Friday, February 16, 2018

ටෙලි කලාව හා කූඹියෝ

Image result for koombiyo

ඉන්දියානු ටෙලිය ලංකාව ආක්‍රමණය කලේ, මට මතක විදිහට, සිරස ටීවී එකේ හඬ ගන්වා විකාශය කළ "ශාන්ති" කියන ටෙලියෙන් පටන් අරගන. මම වැරදි නැත්නම් ඒ 1996 සිට 1997 කියන අවුරුදු වෙන්න ඕනෙ. "මන්දිරා බේදි" කියන ඉන්දීය සිනමා නිළිය ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් අස්සට රිංගගත්තෙ, ඒක ඒ කලෙ අලුත් අත්දැකීමක් නිසා වෙන්න ඇති. ඒත් මම දකින විදිහට ඒ ශාන්ති ගෙන් පටන් ගත්තු ඉන්දීය සිනමා කළාව ලංකාවට මේ වෙනකොට පිළිලයක් වෙලා හමාරයි.

ශාන්ති, ප්‍රගති, සුජාතා, පාරමී, එක අහසක් යට දී, මහ ගෙදර, චිත්ති, ප්‍රවීනා ආදී එකී මෙකී නොකී ඉන්දීය ටෙලි නාට්‍යය ගණනාවක් මේ වෙනකොට සිරසෙන් පමණක් බිහි වී තියනවා. (මේ වීඩියෝ ටික බලන්න. පරන මතක අලුත් වෙන්න )






පස්සෙ පස්සෙ මේ රැල්ලට එකතු උණා දෙරණ, හිරු ටීවී වගේ ප්‍රධාන නාලිකාවනුත්. ජාතික රූපවාහිණියත් ස්වාධීන රූපවාහිණියත් මේ රැල්ල හදන්න උත්සහ කළේ කොරියන් නාට්‍යය හඳුන්වා දෙමින්. ඒත් ඒව ඉන්දීය නාට්‍යය තරම් මිනිස්සුන්ව අල්ල ගත්තෙ නැත්තෙ, කොච්චර උණත් ලංකාවෙ මිනිස්සුන්ගෙත් ඉන්දීය සම්භවයක් ගෑවිලාවත් තියන නිසා වෙන්න ඇති.

කොහොමින් කොහොම හරි දිය කැට පහන, දඬුබස්නාමානය, පළිඟු මැණිකේ, චරිත තුනක්, නෑදෑයෝ, දූ දරුවෝ, සත් පුර වැසියෝ, බෝනික්කෝ, රතු රෝස, ඉන්ගංමාරු කතා, අසල්වැසියෝ, සෙනෙහෙවන්තයෝ, දුන්හිඳ අද්දර වගේ ලංකාවෙ ටෙලියනුත් බිහි උණා වගේම පස්සෙ ඒවා පසු බෑමකට ලක් උණා. ඒ පසු බෑම කොහෙන් කොහොම ඇති උණාද කියන්න දන්නෙ නෑ.




මේ වගේ ගමනක් ඇවිත් අවසානයේ මෙගා නාට්‍යය කියන කලාව ලාංකීය ටෙලි සංස්කෘතිය ඇතුලට මුල් බැහැ ගන්න පටන් ගත්තා. මුලින්ම බිහි උණ මෙගා නාට්‍යයක් තමයි "වසූදා". ඒකෙ මම දැක්ක දේ තමයි ඉන්දීයානු ශෛලියට වේශ නිරූපන, ඉන්දියානු ශෛලියට ලංකාවෙ නලු නිලියන් රඟ දක්වන ආකාරයක්. ඒක ඊටත් වඩ කැපී පෙනුන තැනක් තමයි "කිඳුරංගනා" කියන ටෙලිය. ඉතින් ඒ නාට්‍ය වලට පහරක් එල්ල කරන්න වගේ ස්වාධීන රූපවාහිණිය බට්ටි, පබා, පබලු වගේ ටෙලියන් එළියට දැම්ම. හැබැයි ඒ කලාව අද වෙනකොටත් අඩු වැඩි විදිහට විවිධ නාළිකාවල විකාශය වෙනවා.







ඇයි මම මේ නාට්‍ය ගැන කතා කරන්නෙ? ටෙලිනාට්‍යය කලාවක් බිහි වෙන්න කළින්, ගුවන් විදුලි නාට්‍ය තුලින් ප්‍රෙක්ශකයන්ට ඉතා ඉහල රසාස්වාදයක් දෙන්න හැකියාවක් තිබ්බා. ඒ නාට්‍යය කලාව තුලම තිබුණ දෙයක් තමයි පරිකල්පන හැකියාව දියුණු කරන එක. ශ්‍රව්‍යය මාධ්‍යය, ශ්‍රව්‍ය හා දෘශ්‍ය විදිහට කලාවට එනකොට ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට අඩු උණත්, කුතුහලය තුලින් ඒ පරිකල්පන හැකියාව තරමක් දුරට රඳවා ගන්න පුලුවන් උණා. ඒක පරණ නාට්‍යය ගැන කතා කරන ඒව බලපු අයගෙන් තේරුම් ගන්න පුලුවන්. ඒත්, මෑත කාලයේ ගත්තම, ඒ වගේ කුතුහලයක් ඒ නාට්‍යය වලින් පෙනුනේ නෑ. පළවෙනි එපිය බැලුවට පස්සෙ අන්තිම එපිය ගැන අනුමාන කරන්න හැකියාව ගොඩක් නාට්‍යය වල තියනව. අනික ඒවා දින පතා විකාශය වෙන නිසා කුතුහලයක් කියල දෙයක් තියෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙන සුලු කුතුකුතුහලයක් උනත් පැය විසිහතරක් ඇතුලත නැති වෙනව කියල ප්‍රේක්ෂක විඥ්ඥානය තේරුම් අරන් තියනවා. ප්‍රේක්ෂකයා අවිඥ්ඥානිකව, ඒ කුතුහලය තුලින් පරිකල්පනයට යන රසාස්වාදයෙන්, ලල් එකක් නොලබන තැනටම මේ වෙනකොට පරිනාමයට පත් වෙලා තියනවා.

අන්න ඒ වගේ යුගයක තමයි කූඹියෝ කරලියට බහින්නෙ. බාල මහලු තරුණ සෑම දෙනෙක්ම වාගෙ අද වෙනකොට උන්මාදයකට ඇදල දාන්න තරම් හැකියාවක් කූඹියෝ ටෙලියට හැකියාව ලැබිල තියනවා.



සතියකට දින දෙකක් විතරක් විකාශය වීම නිසා අර කුතුහලය තුලින් ගොඩනැගෙන පරිකල්පනය 100% සාර්ථකව මෙතනදි ගොඩ නැගෙනවා. ඒකට මුහුණු පොතේ තියන කූඹි ගුල ෆෑන් බේස් එක සාක්ශි දරාවි. හැම නාට්‍යයකටම ඒ පරිකල්පනය දියුනු කරන හැකියාව නෑ. නොහිතන අතු රැසක් ඔස්සේ හිතන්න අවස්තාව කූඹියෝ කතාව ඇතුලේ ගැබ් වෙලා තියනවා. මුලින්ම මෙගා නාට්‍යය ගැන බිහි උණ තර්කය තමයි, දිනපතා විකාශනය උණේ නැත්තම් කලබලකාරී ප්‍රෙක්ෂකයට ඒක අසාදාරණයක් කියන එක. වක්‍රාකාරව මේ එල්ල කලේ ප්‍රේක්ශකයගේ පරිකල්පනය හා රසාස්වාදය බාල වෙලා කියන එක. ඒත් ඒක එහෙම නෑ කියන එක කූඹියො ඔප්පු කළා. කොච්චර කාර්යබහුල සමාජයක් උණත් රසාස්වාදය හඳුනනවා. ඒ වගෙම තවමත් පරිකල්පන ඉහලින්ම තියනවා කියන කූඹියො එක පිට ඔප්පු කරල හමාරයි. සමාජයට කූඹියෝ එළියට එන්නෙ කූඹියෝ වගේ ටෙලියක අවශ්‍යය තාව තදින්ම තිබුණ වෙලාවාක. කුඹියෝ නිසා රූපවහිනී නාට්‍ය වලින් බැහැර වෙලා හිටපු නව පරපුර ලාංකීය රූපවාහිනි ටෙලි කලාවට වහල් උණා. (කලාවට වහල් උණාටත් වඩා මෙතනදි උණේ කූඹියො කියන නාට්‍යයට වහල් වෙන එක ). How I met your mother, Big-Bang Theory, Game of Thrones, Six Feet Under, Brooklyn Nine Nine බටහිර මාලා නාට්‍ය වලින් මොහොතකට හරි මිදිල දේශීය දේකට බඳවා තියා ගන්න හැකි උන ලකා ඇතුලු පිරිස ගත්ත උත්සහය අති සාර්තකයි.

ඉතිං කූඹියෝ ටෙලිය උච්චතම අවස්ථාවකට ඇවිත් ඉන්න මේ මොහොතෙ මම හිතන්නෙ, කූඹියෝ වගේම තවත් හොඳ නාට්‍යයකට එන්න දැන් කාලෙ හරි. නැත්තම් ඒ වගේ උසස් පරි කල්පනයක ඉඳල ආයේ මේ ආදරයයි, ශිවන්යා වගේ ගොබ්බ (සමාවෙන්න ) මට්ටමකට වැටුනොත්, ඒ කම්පනය කූඹියෝ රසිකයොන්ට දරා ගන්න බැරි වේවි.

Thursday, February 15, 2018

තවත් එක කවියක්

සැඟ වී වන සිරස් කොනෙක
සියුමැලි මුදු සොඳුරු මලෙක
ඇති සුවඳේ රැඳුනු මෙලෙක
කොහොමට පවසමිද කවෙක

රසයකි නෙතු පිනන කමල
පැහැසර දිලි දසුන නිමල
පිපි හද විල සරන අකල
හද සනහන සිහින අමිල

සිහිනෙත් නෙතු තුලට වැදී
නුඹ මගෙ මුලු ලොවම යදී
මගෙ හිත නුඹ ළඟම රැඳී
මම කොහොමද ඉන්නෙ මිදී

Saturday, February 10, 2018

නිර්නාමික xvii

මේධානි සිය දරුවා උකුළෙහි රුවා හිඳින්නීය.

"අකලංකත් මේ කතාව මොකට හාරාවුස්සනවද මන්ද...!"

"මම දන්නව මේධානි. පරන දේවල් අවුස්සන්න ගියාම හරියට මළමිනියක් ගොඩ දානව වගේ දෙයක් කියල. ඒත්... මුල ඉඳන් ඇහුව කතාව ආයෙ මග නවත්තන්න හිතෙන්නෙ නෑ"

"හ්ම්ම්. ඉතින් තව මොනාද දැන ගන්න තියෙන්නෙ...!"

"ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ කියන්න."

මේධානි සිය දරුවත් සමග නැගිට්ටාය.

"අකලංක මොනවද බොන්නෙ?"

"මුකුත් එපා. කරදර වෙන්න එපා. මම ආවෙ මේධාගෙන් කතාවෙ ඉතුරු ටික අහන්න"

යළිත් මේධා දරුවාද තුරුල් කර හිඳ ගත්තාය. ඈ දරුවා දෙස බලා සිටින්නීය. ඇයට තව තවත් බල කිරීමට මටද සිත් නොදේ. කතාව කීම හෝ නොකීම ඇගේ අයිතිය ය. මම යළිත් මේධා - තිවංක පෙම් පුවත ගැන නො අසමියි ඉටා ගතිමි.

"මගේ අතට දෙනවද දරුව... ටිකක්..." මම මේධාගෙන් ඇසුවෙමි.

"ඔයාට පුලුවන්ද?"

"මොකෝ බැරි... දෙන්නකො..."

මම මේධානිගේ පුතු, සීරුවෙන් තුරුලට ගතිමි. මේධා නැවතත් පුටුවට බර වූවාය. ඈ සුසුමක් හෙලා දෙනෙත් පියා ගත්තීය.

මේධානිගෙ පුතු සිය සැමියාගේ මුහුන අංගයක් නෑර විද්‍යාමාන කරයි. මම සුරතල් පුතුන් නැළවීමි.

"අකලංක... එක අතකට ඔයා මගෙන් මේ දේවල් අහන එක හොඳයි. නොකිව්වට, මෙ කතාව ඔයාට කියන එකෙන් මගෙ හිත ගොඩක් සැහැල්ලු වෙනව." මේධානි දෙනෙත් පියාන කීවාය.

"ඒත් මට බල කරන්න අයිතියක් නෑනෙ" මම කීවෙමි.

"අකලංක, මට දෙයක් තියනව අහන්න. මම තිවංකට පොරොන්දු උනා මේ ප්‍රශ්ණෙ කවදාවත් කාගෙන්වත් අහන්නෙ නැහැයි කියල. ඒත්... මට අහන්න වෙනව..."

"ඉතින් අහන්න." මම කුකුසෙන් යුතුව මේධා දෙස බැලුවෙමි. සිය දරුවා සමග නිදි වැරීමෙන් ඈ තව තවත් කෘශ වී ඇති සෙයකි, ඇය වෙතින් දිස් වූයෙ. දරුවා මා අතට දීමෙන් ඈ මිනිත්තු කීපයක හෝ නිදහසක් ලැබූ බැව් ඇගෙන් පිටව ගිය සුසුම් දැක මට පසක් විය. "මොකද්ද මේධට ඔය හැටි අහන්න තියන ප්‍රශ්නෙ?"

"මම අහන්නම්. ඊට කලින් මගෙ කතාව කියන්නම්... "ඈ තවමත් පුටුවට බරව දෙනෙත් පියාන සිටී. ඒ අතීතය මෙනෙහි කරනවා විය යුතුය. ඇගේ කොපුලත් දෙතොලත් වරින් වර අමුතුවෙන් වෙව්ලනු මම දුටුවෙමි. ඇය සිත තුල ගලා යන සිතිවිලි දහරාවන් මුහුණ නැමැති කැඩපතෙන් එළියට පනින සෙයකි. මම ඇගෙ හැඟිම් කියවන්නට වෙර දැරීමි. ඈ සිටිවනම සිය කතාවෙහි ඉතිරිය දිග හැරීය.

*****

තිවංකට, තිවංකගෙ වචන වලට, අදහස් වලට මම ආදරය කළෙමි. මගේ කතාව තවත් එක් හුදු 'බොළඳ ආදර කතාවක්' වන තරමටම මම ආදරෙන් විඳවීමි. එදයින් පසු යළි මම පාසල් නොගියෙමි. රම්‍යා මිස් වත්සලා අත පණිවිඩයක් එවා තිබුණේ විභාගය අවශ්‍යය ලිය කියවිලි රැගෙන යන ලෙස කියමින් ය. ඉදින්, යළිත් වරක් හෝ තිවංක දැකිය හැකි යැයි සිත තුටින් පෙලුනු මුත්, අම්මා සමග පසු දින උදයෙම පන්තියටවත් නොගොස්, විදුහල්පති කාර්යාලයේදීම සියල්ල නිම කොට ගෙන ඒමට සිදු විය. ඉතින් තිවංක දැකීමට තිබු අවසන් අවස්ථාවද මග හැරිණි.

දින සති බවට පෙරළෙමින්, සති මාස බවට පෙරළෙමින් විභාගය කෙමෙන් ළඟා විය. විභාගය ලියමිද නො ලියමිද සිතමින් සිත් මඩෙ රුවා ලූ ඉන්නක් මෙන් වැනෙයි. අම්මා හෝ අප්පච්චි ට මම විභාගය කළත් නොකළත් කම් නැති ගානය.

කෙසේ හෝ, මම විභාගයට ගියෙමි. ඒ අන් කිසිත් නිසා නොව, තිවංක බැලීමටය. පාසල නුහුරු තැනක් ගානය. මහා කාලයක් නොවුනද, පාසල මට නුහුරුය. පන්ති කාමරය මට නුහුරුය. තවමත් කිසිවකුත් පැමිණ නැත. අම්මා මා කැටුව ආවාය. ඈ ගේට්ටුව අසල කීය හෝ වන තෙක් මා එන තුරු සිටින බව මම ඉඳුරාම දනිමි. සුපුරුදු ලෙස පන්තියට ගොඩ වී හිඳගතිමි. තිවංකත් මාත් ඉගෙන ගත් හදවතේ කොටස් නම් කළ හදවතේ පින්තූරය තව දුරටත් බිත්තියෙහි නොවීය. මා වට පිට බැලුවේ ඒ වෙන තැනක හෝ එල්ලා ඇත් දැයි සැක හැර දැන ගැන්මටය. එහෙත් එය පෙනෙන තැනක නොවීය. මගේ හදවත මා තුල නැත්තාක් මෙන් දැනෙන්නට විය.

තිවංක දන්නව ඇති ඒකට මොකද උණේ කියල. තිවංක කැඩුවත් දන්නෙ නෑ.

මට මහා දුකක් දැනුණි.

ළමුන් එකා දෙන්නා පාසලට එනු පෙණිනි. ස්වර්ණාත් කාංචනාත් මා දැක ඉක්මනින් පන්තියට දුවගෙන ආහ.

"මේධා... මොකද කෙල්ලෙ මේ උණේ...?" කාංචනා මා අසල හිඳගනිමින් ඇසුවාය.

"මන්ද කාන්චනා. මට තේරෙන්නෙත් නෑ!"

"උඹ මළගෙදරවත් ගියාද බං?" ස්වර්ණා මගෙන් ඇසීය.

මම ගැස්සී ඇය දෙස බැලුවෙමි.

"මළගෙදර? කාගෙද?"

"අනේ...! උඹ මේව දන්නැද්ද කෙල්ලෙ?" ස්වර්ණාත් කාංචනාත් මුහුණෙන් මුහුණ බලා ගත්තාය. මට මා ඉදිරියේ ලෝකය අඳුරු වී යන සෙයක් පෙණිනි. හිඳ සිටි අසුනෙන් ගිළිහී පොළොවට ඇද වැටෙන්නාක් මෙන් යාන්තම් මතකය.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xviii

Sunday, December 17, 2017

මන්දා කිමද නුඹ මට වූයේ සතුරු




ළඟ තනි නොතනියට හිටි කරකාර බිසෝ
පෙර භව පටන් ආවා නුඹ ලෙසින් යසෝ
ගිය කල අවුලුවා පැල ගින්දරින් ලසෝ
අඳුරුයි අපේ ලෝකෙම මගෙ පුන්චි බිසෝ

මතකයි එදා ආ හැටි නුඹ මෙහි කැන්දා
චිරි චිරි හඬට නෙක අත මල් වැහි රන්දා
පිටවී ගියෙන් නුඹ මා හද දුක කැන්දා
අහසත් නොහී ඉහිලුම් රැය ඉකි බින්දා

ලිග්ගල නුඹට මෙන් මට නොව අකීකරු
නුඹෙ පුළුලුකුල මෙන් නැත කළගෙඩිය හුරු
දකිනා මහිත ළදැරිය හඬනා අයුරු
සනහමි කියා බැව්, මව් ගෙන ගියා හොරු

මට නම් විසිය හැක තනි කම හිතින් දරා
දැරිවිය කොහොම සනහන්ද නිදන තුරා
නැතුවද තෙතක් නුඹගෙ ඔය හිතට අරා
කිම නුඹ ගියේ නොකියා පැදුරටත් හොරා

කැන්දා එදා වීමට ගනඳුරින් දුරු
නින්දා දෙවා පිය මව් මට විය සතුරු
බන්දා පෙමින් රූපෙට නුඹගේ සොඳුරු
මන්දා කිමද නුඹ මට වූයේ සතුරු

Saturday, December 2, 2017

සියල්ලෝම සතුටින් විසිර ගියහ

Image result for leave me

සියල්ලෝම සතුටින් විසිර ගියහ. මම පමණක් තනි වූයෙමි. ඇන්ඩෲ වත් අද මා අසල නැතිය. ඇන්ඩෲ නම් මගේ සුරතල් බල්ලා ය. සති දෙකකට පෙර අපේ බල්ලාය. සතියකට පෙර පටන් මගේ බල්ලා ය. මට දැන් ඇන්ඩෲට උත්තම පුරුෂ බහුවචනයේ 'සම්බන්ධ විභක්ති' අර්තයෙන් ඇමතීමට හිත නොදේ. එකක් ඇන්ඩෲ ද දැන් නැති නිසා ය. 'අපි' යැයි කීමට කිසිවකුත් මා සමග නැති නිසාය. ආලිදයේ හාන්සි පුටුවට බරව ඔහේ මිදුල දෙස බලා හිඳිනු විනා කිරීමට කිසිත් ද මට නැතිය. සුමනා උදේ පැමිණ දවල්ටත් ඇති පදම් බතක් උයා මාලුවක් දෙකක් ද සාදා ගියාය. අහල පහල ඈයෝද උදේ අස් පස් කිරීමට උදව් වී සිට පිටව ගියෝය. ඉතින් නිවසේ මා පමණකි.

"අම්මගෙ හිතුවක්කාර කම. ඇයි බැරි අපිත් එක්ක ඉන්න එන්න?" මා බාල පුත්, සඳමිණ මගෙන් ඇසුවද, සියුම් හිනාවක් දක්වනු විනා ඉන් එහා කීමට යමක් මට නොවීය. සැබැවින්ම ඒ මගේ හිතුවක්කාර කමද විය හැකිය. සඳමිණ ලා පිටවගියේ අද උදේ පාන්දරමය. දෙවන දැරිවිය, කස්තුරි ඊයෙ හවසම ගියේ සිය සැමියාට නිවාඩු නැති නිසාය. 

"අම්මෙ, මෙහෙ තට්ට තනියම ඉන්න ඕනෙ නෑ. අම්ම එන්න අපේ ගෙදර. අපේ පුතත් කැමති අම්ම එනවට. අනික එහෙත් අපි විතරනෙ. සංජය කිව්වෙම අම්මව එක්කගෙන එන්නම කියල, මේ ගේ දොර වහල දාලා." කස්තුරි මා හා කීවාය. ඒ දානෙ අහවර කොට හවස තේ කෝප්පයක් තොල ගාන ගමන්ය. 

"මේ ගේ වහල කොහොමද? අනික... මට එහෙම පාලුවක් නෑ. ඔස්ටින් අන්තිම කාලෙ කොහොමත් එක් තැන් වෙලා හිටියේ. මම ඉතින් ඔක්කොම තනියෙන් කරගත්තෙ. ඊටත් හදිස්සියකදි උදව්වට සුමන එහෙම අහල පහල ඉන්නෙ." මම කස්තුරි දෙස නොබලාම කීවෙමි.

"මෙච්චර කියද්දිත් තියන හිතුවක්කාරකම. මෙහෙ අහල පහල ඉන්න එකාලට අම්මව බලන්න, මොකෝ අපි නැතුවද. ඇයි කියන එකක් නාහන්නෙ?" කස්තුරිගෙ වචන නොකඩවා පිටවෙයි.

"ඉතින් මට තවම බැරි නෑනෙ කස්තුරි. මාත් එකතැන් වෙච්ච කාලෙක එන්නම් ළමයි ගාවට." මම සිනාසුනෙමි. "ඊටත්, තාම මගෙ අත පය හයිය තියනවා. අනික මේ ගෙවල් දොරවල් පාලුවට ඇරල තියන්නෙ, මොන හිතකින්ද" මම ගේ දොර පෙන්නා ඇගෙන් බේරෙන්න සිතුවද, ගේ දොර ඉඩකඩම් වලට මගේ කිසි බැඳීමක් හෝ ආශාවක් නොවේ. සියල්ල දරු මුණුබුරන් හට පවරා හමාරය. නමුත් ඔවුහු ඒ කිසිවක් භුක්ති නොවිඳිති.

"අම්මගෙත් ලෝබ කම. මේ කැලෑ මැද්දෙ ගෙවල් පරිස්සම් කර කර ඉන්නැතුව යන්න ලෑස්ති වෙන්න" කස්තුරි එසේ කිව්වද, මගේ කැමැත්තකින් තොරව ඈ මා රැගෙන නොයන්නීය.

චන්නට අප්පච්චිගේ මළගමට එන්න වූයේ නැත. එහෙත් දිනපතා කතා කර විස්තර අඩු පාඩු ඇසුවේය. මට පමණක් නොව, කස්තුරිටද කතා කළ බව කස්තුරි මා හා කීවාය. 

"ලොකු අයියට මෙහෙ නාවට, හිතට කැක්කුමයි. ඊයෙ දෙපාරක් මට කතා කළා. අද උදෙත් තුන් පාරක් ගත්තා." කස්තුරි කීවාය.

"චන්න මටත් කතා කරා කීප වතාවක්ම. පව්. ඒ දරුවට අප්පච්චිගෙ මූණ දැකගන්න බැරි උණානෙ, අන්තිම වෙලාවෙවත්!" මම ඇයට කීවෙමි.

චන්න මගේ වැඩිමල් පුතණුවන්ය. ඔහු දැන් කැනඩාවේ පදිංචියට ගොස් වසර දහයක් පමණ වෙයි. චන්න උපන් දා පටන් ඔස්ටිනුත්, මමත් දැඩි සේ පරිස්සම් කළෙමු. ඔස්ටින් අනෙක් දෙදෙනාටත් වඩා ආදරේ කළේ චන්නටය. ඔස්ටින් ඔත්පලව උන් අවසන් සමයේ ඇසුවේද චන්න එනවාද කියා පමණය. දරුවන් වදා, දරුවන් හදා ඔවුන් තම තමන්ගේ ලෝක සොයා කුරුළු කැදැල්ලෙන් ඉගිලෙන කුරුලු පැටවුන් සේ දැක, 'මගේය' කියා ආත්මීය බැඳීමක් නොගෙන, ඔවුන් වැදූ හැදූ සතුට පමණක් හිතේ දරා උපේක්ෂාවෙන් ඔවුන් දෙස බැලීම මා ප්‍රගුණ කොට තිබුණද, ඔස්ටින් ඒ කිසිත්, කිසි දාක නොසිතුවේ ය. අම්මා කෙනෙකු ලෙස දරු දුකක් නැත්තියක ලෙස කිසිවකු මා හට ගැරහීමට ඉඩ ඇත. සාධාරණය! ඔස්ටින් හා සසඳන කළ මා දාරක ස්නේහයෙන් ඔහු හා සම තැන් තිබීමට නොහැකිය. කිසිම පියෙකු තුල නොවූ විරූ පීතෲත්වයක් ඔස්ටින් තුල මම දුටිමි. ඔහු සිය දරුවන් නො වැදුවා, කිරි නුදුන්නා පමණය. ඉදින්, මම ඔහු තුලින් පියෙකු මෙන්ම මවක ද දුටුවෙමි. 

චන්න කුස පිළිසිඳ ගත් දා පටන් වෙනදාටත් වඩා ලියන්නට, කියවන්නට මම හුරු වීමි. ඒ ගත් ත්වරණය, නොනවත්වා අද මේ මොහොත වන තෙක්ම ගෙන එන්නට ඔස්ටින් දුන් සහය ද අපමණය. මම දරුවන්ට මෙන්ම පොත්පත් වලට ආදරය කළෙමි. මගෙන් දරුවන්ට ආදරය යම් ප්‍රමාණයක් අඩු වූවා නම් ඒ අඩුව ඔස්ටින් නොපිරිහෙලා පිරවූ බව මම ඉඳුරාම දනිමි.

කෙසේ වෙතත් දැන් මා පමණක් නිවස තුල තනිවී ඇත. මම සුසුමක් හෙළීමි. දරුවන් වෙතට ගොස් ඔවුනට වදයක් වීමට මට සිත් නොදේ. ඔවුන් ඔවුන්ගේ ලෝක තුල තනි විය යුතුය. මා තුන් වැන්නෙක් විය යුතු නැත. ඔස්ටින් පවා ජීවතුන් අතර සිටියදී පැවසුවේ, දරුවන්ට කරදර නොකළ යුතු බවත්, අවැසි විට ඔවුන් අපට සළකාවි කියාත් ය. ඉදින්, ඔස්ටින්ගේ වචන මම පිළිපදිමි. කෙසේ නමුත් ඔස්ටින් හෝ මම දරුවන්ගේ සැළකිලි බලාපොරොත්තු නොවීමු. මම ද එසේ බලාපොරොත්තු නොවෙමි.

චන්න ඉපිද, සිව් වරකින් නැවත මම ගැබ් ගත්තෙමි. නමුත්, හය හත් මසකින් පමණ, ගැබේ නිසල වීම්කින් ඔස්ටිනුත් මමත් බිය වීමු. ඒ දරු සම්පත අපට අහිමි විය. ඔහුට මව පියා වීමට අප පින් නො කොට තිබුණා හෝ අප දෙදෙනට පුතකු වන්නට ඔහු පින් නො කොට තිබුණා දැයි අපි නො දනිමු. එදා, මා හිත හයිය කොට සිටියදී වුව, ඔස්ටින් මා බදාගෙන හැඬුවා මතකය. ‍යළිත් අපට දරු සම්පත් ලැබීමට ඉඩ අඩු බව ඒ වෛද්‍යයවරු කීවද, ඉන් තුන් වසරක් ගිය තැනේදී කස්තුරි උපන්නාය. කස්තුරි ගේ උපත නිවසට එළියක් විය. ඈ දඟ කාරියකි. චන්න තැන්පත් ඇවතුම් පැවතුම් ඇත්තෙකි. චන්නවද අවුස්සමින් රණ්ඩු දබර කිරීම කස්තුරිගේ සතුට විය. එහෙත්, දෙදෙනාට දෙදෙනා ඉතා මිතුරුය.

සඳමිණ මා කුසට පැමිණියේ කස්තුරිගෙන් වසර දහයකුත් මාස හයක් ගත වූ තැනය. කස්තුරිට ඒ හැටි තේරුමක් නොතිබුණත්, චන්නට සඳමිණගේ පැමිණීම ගැන පැහැදීමක් නොතිබුණේ ඔහු තේරෙන වයසේ සිටි නිසා විය යුතුය. කස්තුරිව කුස දරා සිටියදී නම් චන්න නොයෙක් ප්‍රශ්ණ මගෙනුත්, ඔස්ටින්ගෙනුත් ඇසුවේය.

"ඇයි අප්පච්චි අම්මගෙ බඩ ඔය හැටි ලොකු?" ඒ චන්න ය.

"අම්ම ගොඩාක් බත් කනවනෙ පුතේ" ඒ ඔස්ටින් ය.

"ඉතින් අප්පච්චි, අම්ම කන්නෙත් මම කන පිඟානෙමනෙ. මම කන ගානමනෙ. මගේ බඩ කොච්චර කෑවත් මෙච්චරම තමයි"

"පුතා කන කෑම ටිකෙන් වෙන්නෙ පුතා උස යන එක. උස ගිහින් ඉවර උණාම තමයි කන කෑම වලින් බණ්ඩි ගෙඩිය ලොකු වෙන්නෙ. අම්ම දැන් උස ගිහින් ඉවරනෙ. දැන් ඉතින් අම්ම කන ඒව ඔක්කොම බන්ඩි ගෙඩියට යන්නෙ, ඒකයි බණ්ඩිය ඔච්චර ලොකු වෙන්නෙ" ඔස්ටින් චන්නව රවටයි.

චන්න නැති තැන මම ඔස්ටින්ට චන්නව රවටන්න එපා යැයි පැහැදුවෙමි.

"මාග්‍රට් කියන්නෙ ළමයට බොරු කියන්න එපා කියල ද? එහෙනම් ඇත්තම කියන්නද කියන්නෙ?"

"නෑ ඔස්ටින්, බොරුවක් කීවත් ඔය හැටි බොරු කියන්න එපා. බඩ ලොකු මොකද ඇහුවම, බඩ ඇතුලෙ බබෙක් ඉන්නවයි කියන්න."

"ඊට පස්සෙ බඩට බබාල කොයින්දයි, අම්ම බබාලව ගිලිනවදැයි ඇහුවම ඔව්වට බෑ ඔන්න මට නම් උත්තර දෙන්න" ඔස්ටින් මහහඬින් හිනැහෙයි. මමද ඊට එක් වෙමි.

පසුව, දූ ඉපදීමට කිට්ටුව මම චන්නට කුසෙහි සිය නැගණිය සිටින බව පැවසුවෙමි. ඉන් එහා ඔහු කිසිත් නොඇසීය. "අප්පච්චි බොරු නේද කිව්වෙ?" චන්න ඇසීය.

"නෑ... අප්පච්චි කිව්ව එකත් ඇත්ත. ඒත්... ඔන්න අම්මගෙ බඩ ඇතුලෙ, පුතාට නංගියෙකුත් ඉන්නවා." චන්න නංගී පිළිගැනීමට සතුටින් සැරසුනේය.

සඳමිණ මා කුසේ දරා සිටින විට චන්න බඩ ලොකු ඇයි දැයි ඇසීමට තරම් නො දරුවකු නොවූ නිසාවෙන්, ඒ ගැන චන්න ඉන්න තැනක කතා කිරීමට පවා ඔස්ටින් මැලි වූවේය. චන්නගේ හිත මම කවදාක වුව කියවූයෙමි. කස්තුර කුස දරා සිටි අවධියේ චඟේ හැසිරීමත් සඳමිනව කුස දරා සිටියදී චන්නගේ හැසිරීමත් මම විනවිදිමි.

"ලොකු පුතාට මතකද, නංගි හම්බෙන්න ඉන්දෙද්දි පුතා මගෙ බඩට කන තියල නංගිව ඇහෙනවද බැලුව? ඇයි දැන් එහෙම බලන්න ආසා නැද්ද?"

"ම්ම්ම්... නෑ... එහෙම එකක් නෑ."

"පුතා කැමති නැද්ද, අලුතෙන් එන මල්ලියට"

"කැමතියි."

"එහෙනම් කතා නොකරන්නෙ ඇයි මල්ලි එක්ක?"

"නෑ ඉතින්... යාලුවො මට විහිලු කරනවා. මම ළමයි හදන්න ඕනෙ කාලෙ උඹේ අම්මට ළමයි හම්බෙනව කියල"

මම චන්නව තුරුලට ගත්තෙමි. 

"මගෙ පුතා හිතන්නෙත්, මේ පුතා ළමයි හදන්න ඕනෙ කාලෙ කියලද?"

"නෑ..." 

"එහෙනම්..."

"ඒත් යාලුවො විහිළු කරද්දි දුකයි"

"මගෙ පුතේ, පුතා දන්නවද ගැහැණු කෙනෙක්ට ලැබෙන හොඳම දේ මොකද්ද කියල?"

"නෑ මොකද්ද?"

"අම්ම කෙනෙක් වෙන්න ලැබෙන එක"

"ඉතින් අම්ම කොහොමත් අම්ම කෙනෙක්නෙ"

"ඒ මගෙ පුතාටයි, පුතාගෙ නංගිටයිනෙ. තව මල්ලියෙකුත් ආවම, අම්මට ඒ මල්ලිටත් අම්මෙක් වෙන්න පුලුවන්"

චන්න කිසිත් නොකිව්වේය. එහෙත්, ඔහු කස්තුරිටත් වඩා සඳමිණට ආදරේ කරන්නට පටන් ගත්තේය. චන්න විටෙක සඳමිණට අයියෙක් ලෙසත්, විටෙක් අප්පච්චි කෙනෙක් ලෙසත් සිටියේය. ඉදින්, මා දරු බරින් තවත් නිදහස් විය.

කාලය විදුලි වේගයෙන් හමා යන බව මේ මොහොතේ සිට ආපස්සට හැරි ආවර්ජනය කරන කළ මට සිතේ. සඳමිණට දැන් විසි අටකි. මට දැන් හැත්තෑ හතරකි. ඔස්ටින් ජීවතුන් අතර සිටියේ නම් ලබන මාසයේ හැත්තෑ නව වැන්න සමරන්නට තිබිණි. එහෙත්, යන්නට කාලය ආ විට යන්නට සිදු වන්නේය.

ඇන්ඩෲ ඔස්ටින්ගේ සුරතලාය. ඔස්ටින් ඔත්පලව උන්නද, ඇන්ඩෲ කෙරෙ ඉමහත් කරුණාවක් ඔස්ටින් තුල විය. ඇන්ඩෲ ද එසේමය. ඔස්ටින් අසලම දැවටෙමින්, ඔස්ටින් අසලට කිසි ආගන්තුකයෙකුට ළං වෙන්නට හෝ ඉඩ නොදෙමින්, ඉතා ආදරෙන් සිටියේය. ඔස්ටින්ගේ මිය යාමත් සමග ඇන්ඩෲ ද දරුණු ලෙස අසනීපව හිඳ, ඔස්ටින් භූමදාන කොට දෙවැනි දිනයේ ඇන්ඩෲ ද පරලෝ සැපත් වූවේය. 

සියල්ල බැඳීම්ය. අතීතය බැඳී ඇත්තේ වර්තමානයටය. වර්තමානය බැඳී ඇත්තේ අනාගතයටය. එනම්, අතීතය අනාගතයට බැඳි පවතී. මම දරුවන්ටද, දරුවන් මටද, මම ඔස්ටින්ද, ඔස්ටින් ඇන්ඩෲ ටද ආදි වශයෙන් සියල්ලෝ සියල්ලන්ට බැඳී සිටින්නෙමු. බැඳීම් මත නැවත නැවතත් බැඳෙන්නෙමු. බැඳිම් ලිහා ගැන්මට නොහැකි නම්, අවම වශයෙන් බැඳීම් බැඳීම් ලෙස දැකිය යුතුය. නො එසේ නම් ජීවිතය ගලා යාම අපහසු වනවා නො අනුමානය.

මම තවමත් හාන්සි පුටුව මතය. මිදුලට රාස්සිගේ අව්ව වැටී ඇන්තූරියම් මල් මලානිකව ගොස් තිබේ. ඔස්ටින් වවා තිබූ තණ කොළ යාය, දැන් වත්ත පුරා වැසී ගොස්ය. සියල්ල තාවකාලිකය. කිසිත් කැමති සේ නොපවත්නේය. හැලහැප්පීම් මැද ගෙවා ආ ජීවිතය, යළි යළිත් සිහි කරන විට තරම් සුවයක්, ඒ ඒ සංධිස්ථාන පසු කරන විට ඔස්ටින් හෝ මම අත් නොවින්දෙමු. නොබෝ දිනකින් මටද, ඔස්ටින් අමතනු ඇත. ඔහු වෙත යාමට මා සූදානම් විය යුතුය. නැත! යළිත් ඔහු වෙත නොයන්නෙමි. මම මෙහිම නිවෙන්නෙමි. එහෙත්, නිවෙන්නට නොහැකි වුවහොත්? ඔව්. යම් හෙයකින් එසේ නො නිවුනහොත්, මම ඔස්ටින් වෙත යමි! යළිත් මුල සිට අරඹමි.

නිමි.

Sunday, November 5, 2017

දවසක

මං මැරුණම නාඬා ඉන්න
ඒ ඇති හිත හදා ගන්න
ඔය ඇස් අග කඳුලු බිංදු
බෑ දැක දැක පලා යන්න


නුඹ නුබ මත තරුව වෙන්න
මම සඳ දිය දහර දෙන්න
අමාවකට ළඟ නැතිකොට
එපා අඳුර තුල ගිලෙන්න


රෝස කැකුළ නුඹම වෙන්න
මා ඒ මත බඹරු වෙන්න
පින් මදිවැති ඔය මල් රොන්
ආදරයෙන් උරා බොන්න


මල මත පිණි බිම හලන්න
මල් පෙති මුකුලිත කරන්න
මම නැතුවට එපා මලේ
අකාලයේ පරව යන්න

Saturday, November 4, 2017

නිර්නාමික xvi

ඇත්තටම ලියන්න පටන් ගත්තෙ, මොනා හරි ලියන්න හිතිච්ච නිසා මිසක්, ලියන්න දෙයක් තිබිච්ච නිසා නෙවෙයි. මොනාද ලියන්නෙ? ආදර කතාවක්? නැත්තම්, නිර්නාමික එකේ තවත් කොටසක්? මේධලා, තිවංකලා මොනා කරනවා ඇත්ද? වැඩක් නෑ. අනුන් ගැන ලියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. නැද්ද මම කියන්නෙ?

අලුතෙන්ම කතාවක් ලියන්න හිතුනත් මොකද්ද ලියන්නෙ? කවුරු ගැනද? කථා නායකයාට දාන නම මොකද්ද? මම කල්පනා කලා. හිත ඇතුලෙ නම් පෝලිමක් පෙල ගැහුනා. කසුන්? එපා. හැමතැනම කසුන් ල. වෙන... නදීර? නදීර කියල මට යාලුවෙක් හිටිය ඉස්කෝලෙ යන කාලෙ. එපා. ඒක කතාවකට ගැලපෙන්නෙ නෑ. රැඩිකල් නමක්? ම්ම්ම්... චන්න? චන්න කොහෙද රැඩිකල්? කන්චුක? කන්චුක? ඒක නමක් ද? රජ කතාවකට හොඳයි. එහෙම ඒව ලියවෙන්නෙ නෑ. තිවංක නිර්නාමික එකෙත් ඉන්න නිසා, එයාව ආයෙ ගන්න බෑ. ඒත්, තිවංක... මේධා... තාමත් කෙළවරක් නෑ. වෙන කතා කියන්න කලින් තිවංකලාගෙ කතාව ඉවර කරමු.

*****

තිවංක සිදුවීම් අතර අතරමංව හුන්නේය. සරළවම කියතොත්, 'ආතක් පාතක්' නැතිව සිටියේය. කෙළවරක් සොයා ගත නොහී සිතුවිලි සමුදායක අතරමන්ව හුන්නේය. පෙර දිනවල දුටු සිහින වල අරුත් සිතන්නට පුරුදු විය. එහෙත් ඉන් පලක් නොදිටීය. පාසල් යාමේ උනන්දුවක් ද නොවීය.

රටා පැදුර මත එක් ඇලයක්ට බර වී හුන් තිවංක ඉන් නො නැගිටම, දබරැගිල්ල පැදුරේ රටා දිගේ ගෙන යන්නට විය. කුරුල්ලෝ කෑ ගසනු කන වැකුණද, පැදුරෙන් නො නැගිට එහිම හුන්නේය.

"අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද?" අම්ම තිවංකගෙන් ඇසුවාය. ඈ තම සුපුරුදු චීත්තය බෙල්ලේ රුවා සිටියාය.

"අද බෑ වගේ" තිවංක හිටිවනම ඇයට කිව්වේය.

"අනේ මන්ද... උඹත් මොන මොනා කරන්න හිතන් ඉන්නවද කියල. මට තේරෙන්නෙ නෑ." ඈ එතනින් පිටව ගිය බව හඬේ අඩු වීමෙන් වටහා ගත් තිවංක, පැදුරෙන් නැගිට ඒ මතම මැටි බිත්තියට වාරු දී හිඳ ගත්තේය. තිවංක තීරණයක් ගත යුතුය. ඔහු කල්පනා කරන්නට වන්නේය. සිය ජීවිතය මෙතෙක් ගෙවූ සැටි, ඒ අතීතය දුක විඳවූ සැටි, අම්මා ඔහු උස්මහත් කළ සැටි, සිනමා පටයක මෙන් ඔහු ඉදිරියේ දෘශ්‍යමාන වන්නට විය. මේධා හමු වූ දා පටන්, ඇය හා මිතුරු වූ සැටි, ඈ පාඩම් කියා දුන් සැටි, ඇගේ බැල්ම, කැල්ම සිය සිත සොරකම් කළ සැටි, ඔහුට පසක් වන්නට විය. ඒ සොරකම නිසා තවමත් තමන් විඳවන සැටිද ඔහු සිතන්නට විය.

තිවංක ඉස්කෝලෙ නොයන බව සිතා අහවරය. දවසම පැදුර මතම වැඩි වේලාවක් ගත කළේය. මිදුලටවත් නො බැස දවසම අලසව පැදුර මත ගත කලෙන්, හෙට කෙසේ හෝ පාසලට යන බව තරයේ අදිටන් කරගත්තේ, 'බකන් නිලාගන' වඩා පාසලේ හිඳීමත් එකක් යැයි පසක් වූ නිසාය.

පසු දින පාසලට වෙනදා මෙන් තිවංක පිටත් වූයේ කිසිදු බලාපොරොත්තුවකින් තොරවය. එහෙත්, බලපොරොත්තු සියල්ල දැල්වුනේ, පන්ති කාමරයේ වෙනසක් දුටුව හෙයිනි. වෙනදා හිස්ව තිබූ මේධාගේ මේසය මත ඇගේ පොත් බෑගය තිබෙනු තිවංකගේ ඇස ගැටිනි.

පන්තිය තුල වෙන කිසිවකුද නොටියේ, තවමත් පාන්දර වැඩි නිසා විය යුතුය. තිවංක සිය පුටුව වෙත ගොස් හිඳ ගත්තේය.

"තිවංක" මේධා කොහේදෝ සිට හති ලමින් පන්තියට දුව ආවාය. තිවංකද ඇය ඉදිරියට කඩි මුඩියේ දිව ගියේය.

"මේධා? මොකද මේ වෙන්නෙ?"

"තිවංක... මට සමා වෙන්න. මම හින්ද මේ හැම දේම. "

"එහෙම නෑ. මගේත් වරද"

"ආයෙ මම ඉස්කෝලෙ එන්නෙ නෑ තිවංක. තව ටික දවසනෙ විභාගෙට. ගෙදරින් එන්න දෙන්නෙ නෑ. අද බොහොම අමාරුවෙන් කියල ආවෙ. ඔයාව බලන්නම. ඒත් බය උණා. ඊයෙත් තිවංක ආවෙ නැති විත්තියක් උදේ ආරංචි උණා."

"මම දන්නෙ නෑ... මට තේරෙන්නෙ නෑ!"

"මට තේරෙන්නෙත් නෑ" තිවංකට මේධාගේ අත ඇල්ලිමට සිත් වුවත් එකම වරද තවත් වරක් කිරීමට තරම් සිතක් නොවේ. ළමුන් එකා දෙන්නා ඈතින් පන්තියට ඇදෙන්නට විය. තිවංකත් මේධාත් තම තමන්ගේ අසුන් වල හිඳ ගත්හ. දෙදෙනා ඉදිරියේ හදවතේ කොටස් නම් කල රුව දිස් වෙයි. මේධා තිවංක දෙස බලනු, තිවංකට ඇස් කොණකින් පෙනුනද, තිවංක ඒ නුදුටු සේ බිත්තියේ වූ හදවත දෙසම බලාන හුන්නේය.

ඉදිරිය අපැහැදිලිය. තවත් පැහැදිලි කරගත යුතුය.

මතු සබැඳි

ඊළඟ කොටස පහලින්

නිර්නාමික xvii