කා වෙනුවෙන් නම් කරන ලදැයි නොදන්නා ප්‍රේමය බහා ඇතැයි මසිත සැක කරන, අනේකවිද කැටයමින් හැඩ වූ, නොහොත් මා කැමතිම කැටයමින් හැඩ වූ මංජුසාවක් දෝතින් හදවතට තුරුල් කොටගෙන, නුඹ තරම්ම නැතත් යම් තරමකින් වදන් ගලපන්නට වෙර දරමි.
පෙර කී මංජුසාව කඩා එතුල ඇතැයි සිතෙන මනෝරාජික මහානුභාව සම්පන්න මහෝත්තම ප්‍රේම කිරුළ හැබැහින් අත ගෑමට තරම් හිත නොදෙන්නේ හයියක් නැති කම නිසාම නොව, ලිහන්ට ඇති මල්ල ඔබන කළ හිත විඳින තෘප්තිය ලිහූ කළ අඩුවෙතැයි බියෙන්දෝ හෝයි විටෙක සිතේ.
ප්‍රේමය හැබැහින් වින්දෙමි. මගේ හෘදය නම් දුප්පත් නිවස්නය තුලට වැදුනු දිනෙක එහි කටු මැටි ගෑ බිතු මත මා වේදනාවෙන් මිරිකෙමින් සූරා තැබූ නිය සටහන් නුඹ දකිනු ඇත. ඒ හැබැහින් අත් විඳි ප්‍රේමයේ නටඹුන්ය. ඒ හදවතේ විසිත්ත කාමරය ය. තවත් ඇතුලු කාමර වලට පිවිසි කල එයිනුත් ඔබ්බට මා විඳි වේදනා කම්කටොලු වල ශේෂ වූ දුහුවිලි වලාවන් නුඹ දකිනු ඇත. ඒ දුහුවිලි වලාවන් නුඹට දහසක් දේ පවසනු ඇත. මා පසුකල සෑම දුරුතු පොහොයක්ම එක වන්ව සොඳුරු නොවුන වග නුඹට පසක් වනු ඇත.
නුඹ යහන් ගන්වන්නට මහද වපසරිය ප්‍රමාණවත් දැයි නොදනිමි. නුඹේ අත දරා සිටීමට දෑත් සවිමත් යැයි නොකියමි. එහෙත්, හිත් මුල්ලක කදෝකිමි තරුවක්ම වන් බලාපොරොත්තුවේ සේයාවක් නිවි නිවී දැල්වෙන බැව් පමණක් දනිමි. ඒ වල්ගා තරුවක වල්ගාවකින්ද, නිහාරික දුහුවිල්ලකින්ද, නොහොත් කලු කුහරයකින්දයි තවම නොදනිමි. එය මම ද තවම සොයමි.
හෙටක් ගැන නොසිතමි. හෙට යැයි කියන දිනයටත් එහායින් ඇති අමුතු නාදුනන දිනයක් ගැන හීන මවමි. ආලෝකයට වෛර කරන නිශාචර ආත්මයෙන් මා මුදවා ගැනීමට ක්ෂිතිජයෙනුත් එහා වූ ක්ෂේම භූමියක් දෙස මම නෙත් අයාන බලා සිටිමි. තවමත් බලා සිටිමි. කඳුලු වියලී කොපුල් මත ලුණු කැටව ඇතිවාක් මෙන් දැනෙන තුරුත් බලා සිටිමි. ඉන් පසුවත්... බලා සිටිමි.
ම්ම්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්
Delete😊
ReplyDelete