කෝවලන් මාධවී තුරුල් වී නිදපු දින
නිදිවරපු සිරි යහනෙ මතක නො නැගුණිද පැන
පඬි රටම අවුලන්න වම් තනේ කඩපු තැන
කන්නගී, අපරාදෙ නොහිතුනිද තනේ ගැන
කෝවලන් මාධවී තුරුල් වී නිදපු දින
නිදිවරපු සිරි යහනෙ මතක නො නැගුණිද පැන
පඬි රටම අවුලන්න වම් තනේ කඩපු තැන
කන්නගී, අපරාදෙ නොහිතුනිද තනේ ගැන
කෛලාශයෙන් පිටවෙමි
රක්තබීජ ගෙල සිඳලමි
අසුර කැල පලවාලමි
නොමළොතින් නුඹ වෙතට යළි එමි
හඳ පළුව නුඹ හිසේ රඳවමි
වාසුකී ගෙල වටා දවටමි
දන්නවද ඊශවර,
යළිත් මම කාලි වෙස් නොගනිමි...!
හැඟුම් තොර වුණ
හිතත් අවුලන
ආදරේමද ඔය පිරෙන්නේ
ඩිම්පල් කොපුලතක
බුම්මන
අමුතු මොහොතක
අතරමං වෙන
රසක් තිබුනා
හිනා වල නුඹෙ කොපුල්
පුම්බන
නුඹ නැතිව යන
දිග දවස් වල
හිත තවන්නේ
වෙන මුකුත් නොව
නුඹ ගැනම ඇති මතක
චුම්බන
උදේම නැගිට්ට අත්තම්මා:
මං නැගිටින්ඩ කලියෙන් කාමරේ දොර
මත්තේ නැගී කවුදෝ තඩි බාන සැර
ඇහිලා කඩං නිදි ගැට මං දොරත් ඇර
ඇහුවා "මොකෑ අත්තම්මේ පාන්දර?"
"සුදු මුණුබුරේ දැක්කද අල්ලපු වත්තේ
පිච්චද සමන් සේපාලිකා අර අත්තේ
ටොන් දෙක තුනක මල් නම් තොගයක් ඇත්තේ
කඩපං හනික උන් ඇහැරෙන්නට මත්තේ"
අත්තම්මාගෙ පුන්‍යාරාධනාවෙන්
කඩලා කිලෝවක මල් මම හොරා මෙන්
ප්‍රීතිය පස්වනක් ගති ඒ පමාවෙන්
දවල් දානෙ පිලියෙල වෙන්න ඕන විදිහ ගැන අම්මට උපදෙස් දෙන අත්තම්මා:
"එක එක උන්දැලා දාගෙන පනාව
දානේ කන්න බෑ මට නම් ගෙනාව
ඔම්ලට් එකයි චිකනුයි බත් මනාව
දානෙට ගෙනෙන්" කීවයි පා හිනාව
සිල්ගන්න නාගන්න යන්න ලෑස්ති වෙන අත්තම්මා:
"සුදු කෙස් මෙහෙම තැන්තැන් වල තියන් වනා
සීලෙට උණත් හොඳ නෑ ඉඳ ගන්න වෙනා
ඊටත් හපං මැගිලියා දැක්කොතින් හිනා
කෝ බං දුවේ පෙරේදා උඹ ගත්ත හෙනා"
සිල්ගන්න යන්න ලක ලෑස්ති වෙන අත්තම්මා:
"ඊයේ හවහ හෝදපු මගේ සිල් රෙද්ද
මත්තේ පහරලා ගිය කපුටෙක් ඇද්ද,
සත්තයි, කැඩිල පල ඕකගෙ හොට මැද්ද"
කපුටට දෙවයි පිං, ඈ කරමින් සද්ද
සිල් ගන්න යන්න ලෑස්ති වෙලා ගෙයින් දොට්ට බැස්ස අත්තම්මා:
ඇඳගන කරන්, ලා සිල් සලුවක්ද කරේ
බහිනා කලට උලුවස්සෙන් ගෙදර දොරේ
පත්තෑයෙක්ව දැක සීලය තියා පොරේ
ගත්තේ නැතැයි දෝතට දිග පොල්ල දොරේ
"හැබැහැට නිවනෙ පිං දහමක් කරගන්න
ඉස්පාසුවක් නෑ මුං හින්දා ඔන්න
තලපං පුතේ පත්තෑයා චුරු වෙන්න
බර දා පොල්ල අල්ලල ගං, ආ මෙන්න"
හරහට අරන් දිග දොර පොල්ලක්ද අතේ
වාගෙ වඩිගපටුනට සැරසිලා හිතේ
"කෝ බං වරෙන් හනිකට මෙහෙ වරෙං පුතේ,
මුං නම් නොමර අත අරින්න හොඳම නැතේ"
හෙමිහිට දොරකඩට ආවයි අප්පච්චි
නොමරා ඌට ජීවිත දානය වෙච්චී
පත්තෑයාට අද නම් පින පෑදිච්චී
අත්තම්මාගෙ කරුනාවෙන් බේරිච්චී
පත්තෑයව බේරල ඇරිය අප්පච්චි ගැන කලකිරුනු අත්තම්මා:
"මෙහෙමත් එකෙක් හැදුවනෙ මම අනේ දුක
නොදකින් උලා ගන්නව මගෙ කට ගලක
අමතක මුන්ට පුරාණ කියමනක් එක
මෝඩය නෑර විසගොර සර්පයා දැක"
වටටම පිංදිදී ගෙදින් දොට්ට බැස
අත්තම්මා ගියයි පිං කරගන්න රැස
කියලා ඉවර කරන්න බැරි කමම මිස
එතනින් පස්සෙ තව තව ඇත කතා රස
පෝදා උදේ ඉර මල වාසනාවන්
කෑ ගා හඬන කපුටන් වාසනාවන්
අත්තම්මාට අටසිල් වාසනාවන්
වේවා නිවන් හා මල් මල් හිනාවන්
මා ප්‍රිය මිතුරු කාලගෝලයෙනි හිතවත්
අහිතක් මා කෙරේ කරුණාවෙන් නොමගත්
නොකියා නොහැකි හන්දා මට උණ විපතත්
මේ කෙටි ලියුම නම් අද නොලියා බැරුවත්
හත්වස කඹුට මෙහෙවර කොට ගත් ලන්දා
ඇති උඹ වින්ද දුක නම් දික්තල හින්දා
පෙම් කල නමුත් උඹ ඈ හට මන නන්දා
මං කලෙ පවකි මගෙ හිත ඈ වෙත රන්දා
රූපෙට සොඳුරු ඇගේ මං වහ වැටුනු නිසා
රසබර කෝල මුකුලිත ඇගෙ වදන් අසා
සොරකම් කරන් ආවට උඹෙ දෑස් වසා
කල කම් අපල විය මට මෙදවස මෙලෙසා
පිවිතුරු සොඳුරු දික්තල යැයි මහිත පැතූ
ඈ නෑ තැවරුවේ සුදු වස්තරේ රතු
නොකලත් කිසිත් නින්දා ඈ වෙතම ගෙතූ
ප්‍රේමය විතරමයි මම පුද කලෙද මතූ
ඉක්බිති ඉදින් ඈ බඩ දරු දැරුවාය
සැපසේ සොඳින් දරු පැටියත් වැදුවාය
'තුම් පිය වරම ඈ මා හට සැදුවාය
ඈ දුන් එකම දායාදය දරුවාය
ඈ මා පැලට විත් ගත වූ දස මසක
නෑ බත මාලුවක් පිසුවේ කිසි රසක
පිල උඩ ඉඳන් ඈනුම් ඇරියා මිසක
නෑ අන් වැඩක් බැන්නයි ගෙන යක් වෙසක
ඉඳහිට දිනක සඳුනුත් කහ මූණෙ උලා
පැදුරක වැටී උන්නා මුල්ලකට වෙලා
මේකිව සහේ ගෙන කල පව මතක් වෙලා
කාලගෝල මල්ලියෙ මම හිතින් මළා
මගෙ මව් දෙමව් පිය හට 'තුම් සැලකීම
පිළිබඳ කලේ නම් ඉන් ඈ වැළකීම
උන්නත් පෙමින් මම ඈ ළඟ උකුලේම
ආදර ගතිය පෑමයි ඈ නොකලේම
ඈ මට සෙනෙහසක් නම් නොම පෑවාට
මං නැති දාට කොල්ලෙක් ආවලු රෑට
ලප නොමවන් සඳක් ලෙස මං හිතුවාට
සඳ ළං උනාමයි දුටුවේ ආවාට
ඉල්ල ගන්න අත මාරුව දෙන්න කියා
අල්ලපනල්ලේ මිනිහෙක් ආවා ගියා
පොල්ල තියා ඌ හා ලියමනක් ලියා
කල්ල කපටි අම්මණ්ඩිය පැනල ගියා
මේ නම් උරුම දුක මට නිති ඇති සැටියා
ඈ මෙහි දමා ගියෙ ඈ වැදු දරු පැටියා
හැකි විට වරෙන් අහන්න අප දුක් කැටියා
නවතිමි 'හෙනම්, මම හිතවත් දික්පිටියා
උහුලන්න බැරි තරම් ගින්දර
ගැල්සියර ඇතුලෙ තිබ්බද
දියවෙලා යන්නැතුවම
කොහොම ඔහොමට උන්නද
කී දෙනෙක් නම් ඇහුවද
ලොකු බ්‍රහස්පති තරමට
ආදරේ බව කිව්වට
මට නිනව්වක් නැතුවට
ක්ශීරපතයෙන් එපිට කොච්චර
තව මන්දාකිණි තිබ්බද
අහසේ වල්ගාතරු වල
නිහාරික දූවිල්ලක
ආදරේ තිබ්බත් කොච්චර
ආදරේ නම් හෙව්වේම මම
පොඩි කදෝකිමි එළි වල
මාව අමතක කෙරුවම
මට මාව නැති කෙරුවම
මගේ හිත ගිණි ගත්තම
හදවතේ පපු කුහර අස්සේ
තියනවා මගෙ මළගම
ඉතින් ඇවිදින් යනවද?
නෑවිදින්, මල් වඩම් නම් හැඩ
නො එව්වත් මට කම් නැත
මල් නැතත් උඹ ඇවිත් යනවද?
ළඟ ඉන්නකොට නොදුන් ෆ්‍රෙශ් මල්
මල් වඩමකට මොකටද