Monday, October 31, 2022

නාය ගිය හිත


හිතුවෙවත් නැති මොහොතක

අනෝරා වැහි ආවම

හිසට සෙවනක් නැතිය දුන්නේ

ළඟින් හුන් කිසිවෙක් හෙම


හිසට වන් බර දිය කඳ

දරා ගන්නට බැරුවම

කඳු හිසයි බලු බැනුම් ඇහුවේ

නාය ගියහම හදවත



Sunday, October 9, 2022

විස!

රළු පරලු අකුලු මැද ජීවිතේ රසක්

වින්ද දින මෙතෙක් නෑ විඳෙව්වා මිසක්

පරක්කුයි බොහෝ දේ වෙද්දි මට පසක්

ආදරේ කියන්නෙම හලාහල විසක්!!!






Friday, September 30, 2022

ඒක වෙන්නැති!

නිමිත්ත: *රස්තියාදුකාරියෙක්ට රස්තියාදුකාරයෙක්ගෙන්!


එදා දවසම වෙනද වාගෙ

නොදැනුනේ මට මොකද මන්දා

හිටියෙ දවසම ඇඟිලි ගැන ගැන

උඹ ගැනම හිත හීන රන්දා

අයිති නැතුවත් ඇස් දිහා මට 

බලන් ඉන්නට ඇහැකි හින්දා

එන්න කිව්වත් ඇස් දිහා මට

කෙලින් නොබැලුනෙ ඇයිද මන්දා



හිතෙන් කොටහක් වෙන් කරන්

මං උඹට ආදරෙ කළත් බං

උඹට සෙනෙහස දෙන්න බැරි බව

හොඳ හැටිම දන්නවා මං

ගතින් ඇස් මායිමෙන් උන්නත්

පේන නොපෙනන දුරින් දැං

උඹත් දන්නවා මාත් දන්නවා

අපිට අපි අයිති නෑ බං



අත අරින්නට බැරිව ඇබ්බැහි

වෙච්ච රස මධුවිතකි නුඹ මට

එකත් අතකට මොකට ආදර

කතා නුඹ මට අයිති නැතිකොට

දන්නවා නුඹ තුරුල් වෙන්නේ

නෙවෙයි කියලා ආදරේකට

කමක් නෑ මම බලන් ඉන්නම්

නුඹත් ඈතක ඇදී යනකොට



රෑම හඳ එළි කිනිති අස්සෙන්

පිණිත් හෙමිහිට බිමට එන්නැති

යාමයක් ගැන මුකුත් නොදැනම

මාත් උඹගේ තුරුලෙ ඉන්නැති

පෙමක් පෙනුනත් නෙතේ ලියවුණු

උඹෙන් මට කිසිදාක දෙන්නැති

මමත් උඹටම පෙම් කරන්නේ

මගේ කරුමෙත් ඒක වෙන්නැති

Tuesday, August 2, 2022

ඒ ආදරේ

අත් වලට අත ඇරුණු

පෙම් කතා නමක් නැති


හිත් අතර තැග් ගැහුණු

නෂ්ඨාවශේෂ ඇති


කඳුලු මුහුවී තෙමුණු

විට තවත් සුවඳ දෙති


ඒ පෙමක් ඇති නොවුණු

හිතක් මේ ලොවේ නැති



Monday, June 20, 2022

ඉසෙලී

 දුටු විට රන් සිනා රුවේ

හිත දොම්නස් ඉතිරි නොවේ

කිරුලු පළන් රැජින ලොවේ

මගෙ රන්කැටි නුඹයි දුවේ


දුක් කරදර හිතින් මුදා

එක්කරගෙන සතුට සදා

පැහැසර ගුණ ලොවට විදා

අරුමන්දිය වෙන්න සදා


හිත කිසිදා දුක නො ඇලී

හිඳින් දුවේ තුටින් වෙලී

දුල් රන් වන් රෝස මලී

මගෙ කිරි කැටි දූ ඉසෙලී


Saturday, February 26, 2022

හුස්ම

ඉඳහිටක මතක රළ පෙරළි පෙරළී එතී

හිතේ සුසියුම් කොණක කවනවා හංකිතී

විටෙක හිත අවුලුවන පරව ගිය මල් පෙතී

ඉඳ හිටක තැනින් තැන නටඹුන්ව හමු වෙතී


වසන්තය නො එන වග නුඹත් දන්නව ඇතී

ඉදින් ගිම් තරු කඳුලු කවි වලට මුහු වෙතී

සියොත්මග වලා පෙළ කවි පේලි මුමුණතී

කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී


දුර ඈත අතීතෙක මතක පිටු මිහිරැතී

අතර සොයනෙමි තාම හිතගාව හිතවතී

නිවි නිවී සඳ ගාව දිලෙන තරු අරුමැතී

උනත් හැම තනි රෑම ඔහේ දුක් වෙනවැතී


වෙහෙසකර කතර මැද නතර වීලා හතී

හරින හිත වෙහෙසවන මතක තව මතුවෙතී

නුඹට මට එක්වෙන්න අපිට පින් මදිවැතී

ඉතින් දැන් නැවතියන් හුස්ම! ගැහුනා ඇතී




Wednesday, February 9, 2022

දෙන්නෙ නෑ දික්කසාදේ!

හැරදමා ගොස් දික්කසාදෙ ඉල්ලපු (හිටපු) සැමියාට පිළිතුරු දුන් (හිටපු) බිරිඳක්;


තාම වෙදැඟිලි පැලැන්දත් මම
        එදා උඹ දුන් මගුල් මුද්ද
හුඟක් කල් මං විසික් කරලා
        මල්හීය මල්සරා විද්ද
ආදරෙයි මං තුරුල් කරගෙන
        කිව්ව දින කොයි තරම් ඇද්ද
තවත් එක ගෑනියෙක් විතරයි
        මමත් උඹ සෙල්ලමට පැද්ද


කුරිරු උඹ හිත තැලුව තරමට
        හිතේ කඩතොලු තියනවා
හිතේ දුක දිය වෙලා යනකල් 
        තාම ඉඳ හිට අඬනවා
රැවටුනේ මොන මගුලටද මම
        මගෙ හිතෙන් මං අහනවා
ඒත් හිත ගැන බයක් නෑ උඹ
        ආයෙ ආවත් මරණවා 


ඈත දවසක උඹට ලිව්වා
       මගේ පපුවෙන් වැටුන හුස්ම
නිකං වත් ඔය කන් දෙකට උඹෙ
       නෑහුනද මගෙ හදේ ගැස්ම
දන්නවද උඹ මගෙ හදවතේ
       උඹ හිටපු තැන තමා හිස්ම
ආයෙ නො අරින ලෙසයි දැම්මෙ
       හිතට දොරගුලු වසා වැස්ම


මාත් එක්කම උන්න වාගෙ
        ඈත් එක්කත් ඉන්න හින්දා
ඈත් කරලා තියන්නම් මං
        මතක මොකවත් නොගෙන කැන්දා
රාත්‍රිය මට දිගයි වෙනදට වඩා
        දන්නෑ මොකද මන්දා
මාත් නොමැරී පණ අදින්නේ
        අතේ ඉන්නා දරුව හින්දා


ගොලු වෙලා මගෙ හිතේ තියනව
        කියන්නට බැරි තව හුඟක් දේ
දුක නොදී රැක ගන්න බලපං
        අලුත් ගෑණිව හොර කසාදේ
බාගදා පල දෙනව ඇත්තේ
        අපිත් පූරුවෙ කරල ඇති දේ

හැබැයි, 

මගෙ ළඟ දණින් වැටුනත්
        දෙන්නෙ නෑ මං දික්කසාදේ...!