මා ප්‍රිය මිතුරු කාලගෝලයෙනි හිතවත්
අහිතක් මා කෙරේ කරුණාවෙන් නොමගත්
නොකියා නොහැකි හන්දා මට උණ විපතත්
මේ කෙටි ලියුම නම් අද නොලියා බැරුවත්
හත්වස කඹුට මෙහෙවර කොට ගත් ලන්දා
ඇති උඹ වින්ද දුක නම් දික්තල හින්දා
පෙම් කල නමුත් උඹ ඈ හට මන නන්දා
මං කලෙ පවකි මගෙ හිත ඈ වෙත රන්දා
රූපෙට සොඳුරු ඇගේ මං වහ වැටුනු නිසා
රසබර කෝල මුකුලිත ඇගෙ වදන් අසා
සොරකම් කරන් ආවට උඹෙ දෑස් වසා
කල කම් අපල විය මට මෙදවස මෙලෙසා
පිවිතුරු සොඳුරු දික්තල යැයි මහිත පැතූ
ඈ නෑ තැවරුවේ සුදු වස්තරේ රතු
නොකලත් කිසිත් නින්දා ඈ වෙතම ගෙතූ
ප්‍රේමය විතරමයි මම පුද කලෙද මතූ
ඉක්බිති ඉදින් ඈ බඩ දරු දැරුවාය
සැපසේ සොඳින් දරු පැටියත් වැදුවාය
'තුම් පිය වරම ඈ මා හට සැදුවාය
ඈ දුන් එකම දායාදය දරුවාය
ඈ මා පැලට විත් ගත වූ දස මසක
නෑ බත මාලුවක් පිසුවේ කිසි රසක
පිල උඩ ඉඳන් ඈනුම් ඇරියා මිසක
නෑ අන් වැඩක් බැන්නයි ගෙන යක් වෙසක
ඉඳහිට දිනක සඳුනුත් කහ මූණෙ උලා
පැදුරක වැටී උන්නා මුල්ලකට වෙලා
මේකිව සහේ ගෙන කල පව මතක් වෙලා
කාලගෝල මල්ලියෙ මම හිතින් මළා
මගෙ මව් දෙමව් පිය හට 'තුම් සැලකීම
පිළිබඳ කලේ නම් ඉන් ඈ වැළකීම
උන්නත් පෙමින් මම ඈ ළඟ උකුලේම
ආදර ගතිය පෑමයි ඈ නොකලේම
ඈ මට සෙනෙහසක් නම් නොම පෑවාට
මං නැති දාට කොල්ලෙක් ආවලු රෑට
ලප නොමවන් සඳක් ලෙස මං හිතුවාට
සඳ ළං උනාමයි දුටුවේ ආවාට
ඉල්ල ගන්න අත මාරුව දෙන්න කියා
අල්ලපනල්ලේ මිනිහෙක් ආවා ගියා
පොල්ල තියා ඌ හා ලියමනක් ලියා
කල්ල කපටි අම්මණ්ඩිය පැනල ගියා
මේ නම් උරුම දුක මට නිති ඇති සැටියා
ඈ මෙහි දමා ගියෙ ඈ වැදු දරු පැටියා
හැකි විට වරෙන් අහන්න අප දුක් කැටියා
නවතිමි 'හෙනම්, මම හිතවත් දික්පිටියා
ඩ්‍රැකියා පෙන්නු මග සලකුනු දිහෑ බලං
ReplyDeleteආවෙමි පෙර නොදුටු බ්ලොග් අඩවියක් හොයං
දුටුවේ රස වැහෙන එල කවි ටිකක් බොලං
ලියමුකො වටුවො තව රස පද නොඉඳ නිකං
ඉනුවා කඳුලු දැක මට නුඹෙ රස කවිය
Deleteඑබැවින් කවෙන් තුති පුද නොකරම බැරිය
වන්නේ ඉතා අගනේ මා හට සවිය
හැකි විට යළිත් ඇවිදින් යන්නකො, හරිය?
++++++++++ - Mayya --------- https://maiyyagelokaya.blogspot.com/
ReplyDelete👌👌
ReplyDelete