Tuesday, September 12, 2017

නිර්නාමික xiv

Image result for dark

මම සිහින දකින්නට හුරු වීමි. තිවංක දුටු මනස්ගාත මගේ හීන වලටත් වඩී නම්... මම ඊට පෙරුම් පිරුවෙමි. සාරසංඛ්‍යය කල්ප ලක්ශ කෝටියක් පෙරුම් පුරමින් තිවංකගෙ වෙනුවෙන් මග බලා හිඳ, ඒ පාරමී දම් සැබෑ වී ගව්වක්වත් යාමට මත්තෙන් ඒ බලාපොරොත්තු ලත් ලත් තන්හිම ලොප් වී යාම දරාගත නොහී වේදනාවක් වූ නිසාවෙන්ම, තිවංකගේ මෙන් මගේ සිහින වලට කිසිවකු හෝ වඩිත් නම් යැයි මම තව තවත් පෙරුම් පිරුවෙමි.

"උඹ ඕකෙම ඉන්නද කල්පනාව?" අම්ම දොරකඩ කෑ ගසන්නීය.

මම කිසිත් නොකීවෙමි. කාමරයේ දොර ඇතුලතින්ම අගුලු ලා ගත්තේ පෙරේදා අප්පච්චි කනට ගැසූ වෙලේ පටන්ය. බඩ ඇතුලෙන් ගුරු ගුරු සද්ද ඇසෙන්නේ බඩගින්නටය. එහෙත් බඩගිනි නැතිය. මගේ ප්‍රේම වෘත්තාන්තය මෙතැන් පටන් හුදු බොළඳ කතාවක් නොවේදැයි දැන් දැන් මට පසක් වෙයි. තිවංකට මෙතරම් දුකක් හෝ වේදනාවක් නැති බව මම සක් සුදක් සේ දනිමි.

"ගෙදෙට්ට වෙලා කවියක් ලිය ලිය ඇති..." මම සිතුවෙමි. බාගදා, තිවංක මටත් වඩා වේදනාවෙන් පසුවනවාද විය හැක. අම්මාට උත්තර දිය යුතු නැත. මම කොට්ටයට මුහුණ ඔබා ගතිමි.

"දැන් දවස් දෙකක් කාමරේ... කාලත් නෑ. මහත්තය කියන්නකො ටිකක්... හිතුවක්කාර කමෙත් සීමාවක් තියෙන්න ඕන" අම්මා අප්පච්චිට පවසනු යාන්තමින් ඇසිනි.

"කෙල්ලව හුරතල් කලා නම් ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ..."

"මේ ළමය හාමත් වෙලා ඇත්තෙ. බයත් හිතෙනව. මොනවත් කර ගත්තොත් හෙම...!"

"මොනා කර ගන්නද..."

"මේ ටිකේ අමුතුයි. මට කලිනුත් ඕක ටික ටික තේරුණා. කාමරේ අස්සෙම රිංගාන ඉද්දි... මොකක් හරි හුටපටයක් ඇති කියල"

"මම දන්නෙ නෑ..."

"ළමයෝ... මේ දොර අරිනවද... නැත්තම් කඩල දාන්න..." ආයෙත් අම්මා දොරට තඩි බෑවාය. මම කිසිත් නොකීවෙමි.

"මේධා... අරිනව කිව්වම දොර...! මාව නරක මිනිහ කරන්න එපා...!" අප්පච්චි අම්මා හා එකතු වී දොර කැඩීමට සැරසිනි. මම ඇඳ මතට වී උන්නෙමි.

තිවංකට මා එතරම් ආදරේ කරාවි යැයි මම නො සිතුවෙමි.

එහෙත් මා සිත, මා සිතුවාටත් වඩා තිවංකට ආදරය කරන්නේය. කාලය ගත ව යයි. කල්ප කාලාන්තරයක් මෙන් දැනුනද ගතවන්නේ තත්පර, මිනිත්තු ඉතා සෙමින්ය.

දහ්: දිහ්:

දොරට කිසිවකු වැරෙන් පහර දුන්නේය. ඒ අප්පච්චී විය යුතුය. මම ගැස්සී ඇඳෙන් නැගිට ගතිමි. පොරෝ පහර කිහිපයකින් දොර පසාරු කරගෙන අම්මාත් අප්පච්චිත් මතු විය. අප්පච්චී පොරවද ගෙන මා වෙතට කඩා පැන්නා මතකය. අම්මා මා බේරා ගැනීමට මා වෙතට පැන්නා ද මතකය. ඉන් එහා කිසිත් මට මතක නැත.

ඉස්පිරිතාල වහලේ උළු කැට අතර මකුළු විමානයකි. මම විමතියට පත් වීමි. ඒ ඉස්පිරිතාලය යැයි මා දැන ගත්තේ නහය පසාරු කර ගෙන ආ ඉස්පිරිතාල ගඳ දැනීමත් සමගය. පුදුමයට කරුණක්ද නොවේ. මා තවමත් ජීවතුන් අතර සිටිමි. ඉන්නේ කොහේදැයි දැන ගැන්මට වගක් සැබැවින්ම මට නොතිබුණි. යාන්තම් ඔලුව ඔසවා බැලු කල අම්මා ඇඳ අසල හිඳ සිටිනු දුටුවෙමි. ඈ ඇඳ විට්ටමට හේත්තු වී දෙනෙත් පියාන උන්නාය. ඈ දුකින් පසුවන බව පෙනුණි.

තිවංක කොහේ කුමක් කරන්නේ දැයි කිසිදු හැඟීමක් මට නොදැනිණි. අප්පච්චී කම්මුලට ගැසූ සැටි වරින් වර සිහියට නැගේ. ඒ සිතුවිල්ලත් සමගම කම්මුල ඇදුම් කන්නාක් මෙන් හැඟේ.

"තාම ඉගෙනගෙන ඉවර වෙන්නත් කළිං තෝ මගුල් නටන්න තියා ගත්තද? දන්නෑ මං කවුද කියල...!"

චටාස්!

අප්පච්චි වෙත වෛරයක් නූපදී. නමුත් මා කෙරෙහිම වෛරයක් සිතේ නැතුවාම නොවේ. සියල්ල හොඳටය. කාලය ඉඩ දී බලා සිටිමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xv

Friday, September 1, 2017

නිර්නාමික xiii

මම මේධාට මේ තරම් ආදරේ ඇති කියල කවදාවත් හිතුවෙ නෑ. මේධා මට කැමති වෙයි කියලවත් කවදාවත් හිතුවෙ නෑ. ඒත් අපි දෙන්නා හිතුවට වඩා ගොඩාක් ප්‍රශ්ණ අපි ඉස්සරහට පාත් උණා.

ඉස්කෝලෙ පන්තිය ඇතුලෙ කණින් කොනින් රාවයක් යන්න පටන් ගත්තා. අපි දෙන්න ගැන. ඉස්සර ඉඳන්ම විහිලුවක් විදිහට ඒක තිබ්බත්, ඒ විහිලුව තව දුරටත් අපි දෙන්නට විහිලුවන් උණේ නැත්තේ අපේ හෘද සාක්ෂිය දැනන් උන්න නිසා, ඒක විහිලුවක් නොවෙන බව. හැමදාම හවස බිත්තියේ එල්ලල තිබ්බ හදවතේ කොටස් ඉගැන්නුව මේධාට මම මගේ හදවත ගැන කියල දුන්නා. පළවෙනියටම මේධාගෙ අතින් ඇල්ලුව දවසේ අත ගසල දැම්ම මේධා ම, එයාගෙ අතින් මගේ අත අල්ලගන මම කියපු කතා අහගන හිටියා.

ඒ කාලෙ මගේ හීන වලට සිද්ධාර්ථවත් යශෝධරවත් වැඩියෙ නෑ. ඒ වෙනුවට, මගේ ෆැන්ටසියෙ තිබ්බ මනස්ගාත හීන වලින් පෙනුණා. අනිත් ජෝඩු වලට වගේ ඈත පේන කන්දක පැල්පතක් හදාගන ලුණුයි බතුයි කනවට වඩා තාත්වික හීන මගෙත් මේධාගෙත් ෆැන්ටසියෙ තිබුණා. ඒ ෆැන්ටසියෙ හිරවෙලා පන්තියෙ කාමරේ දොර මුල්ලෙ ඉද්දියි දවසක් ගණිතය සර් ට මාට්ටු උණේ. සර් අපි දෙන්නගෙ ආදර කතාවට හොඳ පෙරවදනක් ලියල, ඉස්කෝලෙ පුරාම පැතිරෙව්වා. ඒ විතරක් නෙවෙයි, මේධගෙයි මගෙයි ගෙවල් වලටත් පණිවිඩේ දෙන්න සර්ට පුලුවන් උණා. අම්මලට කියාගන්න බැරුව හූල්ල හූල්ල හිටිය අපි දෙන්නට සර් කරපු උදව්ව ගැන ලොකු කෘතඥතාවයක් හිතේ තිබුනේ.

ප්‍රින්සිපල් සර් ඉස්සරහ අපේ අම්ම කඳුලු පෙර පෙර අඬාපු හැටි මට හොඳට මතකයි. මේධා එදා එතන හිටියේ නෑ. මේධාගෙ තාත්තා මගෙවත් මගෙ අම්මගෙවත් මූණවත් නොබලා, ප්‍රින්සිපල් සර් එක්ක කතා කරල එළියට ආවා. ඇවිත් මගෙ හිදා මහා නුරුස්සන බැල්මක් දාල යන්න ගියා. ප්‍රින්සිපල් සර් මට ගැහුවෙ නෑ. මම දිහා බලන් හිටියා. අම්ම හොඳටම අඬනවා.

"තිවංකගෙ අම්ම අඬල තේරුමක් නෑ. මේ පොඩි ළමයි නෙවෙයි නේ. නව යොවුන් වියේදි ඔහොම දේවල් දැනෙනවා. හිතෙනවා. අපි දෙමව්පියො ගුරුවරු විදිහට ඒවට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ගහල බැනල විසඳන්න බෑ"

අම්ම කිසිම දෙයක් කිව්වෙ නෑ. අඬන එක නැවැත්තුවෙත් නෑ.

දැන් මට හිතෙනව මම කොහොමද ඒ වෙලෙ හිටියෙ කියල. මට මොනාද දැනුනෙ කියල ඇත්තටම මට මතක නෑ. ඒ වෙලෙ මට දැනුනෙ මම මගේ විඥ්ඥාණය දිහා තුන්වෙනි පාර්ශවයක් විදිහට බලාන හිටිය වගේ. මම මම දිහා බලාන හිටියා. මගේ හිතේ සිතුවිලි දිහා බලාන හිටියා. සිතුවිලි එකක් මත එකක් පෙරළෙන හැටි. වේදනාව එන හැටි. වේදනාව යන හැටි. මටත් නොදැනිම මගේ හිත විපස්සනාවකට දැහැන් ගත වෙලා උන්නේ. අනාත්මය කියනෙ මොකද්ද අනිත්‍යය කියන්නෙ මොකද්ද කියල මට දැනෙනව වගේ. ආයෙ මට මතක් උණා මම කියල කෙනෙක් නැති විත්තිය. ඒක වචන වලින් විස්තර කරන්න බැරි දැහැනක්.

ඒ දැහැනට සමනොවැදෙන්න, ඒදා හවස මම කුඹුක් වැවේ තාවුල්ලෙන් පැනල දිවි නහගන්නත් තිබ්බා. අනාත්මීය ආදරය කියන සිතුවිල්ල ටික ටික අයේ හිත ඇතුලෙ දලුලන්න ගත්තා.

එදා හිතුවේ, ආයේ කවදාවත් මේධා මට දකින්න නොලැබෙයි කියල. මේධා ආයේ කවදාවත් ඉස්කෝලෙ ආවෙ නෑ. මට ඒ ගැන දුකක් දැනුනෙ නෑ. ඒ ඇයි දන්නෙ නෑ. මේධා හිතන්නෙ මොනාද, එයාට දැනෙන්නෙ කොහොමද කියන එක ගැන, මම වෙන වෙලාවක නම් හිතල දුක් වෙන්න තිබ්බා. මම කවියක් ලිව්වා. ඒ කවිය ලිව්වෙ දුකටද කියල දන්නේ නෑ. හිතට ආව සිතුවිලි ලිව්වා. ඒක කවියක් වුණා.

කවක් ලියන්නම් ඔබේ නමින්
ඔබෙ සිනා නැතත් අද මගෙ ළඟින්
පවන් සලන්නම් සුසුම් ලමින්
යලි දකින තුරා මතු දිනක ඉතින්

ගන අඳුරු ඉරා සඳ එබෙන යුරා
නුඹ ලොවට හොරා පෑ ආල නුරා
යළි දකිමි ඉතින් කවදා
නුඹේ ආල හැඟුම් නොමඳා

තරු කැකුලු දරා හිඳි අහස නිරාමිස
සුවය පුරා වැහි කඳුලු පෙරා
නුඹ එයිද දිනෙක මතු දා
මම හඬමි ඉතින් සැමදා

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xiv

Tuesday, July 4, 2017

මාගන්ධියක්, තවත් එක...


මෙත් පිරි දෙනෙත් සිත් ඇද ගත්තා සේමා
සිත් මල පුරා මෙත් නොව පෙම් මල් බෝමා
නෙත් බිම යොමා නොබලා යන්නේ කෝමා
රත් මල වඩින මග හිමි මට ඇති සීමා

ළඳ හිත මගේ පවු කර ඇත්තේය පෙර
හිමි අත ගන්න සිහිනය මට බොහෝ දුර
මුණි වත රකිනු කිම දෙව් රජ ලොවේ සුර
හිමි මත වැටී මිය යාමත් සැපකි තිර

හිත දුක දුරින් දුරු කල සුර නිරින්දේ
වැනි හිමි සඳුනි මා හට සක් රජින්දේ
ගනු හිමි කැමති විට මේ හිත සුරින්දේ
නිවනට නැතිද කල් වැඩි තව නිරින්දේ

හිමි හිත කෙලෙස් දුක කෙරෙහින් දුරු වීද
නුඹෙ අත ගන්න මට මතු භවෙකත් බෑද
කහවත නිසා ඉවසමි දහවල් රෑද
හදවත මගෙ නොගෙන නිවනට යනවාද

Wednesday, June 28, 2017

නිර්නාමික xii

යළිත් මේධා මා හා කතාව කීව නැවැත්වූවාය. ඇයට කිසිත් කීමට නොහැකි බව කී කළ, මම ද ඊට බල නොකළෙමි.

තිවංක මා සමග කී ලෙස මේධා හා තිවංක පෙම් පුවත රෝස මල් යහනාවක් නොවූ අතර, බොහෝ වේදනා දුක් කම් කටොලු මතින් ඇදී ගිය කි. මේධාට කතාව කීමට සිත් නොවීම සාධාරණය. තිවංක මා හමුවන හැම විටම හිනාවක් මවා පා සිය කතාව කියන්නේය. ඒ සිනහව, හුදෙක් සීනි තැවරූ තිත්ත කසාය ගුලියක් වන් බව මට පසක් වී තිබිණි.

"අකලංක, මා එක්ක තරහ වෙන්න එපා. මම කතාව කියන්නම්. ඒත්... සමහර දේවල් මතක් වෙද්දි... දුකයි...!"

"කමක් නෑ මේධා. ඔයා වෙලාව ගන්න. හදිසියක් නෑ. මේධා මුකුත් හිතන්නැත්තම් මම මේ පෙට්ටියෙ තියෙන ඒවා ටිකක් බලන්නද?"

මේධා ටිකක් වෙලා කල්පනා කළාය. "හා... කමක් නෑ." මේධා ඇගේ මතක මංජුසාව මා අතට දුන්නාය. ඒ සැබැවින්ම සුන්දරය.

එහි සිප්පි කටු, රවුමට මැදුනු ගල් කැබලි, නවපු කොළ කැබලි තොගයක් විය.

"මේ ලියුම් තිවංක දුන්නු ඒවද? කවිද?"

"තිවංක මට දුන්නෙ එකම එක කවියයි. ඒ කවි කොලෙත් පස්සෙ අපි දෙන්නෙ යාලු වෙල උන්නු කාළෙ මගෙන් ඉල්ල ගත්ත."

"එතකොට මේව?"

"ඔය මම ලියපුව... තිවංක ඔය එකක්වත් දැකලවත් නෑ. මම කවි ලියන බවක් එයා දන්නෙත් නෑ."

"මං මේකක් කියෙව්වට කමක් නැද්ද?" මම ඇසුවෙමි.

ඈ හිස සලා අනුමත කළාය.

"නුඹ ගියාම දුර ඈතක
ළඟ නැති පාලුව මකන්න
අපි දෙන්නා කියු කතා ලියා තියන්නම්
නුඹේ අතට කඩදහියක ගුලි කර දෙන්නම්

නුඹේ හිතට දුක දැනුනම
මම නැතුවට ළඟ පාතක
තුරුලු වෙන්න කොට්ටෙක මම මලක් මහන්නම්
මල් පොකුරේ මගේ සුවඳ රඳවල දෙන්නම්

නොදැක ඉන්න බැරි හින්දම
නුඹ හොයාන එනකොට මම
කෙහෙල් කොලේ බත් ගෙඩියක් ඔතාන එන්නම්
මගේ ළඟම වාඩි කරන් ඒක කවන්නම්

දවස් මාස සති ගෙවුනම
මාව හිතෙන් මැකුනු දාක
නුඹට හොරා නුඹේ ලොවෙන් මම ඉගිලෙන්නම්
මෙතෙක් ආව වන්දනාව තනියම යන්නම්

- මේධා"

මටත් නොදැනිම මගෙ දෙනෙත් කඳුලින් බර විය.

දරුවා හඬන්නට වූයෙන් මේධා දරුවා නළවමින් කාමරයට ගියාය.

"මේධා මම යන්නම්... වෙන වෙලාවක එන්නම්..." මම ඇයට ඇසෙන සේ කීවෙමි.

"අනේ අකලංක තරහ වෙන්න එපා. වෙන වෙලාවක ආයෙ එන්න..." මේධා ගෙතුල සිට කීවාය.

මම නැගිට මේධාගේ නිවසින් පිට වූයෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xiii

Wednesday, June 21, 2017

නිර්නාමික xi

"මේධා..." මම ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම මේධාට යන්න නොදී නවත්ත ගත්තා. "ඔයා යන්නද හද්න්නෙ?"

"ඔව් තිවංක. කමක් නෑ. කියන්න"

"නෑ... මට ටිකක් කතා කරන්න ඕනෙ"

මේධා කෑම වෙලාවට කලින් බෙල් එක ගහනකොට මගෙ ගාව ඉඳන් කිව්ව එක තාම මගෙ කන් ඇතුලෙ ඇහෙනව වගේ. මම හිතන විදිහ හරි ඇති කියල කියන්නෙ මම හිතන විදිහ දැනගනද? මට තේරෙන්නෙ නෑ.

"කියන්න... පන්තියෙ ඉඳන් කතා කරමුද?"

"හා.."  මම මගෙ පුටුවෙන් ඉඳ ගත්තා. මේධත් මගෙ ඉස්සරහින් ඉඳ ගත්තා. "මේධා!"

"ඔව් තිවංක?"

"අර හදවත මතකද?" මම බිත්තියෙ එල්ලලා තිබ්බ හදවත පෙන්නල ඇහුවා.

"ඔව්..."

"මට හැමදාම හදවතේ කොටස් කියල දුන්න ඔයාගෙ හදවත, කොයි තරම් ලස්සන ඇතිද කියල මගෙ හදවතේ කුතුහලය වැඩි උණා. ඒ නිසයි හදවත මගේ පාළනෙන් මිදිල ඔයා අත අල්ලන්න කියල මට බල කලේ."

වෙනදට මම මෙහෙම එකක් කියද්දි අවඥාවට වගෙ හිනා වෙන, නැත්තම් මොකක් හරි වෙන කතාවක් ඇදල ගන්න මේධා, අද මම දිහා තුශ්නිම්භූත වෙලා බලා හිටියෙ හරියට මෙහෙම එකක් මම කවදාවත් කියල නෑ, ඒත් එයා බලාපොරොත්තුවෙන් හිටියා වගේ.

"ඔයා හිතනවට වඩා මේධා මගෙ ජීවිතේ ගොඩක් දුක ප්‍රශ්න තියනවා. මට ඉන්නෙ මගෙ අම්ම විතරයි"

මම මේව කියනකොට ඇයි ඕව මේ එක පාරම මට කියන්නෙ කියල මේධා මගෙන් ඇහුවෙ නෑ. ඒ නිසා මගේ කතාව ඔක්කොම කියා ගන්න මට ඒක උදව්වක් උනා.

"ඔයාට තේරෙනවත් ඇති... නොතේරෙනවත් ඇති... තේරුනත් නොතේරුනා වගේ ඉන්නවත් ඇති... මගෙ හදවත බිත්තියෙ එල්ලලා තියන එකට වඩා ගොඩක් ලොකුයි... ඒ මුළු හදවතම මම දෙන්න ලෑස්තියි.. එක්කෙනෙක්ට... ඒ තමයි... ඔයා... මේධා... මම ඔයාට ආදරේයි...!"

මම මේධාගෙ ඇස් දෙක දිහා බලාන කිව්වා. මම ඇත්තටම මේධාට ආදරෙයි. මට මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ.

"මේධා..." මේධා මම දිහා මුකුත් නොකියා බලාන හිටියා. අකැමතිද? මම දන්නේ නෑ. මම බලන් හිටියා.

"තිවංක..." අන්තිමට මේධා කතා කළා. "මට තේරෙනවා... මම දන්නවා... මට එක දවසක් දෙන්න" මෙධා එහෙම කියල නැගිට්ටා. පොත් ටික තුරුලු කරන් පන්තියෙ දොර ගාවට ගියා. මම ඉඳන් හිටි තැන ඉඳන්ම ඔහෙ බලාන හිටියා. මේධා දොර ගාව නැවතිලා ආපහු හැරුණා. ආයෙත් මම ඉඳන් හිටි තැනට ආවා.

"බොරුවට කල් ගන්න එක තේරුමක් නෑ. තිවංක... මමත් ඔයාට ආදරෙයි... කෙල්ලෙක් උණාම එක පාර හා කියන එක හොඳ නැති නිසා තමයි හෙට කියන්නම් කිව්වෙ. මට තවත් දවසක් මේ ගැන හිත හිත ඉන්න බෑ. මම ආදරෙයි." මේධා කියාගන කියාගන ගියා.

මම මේධා දිහා බලාන හිටියා. මම නැගිටල මේධගෙ අතින් ඇල්ලුවා. ටිකක් වෙලා එහෙම ඉඳල, මේධා කට හඬ අවදි කලා. "මම දැන් යන්නම්. හෙට එනව නේද? හෙට හම්බෙමු...!"

මේධා මගෙ අත අත ඇරලා පස්ස බලන්නැතුවම ඉක්මන්ට ඉක්මන්ට පන්තියෙන් එළියට ගියා.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xii

Saturday, June 17, 2017

නිර්නාමික x

තිවංක පසුව අනාත්මීය ආදරය ගැන මා හා කිසිදා නොකීවේය. මම පාසලට පැමිණි දා කිසිත් නොවුණා සේ හැසිරීමට වෙර දැරුවෙමි. මා ලියූ කවි ගැනවත්, තිවංක දුන් කවිය ගැනවත් මම කිසිවක් නොකීවෙමි. නො හැඟවූයෙමි.

"වෙනදට වඩා තිවංක ලස්සනයි... කඩවසම්... සුදු ඇඳුමට... මට තේරෙන්නෙ නෑ."

සුපුරුදු පරිදි මගේ සිතුවිලි මටම නොතේරේයි. මට ඒ තේරුම් ගැන්මට අවැසිද නොවෙයි.

"මම තිවංකට ආදරෙයි. මම ආදරේ කරන්න පටන් අරන් ඉවරයි... මම ඒක දන්නවා. මම ගණන් උස්සල දැන් තිවංක මා එක්ක කතා කරන්නෙත් නැති වෙයිද මන්ද..."

මම බිය වීමි. වෙලාවක් ලද සැනින් ඔහු හා කතා කිරීමට මම ඉටා ගතිමි.

විවේකයට පෙර කාලච්ඡේදයේ කිසිවක් නො තිබු හෙයින් පන්තියෙ සිසුහු විසිර ගොඩ සිටියහ. පන්තියේ තනි වූයේ මාත් තිවංකත් පමණි. මම ඔහු අසලට ගියෙමි. තිවංක දිග ලිපියක් බලමින් සිටියේ ය.

"මොකද්ද මාව දැක්ක ගමන් හංග ගත්තෙ?" තිවංක හතරට පහට නවා පොත අස්සට ඔබා ගත් ලිපිය දැක මම ඔහුගෙන් ඇසුවෙමි.

"නෑ.. මෙ කතාවක්... ඔයාට තේරෙන්නෙ නෑ මේධා"

"හ්ම්... ඒක නෙවේ. අර කවිය ලස්සනයි..."

"ඇයි ඊයෙ නාවෙ?"

"ඔලුවෙ කැක්කුමක් ඇල්ලුව... ආයෙ කවි ලිව්වෙ නැද්ද?"

"නෑ... එහෙම දවස ගානෙ කවි ලියවෙන්නෙ නෑ..."

"එහෙනම් කොහොමද ලියවෙන්නෙ?"

"කවි ලියන්න මොනා හරි දැනෙන්න ඕනෙ."

"මොනා දැනිලද අර කවිය ලිව්වෙ?"

"මුකුත් නෑ..." තිවංක බිම බලාන කිව්වේය.

"දැන් ඔයාමනෙ කිව්වෙ අමුතුවෙන් දැනෙන්න ඕනෙ කියල, කවි ලියන්න..."

තිවංක කිසිත් නොකිව්වේය. මම ම කතාව ඇරඹීමි. "ඇයි තිවංක මා එක්ක තරහද?"

"නෑ මේධා... මොකට තරහ වෙන්නද..."

"කියන්න හිතේ හිර කරන් ඉන්නැතුව. මොකක් හරි ප්‍රශ්ණයක් ද?"

මට ඕනෙ උනේ ප්‍රශ්න එළියට ගන්න එක නෙවෙයි. මට ආදරෙයි කියල ඔය කටින් කියව ගන්න එක. ඇයි තිවංකට නොතේරෙන්නෙ?

"ප්‍රශ්නෙ මේධා දන්නවනෙ...!"

"මොකද්ද?" මගේ හදවත ගැහෙන්නට වෙයි. "ප්‍රශ්නෙ මම ඔයාට ආදරේ කරන එකයි කියල ඔයා කියනව නම් මට ඒ ඇති...!"

"ප්‍රශ්ණේ මම ඔයාව වැරදියට තේරුම් ගන්න එක...!"

"මොකද්ද වැරදි....?"

"මට දැනෙන්නෙ... මේධා... මට තේරෙන්නෙ නෑ..."

මට කීමට කිසිත් නොතේරෙයි. විවේක කාලය සඳහා සීනුව නාද වනු ඇසිනි. මම තිවංක අසලින් නැගිට්ටෙමි. තිවංක තවමත් පොත දෙස බලාන සිටියි. වෙනදා කෙලින්ම මදෙස බලන ඇස් අද තවමත් මදෙස නො බැලීය. මම යළිත් කතා කලෙමි.

"සමහරවිට තිවංකට දැනෙන දේ හරි ඇති...!"

මම වහා එතනින් ඉවතට ගියෙමි. තිවංක තිගැස්මෙන් මා දෙස බැලීය. මම ඔහු දෙස නොබලාම පන්තියෙන් එළියට ගියෙමි.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xi

Friday, June 9, 2017

සුරතාන්තයට පෙර . . . !

නැගෙන්න පළමු කොට
හිරු එළිය
ඇතිරිලිද ඇඳ පසෙක
ගුලි කර
ගෙලෙන් පපුවෙන්
වැටෙන දා දිය

කවියකට නොවේ හිත
ගයන්නට නොවේ මට
වයන්නට,
සිතාරය
හැඩැති ඒ වීනාව
පිරිමදින අතැඟිලිද

වෙව්ලන දෙතොල්
තෙත් කෙහෙරැලිද
ඉගිලෙන්න ඉගිලෙන්න
හංස ගෙල
ගැට ගසා අතින් තව

සුසර වුණ සුසුම් පෙළ
සසල උණ උදම් රළ
සිසිල නැති කලු රැයක
අසල ගෙවෙනා පැයක

ඉතින් මට
අවසරද නවතින්න

සුරතාන්තයට පෙර...!