Thursday, November 17, 2022

අවසරද?

 දිනෙක නොකැලැල් පෙමට මාගෙ නුඹ අතොර දුක් කඳුලු දේවී

දැන දැනම මම ඒ උණත් පෙම් කලේ නුඹගේ නමට පේවී

ශේෂ වූ දුක් කඳුලු ගංගා හිතේ පතුලේ ගලා යාවී

එවන් මොහොතක වුවත් ඔබගේ පාමුලට යළි මෙමා ඒවී


කඳුලු දිය පිරි මතක ඇල්ලෙන් තවම ඉඳහිට විටෙක නාමී

දැවෙන කිස්කන තුවාලෙකි ඒ මතක දැන් නම් නැතිය ප්‍රේමී

දමා ගිය පසු යළි මගේ හිත පිරෙන ඒ පෙම් කඳ නො පාමී

රැඳෙන්නට නොව, බැරිව ගිය නටඹුන් අරන් යන්න මා ආමී



Tuesday, November 15, 2022

බර නැති හිත්

තොරක් නැතිවම හිතත් පිරවුන

හීන තිබුනා හිතවත


මටත් නුඹටත් හොරෙන් මල් පෙති

හෙමින් පරවී ගොස් ඇත


එදා මෙන් තව පිරුණු සෙනෙහස

තියෙනවා මගෙ හිත මත


ඉතින් හිමියනි හිඳිනු බර වී

තාම හයියයි මගෙ අත




පිහිතුඩෙන්

 විරහව ගැන පිරිමි හිතකට ලෝකෙට කාගහල කියන්න පුලුවන් ලස්සනම විදිහ මොකද්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම පෙන්නන්නෙ මේ පද පේලි ටික.

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ 
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්...  පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන්  දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්... පිහිතුඩෙන් ආදරේ ලිව්වේ...

කෙනෙක්ට පුලුවන්ද එහෙම කරන්න? ආදරේ කියන සුන්දර හැඟීම පිහිතුඩකින් දෙනකොට දනෙන වේදනාව මොන වගේද? ඒක මම කියන්න ඕන්නෑ. අහන්න! අමුවටම අහන්න පුලුවන්. ඊට වඩා මම කියන්න යන්නෑ. කියන්න දෙයක් නෑ. ඔයාටම දැනෙයි!



ගායනය, තනුව, සංගීත සංකලනය - සංජීව් ලෝන්ලියෙස්  

වචන -  ඩිල්ශාන් පතිරත්න


Sunday, November 13, 2022

නිදහස්

 හදවතේ කවුලුවට එපිටින්

අතීතේ මතක සුවහස්


පුලුස්සා අලු දූලි සුළඟට

ගසාගොස් හිත කර හිස්


මතක අලු වල පතුලෙ අතුරා

නොපෙනෙන්න පුරවා පස්


ඉතින් ප්‍රේමිය අවසරයි දැන්

නුඹ නිදොස් කොට නිදහස්





Monday, October 31, 2022

නාය ගිය හිත


හිතුවෙවත් නැති මොහොතක

අනෝරා වැහි ආවම

හිසට සෙවනක් නැතිය දුන්නේ

ළඟින් හුන් කිසිවෙක් හෙම


හිසට වන් බර දිය කඳ

දරා ගන්නට බැරුවම

කඳු හිසයි බලු බැනුම් ඇහුවේ

නාය ගියහම හදවත



Sunday, October 9, 2022

විස!

රළු පරලු අකුලු මැද ජීවිතේ රසක්

වින්ද දින මෙතෙක් නෑ විඳෙව්වා මිසක්

පරක්කුයි බොහෝ දේ වෙද්දි මට පසක්

ආදරේ කියන්නෙම හලාහල විසක්!!!






Friday, September 30, 2022

ඒක වෙන්නැති!

නිමිත්ත: *රස්තියාදුකාරියෙක්ට රස්තියාදුකාරයෙක්ගෙන්!


එදා දවසම වෙනද වාගෙ

නොදැනුනේ මට මොකද මන්දා

හිටියෙ දවසම ඇඟිලි ගැන ගැන

උඹ ගැනම හිත හීන රන්දා

අයිති නැතුවත් ඇස් දිහා මට 

බලන් ඉන්නට ඇහැකි හින්දා

එන්න කිව්වත් ඇස් දිහා මට

කෙලින් නොබැලුනෙ ඇයිද මන්දා



හිතෙන් කොටහක් වෙන් කරන්

මං උඹට ආදරෙ කළත් බං

උඹට සෙනෙහස දෙන්න බැරි බව

හොඳ හැටිම දන්නවා මං

ගතින් ඇස් මායිමෙන් උන්නත්

පේන නොපෙනන දුරින් දැං

උඹත් දන්නවා මාත් දන්නවා

අපිට අපි අයිති නෑ බං



අත අරින්නට බැරිව ඇබ්බැහි

වෙච්ච රස මධුවිතකි නුඹ මට

එකත් අතකට මොකට ආදර

කතා නුඹ මට අයිති නැතිකොට

දන්නවා නුඹ තුරුල් වෙන්නේ

නෙවෙයි කියලා ආදරේකට

කමක් නෑ මම බලන් ඉන්නම්

නුඹත් ඈතක ඇදී යනකොට



රෑම හඳ එළි කිනිති අස්සෙන්

පිණිත් හෙමිහිට බිමට එන්නැති

යාමයක් ගැන මුකුත් නොදැනම

මාත් උඹගේ තුරුලෙ ඉන්නැති

පෙමක් පෙනුනත් නෙතේ ලියවුණු

උඹෙන් මට කිසිදාක දෙන්නැති

මමත් උඹටම පෙම් කරන්නේ

මගේ කරුමෙත් ඒක වෙන්නැති