Saturday, July 29, 2023

ඉතින් ප්‍රේමිය

මුහුදු දළ රල පෙනැති වෙරලත 

හැපි හැපී යලි බිඳෙනවා


මගෙ හිතත් ඒ වගෙයි සොඳුරිය 

බිඳි බිඳී යලි හැදෙනවා


නුඹත් මට දෙන කඳුලු තරමට 

මාත් රහසෙන් අඬනවා


ඒත් තාමත් කඳුලු අස්සෙන්

ආදරෙයි මං කියනවා


ඉඳහිටක මම දකින හීනෙක

නුඹ ළඟට වී හිඳීම


දැනෙන කර්කශ හැඟීමට මම

ප්‍රේමයයි නම් තැබීම


ලෝ දමට මම වෙමින් අවනත

නුඹේ අත අත හැරීම


ඉතින් ප්‍රේමිය ඉතිරි මට දැන්

කඳුලු පිස පිස හැඬීම


Tuesday, July 25, 2023

නුඹේ සිත්තම

තෙලි තුඩට පණ පොවන්නේ අන් කිසිත් නොව ඒ නුඹේ හුස්ම

සිතුවමක් නොව හැබෑ නුඹමයි ඇහෙනවා නුඹෙ හදේ ගැස්ම

පපුවෙ කොටහක් උඹට දුන්නත් එතන නුඹ නැති නිසයි හිස්ම

තාම ඉඳ හිට ඇදුම් කනවා ඒ තුවාලෙට දාපු මැස්ම

Monday, July 17, 2023

වෙලුම් පටි

දකිනවද මගෙ හිතේ කඩතොලු

පැලැස්තර හා වෙලුම් පටි වෙලු

පිලිස්සුනු තැන් නිසා ගිනිසිලු

වන් නුඹෙන් නැගි නේක පෙම් දලු

Monday, July 3, 2023

දැන් කමක් නෑ

 නුඹ ගැනම ඉතින් මගෙ හද ගැහෙන හින්දා

මං විඳින දුක නුඹට හැඟෙනවද මන්දා

නිවා තුටු පහන් සිලු හද අඳුර කැන්දා

වීනසුත් තරුවක්ව අහසෙ ඉකි බින්දා


සිත්තමින් නුඹේ රුව මගේ නෙත් කෙවෙනි ළඟ

යන්තමින් වත් නුඹට මගේ දුක හැඟෙනවද

වීනසුත් අසරණයි කියන්නට හරිම මග

පුංචිවත් සෙනෙහසක් මං කෙරේ තියනවද


පෙම් යදම් දමා නුඹේ හදේ මම සිරකරුය

පෙමක් නැති නුඹෙ බැල්ම විටෙක හරි විසකුරුය

හෙටක් නැති ලොවක් මම මවන ඒ බියකරුය

ඒත් දැන් කමක් නෑ, මේ දුකත් මට හුරුය


Thursday, January 19, 2023

මටත් ඉඩ තියනවද?

මං දුන්න රෝස ගහ තාම මල් දරනවද

රොන් උරා ඉගිලෙන්න බඹරු හෙම වඩිනවද

රන් කඳට මං ගැනත් නිනව්වක් තියනවද

මං තාම එතනමයි, නුඹ ඒක දන්නවද


හඳ පිපුන තරු රෑක තරු අතර සරනවද

ඉගිල අතරින් පතර තාම තරු ගනිනවද

මම ළඟින් නැත්තෙ ඇයි, තරු එහෙම අහනවද

නෑහුනා වගෙ අහක බලන් නුඹ ඇදෙනවද


එක්ව ගිය මාවතේ අද තනිව ඇදෙනවද

මතක මතුවෙන තැනක හිත ටිකක් රිදෙනවද

හිතට එන මතක හිත් රිදුම් පිරිමදිනවද

මගෙත් හිතත් ඒ වගෙයි නුඹ ඒක දන්නවද


හිත පිරෙන සෙනෙහසක් කොහෙන්හරි ලැබෙනවද

අහස තරමට උසට සුබ සිහින දකිනවද

නැතුව රෑ දවාලක් හීන වල සරනවද

ඒ හීන වල තාම මටත් ඉඩ තියනවද



Monday, December 5, 2022

තරු

අමාවකටත් තුරුලෙ රැඳෙනා

තරු කැකුලු පොදි බදාගමි

උදුල තරු මිස සඳක් හැමදා

නොරැඳෙනා බව කියාගමි

මතක මල් පෙති සෑයෙ රඳවා

හිතේ ගින්නෙන් දවාලමි

සඳේ සොමිරැස් එපා යළි මම

කඳුලු අතරින් සිනාසෙමි

Wednesday, November 30, 2022

ආදරේ තරම

හුදකලා බිමක් මත

අහස සිප එසවුන

තනිකමට ගල්උන

ගල්කුලක් මි, මම!


එදා දිය පොකුණු වූ

මල් තුරින් ගහන වූ

සොඳුරු කෙලි බිමෙහි අද

නටඹුන්ම පමණක්ය

තැනින් තැන

කැඩුනු පිපිරුණු

දිය සිඳුනු


දන්නවද?

හද කුහර බිතු මත

ශේෂ සිතුවම් පවා

දරන්නේ නුඹෙ මතක


වචන උන දුක සතුට

කවක අමුණා

ලියා තබනෙමි ඉතින්

හද බිතෙක


ඒ නුඹේ දෙතන

සිහිනිඟ රෝස තොල්

දේදුනු දෙබැම 

පිළිබඳ නොව

හද කුහර පිරවූ

ආදරේ තරම මිස!