයක් නෑ? නැත්තම් මොකද්ද තියෙන්නෙ? මුකුත් නෑ. අපි යාලුවො. යාලුවො? යාලුවො නම් එය තිවන්ක අල්ලපු අතයි කිය කිය ඉඹ ඉඹ හිටියේ. නෑ.. ඒත් මගෙ ආදරයක් එයාට නෑ. එයා මගෙ හොදම යාලුවෙක්..."

මම මාවම රවටා ගනිමි, නොහොත් මම මාවම අස්වසා ගනිමි. තවමත් මා පාසල පෙනෙන මානයේය. මට ඉක්මනින් පාසල පසු කර යාමට උවමනා විය.

"තිවංකත් දැන් ගිහින් ඇති" මම සිතමි.

මම කාමරය තුළට වැදුනෙමි. සුදු ගවුම පිටින්ම ඇඳ මත වැතිරෙමි. තුරුල් කරන් ආ පොත් ටිකද ඇඳ මතම පසෙකය. අම්මා කාමරයට පැමිණෙයි.

"හොඳයි ළමිස්සියො හැදෙන විදිහ. හවස් වෙනකල් ඉස්කෝලෙ මොනා කරනවද. ඇරත් ආව ගමන් ඇඳුම්වත් ලිහන්නෙ නැතුවෙ ඇඳට වැටිල. අනේ මෙහෙමත්..." අම්මා කියවන්නීය. මම දෙනෙත් පියාගතිමි, කිසිත් නෑසුන නොවුන සේ.

"නැගිටිනව ඇඳෙන්. හ්ම්. නා ගන්නව ගිහින්. කෝ..." අම්ම තුවාය ගෙන් රෙද්දකින් මට ගසන්නට විය. මම නැගී සිටිමි. මම අම්මා අත වූ තුවායද උදුරාගෙන නාන කාමරයට රින්ගා ගනිමි.

"මම මහ හිතුවක්කාරියක්. මාව අමාරුවෙ වැටෙනව ලඟදිම... මම දන්නවා. කමක් නෑ. අම්ම මට වැරදි කියන්නෙ... එයත් හොඳ එක්කෙනා වගේ. තාත්ත එක්ක යාලු වෙලා ගෙදරින් පැනල මේ කැලේ මැද්දෙ ගෙවල් හදාන. අත්තම්මල පස්සෙ අනුකම්පා කරල උදව් නොකරන්න ඉඳී මෙහෙම. මම ටිකක් පරක්කු උනාම තමයි..."

මම කණ්නාඩිය දෙස බලා සිටිමි. එකින් එක එකින් එක පැටලුන සිතුවිලි අතරින් තිවන්කගේ සිහිනය සිහි වෙයි. එහි කතාවක් මම නොදනිමි. තිවංක ඒ කියු වේලෙ මට එහි අන්තර්ගතය දැන ගැන්මට උවමනාවක් වූවේද නැත. එහි යශෝදරා හා සිද්ධාර්ත දෙපල සිටි බව කිව්වේය.

"බොරු වෙන්න ඇති අනේ. එයගෙත් විකාර. එයා කොහොමද දන්නෙ ඒ හිටියෙ සිද්ධාර්තයි යශෝධරාමයි කියල. මොකෝ කලින් දැකල තියනවයි."

එදා තිවංක මගේ අතින් අල්ලා කිව්වේ සිය හදවතේ වපසරිය පිළිබඳවය. ඒ වනාහී පන්තියේ එල්ලා ඇති එකටත් වඩා ලොකු එකකි.

"තිවංක මට ආදරේ නිසයි එහෙම කියන්න ඇත්තෙ. ඒත්, මට එහෙම එකක් එයා ගැන හිතෙන්නේ නෑ. ඒත් මම එයාට කැමතියි. ඒ අදරයක් නෙවෙයි."

මම ඉක්මනින් ඇඳුම් උනා දමා නා ගනිමි. වෙනදා මෙන් කැඩපත පිනවීමේ පිරියක් මට නොවීය. කෙසේ වෙතත් මා එලියට ඒමට ඔන්න මෙන්න කියා, අම්ම හඬ තලන්නට වූවාය.

"මේකිට මොන යකෙක් වැහිලද. ඕක අස්සෙ රිංගල දිය වෙලාද. එළියට වරෙන් දැන්. රැ වෙනකල් නාන්නද කල්පනාව."

මම දොර හැර, ඇඳි තුවාය අල්ලා ඉක්මන් අඩියෙන් කාමරයට රිංගා ගනිමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික vi

Wednesday, November 16, 2016

නිර්නාමික iv

"සිද්ධාර්තයි යශෝධරයි ගැන ඔය හැටි කියවන්නෙ මොකද?"

"මම හීනයක් දැක්ක. ඒකයි."

"ආ... කොල්ල සෝවාන් වෙලාද දන්නෙ නෑ ඔහොම හීන පේන්නෙ!"

"පව් සිද්ද වෙන කතා කියන්න එපා මේධා. සෝවාන් උණාම එහෙම හීන පේනව කියල එකක් තියනවද? පිස්සු ඔයාටත්."

"හරි හරි මට තමයි පිස්සු" මේධා පුටුවෙන් නැගිටල ගියෙ කලු ලෑල්ල ළඟට. මම හිටපු තැන ඉඳන්ම බලන් හිටියා. මේධානි කලු ලෑල්ලෙ ලියල තිබ්බ ටික පිහල දැම්මෙ සුදු පාට වෙලා තිබ්බ හුණු කොට්ටෙන්. ඒක මහගන ආවෙ කාංචනා. ගෙනාව දවසෙ කලු පාටට තිබ්බ හුණු කොට්ටෙ දැන් සුදුම සුදුයි. මට මතක් උණේ චුල්ලපන්ථක හාමුදුරුවො!

"රජෝ හරණං! රජෝ හරණං!! රජෝ හරණං!!!" මගෙ හිත මිමිණුවා. සුදු රෙදිකඩ කුණු දුහුවිල්ලෙන් කලු වෙනවත් එක්කම චුල්ලපන්ථක හාමුදුරුවො මාර්ගඵල ලැබුවා. කලු පාට හුණු කොට්ටෙ සුදු පාට උණ එකයි ඒ කතාවයි හරි පරස්පර විරෝධී. කලු ලෑල්ල කලු කරගන්න, හුණු කොට්ටෙ කලු ලෑල්ලෙ තියන සුදු හුණු සේරම ගන්නවා. මට පිස්සු වගේ.

"මොනාද කල්පනාව? ඉක්මන්ට පාඩම පටන් ගමු. ගෙදර යන්න ඕනෙ."

"මොනාද අද කරන්නෙ?" ජාතක කතා පොතෙන් පියවි ලෝකෙට ආව මම ඇහුවා.

"හැමදාම හදවතේ කොටස්ම කියල මටත් එපා වෙලා"

"අද එහෙනම්... වෙන මොන හරි කරමු. කොච්චරක් නම් දේවල් තියනවද, දන්නෙ නැති."

"දන්නෙ නැති දේවල් උගන්නන්න මම දන්නෙ නෑ. දන්න දෙයක් තියේ නම් කියන්නම්." ආපහු මේධානි මගෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉඳගත්ත.

"මේධානි මගෙත් එක්ක තරහ නෑ නේද?"

"අර මොනාටද?"

"එදා, මම කරපු නරක වැඩේට!"

"මොකදද?" මේධානි බිම බලාගන ලැජ්ජාවෙන් වගේ ඇහුවා.

"හා හා. අමතක නම් කමක් නෑ. තරහ නැත්තම් එච්චරයි. මම හිතුවෙ මේධානි මගෙත් එක්ක ආයෙ කතා කරන්නෙත් නැති වෙයි කියල." මම එහෙම කියාගන පුටුවෙන් නැගිට්ටා. කලු ලෑල්ල ළඟට ගිහින් හුණු කූරක් අරන් පන්තිය දිහාවට හැරුණා. මේධානි හිටියෙ කලු ලෑල්ලට පිටුපාල ඉඳගන. උදේ වරුවම ඝෝෂාකාරීව තිබ්බ ඉස්කෝලෙම නිස්කලන්ක වෙලා. හවස ඉස්කෝලෙ හරිම නිහඬයි. "හා... දැන් මේ පැත්ත හැරෙන්න. අද මම උගන්නන්නම්."

මේධා හෙමීට නැගිටල මම ඉඳන් හිටිය පුලුවෙන් ඉඳගත්තා. අපි ටිකක් වෙලා අපි දිහා බලන් හිටියා.

"තිවංක... මම යන්නම්!" ටිකකින් මේධානි කිව්වා. මට එපා කියන්න බැරි උණා. මේධානි ගිය හේතුවක් මම දන්නෙ නෑ. ඒත් එයාට ඉන්න කියන්න තරම් හේතුවක් මට හදාගන්න තිබ්බෙත් නෑ. බිත්තියේ එල්ලල තිබ්බ හදවත දිහාවට මම හැරුණා. ඒක දිහා බලන් උන්නා. මේධා පොත් ලෑස්ති කරන් මගෙ ගාවට ඇවිත් මොහොතක් බලන් ඉඳල ලොකු හුස්මක් අරන් පන්තියෙන් එළියට ගියා. මම බිත්තියේ එල්ලල තිබ්බ හදවතට ඇඟිල්ල තිබ්බා. හුණු දූවිලි තට්ටුවයි. ඇඟිල්ල ඉබාගාතෙ හදවත පුරා අරන් ගියා. මට ඇහෙන නෑහෙන ගානට මගෙ දෙතොල් මිමිණුව.

"රජෝ හරණං... රජෝ හරණං...!"

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික v

Sunday, October 16, 2016

නම් නොලත් යුක්තාණුව

මාව මරාපන්.
වරදක් නොකලත් ඔහෙලට...
ඔහෙලගෙ පව් මම ගෙවන්නම්.
එලිය නොදැක්කට,
දුකක් නෑ...
ඉපදෙන්න කලියෙන්,
යුතුකම කරන්න පුළුවන්නේ මට,
ඔහෙලගෙ සතුටට...
පණ පිටින් ඉන්න උන්ටත් බැරිකොට,
ආඩම්බරයි මම ගැන.
අම්මේ...
තාත්තේ...
ආදරෙයි මම.

මෙයට,
හිතවත්,
නම් නොලත් යුක්තාණුව

උදැල්ල

වේදනාවට බියෙන් 

කඳුලකට බියෙන් 

අවනම්බුවට බියෙන්

 දඟලලා දඟලලා 

වළ දාපු අතීතය 

ආයෙමත් ගොඩ ගන්න...

 දෝතින් ගතිමි, 

අද උදේ අහම්බෙන් 

උඹේ ඇස් තිළිණ කළ 

උදැල්ල !


නිර්නාමික iii

මම ඔහුව සිහිනෙන් දුටුවෙමි. ඔහුට මා මතක් වන්නට ඇත. උදේ සිට කිවිසුම් යන්නේ එහෙයින් විය යුතුය. අද විශේෂ දවසක්ද නොවේ. එහෙත්, මට ඔහුව මතක් වෙයි.

"තිවංකගෙ බත් එක තමයි රසම" පන්තියේ සිටින ස්වර්ණලා, කාංචනාල කියන විට මගේ හදවත දරාගත නොහී වේදනාවකින් ඇඹරෙයි. ඒ වේදනාව, තවමත් නයිටිය පිටින් ඇඳේ සිටින මට මේ මොහොතේ දැනෙන්නේ මන්දැයි මම නොදන්නෙමි. තිවංකගේ බත් එක රස බව හැබෑය. ඔහුගේ මව අහර පිසීමෙහි ලා උපතින් ලද අත්ගුණයක් ඇත්තීය. ඇය කරුණාවන්තය. දුටුතැන අහින්සක සිනාවකින් සංග්‍රහ කරන්නීය. එහෙත් මම ඇය මග තොටදී හෝ මුණිච්චි වීම ප්‍රිය නොකලෙමි, මක් නිසාද යත් ඇය දුට මසිත මටත් නොතේරෙන මහා කම්පාවකින් වියැලී මිරිකී යන හෙයිනි.

මම ඇඳෙන් නැගී සිටිමි. තුඹසකින් ඇද ගත් නාග කන්‍යාවක ලෙසින් කැඩපත අභියස හිට ගනිමි. ඈත් කල දෑඟිලි හිස කෙස් අතරින් රුවා, ඉස්සී අවුල් වී ඇති කොණ්ඩය ගැට ලිහා ගැන්මට තැත් කරමි. මම ලස්සනය. මම සිතමි. සුදු පැහැති මුව, උපතින් ලද සිහින් ඇහි බැමි, පිරිපුන් කන්මුල්, පරිපූර්ණ දෙතොල්, සිහින් ගෙල... මම ගෙල තෙක් මගේ දැත් ගෙන එමි. දුහුල් නයිටිය අතරින් පියයුරු පෙනෙන නොපෙනෙන තරමින් හිඳී. මම කාමරයේ දොර වසමි. නයිටිය ඉවත ලා මගේ සිරුර දෙස බලමි.
"මං දැං ලොකු කෙල්ලෙක්"
මම දෑත දෙතන මත රඳවමි.

"උඹේ ඇඟ නාම් ගාන බං. බඩක් ගෑවිලවත් නෑ." වත්සලා පෙරේදා පාසලේදී කීවාය.

"ඒකිගෙ කටවහ වදිද දන්නෑ." මම වත්සලා මග හැර එළියට ගොස් තුන් පාරක් කෙල ගැසුවත් ඇගෙ වදන් හා මගේ සිරුර ගැන හිත වද විඳී.

මගේ දෙනෙත් මගේ සිරිර විනිවිදියි.  දකුණු කකුලේ ඉහළින් ඉදිරියට වන්නට තිබෙන උප ලපය, මෙලෙස කණ්නාඩියෙන් බලන සෑමදාම මට ඕනාවටත් වඩා පෙනෙන්නේය. මම ඒ ලපය එදා පටන් වෛර කරමි.

"තිවංක මගෙ අතින් ඇල්ලුවෙ, මේ හරියෙන්" මම මැණික් කටුව නාසයට ලං කොට සුවඳ බලමි. "තාමත් තිවංකගෙ සුවඳ එනව මගෙ අතින්".

මම කොන්ඩය මුදුන් කර බැඳ ගනිමි. තුවායක් දවටා ගනිමි. මම නාන කාමරයට යමි.

"තිවංක මට වඩා දක්ශයි. මම දන්නවා. බොරුවට මගෙත් එක්ක කයිය ගහන්න නිසයි අමාරු පාඩම් කිය කිය හවස මාව තියාගන්නෙ. නැත්තම් හදවතෙ කොටස්ම දැන් කී දවසක් කලාද!" මම මටම කියා ගනිමි.

"මේධා නොදන්නවා උණාට, මගෙ හදවත නම් බිත්තියෙ ගහල තියන එකටත් වඩා ලොකුයි." තිවංකගෙ වචන දෙසවන් තුල රැව් පිළි රැව් දෙයි.

"මම ඊයෙ ඉස්කෝලෙ නොගිය එකට තිවංක මොනා හිතනවද දන්නෙ නෑ. මට බයයි තිවංක!" මම සිතමි.

නාන කාමරයේ කැඩපත, කාමරයේ අල්මාරියේ කැඩපත මෙන් මගේ මුලු සිරුරම නොපෙන්වයි. මම ඊට නො කැමැත්තෙමි. පියයුරු වලින් පහල මට නොපෙනෙයි. ඉදින් මට සිත් සේ මගේ අඟ පසඟ වල ඇද කුද බැලීමට මින් නොහැක. එක අතකින් මෙය හොඳය. ඒ මගේ කකුලේ උපන් ලපය නොපෙනෙන නිසාය.

"ළමයෝ ඕකෙම ඉන්නද කල්පනාව දවසම?" ඒ අම්මා ය.

මම ඉක්මන් කරමි.

මතු සබැඳි.

ඊළඟ කොටස පහලින්

නිර්නාමික iv

Monday, May 23, 2016

නිර්නාමික ii

"සිද්ධාර්ත...!"

"කියන්න යශෝදරා..."

"ගංගාවේ ජීවිතය පුදුමයි.. එහි සුන්දරම පරිච්ඡේදය, එය දිය ඇල්ලක්ව ගලන අවදිය නොවෙද? සිද්ධාර්ත."

"නැහැ යශෝදරා... ගංගාවේ ජීවිතයේ අරුමය, එහි සුන්දරම අවදිය, ගං දිය මුව දොර පසු කරන මොහොතයි"

"ඒත්... දිය ඇල්ල කොයි තරම් සුන්දරද... ගං මුවදොරක් දෙස බලා සිටීමට සිත් නොදුන්නත්, දිය ඇල්ලක් ඉන් නෙත් ඉවතට ගන්න ඉඩ නොදෙයි. එසේ නොවෙද... සිද්ධාර්ත...!"

"ඔබේ අදහස නිවැරදි... එහෙත් ඔබේ තර්කය වැරදියි, යශෝදරා"

"සිද්ධාර්ත, ඔබේ වදන් මට තේරෙන්නෙ නැහැ."

"ගඟක් දිය ඇල්ලක්ව ගලන මොහොත පිටින් සිට බලන අපට සුන්දර උවත් ගංගාවට කොයිතරම් වේදනාවක් වනවා ඇත්ද. ගල් මුල් වල හැපී කොයි තරම් රිදුම් දෙනවා ඇත්ද. එහෙත් මුවදොරයි, ගංගාවේ ඒකායන අභිප්‍රාය. පරම සුවය. එය බලන අපට අසුන්දර වුවත්, ගංගාවෙ නිවීම එතැනයි."

"ඔබ හරි සිද්ධාර්ත!"

යශෝදරාවිය දෙපා පා මුලින් ගිය දිය දහාරාවෙන් දිය පොදක් ගෙන සිද්ධාර්ත කුමරුවන්ගේ මුහුණට ඉස්සා. එයින් ගිලිහුණු පැන් පොදක් මගේ අඟටත් වැටුනා. මගේ දනිහෙන් පහලට වතුර විසි උණා.

මම ඇස් ඇරියා. මම හිටියේ නේරංජනාව අසබඩ නෙවෙයි. මම දිගා වෙලා හිටියේ සුදු වැලි තලාවකත් නෙවෙයි. වැස්සෙන් පොල් අතු වහලෙ අස්සෙන් වැටුන වැහි වතුර මගෙ පැදුර ළඟ බිම තෙමුවා. ඒකෙන් විසි උන වැහි බින්දු වෙන්නැති, යශෝදරාව සිද්ධාර්ත කුමාරයට විසික් කරපු වතුර වතුර වගේ ඇඟේ වදින්න ඇත්තේ.

මම තවත් ටිකක් පැදුර නොතෙමෙන මුල්ලට තල්ලු කරගත්තෙ වහලෙන් බේරුන වතුරෙන් බේරෙන්න හිතාගන.

අම්ම කාමරේට ආවෙ වළඳකුත් අරන්.

"මෙතනත් තෙමෙනව නේද" අම්ම කිව්වා. මම අම්ම දිහා බලන් හිටිය. අම්ම මම දිහා බැලුවේ නෑ. වතුර වැටෙන තැනට මැටි වළඳ තියල අම්ම ගියා.

වළඳට මුලින්ම වැටුන වතුර බින්දුවෙ සද්දෙ මම හොඳට අහන් හිටියේ. ඒත් දෙවෙනි තුන් වෙනි වතුර බින්දු වල සද්ද පලවෙනි එකෙන් වෙනස්. මොකද වළඳෙත් ටික ටික වතුර පිරුණ නිසා. ටිකකින් පළවෙනි වතුර බින්දුව වැටුන සද්දෙ මට අමතකම වෙලා ගියා. වතුර සද්දෙත් ඈතින් ඈතිට ගියා. මම හීන ලෝකෙකට ආවා. ඒකෙ හිටියේ සිද්ධාර්තවත් යශෝදරාවත් නෙවෙයි. මමයි මේධානියි.

"තිවංක"

"කියන්න මේධා"

"මේ දිය ඇල්ල අපිට වඩ කොයි තරම් වාසනාවන්තද?" මම මෙච්චර වෙලා නොදැක්ක දිය ඇල්ලක් එක පාරම අපේ ඇස් ඉස්සරහ මතු උණා. මේ නේරංජනාවේ එක තැනක් කියල මට නිකන් ඉවෙන් වගේ දැනුණා. කලින් යශෝධරාවයි සිදුහත් කුමාරයයි කතා කරපුව මේධානිට කලින් යශෝධරාවයි සිදුහත් කුමාරයයි කතා කරපුව මේධානිට කියන්න හිතුනත්, නොකියා ගිල ගත්ත. මෙයා ඒව විස්වාස කරන්නෙ නෑ.

"ඇයි එහෙම කිව්වෙ...?"

"අපි හැමදාම මෙතෙන්ට වෙලා දිය ඇල්ල බලල යනවා. ඒත් මේ වතුර බින්දුවක් ගත්තොත් දිය ඇල්ල පහු කරන්නෙ එක පාරයි. එයා එයාගෙ විමුක්තිය හොයාන, දිගටම යනව... අපි මෙතනමයි..."

"මේධානි කියන වතුර බින්දුවේ විමුක්තිය මොකද්ද?"

"වෙන මොකද්ද... මුවදොර මිසක්...!"

මේධානි කිව්වෙ සිදුහත් කුමාරය කිව්ව දේමයි.

"මම දන්නේ නෑ... මට ඕව තේරෙන්නෙ නෑ."

මම එහෙම කිව්වා. මේධා මගෙ අතින් අල්ල ගන දිය ඇල්ලෙ පහල ඉවුර දිගේ පහළට ගමන් කළා. ඈතින් තවත් දෙන්නෙක් ඇවිදින ඡායාවක් පෙනුනා.

"අර කවුද...?" මම මෙධානිට ඇඟිල්ල දික් කරල පෙන්නල ඇහුවා.

"ආ... ඒ සිද්ධාර්තයි, යශෝදරායි!"

"ඔය දන්නේ කොහොමද..."

"මම දන්නව... ඒ දෙන්නා නොදන්නෙ කවුද..."

මාව ගැස්සිලා ඇහැරුනා. හොඳටම එළි වෙලා. වහල තිබ්බ ජනෙල් පියනෙ තිබ්බ සිදුරකින් උදේ ඉර එළිය බෙරිලා මගේ පැදුර ගාවටම එනවා. මම නැගිටල ගිහින් ජනේලෙ ඇරියා. මිදුල පුරා වැටුන අඹකොළයි කොස් කොළයි අම්ම අතින් රටාවට අතු ගෑවෙනවා. චීත්තෙයි හැටෙටයි අමතරව උදේට අම්මගෙ බෙල්ල වටේටත් චීත්තයක් එතෙනවා. ඒක තාත්ත අම්මට මුලින්ම අරන් දුන්න චීත්තෙලු. අම්ම ඒක අඳින්නෙ නෑ. හැමදාම උදෙට බෙල්ල වටේ ඔතාගන්න විතරයි ගන්නේ. ආයෙ දකින්න වෙන්නෙ පහුවදා උදේට තමයි. අම්ම අතුගාන අතරේ බිම තිවුණ අඹ ගෙඩි අහුලල වෙනම එකතු කළා. ඒවත් මටම තමයි. ඒවගෙන් ඉදුනුව අම්ම කපල දෙනව කන්න. අමුව, අච්චාරු දානව. අච්චාරු මතක් වෙලා මගෙ කට හිරිවැටුනා.

මට ආයෙත් මතක් උනේ ඊයෙ දැක්ක හීනේ. ඒව මම විස්වාස කරන්නෙ නෑ. ඒත් තාම සෙනසුරාද. හෙට ඉරිද. ඊටත් පස්සෙ සඳුදා. මට බෑ ඉවසන්න. මේධානිට ඊයෙ එන්න බැරි උනේ මොකද... මම කල්පනා කළා.

එයාට ඉස්කෝලෙ නෑවිත් ඉන්න කිසි හේතුවක් නෑ. අම්ම අතුගාල ඉවර වෙනවත් එක්කම මමත් ගෙයින් දොට්ට බැස්සා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික iii

Saturday, May 21, 2016

එකමත් එක දවසක කැම්පස් එකේදි

"එස්කියුස් මී සර්"
අහස කලු කරල ඇති
හවසකයි මම ගියේ
බුරුත ලීයෙන් කරපු
දොරට අත තඩි බෑවෙ
හද ගැහුන රිද්මෙන්ම

ටක් ටක් ටක් ටක් ටක් ටක් ටක් ටක්

"කවුද ඔය, ඇයි ඔතන"

රලු හඬක් ඇතුලෙන්ම
කනත් පහු කරන් මගෙ
මොලේටම කා වැදුන,

"සර්, මං අකලංක,
මැග්නටික් විභාගෙට
ලකුණු දාලයි තිබුනේ
ඒක දැකලයි ආවෙ"

දිව මගේ වේලුනත්
ගැට ගැහුන වචන ටික
තොල් වලින් එලියටම
විසි කලා හැකි තරම්

"මොකද දැන් වෙන්නෝන"

මූණවත් නොබලාම
සර් කී වචන ටික

"අනේ මට ඊ එකක්,
විබාගෙට හම්බෙලා,
කර කියා ගන්නවත්
දෙයක් නැතුවයි ඉන්නෙ...
අනේ පින් සිද්ද වෙයි...
ඩී එකක් වත් දෙන්න
ඒ එපා බී එපා
සී කොහොමවත් එපා...
මේ හිරෙන් ගොඩ යන්න
ඩී එකක් මට දෙන්න..."

"නොලියාපු එව්වාට
ලකුණු කොහොමද දෙන්නෙ
හොදට ලිව්වනම් මං
ලකුනු කපනවද දැන්"

"දන්න තරමින් තමයි
ඔය ටිකත් ගැට ගහුවෙ..."

කියන්නට හිතුන මුත්,
කටවහන් හිටිය මං

"කරන්නට නෑ මුකුත්,
ඉතුරු වීලා තවත්
කුවිස් වලවත් නෑනෙ
හොඳ ලකුණු ටිකක් වත්
කොහොම ඩී දෙනවාද
මේ ලකුණු සොච්චමට"

"කමක් නෑ සර් මට,
වෙන දෙයක් බලමු නෙව.
මොනව මං කරන්නද
ස්තුතියි කතාවට
සර් ටත් නාස්තිය,
මං නිසා විනාඩිය...
ගිහින් එන්නම් සර්..."

බුරුත ලීයෙන් කෙරුව
පත දාර දොර ගාව
දොර දෙසත් නොබලාම
ඉදිරියට යනෙමි මම...
වෙන මොකක් කරන්නද...

නිර්නාමික i

"මේකට කියන්නෙ මොකක් කියලද?" බිත්තියෙ එල්ලල්ල තිබ්බ හදවතේ පින්තූරෙ දකුණු කර්ණිකාවයි දකුණු කෝශිකාවයි අතර තිබ්බ පුන්චි ත්‍රිතුණ්ඩ කපාටයට ඇඟිල්ල තියල, මේධානි ඇහුවෙ, මගෙන්. මං ඔහේ එයාගෙ මූණ දිහා බලන් හිටියා.

"මනුස්සයො කන් ඇහෙන්නැද්ද? මේක මොකද්ද?"

"මං දන්නේ නෑ..." මං කිව්වා.

"අනේ මේක කරන්න බෑ තිවංක. ඔයා බොරුවට දන්නෙ නෑ කියනවද මන්ද..."

"නෑ මේධා, මට මතක නෑ. ඇත්තමයි."

"මේක ත්‍රිතුණ්ඩ කපාටය... මොකද්ද?"

"හා... ත්‍රිතුණ්ඩ කපාටය..."

"එතකොට මේක...?" බිත්තියේ තිබ්බ හදවතේ ත්‍රිතුණ්ඩ කපාටයේ ඉඳන්, හිමින් සීරුවෙ අඟිල්ල අරන් ගියේ අපර මහා ශිරාව ගාවට. මට දැනුනේ, හරියට මගේ හදවත බිත්තියේ එල්ලලා තියනවා වගේ. මගේ හදවත මගේ ළඟ නැති වේදනාවත්, මේධා ඒක අතගාන සනීපයත් එක පාර දැනුනා.

"අනේ තිවංක, මට බෑ මේක කරන්න. ඔයා මුලින් මෙව්ව පාඩම් කරගන්න. හැමදාම හදවතේ කොටස් විතරක් කිය කිය ඉඳල බෑනෙ."

"ඉතින් අපි හෙට කනේ කොටස් ගැන පාඩම් කරමු."

"මට බෑ." මේධා මගේ ඉස්සරහ තිබ්බ පුටුවෙන් ඉඳගන මූණ අල්ලෙ තියාගත්ත. "කොච්චර කලත් ඔච්චර තමයි..."

මම හිනා උණා. හයියෙන් නෙවෙයි. ලාවට වගේ.

මගේ හදවතේ වර්ගඵලය තේරුණත්, මේධා ඒක නොතේරුණා වගේ ඉන්නව කියල මම දන්නව. මට මේ වෙලාවෙ බයෝ ඉගනගන හිතක් නෑ. මේධා කිව්ව වගේම හදවතේ කොටස් මටත් එපා වෙලා, අහල අහලම.

"මේධා..."

"හ්ම්ම්"

"ප්‍රශ්නයක්...!"

"අහන්න..."

"ඇත්ත හදවතත් මේ වගේ ලොකුද?" මම පින්තූරයට ඇඟිල්ල දික් කරල ඇහුවා.

"පිස්සුද... ඇඟේ තියෙන්නෙ හදවත විතරයි කියල හිතුවද... ඇත්තටම හදවත මේං මේ සයිස්..." මේධානි අත මිට මොලවල පෙන්නුවා.

මම එයාගෙ අතින් ඇල්ලුවා.

"මේධා නොදන්නවා උණාට, මගෙ හදවත නම් බිත්තියෙ ගහල තියන එකටත් වඩා ලොකුයි."

"තිවංක...! පිස්සුද ඔයාට. සර් කෙනෙක්වත් ආවොත්...!" මේධා මම අල්ලපු අත ගසාදමන ගමන් එහෙම කිව්ව.

"හා... ඉතුරු ටික කියන්න පාඩමේ...!" මම එහෙම කිව්වේ මම වරදක් කලා වගේ දැනුන නිසා. මේධා නැගිටල පොත් අස් කරගත්තා. "ඔය යන්නද හදන්නෙ...!"

"ඔව්. පරක්කුයි. අම්ම බලන් ඇති. දෙකත් පහු වෙලා. මම යනව. ඉතුරු ටික හෙට ඉන්ටවල් එකේ කරන්නම්." මගෙ මූණවත් නොබලා කියාගෙන කියාගෙන ගියා.

"මේධා... මාත් එක්ක තරහින්ද..."

"තිවංක මම යන්නම්." මේධා අමාරුවෙන් මගේ ඇස් දිහා බැලුවා. අමාරුවෙන් මවාගත්ත හිනාවක් පෙන්නලා පන්තියෙන් එළියට ගියා.

බිත්තියේ එල්ලලා තිබ්බේ මගේ හදවත කියලමයි මට දැනුනෙ. වේදනාව විතරක් ඉතුරු වෙලා තිබ්බා. වේදනාව...! මම විතරක් තනි වෙච්ච පන්ති කාමරේ, හදවතේ වේදනාව කඳුලු විදිහට ඈස් වලින් බේරුණා. බිත්තියේ එල්ලලා තිබ්බ හදවත, ඇස් ඉස්සරහ බොඳ වෙලා පෙනුණා.

කවදාවත් ණති තරම් පාලුවක් මගෙ හිත වටේ කැරකුණා. මම ගෙදර ආවෙ, මගේ හදවතත් පන්තිය ඇතුලෙ බිත්තියෙන් එල්ලල්ල. අමතක වෙලා නෙවෙයි. හිතලම. පහුවදාට එළි වෙන්නැත්තම් කියල කල්පනා කලේ ඇයිද කියල මම දන්නෙ නෑ. ඒත් යටි හිතේ පහුවදා ගැන මොකද්දෝ ආසවකුත් ඉතුරු වෙලා තිබ්බා.

"කවුද අද අතුගාන්න ඉන්නෙ? සිකුරාද තමයි මේ පන්තියෙ පිරිදුකම ජරාවටම යන දවස. තිවංක?" රම්‍යා මිස් මගෙ දිහා බැලුවෙ දොරකඩ ඉඳන්ම, ඇතුල් වෙන්නෙත් නැතුවම.

"මං එන්න ටිකක් පරක්කු උණා මිස්...!" මම නැගිටල එහෙම කියල කොස්ස අතට ගත්තා. "අනික මම විතරක්ද අතුගාන්න ඉන්නෙ? ඇයි මිස් මටම බනින්නෙ?" මම එහෙම කිව්වා.

"කෝ මේධානි?" මිස් ඇහුව. ඒක පන්තියෙන්ම ඇහුව පොදු ප්‍රශ්ණයක් උණත්, පන්තියෙ හැමෝම ඒකට උත්තරේ බලාපොරොත්තු උණේ මගෙන්. මම මිස් දිහාවත් පන්තියෙ උන් දිහාවත් බැලුවෙ නෑ.  මම මිස්ගෙ මේසෙ ගාව අතුගාල ඉවර වෙනවත් එක්කම මිස් කතා කළා. "ඔය ඇති. මට උගන්නන්න වෙන්නෙ නෑ. හ්ම්. පීරියඩ් එක ඉවර වෙලා ඕන එකක්"

රම්‍යා මිස් ඉගැන්නුවා. මම අහන් හිටියේ නෑ. එයා ප්‍රශ්න අහන්නෙ නැති නිසා ගානක් නෑ. අද මේධානි නෑ. මම පන්තියෙ එල්ලල ගිය මගෙ හදවතත් පන්තියෙ තිඹුනෙ නෑ. මේධානි මට හදවතේ කොටස් පෙන්නුව කාඩ්බෝඩ් පින්තූරෙ විතරක් තිබ්බා. මේධානි මගෙ හදවත මම ඊයෙ පන්තියෙන් ගියාට පස්සෙ ඇවිත් අරන් ගිහින් කියල මට දැනුනා.

දවසම ගෙවුණා. අද අමතර පාඩම් නෑ. ඒත් මම එකහමාරෙන් පස්සෙ පන්තියෙ රැඳුනෙ යන්න හිතක් තිබ්බෙ නැති නිසා. ආයෙ සඳුද...! මට සඳුද වෙනකල් ඉන්න බෑ. මම හදවතක් නෑති එකෙක් වගේ බිත්තියේ එල්ලලා තිබ්බ හදවත දිහා බලාගන හිටියා. ඉතුරු උණේ කඳුලු විතරයි.

මතුසබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික ii

Monday, May 2, 2016

කතක්

"මං මේ දාන්න යන්නේ, මීට ගොඩක් කාලෙකට කලින් මගෙ අතින් ලියවුන ඒත්, බලදරය විසින් කපා හරින ලද එකක්. සිදුහත් කුමාරයත් පස්මහබෑලුම් බෑලුව නම් අපි මොකෝ. කල් අරන් ඔන්න හරි කාලෙදි මේක අත ඈරිය. කියවන කාටවත් තේරෙන්නෙ නෑති වෙයි. මේක දාන්නෙ මගේ හුදු විනෝදාස්වාදය සඳහාම පමණයි. සිඟිති ආතල් එකක්, සරළවම."

කතක් කී කල අරුත් බෝ මැ. මුත් මේ කතක් නැටුම් නොව කාන්තාවක් යන මැයෙන් අරුත් ගත් මැනවි. කතුන් අතර කතක් වූ ඈ ’ගින්දරී’. 


එයැයි ගින්දරී. එයැයිගෙ නමේ අග තියන 'රි'යන්න හොඳ බරට ඇහෙන්න ඕනේ. ගින්දරීඊඊඊ. එයැයි කැමති එහෙම. මං දන්නව. ගින්දරී කිව්වට ඔහෙලට විස්සාස නෑ. අම්මප, ඇත්තමයි. කොච්චරවත් ගින්දර වගේ. බ(ර්)න් වෙවී ඉන්නේ. ඒකයි ගින්දරී කියන්නේ. ආදරේට.


ගින්දරී කියන්නෙ අපේ කොම්පැනියෙ ඩි.හි.රි.මැ. විදියට ඉන්න කෙනා. එයැයි අපේ ඔපීසියෙ ඉන්න ලස්සනම ගෑනු ලමය. තාම බැඳලත් නෑ. ගෙදරිං හොයනව මයෙ හිතේ. පුදුම ලස්සනක් තියෙන්නෙ. හරි අහින්සකයි. එයැයිගෙ තොල් වල තිබුණෙ එයැයිට උපතින්ම ලැබුණු නාදලු රතු පාට. ඒ වගේම එයැයිගෙ ඇස් දෙක වටේ කලු පාට කුංකුම අංජන තවරං ඉන්නෙ. උදේට ඔපීසියෙ ගේට්ටුවෙ ඇතුල් වෙනකොට ඒයැයි මුණිච්චි උනොත් දවසම වාසනාවයි. සුන්දරයි.


එයැයි අපේ කොම්පැනියෙ හැවෝටම ආදරෙයි. හරිම ආදරෙයි. අපේ ඕනෑ එපාකං හොයල බලනව. අපිට ආදරෙං සලකනව. බැරි වෙලාවත් ඕ ටී කරල යන්ඩ එකක් නැතුව හිටීය කියමුකො. හරිම උනන්දුවෙන් එයාගෙ වියදමින් කට්ටියව ගෙවල් වලට ඇරලෝනව. අම්මප.


එයැයිගෙ ඇස් වල තියෙන්නෙ පුදුම අහින්සක කමක්. ඒ අහින්සක කමට ගැලපෙන සුන්දර හිනාවකුත් එඇයිට උපතින්ම හම්බෙලා තියෙනව. ඒ වගේම එයැයි ගොඩාක් උගත්. ඒ නිසා උගත් අයට ගරු කරනව. කැම්පස් ගිය කොල්ලෙක් කෙල්ලෙක් කොම්පැනියට ආවම පුදුම විදිහට සලකන්නෙ. ගින්දරී කියන්නෙ පුදුම හොඳ ගෑනු ලමයෙක්. එච්චර උස නැති උනත්, උසේ ගානට බර. එයැයිගෙ බී.එම්.අයි එක ගානට මේන්ටේන් කරනව මයෙ හිතේ.


කොම්පැනියෙ අයත් එක්ක හරි එකතුයි. පුදුම කැක්කුමක් තියෙන්නෙ. අනිත් අය කාල බිලා නෙවෙයි නම් අම්මප, ගින්දරීගෙ උගුරෙන් පහලට බත් කටක් යන්නෙ නෑ. ඉක්ක වැටෙනව. ගින්දරී කියන්නෙ ගින්දර වගේ කෙල්ලෙක්. කවදාවත් කාටවත් බනිනව මම අහල නෑ. මම හිතන්නෙ බනිනව සැර කරනව කියන වචනවත් එයැයි දන්නෙ නෑ. ඒ තරම් හොඳ ගෑනු ලමය.


ඉතින් මම විතරක් නෙවෙයි. කොම්පැනියෙ අපි හැවෝම දෙයියන්නෙන් ඉල්ලන්නෙ, ගින්දරීට කරදරයක් වෙන්න එපා. හැමෝගෙන්ම ආරස්සා කරල දෙන්න. ඇස්වහක් කටවහක් හෝවහක් අල්ලන්න එපා. ඔය තියන දැකුම්'කලු' හිනාව ඔය කටේ ඔහොම්ම තියෙන්න. අන්තිම වසයෙන්, අනේ දෙයියනේ කියල ප්‍රාර්තනා කරන මෙව්ව එකකින් ඒ අම්මණ්ඩිව පතාගන ආව පව් කාරයට ඒක පෙලවහක් වෙල අපේ කොම්පැනියෙන් තොලොන්චි වෙලා යන ගුබ්බෑයමකට යන්ඩ ලැබේවා කියල එක හිතින්ම පතනවා ඕං.

"ඉතින්, මේක ලියල මාසයක් ගියෙ නෑ අර අම්මණ්ඩි කොහෙන් ගියාද නෑඅ. හූණියමක් කරල එලවපු ගානයි. ඉතින් ඔන්න ඔඅකයි කතන්දරේ. කාටවත් තේරෙන්නෙ නෑති වෙයි. තේරුම් ගන්ඩ උස්සහ කරන්නත් එපා. මොකද තේරුමක්ම නෑ..

ජය වේවා. අපි ගියා."

මම ඔයාගෙ ආදර 

වටු.