අමාවකටත් තුරුලෙ රැඳෙනා
තරු කැකුලු පොදි බදාගමි
උදුල තරු මිස සඳක් හැමදා
නොරැඳෙනා බව කියාගමි
මතක මල් පෙති සෑයෙ රඳවා
හිතේ ගින්නෙන් දවාලමි
සඳේ සොමිරැස් එපා යළි මම
කඳුලු අතරින් සිනාසෙමි
අමාවකටත් තුරුලෙ රැඳෙනා
තරු කැකුලු පොදි බදාගමි
උදුල තරු මිස සඳක් හැමදා
නොරැඳෙනා බව කියාගමි
මතක මල් පෙති සෑයෙ රඳවා
හිතේ ගින්නෙන් දවාලමි
සඳේ සොමිරැස් එපා යළි මම
කඳුලු අතරින් සිනාසෙමි
හුදකලා බිමක් මත
අහස සිප එසවුන
තනිකමට ගල්උන
ගල්කුලක් මි, මම!
එදා දිය පොකුණු වූ
මල් තුරින් ගහන වූ
සොඳුරු කෙලි බිමෙහි අද
නටඹුන්ම පමණක්ය
තැනින් තැන
කැඩුනු පිපිරුණු
දිය සිඳුනු
දන්නවද?
හද කුහර බිතු මත
ශේෂ සිතුවම් පවා
දරන්නේ නුඹෙ මතක
වචන උන දුක සතුට
කවක අමුණා
ලියා තබනෙමි ඉතින්
හද බිතෙක
ඒ නුඹේ දෙතන
සිහිනිඟ රෝස තොල්
දේදුනු දෙබැම
පිළිබඳ නොව
හද කුහර පිරවූ
ආදරේ තරම මිස!
පස්ස ගිනි ගෙන අහස අස්සෙන්
පේන මානෙක බිමට වැටුනම
හිතේ පැතුමක් ඉටු කරන්නට
ආව කියලයි මාත් හිතුවෙම
එදා පපුවේ තිබ්බ ගින්දර
කිසිම අඩුවක් ඉතින් නැතුවම
සත්තකයි මට ඇඬුම් ආවා
ආයෙ රැවටුන විදිහ හිතුනම
මං උන්නෙ අහස මත දිලුන තරු අතරයි
හිතුවේම කියා නුඹ සඳ එළිය පතුරයි
දන්නවද හිත් අහස අඳුර දැන් අතොරයි
උඹ තවත් එක වල්ග තරුවක්ම විතරයි!
දිනෙක නොකැලැල් පෙමට මාගෙ නුඹ අතොර දුක් කඳුලු දේවී
දැන දැනම මම ඒ උණත් පෙම් කලේ නුඹගේ නමට පේවී
ශේෂ වූ දුක් කඳුලු ගංගා හිතේ පතුලේ ගලා යාවී
එවන් මොහොතක වුවත් ඔබගේ පාමුලට යළි මෙමා ඒවී
කඳුලු දිය පිරි මතක ඇල්ලෙන් තවම ඉඳහිට විටෙක නාමී
දැවෙන කිස්කන තුවාලෙකි ඒ මතක දැන් නම් නැතිය ප්‍රේමී
දමා ගිය පසු යළි මගේ හිත පිරෙන ඒ පෙම් කඳ නො පාමී
රැඳෙන්නට නොව, බැරිව ගිය නටඹුන් අරන් යන්න මා ආමී
තොරක් නැතිවම හිතත් පිරවුන
හීන තිබුනා හිතවත
මටත් නුඹටත් හොරෙන් මල් පෙති
හෙමින් පරවී ගොස් ඇත
එදා මෙන් තව පිරුණු සෙනෙහස
තියෙනවා මගෙ හිත මත
ඉතින් හිමියනි හිඳිනු බර වී
තාම හයියයි මගෙ අත
විරහව ගැන පිරිමි හිතකට ලෝකෙට කාගහල කියන්න පුලුවන් ලස්සනම විදිහ මොකද්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම පෙන්නන්නෙ මේ පද පේලි ටික.
මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ...
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්... පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..
දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්... පිහිතුඩෙන් ආදරේ ලිව්වේ...
කෙනෙක්ට පුලුවන්ද එහෙම කරන්න? ආදරේ කියන සුන්දර හැඟීම පිහිතුඩකින් දෙනකොට දනෙන වේදනාව මොන වගේද? ඒක මම කියන්න ඕන්නෑ. අහන්න! අමුවටම අහන්න පුලුවන්. ඊට වඩා මම කියන්න යන්නෑ. කියන්න දෙයක් නෑ. ඔයාටම දැනෙයි!
ගායනය, තනුව, සංගීත සංකලනය - සංජීව් ලෝන්ලියෙස්
වචන - ඩිල්ශාන් පතිරත්න
හදවතේ කවුලුවට එපිටින්
අතීතේ මතක සුවහස්
පුලුස්සා අලු දූලි සුළඟට
ගසාගොස් හිත කර හිස්
මතක අලු වල පතුලෙ අතුරා
නොපෙනෙන්න පුරවා පස්
ඉතින් ප්‍රේමිය අවසරයි දැන්
නුඹ නිදොස් කොට නිදහස්
හිතුවෙවත් නැති මොහොතක
අනෝරා වැහි ආවම
හිසට සෙවනක් නැතිය දුන්නේ
ළඟින් හුන් කිසිවෙක් හෙම
හිසට වන් බර දිය කඳ
දරා ගන්නට බැරුවම
කඳු හිසයි බලු බැනුම් ඇහුවේ
නාය ගියහම හදවත
රළු පරලු අකුලු මැද ජීවිතේ රසක්
වින්ද දින මෙතෙක් නෑ විඳෙව්වා මිසක්
පරක්කුයි බොහෝ දේ වෙද්දි මට පසක්
ආදරේ කියන්නෙම හලාහල විසක්!!!
නිමිත්ත: *රස්තියාදුකාරියෙක්ට රස්තියාදුකාරයෙක්ගෙන්!
එදා දවසම වෙනද වාගෙ
නොදැනුනේ මට මොකද මන්දා
හිටියෙ දවසම ඇඟිලි ගැන ගැන
උඹ ගැනම හිත හීන රන්දා
අයිති නැතුවත් ඇස් දිහා මට
බලන් ඉන්නට ඇහැකි හින්දා
එන්න කිව්වත් ඇස් දිහා මට
කෙලින් නොබැලුනෙ ඇයිද මන්දා
හිතෙන් කොටහක් වෙන් කරන්
මං උඹට ආදරෙ කළත් බං
උඹට සෙනෙහස දෙන්න බැරි බව
හොඳ හැටිම දන්නවා මං
ගතින් ඇස් මායිමෙන් උන්නත්
පේන නොපෙනන දුරින් දැං
උඹත් දන්නවා මාත් දන්නවා
අපිට අපි අයිති නෑ බං
අත අරින්නට බැරිව ඇබ්බැහි
වෙච්ච රස මධුවිතකි නුඹ මට
එකත් අතකට මොකට ආදර
කතා නුඹ මට අයිති නැතිකොට
දන්නවා නුඹ තුරුල් වෙන්නේ
නෙවෙයි කියලා ආදරේකට
කමක් නෑ මම බලන් ඉන්නම්
නුඹත් ඈතක ඇදී යනකොට
රෑම හඳ එළි කිනිති අස්සෙන්
පිණිත් හෙමිහිට බිමට එන්නැති
යාමයක් ගැන මුකුත් නොදැනම
මාත් උඹගේ තුරුලෙ ඉන්නැති
පෙමක් පෙනුනත් නෙතේ ලියවුණු
උඹෙන් මට කිසිදාක දෙන්නැති
මමත් උඹටම පෙම් කරන්නේ
මගේ කරුමෙත් ඒක වෙන්නැති
අත් වලට අත ඇරුණු
පෙම් කතා නමක් නැති
හිත් අතර තැග් ගැහුණු
නෂ්ඨාවශේෂ ඇති
කඳුලු මුහුවී තෙමුණු
විට තවත් සුවඳ දෙති
ඒ පෙමක් ඇති නොවුණු
හිතක් මේ ලොවේ නැති
දුටු විට රන් සිනා රුවේ
හිත දොම්නස් ඉතිරි නොවේ
කිරුලු පළන් රැජින ලොවේ
මගෙ රන්කැටි නුඹයි දුවේ
දුක් කරදර හිතින් මුදා
එක්කරගෙන සතුට සදා
පැහැසර ගුණ ලොවට විදා
අරුමන්දිය වෙන්න සදා
හිත කිසිදා දුක නො ඇලී
හිඳින් දුවේ තුටින් වෙලී
දුල් රන් වන් රෝස මලී
ඉඳහිටක මතක රළ පෙරළි පෙරළී එතී
හිතේ සුසියුම් කොණක කවනවා හංකිතී
විටෙක හිත අවුලුවන පරව ගිය මල් පෙතී
ඉඳ හිටක තැනින් තැන නටඹුන්ව හමු වෙතී
වසන්තය නො එන වග නුඹත් දන්නව ඇතී
ඉදින් ගිම් තරු කඳුලු කවි වලට මුහු වෙතී
සියොත්මග වලා පෙළ කවි පේලි මුමුණතී
කවියකට උණත් මගෙ දුක දැනෙනවා ඇතී
දුර ඈත අතීතෙක මතක පිටු මිහිරැතී
අතර සොයනෙමි තාම හිතගාව හිතවතී
නිවි නිවී සඳ ගාව දිලෙන තරු අරුමැතී
උනත් හැම තනි රෑම ඔහේ දුක් වෙනවැතී
වෙහෙසකර කතර මැද නතර වීලා හතී
හරින හිත වෙහෙසවන මතක තව මතුවෙතී
නුඹට මට එක්වෙන්න අපිට පින් මදිවැතී
ඉතින් දැන් නැවතියන් හුස්ම! ගැහුනා ඇතී
නිවි නිවී හිනැහුනත් තරු පොකුරු යොදුන් දුර
මලානික එළි විනා නොව අඳුර දුරින් දුර
කඳුලු බිඳු වැගුරුවත් ඇස් අගින් යොදා වෙර
හිරවෙච්ච සුසුම් තව තියනවා හිතට බර
ගඟකි හද දිය සිඳුනු මියෙන උසුලා පවස
අඳුර මත කවි ලියා හඬයි මා සිත් අහස
විනිවිදිමි සිතුම් රළ පෙරළවා දුක් රහස
සුළඟ තව හමනු මැන හිත නිවාලනු පිණිස
දවා අලු දූලි වූ හදවතේ හතර කොණ
සොයා පල නැතිය හමුවනා හිත තුටක් වෙන
සියුම් සීරුම් කැපුම් පාරවා රිදුම් දෙන
තරම් දන්නවා නම් නොවේ යලි මා දවන