මේධානි සිය දරුවා උකුළෙහි රුවා හිඳින්නීය.
"අකලංකත් මේ කතාව මොකට හාරාවුස්සනවද මන්ද...!"
"මම දන්නව මේධානි. පරන දේවල් අවුස්සන්න ගියාම හරියට මළමිනියක් ගොඩ දානව වගේ දෙයක් කියල. ඒත්... මුල ඉඳන් ඇහුව කතාව ආයෙ මග නවත්තන්න හිතෙන්නෙ නෑ"
"හ්ම්ම්. ඉතින් තව මොනාද දැන ගන්න තියෙන්නෙ...!"
"ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ කියන්න."
මේධානි සිය දරුවත් සමග නැගිට්ටාය.
"අකලංක මොනවද බොන්නෙ?"
"මුකුත් එපා. කරදර වෙන්න එපා. මම ආවෙ මේධාගෙන් කතාවෙ ඉතුරු ටික අහන්න"
යළිත් මේධා දරුවාද තුරුල් කර හිඳ ගත්තාය. ඈ දරුවා දෙස බලා සිටින්නීය. ඇයට තව තවත් බල කිරීමට මටද සිත් නොදේ. කතාව කීම හෝ නොකීම ඇගේ අයිතිය ය. මම යළිත් මේධා - තිවංක පෙම් පුවත ගැන නො අසමියි ඉටා ගතිමි.
"මගේ අතට දෙනවද දරුව... ටිකක්..." මම මේධාගෙන් ඇසුවෙමි.
"ඔයාට පුලුවන්ද?"
"මොකෝ බැරි... දෙන්නකො..."
මම මේධානිගේ පුතු, සීරුවෙන් තුරුලට ගතිමි. මේධා නැවතත් පුටුවට බර වූවාය. ඈ සුසුමක් හෙලා දෙනෙත් පියා ගත්තීය.
මේධානිගෙ පුතු සිය සැමියාගේ මුහුන අංගයක් නෑර විද්‍යාමාන කරයි. මම සුරතල් පුතුන් නැළවීමි.
"අකලංක... එක අතකට ඔයා මගෙන් මේ දේවල් අහන එක හොඳයි. නොකිව්වට, මෙ කතාව ඔයාට කියන එකෙන් මගෙ හිත ගොඩක් සැහැල්ලු වෙනව." මේධානි දෙනෙත් පියාන කීවාය.
"ඒත් මට බල කරන්න අයිතියක් නෑනෙ" මම කීවෙමි.
"අකලංක, මට දෙයක් තියනව අහන්න. මම තිවංකට පොරොන්දු උනා මේ ප්‍රශ්ණෙ කවදාවත් කාගෙන්වත් අහන්නෙ නැහැයි කියල. ඒත්... මට අහන්න වෙනව..."
"ඉතින් අහන්න." මම කුකුසෙන් යුතුව මේධා දෙස බැලුවෙමි. සිය දරුවා සමග නිදි වැරීමෙන් ඈ තව තවත් කෘශ වී ඇති සෙයකි, ඇය වෙතින් දිස් වූයෙ. දරුවා මා අතට දීමෙන් ඈ මිනිත්තු කීපයක හෝ නිදහසක් ලැබූ බැව් ඇගෙන් පිටව ගිය සුසුම් දැක මට පසක් විය. "මොකද්ද මේධට ඔය හැටි අහන්න තියන ප්‍රශ්නෙ?"
"මම අහන්නම්. ඊට කලින් මගෙ කතාව කියන්නම්... "ඈ තවමත් පුටුවට බරව දෙනෙත් පියාන සිටී. ඒ අතීතය මෙනෙහි කරනවා විය යුතුය. ඇගේ කොපුලත් දෙතොලත් වරින් වර අමුතුවෙන් වෙව්ලනු මම දුටුවෙමි. ඇය සිත තුල ගලා යන සිතිවිලි දහරාවන් මුහුණ නැමැති කැඩපතෙන් එළියට පනින සෙයකි. මම ඇගෙ හැඟිම් කියවන්නට වෙර දැරීමි. ඈ සිටිවනම සිය කතාවෙහි ඉතිරිය දිග හැරීය.
*****
තිවංකට, තිවංකගෙ වචන වලට, අදහස් වලට මම ආදරය කළෙමි. මගේ කතාව තවත් එක් හුදු 'බොළඳ ආදර කතාවක්' වන තරමටම මම ආදරෙන් විඳවීමි. එදයින් පසු යළි මම පාසල් නොගියෙමි. රම්‍යා මිස් වත්සලා අත පණිවිඩයක් එවා තිබුණේ විභාගය අවශ්‍යය ලිය කියවිලි රැගෙන යන ලෙස කියමින් ය. ඉදින්, යළිත් වරක් හෝ තිවංක දැකිය හැකි යැයි සිත තුටින් පෙලුනු මුත්, අම්මා සමග පසු දින උදයෙම පන්තියටවත් නොගොස්, විදුහල්පති කාර්යාලයේදීම සියල්ල නිම කොට ගෙන ඒමට සිදු විය. ඉතින් තිවංක දැකීමට තිබු අවසන් අවස්ථාවද මග හැරිණි.
දින සති බවට පෙරළෙමින්, සති මාස බවට පෙරළෙමින් විභාගය කෙමෙන් ළඟා විය. විභාගය ලියමිද නො ලියමිද සිතමින් සිත් මඩෙ රුවා ලූ ඉන්නක් මෙන් වැනෙයි. අම්මා හෝ අප්පච්චි ට මම විභාගය කළත් නොකළත් කම් නැති ගානය.
කෙසේ හෝ, මම විභාගයට ගියෙමි. ඒ අන් කිසිත් නිසා නොව, තිවංක බැලීමටය. පාසල නුහුරු තැනක් ගානය. මහා කාලයක් නොවුනද, පාසල මට නුහුරුය. පන්ති කාමරය මට නුහුරුය. තවමත් කිසිවකුත් පැමිණ නැත. අම්මා මා කැටුව ආවාය. ඈ ගේට්ටුව අසල කීය හෝ වන තෙක් මා එන තුරු සිටින බව මම ඉඳුරාම දනිමි. සුපුරුදු ලෙස පන්තියට ගොඩ වී හිඳගතිමි. තිවංකත් මාත් ඉගෙන ගත් හදවතේ කොටස් නම් කළ හදවතේ පින්තූරය තව දුරටත් බිත්තියෙහි නොවීය. මා වට පිට බැලුවේ ඒ වෙන තැනක හෝ එල්ලා ඇත් දැයි සැක හැර දැන ගැන්මටය. එහෙත් එය පෙනෙන තැනක නොවීය. මගේ හදවත මා තුල නැත්තාක් මෙන් දැනෙන්නට විය.
තිවංක දන්නව ඇති ඒකට මොකද උණේ කියල. තිවංක කැඩුවත් දන්නෙ නෑ.
මට මහා දුකක් දැනුණි.
ළමුන් එකා දෙන්නා පාසලට එනු පෙණිනි. ස්වර්ණාත් කාංචනාත් මා දැක ඉක්මනින් පන්තියට දුවගෙන ආහ.
"මේධා... මොකද කෙල්ලෙ මේ උණේ...?" කාංචනා මා අසල හිඳගනිමින් ඇසුවාය.
"මන්ද කාන්චනා. මට තේරෙන්නෙත් නෑ!"
"උඹ මළගෙදරවත් ගියාද බං?" ස්වර්ණා මගෙන් ඇසීය.
මම ගැස්සී ඇය දෙස බැලුවෙමි.
"මළගෙදර? කාගෙද?"
"අනේ...! උඹ මේව දන්නැද්ද කෙල්ලෙ?" ස්වර්ණාත් කාංචනාත් මුහුණෙන් මුහුණ බලා ගත්තාය. මට මා ඉදිරියේ ලෝකය අඳුරු වී යන සෙයක් පෙණිනි. හිඳ සිටි අසුනෙන් ගිළිහී පොළොවට ඇද වැටෙන්නාක් මෙන් යාන්තම් මතකය.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xviii
No comments:
Post a Comment