Tuesday, June 9, 2015

'අම්මා'



අම්මා යන මැයෙන් වදන් පෙලක් දිගහරින්ට වන් නම් ඒ අපහසු වනුයේ අම්මා ගැන කීමට යමක් නැති නිසා නොව ඈ ගැන කීම එතරම් බැරැරුම් නිසාය.

මා මලක් වු කළ නටුව අම්මාය. මා මාලුවකු වූ කළ ජල කඳ අම්මාය. මා සයුර වූ කල වෙරළ අම්මාය. මා රාත්‍රිය වූ කල සඳ කිරණ අම්මාය. ඇය අම්මාය. අම්මා යන උතුම් නම ඇයට මුල් කොට උරුම කොට දුන්නා වූ ආඩම්බරය මා තුල නැත්තාම නොවෙයි. මා මමම වූ කල, ඇය අම්මාය.

විසි හතර වසක දිවියක් පුරාවට, මා දුටු උත්තමාවිය ඇයය. මගේ ලෝකයේ අග තැන් කිරුළු ලන්නී ඇයය. ඇයට රැජිනක් කියා අපහාස කරනු නොකැමැත්තෙමි, මන්දයත්, රැජිනක වුව යම් විට නොලැබිය හැකි මාතෲත්ව නම් අභිශේකයෙන් ඈ පිදුම් ලද්දා වූ හෙයින.ඈ මගේ අම්මාය.

අහර රස කොට පිසින්නීය. තවත් රස කොට අනා කවන්නීය. මා සුරතල් කරන්නීය.

ඈ සිනහව හදුනන්නීය. මා පන්තියේ පළවෙනියා වූ කල ඈ ආඩම්බර සිනහවක් මවා ගත්තා මතකය.

ඈ කඳුලු හඳුනන්නීය. මා උසස්පෙල සමත් වූ දින මා තුරුලු කොට හැඬුවා මතකය.අම්මලා එහෙමය. අම්මලා හොඳය. එහෙත්, මගේ අම්මා වඩාත් හොඳය. ඒ ඇ මගේ අම්මා නිසාය.

'අම්මාගෙ ආදරය කියවන විට ලිවීම තරම් පහසුයැ'යි අමිල තේනුවර සිය කෙටිකතා සන්ග්‍රහයක එක් කතාවක හුවා දැක්වීය. හැබෑය. ඒ එසේමය.

ඈ මට නැගනියක දායාද කලාය. ඈ මට පමණක් නොව, කුඩා නන්ගිටද අම්මාය. වෙනසක් නැතිය. අප දෙදෙනාම ඇයට එකය. අම්මලා පුතුන් හැදිමට හා රජුන් කිරීමට දුක් ගන්නා සේම දූ වරු විශයෙහි දි හැදීමට අමතරව රැකීමටත් රැජිනක කිරීමට දුක් ගන්නීය.

ඈ මා කුඩා කල, මා හට කරදාසි වෙස්තට්ටුවක් සකසා දුන්නා මතකය. ඒ පමාවට එය මා කඩා ගත්තාද මතකය. ඒ දැක මාගෙ නෙත් කඳුලින් බර උනා මතකය. ඇය මට බනීවි යැයි මම බිය වූයෙමි. එහෙත් ඇය මා ඒ කඩා ගනු දුට අනිත්‍ය පසක් කරනු වස් සිනහවක් පෑවා විනා වචනෙනුඳු කිසිත් නොකීවාය.

ඇය මගෙ සතුටය. මගෙ ලෝකය ය. ඈ නිකන්ම අම්මා කෙනෙක් නොව, මගේ අම්මාය. මා දස මසක් කුස දරා සිටි උතුම් කාන්තා රත්නය ය.

අප හුදු මානසික බැඳීමකට පමණක් සීම නොවූයො වෙමු. ඇය තුලින් මා එලියට ඇද අප පෙකනියෙන් වෙන් කිරීමට පළමුව, මම ඇගේම කොටසක් විය. අප සිරුරු දෙකක් නොව, එක පෙකනියකින් එකට බැඳී හුන් එකම සිරුරක්ව හුන් භෞතික වස්තුවක්ද වන්නේය. ඇගේ රීරි මාංසය ක්ෂීරය කොට මගෙ කුස නිවූවෝ ඈ ය. ඕ තොමෝ, අන් ජීවිත වෙනුවෙන් දිවි කැප කලා වූද, බුදු බවක් නොපතාම දරු දුක දැක පාරමිතා පුරන්නීද, වන්නීය. එහෙයින් මේ බැඳීම සංකිර්ණය. අති සංකීර්ණය.

ඇය සදා මගේ අම්මා මය. මතු භවෙත් මා පතන මගෙ මව් ඇය මය. ඉදින් දිනෙක නුඹ බුදුවන උදයෙක නුඹ පා මුල පිදෙන, පිදී නිවන් යන පළමු කුසුම මා වේවා.

Friday, March 27, 2015

අපි මාකටින් ඉගෙන ගමු


වටුවා මාකටින් ගැන මෙලෝ හසරක් නොදනී. නමුත්, මාකටින් ගැන දත යුතු සියල්ලද දනී. වටුවලා එසේය. වානිජ විෂය හදාරන නංගිල මල්ලිලාට විෂේශයි. අද පාඩම, 'මාකටින්'.

සබාවෙන් අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ කතාවක් කිරීමටයි.

ජීවිතය යනු මාකටින් ය. සියල්ලම පාහෙ මාකටින් ය. ජීවත් වීමට සහ පැවතිමට නම් අපට අපවත්, විටෙක අනුන්වත් මාකට් කිරීමට සිදු වෙයි.හොදම මාකට්කරුට හොඳ තැනක් ලැබෙන්නේය.මාකටින් විවිධාකාරය. සමහරු තමුන්වම මාකට් කරති. සමහරු අනුන්ව මාකට් කරති. සමහරු දුකත් සමහරු සතුටත් මාකට් කරති. හිඟන්නා නැති දේ මාකට් කරයි. ධනවතා ඇති දේ මාකට් කරයි. සමහරු ආදරය මාකට් කරති. සමහරු විරහව මාකට් කරති. දිනුම පැරදුම පවා මාකට් වෙයි. සමහරු හැකියාව මාකට් කරති. විටෙක නොහැකියාව මාකට් වෙයි. සමහරු ඇත්ත මාකට් කරති. සමහරු බොරුව මාකට් කරති. සමහරු මාකටින් නොවීම මාකට් කරති. සමහරු මාකටින් වීම මාකට් කරති. සමහරු 'මාකටින්' පිළිබඳ මාකට් කරති.

මාකටින් කිරීම හෝ වීමේ අරමුණු වෙසෙසිය. මූල්‍යමය විය හැක. හුදු ආත්මතෘප්තිය පමණක් විය හැක. පලිගැනීමට විය හේක. ප්‍රසිද්දියට විය හැක.සමහරු ලයික් උදෙසා මාකට් කරති. සමහරු කමෙන්ට් උදෙසා මාකට් කරති. සමහරු ජීවත්වීම උදෙසා මාකට කරති. සමහරු මරණය උදෙසා මාකට් කරති.ජීවිතය යනු මාකටින්ය. සියල්ලම මාකටින්ය. කෙනෙක් සිනහ වෙන්නේද, අඬන්නේද, දුක හිතන්නේද සතුටු වෙන්නේද, කතා කරන්නේද, වෛර කරන්නේද, අවංක වන්නේද වංක වන්නේද සියල්ලම මාකට් කර ගැනීමටය.

'මාකටින්' කුලකයෙ, 'ජීවිතය' යනු එක් උපකුලකයක් පමණක්ය. එම උපකුලකයේ අවයවයක්ව සිටින තාක් තමුන්ව හෝ අනුන්ව මාකට් කළ යුතුය. යම් හෙයකින් කුලකයෙන් ඉවත් වන්නේ නම්, අන් සියල්ලෝම ඔබව මාකට් කරනවා ඇත. මාකටින් වල අරුමය එයය. එහි සුන්දරත්වය එයය.වරක් මාකට් වී නම් සදටම මාකට් විය යුතුය. දැනුවත්ව හෝ නොදැනුවත්ව, කැමතිව හෝ අකමැතිව එය සිදු වෙයි. මාකටින් වල සාර්වත්‍ර නියමය හා එකම තියරිය එයයි.

අවස්ථා ද්විත්වයක් හැරුණු කොට ඔබට ඔබේ ජීවිතයේ ඕනැම අවස්තාවක් මාකට් කරගත හැකිය. එහෙත් ඔබ හැරුනු කොට අන් සියල්ලම යතෝක්ත අවස්තා ද්විත්වය රිසි රිසි පරිදි මාකට් කරති. එනම් ඔබේ (හෝ මගේ) ඉපදීම හා මරණයයි. එය මාකටින් වල ස්වභාවයයි.

මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.

Saturday, August 23, 2014

වේදනා නාශක - හදවත් වල වේදනා සඳහා විශේෂයි

මම හිතුවා. ගොඩක් හිතුවා. මම මහා රැඩිකල් එකෙක් කියල හිතගන හිටියට, මගෙ ඇතුලෙත් ඉන්නෙ නිකංම නිකන් බොළඳ පුස් චරිතයක් කියල මටත් දැනුනා. ආදරේ කියන දෙකයි පණහේ අකුරු ටික හරියට ගලප ගන්න බැරුව මමත් එහෙ මෙහෙ පීරුවා. වෙන මොකක්වත් නෙවෙයි මගෙ හිත. 

මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්න ඕනෙත් මගෙ ගාවමනේ. උත්තර කෙසේ වෙතත්, හිතට හෑල්ලුවක් කර ගන්න පුළුවන් දේවල් ටිකක් මට හොයගන්න පුලුවන් උණා මගෙ හිත ඇතුලෙන්. ඉන්ජිනේරුවෙක් වෙන්න කියල හිතාගන ඔහේ කරනන්නං වාලෙ ඉගන ගන්න මගෙ ඔලුවෙ ඇතුලෙ ඉතින් ඉන්ජිනියරින්ග් ඇරුණම අනිත් හැමදේකින්ම හැම වෙලේම සන්තෘප්ත ගතියක් තියනවා. ඉන්ජිනියරින් වලින් පුලුවනැයි හිතක් හදන්න, තියන ටිකත් කඩනව මිසක. හා ඒවා පැත්තක දාමු. කියන්නෙ ගියේ මේකයි. හිත බ්ඳිල තිබ්බ වෙලාවෙ හිත ඇතුලෙ බිඳුනු තැන් හොය හොය පැලස්තර අලව අලව ඉන්නකොට මට හිත ඇතුලෙ අමතක වෙලා ගිහින් තිබ්බ පොඩි පොඩි දේවල් ටිකක් හම්බුනා. වෙන මුකුත් නෙවේ. ලස්සන සින්දු කෑලි ටිකක්. ඒ සින්දු කෑලි, අර අලව අලව හිටිය හිස් පැලස්තර වලට හොඳ බෙහෙතක් කියල තේරුනා. ඉතින්, බලන්න බෙහෙත් වට්ටෝරුව. ප්‍රයෝජනවත් වේවි.

හුළවාලි කියන චිත්‍රපටයේ එන, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ධර්මසිරි ගමගේ ශුරින් රචනා කරපු "කුඩා ගමේ" කියන ගීතය. මට ඒකෙ මුල කෑලි දෙකට වඩා මට තදින්ම හිතට වැදුනේ අන්තිම කෑල්ල. 

'ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුන දා කුමකට කඳුලු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත් කම සකී'

ආදරය ගැන කොච්චර පුළුල් විදිහට මේ පේලි 4න් කියවෙනවද? ආදරය අහිමි වීම නිස මිනි මරාගන්න සමාජයක, විරහව හමුවේ කොයි තරම් උපේක්ෂාවෙන් ඒකට මුහුණ දෙනවද? තමන්ව අස්වසාගන්න අනිත් කෙනාගෙ වැරදි කියන එක වෙනුවට මේ වගෙ උසස් චින්තනයක්, මානසිකත්වයක් ඇති කර ගන්න එක කොයි තරම් වටිනවද? ආදරය කියන්නෙ එල්ලිලා ඉන්න එකට නෙවෙයි, අත් හැරීම හැටියටයි මේ රචකයා අර්ථ දක්වල තියෙන්නෙ. බොහෝ දෙනෙක්ගෙ මතය, දැක්ම වෙන්නෙ ආදරය කියන්නේ ඇද බැඳ තියාගන්න එක කියල. ඒත් ඒක එහෙම නෙවෙයි කියන හැටියට මේ ගීතයෙන් කියැවෙනවා.

'විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...'

මේ ගීතය, අමරදේවයන්ගේ හඬින්, ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේය පද, ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනුවෙන් වර්ණවත් වෙලා තියනව. මේ පද දිහා බැලුවම තේරෙන්නෙ මොකද්ද? තමන්ට පිටුපාන ගැහැණියට, සොඳුරු ළඳුනේ කියල කරල තියන ආමන්ත්‍රණය. තමුන්ට පිටු පාල යන ගෑනිට, මගේ නපුරු ළඳුනේ නැත්තම් මගේ වේස ළඳුනේ කියල කතා නොකර, 'සොඳුරු' කියන විශේෂණය යොදන්න හැකියාවක් තියන මනුස්සයෙක්ගෙ හදවත කොයි තරම් නම් සොඳුරු වෙන්න ඕනෙද? හැබෑ ආදරය කියන්නේ දරා ගැනීම. මේ ගීතයෙන් කියවෙන්නෙත් කලින් වගේම බෝසත් ආදරයක් නෙවෙයිද?

'සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි වීජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා...'

පිරිමියා පමක් නෙවෙයි, දුකට පත් උන ගැහනිය තුලද ඒ උපේක්ෂාව ඇති වෙන්න පුලුවන්. දීපිකා ප්‍රියදර්ශනී විසින් ගයන මේ ගීතය ලියැවුනේ කුලරත්න ආරියවංශශයන් විසින් එ වගේම තනුව රෝහණ වීරසිංහන්ගේ. තමන්ට අහිමි ප්‍රේමය ගැන උපේක්ෂාවෙන් බලන සොඳුරු කාන්තා රත්නයක් මට මේ ගීතයෙන් පිළිබිඹු වෙනවා. තමුන් නොලද තමන්ගෙ සිහින කුමරුවාට තෝ නොදකින් හෙන ගහපන් නොකියා, ඔබට සෝ තැවුල් නොම වේවා කියන්න තරම් පරාර්තකාමි හදවතක් මේ ගීයෙන් අදහස් වෙනවා. 

ආදරය නොලැබීම හෙවත් විරහව හමුවේ මිනිස්සු හැසිරෙන විදිහ මෙහෙමයි කියල කියන්න බෑ. ඒත් ඕනම බරපතල ගැටලුවක් උපේක්ෂාවෙන් දකින්න පුලුවන් ඕනම කෙනෙක්ට. ඒකෙන් දෙදෙනාටම වෙන හානිය අඩුයි. කොහොම උනත්, නොලැබෙන ආදරයක් පැතීම, නොලැබෙන පුද්ගලයෙක් පැතීමට වඩා බෝසත් ආදරයක් වගේ නිදහස් හිතකින් ආදරය කරන්න ආදරය ලබන්න පුලුවන් නම් අනිත් කෙනා ලැබෙනවද නොලැබෙනවද කියන එක ප්‍රශ්නයක් නොවී ආදරය ලබන වෙලාවටවත් ඒකෙ උපරිම උනුහුමක් ලබාගන්න පුලුවන් වෙනවා. ඉතින් මගෙ හිතේ තිබ්බ තුවාල වලට මේ බෙහෙත් දාල පැලස්තර ගැහුවම සෑහෙන්න නිදහසක් හිතට දැනුනා. මට නම් මේ බෙහෙත සාර්තකයි. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. තව මේ වගෙ හැංගුන බෙහෙත් ඇති. හොයල බලමු. නේද?

Wednesday, July 16, 2014

සරසවිය, කුණුහරප සහ සමාජ සභ්‍යත්වය සරසවි සාහිත්‍යය ඇසුරින්

වත්මන් සරසවි තුල තවමත් නොනැසී පවතින සමහරක් දෑ අතුරින් 'සරසවි සාහිත්‍ය' විශේෂ තැනක් ගනී. සැබැවින්ම මේ වනාහි කවර නම් සාහිත්‍යක්ද? සාහිත්‍යය පිළිබඳ ඒ තරම් තතු කීමට තරම් ප්‍රාඥයෙක් නොවෙමි, මම. එහෙත් සරසවි සාහිත්‍යයේ පරතරේටම ගිලා බැස කිඳා බැස, එහි රස නොරස හොඳින් වටහාගෙන ඇත්තෙක් වම් යැයි මම සිතමි. සරසවිය සමාජයට වදකාගාරයක් මෙන් දිස් වන බව සැබෑය. එහෙත් මම සමාජය හෝ සරසවි සිසුවා සුද්ද කිරීමේ කාර්යයට අත නො පාමි. මන්ද යත්, මාද සරසවි සිසුවෙක් වන මැයිනි. සහ, මෙහි මාගෙ උත්සාහය සරසවි සාහිත්‍යය විවරණයකට අත පෑමට නිසාවෙන්ය. සරසවි සිසුවා හා සමාජය ගැන පසුවට තබමු. එමෙන්ම, මෙය කියවන දනෝ, කරුණාවෙන් වටහා ගත යුතු කරුණ නම්, මෙය නවක වදය නම් වචනය හා නොගාව ගත යුතුම බවයි.

සරසවි සාහිත්‍යය විවරණය පහසු කටයුත්තක් නොවේ. වෑත්තෑවෙ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය තරම්ම වචනයෙන් වචනය උකහා දක්වමින් සවිස්තර කිරිමට තරම් සරසවි සාහිත්‍ය තුල ගැඹුරක්, අර්ථයක් මම දකිමි. ඒ දැක්මෙහි වැරදි අඩු පාඩු දොස් පරොස් වෙත් නම්, නිහතමානීව ඒ බාරගන්නෙමි. වැරදි දකින්නෝ පවසත්වා.

මේ පිළිබඳව පිළිසඳරට පලමුව වටහාගත යුතු වැදගත් වචනයක් වෙයි. ඒ 'කුණුහරපය' යන්නයි. ඊට  සෘජුවම අර්ථ දැක්වීමක් දීම අපහසු වුවත්, ඕනෑම වාග් මාලාවක මෙම 'කුණුහරප' යැයි සමාජය විසින්ම සම්මත කරන ලද නමුත්, සමාජයේ භාවිතයට අසම්මත වාග් මාලාවක් ඇතුලත් වෙයි. සිංහල භාශාවේ එදිනෙදා ව්‍යවහාරයේ (සාමන්‍ය සමාජයේ වුවද මේවා එදිනෙදා යොදාගැනේ. පොලවේ පය ගසා සිටින්නෙකු මේ පිලිගත්තද, එසේ නොපිලිගන්නවුන්ද සිටිය හැක. ඔවුන් මෙය කියවීමෙන් වැලකී සිටීම මැනවි.) යොදා ගැනෙන මුලු කුණුහරප සංඛ්‍යාව ආසන්න වශයෙන් 10ක් පමණ වෙයි. (සමහර විට සිතු සැනින්ම විස්වාස කිරීම අපහසුය. නමුත් සෑබෑව මෙයයි.) ඒ එකිනෙකක් එකිනෙක සමග සන්යෝජනය වීමෙන් තවත් වචන 20ක් පමන ඒ ඒ භාවිතා කරන්නාට අනුරූප වශයෙන් යොදාගත හැකිය.

කුණුහරප අසභ්‍යය වුවත්, අසම්මත වුවත්, ඒවට මුල් වී ඇත්තේ සමාජය විසින් බහුලවම භාවිතා කරන බහුලවම සිතන ක්‍රියාදාමයන් කිහිපයකි. ඒවා ප්‍රසිද්දියේ කිරීම හෝ ඒ පිලිබඳව ප්‍රසිද්දියේ සමාජය ඉදිරියේ කතා කිරීම අසභ්‍යත්වය ලෙසත්, ඒ කුණුහරප වලටම වෙනත් වචන යොදා ඒවා සභ්‍යය යැයි කියා ඒ යොදා ගත් වචන අනුසාරයෙන් කතා කිරීම සභ්‍යත්වය ලෙසත් සමාජය විසින්ම යොදා ගෙන තිබීම විහිලුවක් බවයි මගෙ හැඟීම.

ඒ කෙසේ වෙතත්, සරසවි සාහිත්‍යයට මූලික වශයෙන් පදනම් වනුයේ යතෝක්ත 'කුණුහරප' යි. සභ්‍යත්වයෙන් සුසැදි කුණුහරප නොව, එදිනෙදා භාවිතා වන, ඇත්ත ඇති සැටියෙන් ඇති වදන්මය.

අද වන විට සුදු හුනු ආලේපිත වුවත් එම හුනු තට්ටුවට යටින් රැඳී ඇත්තේ එදා නේවාසිකාගාර බිත්ති අතර සිර වුනු විශ්වවිද්‍යාල සිසුවන්ගේ සිරවුනු සිතුවිලිය. ඒ කුරුටු ගී වල ගැබ්ව ඇත්තෙ ඔවුන්ගේ සිතුවිලිය. ආදරය, මව් සෙනෙහස, පිය සෙනෙහස, විරහව, අධ්‍යාපනික පීඩනය, රාගය, ශෘංගාරය, වෛරය, මිත්‍රත්වය, එකී මෙකී නොකී අනේකවිද මාතෘකාවන් කරණකොට ගනිමින් ඒ කවු ඔපවත් වී ඇත්තේය.සරසවි සාහිත්‍යය හා එම කුරුටු ගී දෙවර්ගයකි. කුරුටු ගී වලට වඩා සරසවි සාහිත්‍යය පැවතෙනුයේ මුඛ පරම්පරා ගතවයි.

සරසවි සාහිත්‍ය යන්නෙහි 'සාහිත්‍ය' යන වචනය හුදෙක් විදහා දක්වන තරම් සාහිත්‍යය විෂය පරාසයක් යොදා නොගැනේ. මෙහිදී වස්තු විෂය වන්නේ කාව්‍ය සාහිත්‍යය පමණි. කාව්‍යකරණය දෙ ආකාර වෙයි. සඳැස් හා නිසඳැස් යනුවෙනි. එළිවැටකට අනුව නිර්මිත කාව්‍යයන් සඳැස් ලෙසද, එසේ නොවන කාව්‍යයන් නිසඳැස් ලෙසද සරලව විග්‍රහ කෙරෙයි.

සරසවි සාහිත්‍යයේ මා දකින විශේෂත්වය නම්, ඒ කවි සියල්ලම පාහේ මනා කොට එලිසමයකින් යුතුව ගලපා තිබීමයි. පවතින ගීතයක පද මාරුවක් කොටගෙන ඇති පැදි කිහිපයක් හැරුනුකොට අනෙක්වා ඒ ගුණාංගය මනාව සපුරයි. කවි බොහොමයක් මුඛ පරම්පරාගතව මේ වනතෙක් නොනැසී පැමිනිම උදෙසා වැදගත් වන තවත් කරුණක් වෙයි. ඒ කවියේ තනුවයි. ජන කවි වල තාල වලට අමතරව, විරිඳු, කවි බණ, වාද බයිලා වැනි හිත ස්පර්ශ වන තාලයකින්ද මෙම කවි සමන්විත වෙයි.

මේ කියවන ඔබ සරසවි සිසුවෙක් හෝ සරසවි අධ්‍යාපනයක් ලැබුවෙක් නොවන්නේ නම් සරසවි සාහිත්‍යයක් යනු කවරක්ද යන කුකුස හද තුල නිතැතින්ම ජනිත වන්නේය. උපහැරණයක් ගෙන නො පෑවහොත් කියවන ඔබට කෙරෙන අසාදාරණයකි. එ මුත්, මේවා වැඩිහිටියන්ට පමණක් බව තරයේ සිහි තබා ගත යුතුය. (ප.ලි. සරසවි සිසුවකු වනාහි, වයස 19ට වැඩි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ස්වෛරී ජනරජයේ පවතින නෛතික මාලාවන්ට අනුකූලව විවාහ වීමට හා පිය භාවය හෝ මාතෘ භාවය ලැබීමට ස්වභාවධර්මයා විසින් කරනු ලබන පරිත්‍යාගයන් පිළිබඳවද මනා කොට අවබෝධයක් ඇති 'මනුස්ස' කොට්ඨාශයක් බව තරයේ සිහි තබා ගැනිම මැනවි. ඒ විනා ඔවුහු අත දරුවන් නොවෙත්.)

කවියකින් ප්‍රහසනය උපැදවීම පහසු නොවේ. නමුත්, සරසවි සිසුවා එය කරවන අපූරුව.

"නිරිඳු පැරකුම්බා
දේවියගෙ පුක ඉම්බා
දේවි පුක පුම්බා
අරී පඩයක් රජු කලම්බා"

පුක සහ පඩයක් යන වචන සමාජයේ එතරම් අසම්මත ගනයට නොවැටෙන අතර ඒවා පෙර ම විසින් සඳහන් කරන ලද කුණුහරප 10ටද ඇතුලත් නොවේ. එදිනේදා ව්‍යවහාරයේ යෙදෙන වදන් නමුත් මේවා කාව්‍යාත්මකව ප්‍රකාශ කිරීමේදී කාව්‍යට හුදෙක් ප්‍රහසනය පමණක් ඇතුලු නොකොට ඒ තුලින් යම් සිද්දි දාමයක්ද කියැවීමට සරසවි සිසුවා උත්සුක වී ඇත්තේය. එනම් කවියේ අඩංගු වන්නෙ හුදෙක් වචන පමණක් නොවේ. එතුලින් කියැවෙන යම් සිදුවීමක්ද වෙයි. සිදුවීමෙහි ඇති වැදගත් කම නොසලකා හරිමු. නමුත් කුමක් හෝ සරල සිදුවීමක් කවියට ඇතුලු කිරිම කවුරු හෝ මෙහි නිර්මාපකයාගේ හැකියාවකි.

"වැටට වැට කෙයියයි
හීනියි දිගයි හයියයි"

මේ තවත් කවියක මුල් පැදි පේලි දෙකයි. ඉන් ඔබ්බට ලිවිම මම අතපසු කරමි. කෙසේ හෝ මෙයින් කියැවෙනුයේ කවරක්ද, උපමාව සහ වචන, එළිසමයට උචිත අයුරින් ගලපා ඇති අපූරුව මනාව පසක් වෙයි.

"දවසක් දා මම යනකොට ගාල්ලට
රුවැති ළඳක් ආවයි මා ඉදිරියට"

"රන් තැඹිලි වාගේ
පියයුරු යුවල ඈගේ..."

මේ වනාහි සාහිත්‍යයේ එන කවි වලින් අල්පයක් පමණි. මෙම සාහිත්‍යයේ වටිනාකම රඳා පවතිනුයේ ඒවා ඉපැරණි සිසුවන් අතින් ලියැවුනු නිසාය. කුණුහරපයක් වුවද, එහි භාවිතයේ චේතනාව කිසිවකුට හානි කිරීම නොවේ. මානසික අසහනයක්ද නොවේ. එසේ අසහනය කාරයෝ යැයි සරසවි සිසුවාට චෝදනාකරන්නන්ගේ චෝදනා මා ඇතුලු කිසිදු සරසවි සිසුවෙක් හෝ සිසුවියක් පයේ නියපොත්තකින් ඉහලට නොගන්නවා ඇති. එසේ චෝදනා කරන්නෝ තම විරුද්ද ලිංගිකයා පිළිබඳව මෙවන් සිතක් පහල කොටගෙන නැත්තේම විය යුතුය. පාසල් කාලයේ ඇම්ඩාගේ කතා කියමින් සිනා සී ඇත්තෙකු නොවිය යුතුමය. ස්වභාවික ප්‍රජනන ක්‍රියාවලියෙන් එහාට ගියා වූ වඩා සංවර, ශීලාචාර ක්‍රමයකට එම ක්‍රියාවලියේ නිමග්න වන්නෙක්ද විය යුතුය. කිසිම හේතුවක් මත පෙර ම විසින් කුණුහරප යැයි නිර්වචනය කරන ලද වචන 30ට අදාල කිසිවක් මුවින් පිටකර නොමැත්තෙක් විය යුතුය. එසේ වෙත් නම්, ඔහුගේ හෝ ඇයගේන් එල්ල වන අප 'මානසික අසහනකාරයෝ' යන චොදනාව අපි හිස නමා බාරගන්නෙමු.

අමතරව කිව යුත්තක් වෙයි. සරසවි වාග් මාලාවේද, පෙර කී සුසංයෝගිත වචන සියල්ලම ඇතුලත් නොවේ. ඊටද යම් යම් සීමා පැනවී ඇත්තේය. පවුලේ උදවිය, මව පියා හා සබැඳි කුනුහරප සරසවි වාග් කෝෂය තුල දැකිය නොහැක්කේ, ඔවුන්, සාමාන්‍යය සමාජයට වඩා උසස් මානසික තත්ත්වයක සිටින නිසාමය. ඒ පිළිබඳව තර්ක විතර්ක අනවශ්‍යයි. මාගේ ප්‍රස්තුතය වූයේ සරසවි සාහිත්‍යය විවරණයයි. හැකි පමණ ඒ සිදු කලෙමි. එමෙන්ම, මෙහි ගුණ දොස් ද බලාපොරොත්තු වෙමි.

විවරණය පිළිබඳ අවසන් සටහන මෙසේ තබමි.

ඒ කවු කිසිවක් කිසිවකු මත රඳා නොපවත්නේය. දේශපාලනික, පරිපාලනික ගැරහීම් වලට, සරසවි සිසුවාගෙ හිතේ නැගෙන පද පේලි ඔහේ ගලපා ලියැවි අත්තේය. සීමා මායිම් වලිත් තොරය. සංස්කෘතිකමය හෝ ආගමික වශයෙන් බාදා බැමි වලින් තොරය.(නමුත් ආගමික වශයෙන් සාහිත්‍යයේ කිසිවක් දැනුවත්ව අඩංගු නොවේ ). එහෙයින්ම මෙ කවි වල ගුනාත්මක භාවයෙන් ඉහල බවක් ඇතැයි මම සිතමි. සරසවි සාහිත්‍යය තුලින් බොහෝවිට සිදුවනුයේ ප්‍රහසනය, උපහාසය වැනි කරුණු ඉස්මතු වීමයි. පිහියක් වුවද, එළවලු කැපීමට මෙන්ම, උවමනා නම් අතක් පයක් කපාගැනිමටද යොදා ගත හැකිය. ඒ අවශ්‍යතාවය මතය. කුණුහරපද එසේය. හිත රිදවා බැන වැදීමට මෙන්ම අවැසි නම් කෙනෙක් සිනාගැන්වීමටද කුණුහරප යොදාගත හැකිය. ඉදින් මේ සරසවි සාහිත්‍යය වනාහී කුණුහරපයේ සුභාවිත්යක් නොවෙද?

තවත් තතු ඉදිරියට...

Tuesday, June 24, 2014

කිවිඳිය මං, කවි නො ලියන




හිමි සඳ අහිමි සඳ දුක හිත පතුලේ                            ඇති
නිමි පෙම ගැනම ලතැවුල් සෝ සුසුම්                      වෙති
හිමි හැර ගියා මගේ ලොව දැන් ඉරක්                      නැති
ඉමි දුක තියා හිත හුරු වන තුරා                                නිති

නුඹ දුන් හීන තාමත් නෙත් ඉමේ                              ඇත
මා පිදු ප්‍රේම ගඟ තව පපුතුරේ                                  ඇත
ලොවටම කිව්ව අපගේ පෙම බිඳී                             ඇත
කඳුලින් හඬා ලියමි යසෝදරා                                   වත

ගේනා එදා නුඹ මට පෙම් මල්                                 තඹර
වීනා වයා සැනහූ මා සිත්                                         අඹර
පේනා ඉමක වත් නුඹ නො රැඳී                            සොඳුර
නේනා ලෙසම ගියේ ඇයි නුඹ වී                              දබර

උහුලන හිතේ දුක වාවනු නො හැකි                        දිනේ
පීදුන නැඹුලු මල් පර වී යාවි                                 සෙනේ
දෑසම පියා වුව තව නුඹේ රුවම                            පෙනේ
සිහිනෙට වුවද කම් නැත යලි වඩිනු                       මැනේ

හිර ගෙන මගේ ලොව තුල අම සෙනෙහෙ                 විඳි
තිර පෙම කියා මගේ ළමැදේ නිතොර                        රැඳී
දුර නුඹ ගියා දුක ළඟ තනියට                                ලබැඳි
හැර යන තුරා කවි නොලියු මං                               කිවිඳි

෴