Tuesday, June 9, 2015

'අම්මා'



අම්මා යන මැයෙන් වදන් පෙලක් දිගහරින්ට වන් නම් ඒ අපහසු වනුයේ අම්මා ගැන කීමට යමක් නැති නිසා නොව ඈ ගැන කීම එතරම් බැරැරුම් නිසාය.

මා මලක් වු කළ නටුව අම්මාය. මා මාලුවකු වූ කළ ජල කඳ අම්මාය. මා සයුර වූ කල වෙරළ අම්මාය. මා රාත්‍රිය වූ කල සඳ කිරණ අම්මාය. ඇය අම්මාය. අම්මා යන උතුම් නම ඇයට මුල් කොට උරුම කොට දුන්නා වූ ආඩම්බරය මා තුල නැත්තාම නොවෙයි. මා මමම වූ කල, ඇය අම්මාය.

විසි හතර වසක දිවියක් පුරාවට, මා දුටු උත්තමාවිය ඇයය. මගේ ලෝකයේ අග තැන් කිරුළු ලන්නී ඇයය. ඇයට රැජිනක් කියා අපහාස කරනු නොකැමැත්තෙමි, මන්දයත්, රැජිනක වුව යම් විට නොලැබිය හැකි මාතෲත්ව නම් අභිශේකයෙන් ඈ පිදුම් ලද්දා වූ හෙයින.ඈ මගේ අම්මාය.

අහර රස කොට පිසින්නීය. තවත් රස කොට අනා කවන්නීය. මා සුරතල් කරන්නීය.

ඈ සිනහව හදුනන්නීය. මා පන්තියේ පළවෙනියා වූ කල ඈ ආඩම්බර සිනහවක් මවා ගත්තා මතකය.

ඈ කඳුලු හඳුනන්නීය. මා උසස්පෙල සමත් වූ දින මා තුරුලු කොට හැඬුවා මතකය.අම්මලා එහෙමය. අම්මලා හොඳය. එහෙත්, මගේ අම්මා වඩාත් හොඳය. ඒ ඇ මගේ අම්මා නිසාය.

'අම්මාගෙ ආදරය කියවන විට ලිවීම තරම් පහසුයැ'යි අමිල තේනුවර සිය කෙටිකතා සන්ග්‍රහයක එක් කතාවක හුවා දැක්වීය. හැබෑය. ඒ එසේමය.

ඈ මට නැගනියක දායාද කලාය. ඈ මට පමණක් නොව, කුඩා නන්ගිටද අම්මාය. වෙනසක් නැතිය. අප දෙදෙනාම ඇයට එකය. අම්මලා පුතුන් හැදිමට හා රජුන් කිරීමට දුක් ගන්නා සේම දූ වරු විශයෙහි දි හැදීමට අමතරව රැකීමටත් රැජිනක කිරීමට දුක් ගන්නීය.

ඈ මා කුඩා කල, මා හට කරදාසි වෙස්තට්ටුවක් සකසා දුන්නා මතකය. ඒ පමාවට එය මා කඩා ගත්තාද මතකය. ඒ දැක මාගෙ නෙත් කඳුලින් බර උනා මතකය. ඇය මට බනීවි යැයි මම බිය වූයෙමි. එහෙත් ඇය මා ඒ කඩා ගනු දුට අනිත්‍ය පසක් කරනු වස් සිනහවක් පෑවා විනා වචනෙනුඳු කිසිත් නොකීවාය.

ඇය මගෙ සතුටය. මගෙ ලෝකය ය. ඈ නිකන්ම අම්මා කෙනෙක් නොව, මගේ අම්මාය. මා දස මසක් කුස දරා සිටි උතුම් කාන්තා රත්නය ය.

අප හුදු මානසික බැඳීමකට පමණක් සීම නොවූයො වෙමු. ඇය තුලින් මා එලියට ඇද අප පෙකනියෙන් වෙන් කිරීමට පළමුව, මම ඇගේම කොටසක් විය. අප සිරුරු දෙකක් නොව, එක පෙකනියකින් එකට බැඳී හුන් එකම සිරුරක්ව හුන් භෞතික වස්තුවක්ද වන්නේය. ඇගේ රීරි මාංසය ක්ෂීරය කොට මගෙ කුස නිවූවෝ ඈ ය. ඕ තොමෝ, අන් ජීවිත වෙනුවෙන් දිවි කැප කලා වූද, බුදු බවක් නොපතාම දරු දුක දැක පාරමිතා පුරන්නීද, වන්නීය. එහෙයින් මේ බැඳීම සංකිර්ණය. අති සංකීර්ණය.

ඇය සදා මගේ අම්මා මය. මතු භවෙත් මා පතන මගෙ මව් ඇය මය. ඉදින් දිනෙක නුඹ බුදුවන උදයෙක නුඹ පා මුල පිදෙන, පිදී නිවන් යන පළමු කුසුම මා වේවා.

2 comments: