ඇත්තටම ලියන්න පටන් ගත්තෙ, මොනා හරි ලියන්න හිතිච්ච නිසා මිසක්, ලියන්න දෙයක් තිබිච්ච නිසා නෙවෙයි. මොනාද ලියන්නෙ? ආදර කතාවක්? නැත්තම්, නිර්නාමික එකේ තවත් කොටසක්? මේධලා, තිවංකලා මොනා කරනවා ඇත්ද? වැඩක් නෑ. අනුන් ගැන ලියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. නැද්ද මම කියන්නෙ?
අලුතෙන්ම කතාවක් ලියන්න හිතුනත් මොකද්ද ලියන්නෙ? කවුරු ගැනද? කථා නායකයාට දාන නම මොකද්ද? මම කල්පනා කලා. හිත ඇතුලෙ නම් පෝලිමක් පෙල ගැහුනා. කසුන්? එපා. හැමතැනම කසුන් ල. වෙන... නදීර? නදීර කියල මට යාලුවෙක් හිටිය ඉස්කෝලෙ යන කාලෙ. එපා. ඒක කතාවකට ගැලපෙන්නෙ නෑ. රැඩිකල් නමක්? ම්ම්ම්... චන්න? චන්න කොහෙද රැඩිකල්? කන්චුක? කන්චුක? ඒක නමක් ද? රජ කතාවකට හොඳයි. එහෙම ඒව ලියවෙන්නෙ නෑ. තිවංක නිර්නාමික එකෙත් ඉන්න නිසා, එයාව ආයෙ ගන්න බෑ. ඒත්, තිවංක... මේධා... තාමත් කෙළවරක් නෑ. වෙන කතා කියන්න කලින් තිවංකලාගෙ කතාව ඉවර කරමු.
*****
තිවංක සිදුවීම් අතර අතරමංව හුන්නේය. සරළවම කියතොත්, 'ආතක් පාතක්' නැතිව සිටියේය. කෙළවරක් සොයා ගත නොහී සිතුවිලි සමුදායක අතරමන්ව හුන්නේය. පෙර දිනවල දුටු සිහින වල අරුත් සිතන්නට පුරුදු විය. එහෙත් ඉන් පලක් නොදිටීය. පාසල් යාමේ උනන්දුවක් ද නොවීය.
රටා පැදුර මත එක් ඇලයක්ට බර වී හුන් තිවංක ඉන් නො නැගිටම, දබරැගිල්ල පැදුරේ රටා දිගේ ගෙන යන්නට විය. කුරුල්ලෝ කෑ ගසනු කන වැකුණද, පැදුරෙන් නො නැගිට එහිම හුන්නේය.
"අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද?" අම්ම තිවංකගෙන් ඇසුවාය. ඈ තම සුපුරුදු චීත්තය බෙල්ලේ රුවා සිටියාය.
"අද බෑ වගේ" තිවංක හිටිවනම ඇයට කිව්වේය.
"අනේ මන්ද... උඹත් මොන මොනා කරන්න හිතන් ඉන්නවද කියල. මට තේරෙන්නෙ නෑ." ඈ එතනින් පිටව ගිය බව හඬේ අඩු වීමෙන් වටහා ගත් තිවංක, පැදුරෙන් නැගිට ඒ මතම මැටි බිත්තියට වාරු දී හිඳ ගත්තේය. තිවංක තීරණයක් ගත යුතුය. ඔහු කල්පනා කරන්නට වන්නේය. සිය ජීවිතය මෙතෙක් ගෙවූ සැටි, ඒ අතීතය දුක විඳවූ සැටි, අම්මා ඔහු උස්මහත් කළ සැටි, සිනමා පටයක මෙන් ඔහු ඉදිරියේ දෘශ්‍යමාන වන්නට විය. මේධා හමු වූ දා පටන්, ඇය හා මිතුරු වූ සැටි, ඈ පාඩම් කියා දුන් සැටි, ඇගේ බැල්ම, කැල්ම සිය සිත සොරකම් කළ සැටි, ඔහුට පසක් වන්නට විය. ඒ සොරකම නිසා තවමත් තමන් විඳවන සැටිද ඔහු සිතන්නට විය.
තිවංක ඉස්කෝලෙ නොයන බව සිතා අහවරය. දවසම පැදුර මතම වැඩි වේලාවක් ගත කළේය. මිදුලටවත් නො බැස දවසම අලසව පැදුර මත ගත කලෙන්, හෙට කෙසේ හෝ පාසලට යන බව තරයේ අදිටන් කරගත්තේ, 'බකන් නිලාගන' වඩා පාසලේ හිඳීමත් එකක් යැයි පසක් වූ නිසාය.
පසු දින පාසලට වෙනදා මෙන් තිවංක පිටත් වූයේ කිසිදු බලාපොරොත්තුවකින් තොරවය. එහෙත්, බලපොරොත්තු සියල්ල දැල්වුනේ, පන්ති කාමරයේ වෙනසක් දුටුව හෙයිනි. වෙනදා හිස්ව තිබූ මේධාගේ මේසය මත ඇගේ පොත් බෑගය තිබෙනු තිවංකගේ ඇස ගැටිනි.
පන්තිය තුල වෙන කිසිවකුද නොටියේ, තවමත් පාන්දර වැඩි නිසා විය යුතුය. තිවංක සිය පුටුව වෙත ගොස් හිඳ ගත්තේය.
"තිවංක" මේධා කොහේදෝ සිට හති ලමින් පන්තියට දුව ආවාය. තිවංකද ඇය ඉදිරියට කඩි මුඩියේ දිව ගියේය.
"මේධා? මොකද මේ වෙන්නෙ?"
"තිවංක... මට සමා වෙන්න. මම හින්ද මේ හැම දේම. "
"එහෙම නෑ. මගේත් වරද"
"ආයෙ මම ඉස්කෝලෙ එන්නෙ නෑ තිවංක. තව ටික දවසනෙ විභාගෙට. ගෙදරින් එන්න දෙන්නෙ නෑ. අද බොහොම අමාරුවෙන් කියල ආවෙ. ඔයාව බලන්නම. ඒත් බය උණා. ඊයෙත් තිවංක ආවෙ නැති විත්තියක් උදේ ආරංචි උණා."
"මම දන්නෙ නෑ... මට තේරෙන්නෙ නෑ!"
"මට තේරෙන්නෙත් නෑ" තිවංකට මේධාගේ අත ඇල්ලිමට සිත් වුවත් එකම වරද තවත් වරක් කිරීමට තරම් සිතක් නොවේ. ළමුන් එකා දෙන්නා ඈතින් පන්තියට ඇදෙන්නට විය. තිවංකත් මේධාත් තම තමන්ගේ අසුන් වල හිඳ ගත්හ. දෙදෙනා ඉදිරියේ හදවතේ කොටස් නම් කල රුව දිස් වෙයි. මේධා තිවංක දෙස බලනු, තිවංකට ඇස් කොණකින් පෙනුනද, තිවංක ඒ නුදුටු සේ බිත්තියේ වූ හදවත දෙසම බලාන හුන්නේය.
ඉදිරිය අපැහැදිලිය. තවත් පැහැදිලි කරගත යුතුය.
මතු සබැඳි
ඊළඟ කොටස පහලින්
නිර්නාමික xvii
This comment has been removed by the author.
ReplyDelete