Friday, August 16, 2019

නිර්නාමික xxiii

ජය මංගල ගාථා මැද අපි පෝරුවෙන් බැස්සෙමු.

අචින්ත නිළමේ ඇඳුමකින් සෑරසී හුන්නේය. ඔහු මට ආදරය කරනවා විය යුතුය. එහෙත්, කිසිදාක නොහඳුනන පුද්ගලයෙක්ට එක්වරම ආදරය කරන අයුරු කෙසේද යන්න සිතා ගැන්මට මම අපොහොසත් වීමි. තවමත්, තිවංක මගේ සිහින වල සැරි සරයි.

මංගල දිනය ඔහේ තෝන්තු මාන්තුවෙන් ගත වූවා මතකය. මම නොහෑඬුවෙමි. අම්මා හෝ අප්පච්චි අතැර යාම දුකක් නොවේ. ඔවුන් කෙරේ අල්පමත්‍රයක වෛරයකුදු මසිත නොවේ. නමුත්, මා මනාලියක වන මොහොතේ හිතින් මැරී උන්නෙමි. යළිත් ජීවය දිය නොහැකි තරමට මම මිය ගොස් සිටියෙමි.

*****

"අචින්තට වෙනසක් දෑනුනෙ නැද්ද?" මම මේධානිගෙන් ඇසුවෙමි.

"මොකො ඒ මනුස්සය කියල. දැනෙනව. ඒත්, හිතින් මෑරිච්ච මම මූණිච්චාවට හිනා වෙවී කොච්චරක් කියල ඉන්නද, අකලංක?" මේධානි සුසුම් ලෑවාය.

"මට තේරෙනවා" මමද නිහඬ වීමි. මේධානි හා තිවංක පාසලේ සිටම, හදවත් වල වපසරිය ඡේදනය කොට ගන්නට වෙර දැරුවත්, ඒ ආදර කතාව තවත් එක ආදර කතාවක් වී අතීතයට එක් වී හමාරය. "මට තේරෙනව. ආයෙත්, මම මේ දේවල් ගෑන මේධානිගෙන් ප්‍රශ්ණ අහන්නෙ නෑ"

"අකලංකට ඕනෙ උනේ කතාවක් ලියන්නනෙ? ඉතින්? ඉතුරු ටික නොදෑන කොහොමද කතාව ඉවර කරන්නෙ?"

"එතනින් එහා මොනවද? ඔයා කසාද බැන්ද. ළමයි ඉන්නවා. ආයෙ මගෙ කතාවෙ අන්තිමේ, මේ මගුල කඩල, තිවංකත් එක්ක ඔයාව හඳපානෙ යවන්න බෑනෙ.?" මේධානිත් මමත් හඬ නගා සිනා සුනෙමු. ඒ, මේ කතාවේ, මේධානි සිනාසුනු පළමු මොහොතය. ඈ දුක පමණක් දැරුවාය. නමුත්, තිවංක ගැන කතා කරන මොහොතක ඈ යම් සතුටක්, වේදනාව තුලින් යම් සතුටක් ලැබුවාය.

"හරි හරි. අකලංකට පුලුවං, ඇත්තට වෙච්ච නැති දේ, අඩු තරමෙ ඔයාගෙ කතාවට වත් දාන්න. නැත්තම් මේධානියි, තිවංකයි පව් නෙ?" මේධානි කිව්වාය.

"එහෙම වැඩක් නෑ. මගෙ කතාව බල්ලට ගියාදෙන්. මේධානිගෙ කතාව මෙතනින් ඉවරයිනෙ. දැන් වෙච්ච දේවල් උණා."

"හරි. එතකොට දැන් අකලංකගෙ ප්‍රශ්න ඉවරද?"

"ඔව්. එතනින් එහා වෙච්ච දේවල් මම දන්නව. අචින්ත එක්ක ඔයා ජීවත් වෙනව. සතුටින් හරි දුකින් හරි ජීවත් වෙනව. වෙන මොනවත් තියනවද?"

"ඇත්ත, වෙන මොනවද?"

"හ්ම්ම්"

"එක දෙයක්, මට අකලංක උදව්වක් කරන්න ඕනෙ?"

"මොකද්ද?"

මේධානි කළබලෙන් මා අසළටම ආවාය. ඈ බොහෝ කළබල ස්වභාවයක් පෙන්නුම් කළාය.

"අකලංක, හැබැයි, මේක අචින්ත අයිය දැන ගන්න බෑ"

"හා... මොකද්ද උදව්ව?" මම වික්ශිප්ත වූවෙමි.

"මට එක පාරක් මුණගස්සන්න තිවංකව"

මම හුනස්නෙන් නෑගිට්ටෙමි.

"පිස්සුද මේධානි. දැන් ඒ කතා ඉවරයි. තිවංකව හම්බෙලා මොනව කරන්නද"

"එයාව එක පාරක් මට හම්බෙන්න ඕනෙ"

"මොකටද"

"බලන්න... කතා කරන්න..."

"ඕනෙ නෑ. නැති ප්‍රශ්ණ ඇති කරගන්නැතුව ඉන්න."

"මට ඕනෙ ඒ මනුස්සයගෙන් සමාව ගන්න, නැත්තම්, මට මෙහෙම විඳව විඳව ඉන්න වෙයි ඉතුරු ටික කාලෙත්"

"හරි... බලමු"

මේධානි යළිත් හිඳ ගත්තාය. දෝතෙහි මුහුණ රුවා හඬන්නට පටන් ගත්තාය.

"හරි හරි. අඬන්න එපා. මම බලන්නම්කො. අනික තිවංක කෑමති වෙයිද දන්නෙ නෑ."

"හරි. අකලංක තිවංකගෙන් අහල කියන්න. තිවන්කව මම අවුරුදු ගානකින් දැක්කෙ නෑ. මොනව කරනවද කොහෙ ඉන්නවද දන්නෙ නෑ. මගෙ හිත කියන්නෙම, මම නිසයි, තිවංකට හැම දේම උණේ කියල. තිවංකගෙ අම්මත් තිවංකට නෑති උණෙ මම හින්දයි. ඒ පව තමයි මම තාම හිතින් මැරීගෙන මම ගෙවන්නෙ."

"එහෙම කියන්න එපා මේධානි. ඔයා කරපු දෙයක් නෙවෙයිනෙ. ඔයාට අම්ම තාත්ත කියන දේට එකඟ වෙන්න උණානෙ."

"ඒක තමයි. අචින්තට බෑ කියල මම අම්මලට බල කළා නම්, මෙහෙම වෙන්නෙ නෑ. මම චපලයි. මම විරුද්ධ වෙන්න පුළුවන් කම තියෙද්දි මෙහෙම කරා කියලයි මට දැනෙන්නෙ. එක්කො, මම තිවංකට මුල ඉඳන්ම බලාපොරොත්තු නොදී ඉන්න තිබ්බ. මම මනුස්සයෙක්ගෙ ජීවිතයක් විනාස කළා කියලමයි මට හිතෙන්නෙ."

"ඒත්, තිවංක දැන් හොඳ තැනක ඉන්නව නම්?"

"ඒක තමයි දෙයියනේ කියන්නෙ. මාව ඒ මනුස්සයව එක පාරක් මුණ ගස්සන්න. මට අඩු තරමෙ වැඳල සමාව ගන්නවත්!"  මේධානි තවමත් ඉකි ගසමින් කතා කරන්නීය.

තව දුරටත් ඇය හා ඒ පිළිබඳ කතා කිරීමට තරම් මානසිකත්වය මා තුලද නොවීය.

"හොඳයි. මේධානි, මම යන්නම්. මම තිවංකව මුණගස්වන්නම්. ඒත්, මම හිතනවා, මේක ඔයාට ප්‍රශ්ණයක් වෙන්නෙ නැති වෙයි කියල"

මේධානි ඔහේ ඈත අනතයක් දෙස බලාන හුන්නාය.

මමද, පිළිතුරක් නොමැතිව සිතුවිලි සහසක අතරමංව මේධානිගේ නිවසින් පිටත් වුණෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්
නිර්නාමික xxiv

No comments:

Post a Comment