සියල්ලෝම සතුටින් විසිර ගියහ. මම පමණක් තනි වූයෙමි. ඇන්ඩෲ වත් අද මා අසල නැතිය. ඇන්ඩෲ නම් මගේ සුරතල් බල්ලා ය. සති දෙකකට පෙර අපේ බල්ලාය. සතියකට පෙර පටන් මගේ බල්ලා ය. මට දැන් ඇන්ඩෲට උත්තම පුරුෂ බහුවචනයේ 'සම්බන්ධ විභක්ති' අර්තයෙන් ඇමතීමට හිත නොදේ. එකක් ඇන්ඩෲ ද දැන් නැති නිසා ය. 'අපි' යැයි කීමට කිසිවකුත් මා සමග නැති නිසාය. ආලිදයේ හාන්සි පුටුවට බරව ඔහේ මිදුල දෙස බලා හිඳිනු විනා කිරීමට කිසිත් ද මට නැතිය. සුමනා උදේ පැමිණ දවල්ටත් ඇති පදම් බතක් උයා මාලුවක් දෙකක් ද සාදා ගියාය. අහල පහල ඈයෝද උදේ අස් පස් කිරීමට උදව් වී සිට පිටව ගියෝය. ඉතින් නිවසේ මා පමණකි.
"අම්මගෙ හිතුවක්කාර කම. ඇයි බැරි අපිත් එක්ක ඉන්න එන්න?" මා බාල පුත්, සඳමිණ මගෙන් ඇසුවද, සියුම් හිනාවක් දක්වනු විනා ඉන් එහා කීමට යමක් මට නොවීය. සැබැවින්ම ඒ මගේ හිතුවක්කාර කමද විය හැකිය. සඳමිණ ලා පිටවගියේ අද උදේ පාන්දරමය. දෙවන දැරිවිය, කස්තුරි ඊයෙ හවසම ගියේ සිය සැමියාට නිවාඩු නැති නිසාය.
"අම්මෙ, මෙහෙ තට්ට තනියම ඉන්න ඕනෙ නෑ. අම්ම එන්න අපේ ගෙදර. අපේ පුතත් කැමති අම්ම එනවට. අනික එහෙත් අපි විතරනෙ. සංජය කිව්වෙම අම්මව එක්කගෙන එන්නම කියල, මේ ගේ දොර වහල දාලා." කස්තුරි මා හා කීවාය. ඒ දානෙ අහවර කොට හවස තේ කෝප්පයක් තොල ගාන ගමන්ය.
"මේ ගේ වහල කොහොමද? අනික... මට එහෙම පාලුවක් නෑ. ඔස්ටින් අන්තිම කාලෙ කොහොමත් එක් තැන් වෙලා හිටියේ. මම ඉතින් ඔක්කොම තනියෙන් කරගත්තෙ. ඊටත් හදිස්සියකදි උදව්වට සුමන එහෙම අහල පහල ඉන්නෙ." මම කස්තුරි දෙස නොබලාම කීවෙමි.
"මෙච්චර කියද්දිත් තියන හිතුවක්කාරකම. මෙහෙ අහල පහල ඉන්න එකාලට අම්මව බලන්න, මොකෝ අපි නැතුවද. ඇයි කියන එකක් නාහන්නෙ?" කස්තුරිගෙ වචන නොකඩවා පිටවෙයි.
"ඉතින් මට තවම බැරි නෑනෙ කස්තුරි. මාත් එකතැන් වෙච්ච කාලෙක එන්නම් ළමයි ගාවට." මම සිනාසුනෙමි. "ඊටත්, තාම මගෙ අත පය හයිය තියනවා. අනික මේ ගෙවල් දොරවල් පාලුවට ඇරල තියන්නෙ, මොන හිතකින්ද" මම ගේ දොර පෙන්නා ඇගෙන් බේරෙන්න සිතුවද, ගේ දොර ඉඩකඩම් වලට මගේ කිසි බැඳීමක් හෝ ආශාවක් නොවේ. සියල්ල දරු මුණුබුරන් හට පවරා හමාරය. නමුත් ඔවුහු ඒ කිසිවක් භුක්ති නොවිඳිති.
"අම්මගෙත් ලෝබ කම. මේ කැලෑ මැද්දෙ ගෙවල් පරිස්සම් කර කර ඉන්නැතුව යන්න ලෑස්ති වෙන්න" කස්තුරි එසේ කිව්වද, මගේ කැමැත්තකින් තොරව ඈ මා රැගෙන නොයන්නීය.
චන්නට අප්පච්චිගේ මළගමට එන්න වූයේ නැත. එහෙත් දිනපතා කතා කර විස්තර අඩු පාඩු ඇසුවේය. මට පමණක් නොව, කස්තුරිටද කතා කළ බව කස්තුරි මා හා කීවාය.
"ලොකු අයියට මෙහෙ නාවට, හිතට කැක්කුමයි. ඊයෙ දෙපාරක් මට කතා කළා. අද උදෙත් තුන් පාරක් ගත්තා." කස්තුරි කීවාය.
"චන්න මටත් කතා කරා කීප වතාවක්ම. පව්. ඒ දරුවට අප්පච්චිගෙ මූණ දැකගන්න බැරි උණානෙ, අන්තිම වෙලාවෙවත්!" මම ඇයට කීවෙමි.
චන්න මගේ වැඩිමල් පුතණුවන්ය. ඔහු දැන් කැනඩාවේ පදිංචියට ගොස් වසර දහයක් පමණ වෙයි. චන්න උපන් දා පටන් ඔස්ටිනුත්, මමත් දැඩි සේ පරිස්සම් කළෙමු. ඔස්ටින් අනෙක් දෙදෙනාටත් වඩා ආදරේ කළේ චන්නටය. ඔස්ටින් ඔත්පලව උන් අවසන් සමයේ ඇසුවේද චන්න එනවාද කියා පමණය. දරුවන් වදා, දරුවන් හදා ඔවුන් තම තමන්ගේ ලෝක සොයා කුරුළු කැදැල්ලෙන් ඉගිලෙන කුරුලු පැටවුන් සේ දැක, 'මගේය' කියා ආත්මීය බැඳීමක් නොගෙන, ඔවුන් වැදූ හැදූ සතුට පමණක් හිතේ දරා උපේක්ෂාවෙන් ඔවුන් දෙස බැලීම මා ප්‍රගුණ කොට තිබුණද, ඔස්ටින් ඒ කිසිත්, කිසි දාක නොසිතුවේ ය. අම්මා කෙනෙකු ලෙස දරු දුකක් නැත්තියක ලෙස කිසිවකු මා හට ගැරහීමට ඉඩ ඇත. සාධාරණය! ඔස්ටින් හා සසඳන කළ මා දාරක ස්නේහයෙන් ඔහු හා සම තැන් තිබීමට නොහැකිය. කිසිම පියෙකු තුල නොවූ විරූ පීතෲත්වයක් ඔස්ටින් තුල මම දුටිමි. ඔහු සිය දරුවන් නො වැදුවා, කිරි නුදුන්නා පමණය. ඉදින්, මම ඔහු තුලින් පියෙකු මෙන්ම මවක ද දුටුවෙමි.
චන්න කුස පිළිසිඳ ගත් දා පටන් වෙනදාටත් වඩා ලියන්නට, කියවන්නට මම හුරු වීමි. ඒ ගත් ත්වරණය, නොනවත්වා අද මේ මොහොත වන තෙක්ම ගෙන එන්නට ඔස්ටින් දුන් සහය ද අපමණය. මම දරුවන්ට මෙන්ම පොත්පත් වලට ආදරය කළෙමි. මගෙන් දරුවන්ට ආදරය යම් ප්‍රමාණයක් අඩු වූවා නම් ඒ අඩුව ඔස්ටින් නොපිරිහෙලා පිරවූ බව මම ඉඳුරාම දනිමි.
කෙසේ වෙතත් දැන් මා පමණක් නිවස තුල තනිවී ඇත. මම සුසුමක් හෙළීමි. දරුවන් වෙතට ගොස් ඔවුනට වදයක් වීමට මට සිත් නොදේ. ඔවුන් ඔවුන්ගේ ලෝක තුල තනි විය යුතුය. මා තුන් වැන්නෙක් විය යුතු නැත. ඔස්ටින් පවා ජීවතුන් අතර සිටියදී පැවසුවේ, දරුවන්ට කරදර නොකළ යුතු බවත්, අවැසි විට ඔවුන් අපට සළකාවි කියාත් ය. ඉදින්, ඔස්ටින්ගේ වචන මම පිළිපදිමි. කෙසේ නමුත් ඔස්ටින් හෝ මම දරුවන්ගේ සැළකිලි බලාපොරොත්තු නොවීමු. මම ද එසේ බලාපොරොත්තු නොවෙමි.
චන්න ඉපිද, සිව් වරකින් නැවත මම ගැබ් ගත්තෙමි. නමුත්, හය හත් මසකින් පමණ, ගැබේ නිසල වීම්කින් ඔස්ටිනුත් මමත් බිය වීමු. ඒ දරු සම්පත අපට අහිමි විය. ඔහුට මව පියා වීමට අප පින් නො කොට තිබුණා හෝ අප දෙදෙනට පුතකු වන්නට ඔහු පින් නො කොට තිබුණා දැයි අපි නො දනිමු. එදා, මා හිත හයිය කොට සිටියදී වුව, ඔස්ටින් මා බදාගෙන හැඬුවා මතකය. යළිත් අපට දරු සම්පත් ලැබීමට ඉඩ අඩු බව ඒ වෛද්‍යයවරු කීවද, ඉන් තුන් වසරක් ගිය තැනේදී කස්තුරි උපන්නාය. කස්තුරි ගේ උපත නිවසට එළියක් විය. ඈ දඟ කාරියකි. චන්න තැන්පත් ඇවතුම් පැවතුම් ඇත්තෙකි. චන්නවද අවුස්සමින් රණ්ඩු දබර කිරීම කස්තුරිගේ සතුට විය. එහෙත්, දෙදෙනාට දෙදෙනා ඉතා මිතුරුය.
සඳමිණ මා කුසට පැමිණියේ කස්තුරිගෙන් වසර දහයකුත් මාස හයක් ගත වූ තැනය. කස්තුරිට ඒ හැටි තේරුමක් නොතිබුණත්, චන්නට සඳමිණගේ පැමිණීම ගැන පැහැදීමක් නොතිබුණේ ඔහු තේරෙන වයසේ සිටි නිසා විය යුතුය. කස්තුරිව කුස දරා සිටියදී නම් චන්න නොයෙක් ප්‍රශ්ණ මගෙනුත්, ඔස්ටින්ගෙනුත් ඇසුවේය.
"ඇයි අප්පච්චි අම්මගෙ බඩ ඔය හැටි ලොකු?" ඒ චන්න ය.
"අම්ම ගොඩාක් බත් කනවනෙ පුතේ" ඒ ඔස්ටින් ය.
"ඉතින් අප්පච්චි, අම්ම කන්නෙත් මම කන පිඟානෙමනෙ. මම කන ගානමනෙ. මගේ බඩ කොච්චර කෑවත් මෙච්චරම තමයි"
"පුතා කන කෑම ටිකෙන් වෙන්නෙ පුතා උස යන එක. උස ගිහින් ඉවර උණාම තමයි කන කෑම වලින් බණ්ඩි ගෙඩිය ලොකු වෙන්නෙ. අම්ම දැන් උස ගිහින් ඉවරනෙ. දැන් ඉතින් අම්ම කන ඒව ඔක්කොම බන්ඩි ගෙඩියට යන්නෙ, ඒකයි බණ්ඩිය ඔච්චර ලොකු වෙන්නෙ" ඔස්ටින් චන්නව රවටයි.
චන්න නැති තැන මම ඔස්ටින්ට චන්නව රවටන්න එපා යැයි පැහැදුවෙමි.
"මාග්‍රට් කියන්නෙ ළමයට බොරු කියන්න එපා කියල ද? එහෙනම් ඇත්තම කියන්නද කියන්නෙ?"
"නෑ ඔස්ටින්, බොරුවක් කීවත් ඔය හැටි බොරු කියන්න එපා. බඩ ලොකු මොකද ඇහුවම, බඩ ඇතුලෙ බබෙක් ඉන්නවයි කියන්න."
"ඊට පස්සෙ බඩට බබාල කොයින්දයි, අම්ම බබාලව ගිලිනවදැයි ඇහුවම ඔව්වට බෑ ඔන්න මට නම් උත්තර දෙන්න" ඔස්ටින් මහහඬින් හිනැහෙයි. මමද ඊට එක් වෙමි.
පසුව, දූ ඉපදීමට කිට්ටුව මම චන්නට කුසෙහි සිය නැගණිය සිටින බව පැවසුවෙමි. ඉන් එහා ඔහු කිසිත් නොඇසීය. "අප්පච්චි බොරු නේද කිව්වෙ?" චන්න ඇසීය.
"නෑ... අප්පච්චි කිව්ව එකත් ඇත්ත. ඒත්... ඔන්න අම්මගෙ බඩ ඇතුලෙ, පුතාට නංගියෙකුත් ඉන්නවා." චන්න නංගී පිළිගැනීමට සතුටින් සැරසුනේය.
සඳමිණ මා කුසේ දරා සිටින විට චන්න බඩ ලොකු ඇයි දැයි ඇසීමට තරම් නො දරුවකු නොවූ නිසාවෙන්, ඒ ගැන චන්න ඉන්න තැනක කතා කිරීමට පවා ඔස්ටින් මැලි වූවේය. චන්නගේ හිත මම කවදාක වුව කියවූයෙමි. කස්තුර කුස දරා සිටි අවධියේ චඟේ හැසිරීමත් සඳමිනව කුස දරා සිටියදී චන්නගේ හැසිරීමත් මම විනවිදිමි.
"ලොකු පුතාට මතකද, නංගි හම්බෙන්න ඉන්දෙද්දි පුතා මගෙ බඩට කන තියල නංගිව ඇහෙනවද බැලුව? ඇයි දැන් එහෙම බලන්න ආසා නැද්ද?"
"ම්ම්ම්... නෑ... එහෙම එකක් නෑ."
"පුතා කැමති නැද්ද, අලුතෙන් එන මල්ලියට"
"කැමතියි."
"එහෙනම් කතා නොකරන්නෙ ඇයි මල්ලි එක්ක?"
"නෑ ඉතින්... යාලුවො මට විහිලු කරනවා. මම ළමයි හදන්න ඕනෙ කාලෙ උඹේ අම්මට ළමයි හම්බෙනව කියල"
මම චන්නව තුරුලට ගත්තෙමි.
"මගෙ පුතා හිතන්නෙත්, මේ පුතා ළමයි හදන්න ඕනෙ කාලෙ කියලද?"
"නෑ..."
"එහෙනම්..."
"ඒත් යාලුවො විහිළු කරද්දි දුකයි"
"මගෙ පුතේ, පුතා දන්නවද ගැහැණු කෙනෙක්ට ලැබෙන හොඳම දේ මොකද්ද කියල?"
"නෑ මොකද්ද?"
"අම්ම කෙනෙක් වෙන්න ලැබෙන එක"
"ඉතින් අම්ම කොහොමත් අම්ම කෙනෙක්නෙ"
"ඒ මගෙ පුතාටයි, පුතාගෙ නංගිටයිනෙ. තව මල්ලියෙකුත් ආවම, අම්මට ඒ මල්ලිටත් අම්මෙක් වෙන්න පුලුවන්"
චන්න කිසිත් නොකිව්වේය. එහෙත්, ඔහු කස්තුරිටත් වඩා සඳමිණට ආදරේ කරන්නට පටන් ගත්තේය. චන්න විටෙක සඳමිණට අයියෙක් ලෙසත්, විටෙක් අප්පච්චි කෙනෙක් ලෙසත් සිටියේය. ඉදින්, මා දරු බරින් තවත් නිදහස් විය.
කාලය විදුලි වේගයෙන් හමා යන බව මේ මොහොතේ සිට ආපස්සට හැරි ආවර්ජනය කරන කළ මට සිතේ. සඳමිණට දැන් විසි අටකි. මට දැන් හැත්තෑ හතරකි. ඔස්ටින් ජීවතුන් අතර සිටියේ නම් ලබන මාසයේ හැත්තෑ නව වැන්න සමරන්නට තිබිණි. එහෙත්, යන්නට කාලය ආ විට යන්නට සිදු වන්නේය.
ඇන්ඩෲ ඔස්ටින්ගේ සුරතලාය. ඔස්ටින් ඔත්පලව උන්නද, ඇන්ඩෲ කෙරෙ ඉමහත් කරුණාවක් ඔස්ටින් තුල විය. ඇන්ඩෲ ද එසේමය. ඔස්ටින් අසලම දැවටෙමින්, ඔස්ටින් අසලට කිසි ආගන්තුකයෙකුට ළං වෙන්නට හෝ ඉඩ නොදෙමින්, ඉතා ආදරෙන් සිටියේය. ඔස්ටින්ගේ මිය යාමත් සමග ඇන්ඩෲ ද දරුණු ලෙස අසනීපව හිඳ, ඔස්ටින් භූමදාන කොට දෙවැනි දිනයේ ඇන්ඩෲ ද පරලෝ සැපත් වූවේය.
සියල්ල බැඳීම්ය. අතීතය බැඳී ඇත්තේ වර්තමානයටය. වර්තමානය බැඳී ඇත්තේ අනාගතයටය. එනම්, අතීතය අනාගතයට බැඳි පවතී. මම දරුවන්ටද, දරුවන් මටද, මම ඔස්ටින්ද, ඔස්ටින් ඇන්ඩෲ ටද ආදි වශයෙන් සියල්ලෝ සියල්ලන්ට බැඳී සිටින්නෙමු. බැඳීම් මත නැවත නැවතත් බැඳෙන්නෙමු. බැඳිම් ලිහා ගැන්මට නොහැකි නම්, අවම වශයෙන් බැඳීම් බැඳීම් ලෙස දැකිය යුතුය. නො එසේ නම් ජීවිතය ගලා යාම අපහසු වනවා නො අනුමානය.
මම තවමත් හාන්සි පුටුව මතය. මිදුලට රාස්සිගේ අව්ව වැටී ඇන්තූරියම් මල් මලානිකව ගොස් තිබේ. ඔස්ටින් වවා තිබූ තණ කොළ යාය, දැන් වත්ත පුරා වැසී ගොස්ය. සියල්ල තාවකාලිකය. කිසිත් කැමති සේ නොපවත්නේය. හැලහැප්පීම් මැද ගෙවා ආ ජීවිතය, යළි යළිත් සිහි කරන විට තරම් සුවයක්, ඒ ඒ සංධිස්ථාන පසු කරන විට ඔස්ටින් හෝ මම අත් නොවින්දෙමු. නොබෝ දිනකින් මටද, ඔස්ටින් අමතනු ඇත. ඔහු වෙත යාමට මා සූදානම් විය යුතුය. නැත! යළිත් ඔහු වෙත නොයන්නෙමි. මම මෙහිම නිවෙන්නෙමි. එහෙත්, නිවෙන්නට නොහැකි වුවහොත්? ඔව්. යම් හෙයකින් එසේ නො නිවුනහොත්, මම ඔස්ටින් වෙත යමි! යළිත් මුල සිට අරඹමි.
නිමි.
No comments:
Post a Comment