Sunday, September 12, 2021

මගේ මළගම

නෑ මං තරහ නාවට මළගමට මගේ
පණිවිඩ මුකුත් කිසිවක් නොලැබිලා වගේ
හිත ගල් කරන් දුකකුත් නොදැනුනා වගේ
උන්නට සුසුම් ඉඳහිට ගිලිහුනා හැඟේ

උඹ නැති හවස් නම් දැන් මට නුහුරු නැති
ඉඳහිට ඒත් මගෙ හිත ඔහෙ ඇවිත් යති
මා මළ හවසකත් එහි වෙනසක් නොමැති
එතුවක් හිතම නුඹ එනකල් බලන් ඇති

වෙනදා උදේ හවහට යන එන පාර
මතකද හැරෙන තැන ළිඳ ගහ ළඟ වීර
පතුලේ ගිලෙද්දිත් මං හිතුවක්කාර
කිව්වෙත් නුඹේ නමමයි අකුරක් නෑර

මූසල කනත්තේ කෙළවර හිඳින නිති
අකලට මල් පිපුණු අරලිය ගහක් වෙති
ඒ ගස පාමුලේ මාගේ සොහොන ඇති
සුදු මල් එපා නුඹ ඇවිදින් ගියොත් ඇති

2 comments:

  1. එපා කවුරුත් මගේ මළගමට, පණපිටින් ඉද්දි විතරක් මගේ ළග ඉන්න....

    ReplyDelete
    Replies
    1. මැරුණම තමා සමහර දේවල් හිමි වෙන්නෙ

      Delete