Monday, August 26, 2019

නිර්නාමික xxiv

"කේසා... ලෝමා... නඛා... දන්තා... තචෝ...

කේසා... ලෝමා... නඛා... දන්තා... තචෝ..."

මේධාලංකාර පොඩි හාමුදුරුවො මුලින්ම කපල අතට දුන්න කෙස් රොද දිහා බලාන මම තචපඤ්චක කර්මස්ථානය වැඩුවා. කාලයක් තිස්සෙ භාවනා කරල සමාධිගත වෙලා තිබ්බ හිත, ඒ කර්මස්ථානයෙන් තව තවත් ගැඹුරු සමාධියකට ඉක්මනටම සමාධිගත උණා.

ඒත් ඒ සමාධිය වැඩි වෙලාවක් තියාගන්න කලින්, මහා අමුතු අඳුරක් හිත ඇතුලට කඩා වැදුනා. හරියට, මගේ අත පය හතර ගැටගහල, ලෝ දිය හැලියක් ඇඟට වක් කරනවා වගේ. ඒ අඳුර මගේ වසඟයේ තිබුණ දෙයක් නෙවෙයි. මෙච්චර කාලෙකට අමතකවෙලා, නෑ, අමතකර කරල තිබ්බ පරණ මතක ගොඩාක්, එක පාරම, ඒ සමාධිය බිඳගෙන හිතට මතු වෙන්න පටන් ගත්තා. හරියට, අවුරුදු ගාණක් හිම මිදිල හීතල වෙලා තිබ්බ ගිණිකන්දක් මුදුනෙන්, හිම දියකරගන ලාවා ගලනව වගේ. ඒ සිතුවිලි වේගෙ විදර්ශනා කරන්න තරම් දියුණු මනසක් මට නොතිබ්බ නිසාදෝ, "කේසා ලෝමා නඛා දන්තා තචෝ" කියමින් මුමුණපු තොල් අස්සට හොරෙන් ඉකියක් හිර උණේ. හිසකෙස් බූ ගෑවෙන සීතල වතුර නළලෙන් කම්මුල් වලට වැටිල පහළට ගලන් යන සීතල අස්සෙන්ම, රත් වෙච්ච කඳුලු ගුලිත් ගලාගන යනව දැනුණා. ඒ කඳුලු සබන් පෙන එක්ක මුහුවෙලා අමුතු නීරසක් විදිහට තොල් අතර හිදැසකින් දිවට දැනුණා. වෙච්ච දේ හිතාගන්න බැරුව මම තුශ්ණිම්භූත උණා. හරියට මහා සුනාමියකට අහු උණා වගේ. පැවිදි දම් පුරන්න කලින් හිතේ තිබ්බ සමාධිය කොහෙන් කොහෙට උණාද දන්නෙ නෑ.

ගමේ හිතවත් බොහොමයක් පිංකම බලන්න ඇවිත් හිටියා. ඒ කව්ද කියල අඳුන ගන්න තරම් සිහියක් තිබ්බෙ නැති තරම්. ඒ මොකක් නිසාද කියල මම දන්නෙ නෑ. කර්මස්ථානයක් ගැන වගක්වත් නොතිබ්බ හිත, හරියට මම කලින් කියෙව්ව නවකතාවක් ආයෙත් මුල ඉඳන් මටම ඇහෙන්න කියවනව වගේ වල දාපු මතක එකින් එක ගොඩ ගන්න පටන් ගත්තා. ඒ වලදාපු මතක වලින් හමපු දරාගන්න බැරි කුණු ගඳ නිසා, මම තදින් ඇස් වහගත්තා.

*****

"මම මෙ වැරදි වැඩක්ද මන්ද කරන්නෙ, මේධානි" දිගු නිහඬතාවය බිඳගෙන මම කතා කළෙමි. මේධානි කිසි පිළිතුරක් නොදෙන්නීය.

"අපි ආපහු යමු." මම වාහනය තරමක් වේගයක අඩු කරමින් පැවසුවෙමි.

"අකලංක, විහිලු කරන්න එපා. යමු. මම කිව්වනෙ. මේක මම කරන්නම ඕන දෙයක්"

මම කිසිත් නොකිව්වෙමි. තව අඩ හෝරාවකින් අපට ගමනාන්තයට ළඟා විය හැක. එතෙක් මුණිවත රැකීමට මම ඉටාගත්තෙමි. මේධානිව තිවංකට මුණගෑස්සවීමට යන මේ ගමන නොකල තිබිය යුතු යමක් බව තව තවත් මට පසක් වෙයි.

ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක. ඉදින් ඉතුරු දුරද එසේම ගමන් කළෙමු.

******

ගමන ඇරඹුන මොහොතේ සිට අකලංක නිහඬව වාහනය පැදවීමෙ නිරත වූවේය. එය හිතට මහස් අස්වැසිල්ලකි. අකලංකගේ විප්‍රකාර ප්‍රශ්න විටෙක හිසට වදයකි. මම මගේ මතක සයුරේ ගිලුනෙමි. දරාගත නොහී දුක් වේදනා සතුටු එක මොහොතේ ඔහේ වින්දෙමි.

"මම මේ වැරදි වැඩක්ද මන්ද කරන්නෙ, මේධානි" අකලංක එක වරම පැවසුවේය. ගමනෙන් තුන් කාලක් නිමා කොට, එහි හරි වැරදි සෙවීමට වඩා, ඉතුරු ටික ඉක්මන් කර යාම යෙහෙකියි පැවසීමට හිත් වුවත්, ඒ සිතුවිලි වචන කිරීමට වෙහෙසෙනවාට වඩා ගිලී උන් සිතුවිලි සයුරේම ගිලී හිඳීම වඩා ආනන්දජනක බවක් දුවුවෙමි.

මගෙන් පිළිතුරක් නොවූ නිසාවෙන්දෝ, "අපි ආපහු යමු" කියා වාහනය නැවැත්වීමට අකලංක ගත් උත්සහය ඔහේ කටට ආව වචන කිහිපයක් දිග හෑරීමෙන් පසු වැළැක්විණි.

අපි ඉතුරු දුරද ගමන් කළෙමු. මම යන ගමනේ අරමුණ මම නොදනිමි.

අකලංක එක අතකින් හරි. මේ යන්නෙ වැරදි ගමනක්. ඒත්!

මම නිහඬව සිටියෙමි. වසර ගණනකින් නුදුටු තිවංක බලා ගැනීම පමණක් අරමුණු කර ගත්තෙමි. ඔහුට කතා වත් නොකොට, දුර සිට බලා සැනසී ආපසු එන්නෙමියි පුහු අධිෂ්ඨානයක් හිත තුල මවා ගත්තෙමි.

මම දෙනෙත් පියා ගතිමි.

"මේධානි, අපි ආව. බහිමු!" අකලංකගේ හඬින් මම තිගැස්සී ඇහැරුනෙමි.

*****
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය... "

හිතේ තිබ්බ බර කොටසක් අඩු උණා වගේ දැනුනා. ඒත්, තවත් වෙනදට වඩා අමුතු සිතුවිලි හිත වටේ කැරකෙන එකේ නම් කිසිම අඩුවක් නෑ. පන්තියෙ තිබ්බ හදවත, ඒකෙ කොටස්, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව අතරටෙ තිබ්බ ත්‍රි තුණ්ඩ කපාටය, මේධානි කණේ කොටස් ගැන කියා දුන්න විදිහ, සතුන්ගෙ විද්‍යාත්මක නම් මතක තියාගන්නෙ කොහොමද කියල විහිලු කතා කිව්ව විදිහ, මම මේධානිට ලිව්ව කවි, කතන්දර, අමීෂා!, මගෙ කෙටි කතාව... මගේ ලෝකය, මගෙ අම්මා... දුක් වින්ද හැටි, අම්ම කවන බත් කටක තිබුණ රස, අම්ම මාව දාල ගිය දවස, අම්ම කර වටේ දාගන හිටි චීත්ත රෙද්ද? කෝ ඒක? ඒක මගෙ ඇඳුම් එක්ක ඇති. මට ඒක බලන්න ඕනෙ උණා. මට අම්මගෙ සුවඳ ඕනෙ උණා.

පැවිදිදම් ඉල්ලල ගථාව කියනවත් එක්කම මට නවත්තගන්න බැරි වේගෙන් ඇඬෙන්න උණා. මම මගෙ ඉස්සරහ තිබ්බ බුදු පිළිමෙ දිහා බැලුවෙ හරියට මාව බේරගන්න, කියල ඉල්ලන්න වගේ. මම මගෙ ඉස්සරහ හිටිය මේධාලංකාර හාමුදුරුවො දිහා බැලුවා. උන්නාන්සෙ කිසිම වෙනසක් නැතුව මේ කටයුතු වලට හිත යොමාන ඉන්නව කියල තේරුණා. උන්නාන්සෙ මගෙ හිත කියවනවද මන්ද! මට ආයෙ මොහොතකින් හැමදේම එපා වෙන්න ගත්තා. හැමදේම. කවදාවත් කැමැත්ත ඉෂ්ඨනොකරන මේ සංකාර වෙනුවෙන් අඬන එකත් මහ අපරාධයක් නේධ කියල මගෙ හිතම, මට කියන්න පටන් ගත්තා. ඒත්, තාම හිත තිබුණ තැනටම ඇවිත් නෑ.

*****

"මේ කොහෙද?" මේධානි වට පිට බලමින් ඇසුවාය.

"තිවංක ඉන්න තැන" මම කීවෙමි.  මේධානි මා දෙස බැලුවාය. මම කිසිත් නොකියා වාහනයෙන් බැස ගත්තෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xxv

No comments:

Post a Comment