Monday, June 20, 2022

ඉසෙලී

 දුටු විට රන් සිනා රුවේ

හිත දොම්නස් ඉතිරි නොවේ

කිරුලු පළන් රැජින ලොවේ

මගෙ රන්කැටි නුඹයි දුවේ


දුක් කරදර හිතින් මුදා

එක්කරගෙන සතුට සදා

පැහැසර ගුණ ලොවට විදා

අරුමන්දිය වෙන්න සදා


හිත කිසිදා දුක නො ඇලී

හිඳින් දුවේ තුටින් වෙලී

දුල් රන් වන් රෝස මලී

මගෙ කිරි කැටි දූ ඉසෙලී


Saturday, February 26, 2022

හුස්ම

ඉඳහිටක මතක රළ පෙරළි පෙරළී එතී

හිතේ සුසියුම් කොණක කවනවා හංකිතී

විටෙක හිත අවුලුවන පරව ගිය මල් පෙතී

ඉඳ හිටක තැනින් තැන නටඹුන්ව හමු වෙතී


වසන්තය නො එන වග නුඹත් දන්නව ඇතී

ඉදින් ගිම් තරු කඳුලු කවි වලට මුහු වෙතී

සියොත්මග වලා පෙළ කවි පේලි මුමුණතී

කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී


දුර ඈත අතීතෙක මතක පිටු මිහිරැතී

අතර සොයනෙමි තාම හිතගාව හිතවතී

නිවි නිවී සඳ ගාව දිලෙන තරු අරුමැතී

උනත් හැම තනි රෑම ඔහේ දුක් වෙනවැතී


වෙහෙසකර කතර මැද නතර වීලා හතී

හරින හිත වෙහෙසවන මතක තව මතුවෙතී

නුඹට මට එක්වෙන්න අපිට පින් මදිවැතී

ඉතින් දැන් නැවතියන් හුස්ම! ගැහුනා ඇතී




Wednesday, February 9, 2022

දෙන්නෙ නෑ දික්කසාදේ!

හැරදමා ගොස් දික්කසාදෙ ඉල්ලපු (හිටපු) සැමියාට පිළිතුරු දුන් (හිටපු) බිරිඳක්;


තාම වෙදැඟිලි පැලැන්දත් මම
        එදා උඹ දුන් මගුල් මුද්ද
හුඟක් කල් මං විසික් කරලා
        මල්හීය මල්සරා විද්ද
ආදරෙයි මං තුරුල් කරගෙන
        කිව්ව දින කොයි තරම් ඇද්ද
තවත් එක ගෑනියෙක් විතරයි
        මමත් උඹ සෙල්ලමට පැද්ද


කුරිරු උඹ හිත තැලුව තරමට
        හිතේ කඩතොලු තියනවා
හිතේ දුක දිය වෙලා යනකල් 
        තාම ඉඳ හිට අඬනවා
රැවටුනේ මොන මගුලටද මම
        මගෙ හිතෙන් මං අහනවා
ඒත් හිත ගැන බයක් නෑ උඹ
        ආයෙ ආවත් මරණවා 


ඈත දවසක උඹට ලිව්වා
       මගේ පපුවෙන් වැටුන හුස්ම
නිකං වත් ඔය කන් දෙකට උඹෙ
       නෑහුනද මගෙ හදේ ගැස්ම
දන්නවද උඹ මගෙ හදවතේ
       උඹ හිටපු තැන තමා හිස්ම
ආයෙ නො අරින ලෙසයි දැම්මෙ
       හිතට දොරගුලු වසා වැස්ම


මාත් එක්කම උන්න වාගෙ
        ඈත් එක්කත් ඉන්න හින්දා
ඈත් කරලා තියන්නම් මං
        මතක මොකවත් නොගෙන කැන්දා
රාත්‍රිය මට දිගයි වෙනදට වඩා
        දන්නෑ මොකද මන්දා
මාත් නොමැරී පණ අදින්නේ
        අතේ ඉන්නා දරුව හින්දා


ගොලු වෙලා මගෙ හිතේ තියනව
        කියන්නට බැරි තව හුඟක් දේ
දුක නොදී රැක ගන්න බලපං
        අලුත් ගෑණිව හොර කසාදේ
බාගදා පල දෙනව ඇත්තේ
        අපිත් පූරුවෙ කරල ඇති දේ

හැබැයි, 

මගෙ ළඟ දණින් වැටුනත්
        දෙන්නෙ නෑ මං දික්කසාදේ...!



Wednesday, January 26, 2022

තරු

නිවි නිවී හිනැහුනත් තරු පොකුරු යොදුන් දුර

මලානික එළි විනා නොව අඳුර දුරින් දුර

කඳුලු බිඳු වැගුරුවත් ඇස් අගින් යොදා වෙර

හිරවෙච්ච සුසුම් තව තියනවා හිතට බර


ගඟකි හද දිය සිඳුනු මියෙන උසුලා පවස

අඳුර මත කවි ලියා හඬයි මා සිත් අහස

විනිවිදිමි සිතුම් රළ පෙරළවා දුක් රහස

සුළඟ තව හමනු මැන හිත නිවාලනු පිණිස


දවා අලු දූලි වූ හදවතේ හතර කොණ

සොයා පල නැතිය හමුවනා හිත තුටක් වෙන

සියුම් සීරුම් කැපුම් පාරවා රිදුම් දෙන

තරම් දන්නවා නම් නොවේ යලි මා දවන




Sunday, December 5, 2021

ප්‍රේමය


ඉඳහිටක මට හිනැහෙන

ආයෙ හිතුනම සැඟවෙන

අනේ මට නම් නොතේරෙන්නෙම

නුඹෙ දඩබ්බර ප්‍රේමය 


දුකක් හිතුනම පරවෙන

යළිත් මොහොතින් පිබිදෙන

මඩෙන් එසවුණු නෙලුම් කැකුලක්

වගේ නුඹගේ ප්‍රේමය 


විටක මගෙ හිත රිද්දන

ආයෙ හිත පිරිමද්දන

මහා අමුතුම හැඟීමක් මට

නුඹෙන් ඉතිරෙන ප්‍රේමය 


පුළුන් මේකුලු දවටන

හිටිහැටියෙ වැහිබර වෙන

අහස තරමට විසල් හැඟුමක්

නුඹෙන් ලබනා ප්‍රේමය

Monday, November 15, 2021

තාත්තියි පුතයි

 පුතුගෙ ලස්සන හිනා මල් පොදි හිත පුරවනා ආදරෙන්

මාත් දන්නවා පුතුත් දන්නවා ඒක ලැබුනේ අම්මිගෙන්

දුවන්නේ දඟ වැඩ කරන්නට හැංගි හැංගී හොර හොරෙන්

පුංචි සන්දියෙ මාත් එහෙමලු දැනුත් අඩුවක් නෑ ඉතින්

.

සෙල්ලමට කවුරුවත් නැතුවම ඉන්න හින්දා පාලුවෙන්

මායි අම්මියි, නංගි ඉල්ලුවෙ අහසෙ සුදු හඳ හාමිගෙන්

අම්මි යනවලු එක්ක එන්නට නංගි පැටියව ඉක්මනින්

තාත්තියි සුදු පුතයි ඉන්නේ නංගි එනකල් මග බලන්



Tuesday, September 28, 2021

තාමත්

හීත හිරිකඩ 

ගේන හුළඟත් 

වගේ උණුහුම් 

හාදු වැස්සක් 

ඉන්න හැකි මට 

උණත් වරුවක් 

ඔහේ හිතමින් 

ඉතින් උඹ ගැන 


 නටුවෙ කටු පිරි 

රෝස පඳුරෙත් 

මල් පිපෙනවා 

ඉඳහිටක තව 

එදා වාගෙ 

දිය දොවන්නට 

මෙහේ උඹ නැති 

හින්ද වෙන්නැති 

එදා තරමට 

සොඳුරු කුසුමක් 

ආයෙ නෑ 

හරියකට පිපුනේ 

නොකර බැරුවට 

කරා වාගෙ 

පාට කැත කිසි 

හැඩක් නැති මල් 

විතරමයි දැන් 

පුබුදුවන්නේ 

දඩ්ඩබ්බර ඇති 

රෝස පඳුරත් 

නැතෑ වාගෙම 

හදපු ඈයොම 


 ඉඳ හිටකවත් 

මතක් වෙනවද 

සරත් සෘතුවක 

ගෙවපු දවසක 

ඕපදූපද

මෝඩ සිනහද 

බොළඳ වචනද 

කෝපි තොලගෑ 

සොඳුරු හවසක 

එකත් අතකට 

ඒව මොකටද 

 

කියන්නට තව

දෙයක් තියනවා

ඇහුවොතින් නුඹ 

තරහ ගන්නවා 

ඒක මං හොඳටෝම දන්නවා 

ඒත් නොකියා 

ඉන්න බෑ මට 

හිර කරන් දුක 

හදවතේ තව 


"නුඹ යලිත් 

මගෙ ළගට නාවත් 

ආදරෙයි මගෙ 

පණට තාමත්"